ආශ්වාදයේ කුණු ධම්මානුපස්සනාවෙන් පිස දමන්න

දවසින් දවස ගෙවීයනවා, ජනවාරි මාසයත් ගෙවීගියා. මේ සෑම දවසක්ම ගෙවීයන්නේ, අපේ ජීවිතවලට ගොඩාක් කුසල් සහ අකුසල් සංස්කාරයන් එකතුකොටදීලා. අතීත පටිච්චසමුප්පන්න සංස්කාර විසින් වර්තමානයේ අපිව ජීවත් කරවද්දී, වර්තමානයේ සකස්කොට ගන්නා සංස්කාරයෝ අනාගත පංචඋපාදානස්කන්ධ පාවඩ එලන්නේ, සුසාන භූමියට ගෙන යන මෘත දේහයකට පාවඩ එලනවා වගේමයි. කෘතවේදීභාවයේ නාමයෙන් මළකුණකට පාවඩ එලන අපි, ජීවත්ව සිටියදී තවත් මළකුණකට අදාළව සංස්කාරයන්ම රැස්කොට ගන්නවා. අවිද්‍යාවේ පිහිටෙන් පටිච්චසමුප්පන්න ක්‍රියාන්විතය, නොනවතින මෙහෙයුමක්, පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සිදු කරනවා.

පිංවත් ඔබ මොහොතක් දෑස් පියාගෙන, ඔබගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ සිදුවෙන පටිච්චසමුප්පන්න මෙහෙයුම අවුරුදු කෝටි කීයක් නම් අතීතයට දිවයනවාද කියලා නුවණින් දකින්න. සැබවින්ම පිංවත් ඔබට එම අතීත සංසාර දුර, අතීත සංසාර ගැඹුර, සිතා ගැනීමට බැහැ නේද. පිංවත් ඔබ සිතා ගන්න බැරි දේවල් සිතන්න කාලය මිඩංගු කරන්න එපා. ඒ සිත, චිත්තානුපස්සනාවෙන් මකා දමන්න. එම සිත චිත්තානුපස්සනාවෙන් මකා දමද්දී, ඒ මත ඉතිරිවෙන ආශ්වාදයේ කුණු රොඩු වෙතොත්, කරුණා කර, ධම්මානුපස්සනාවෙන් පිසදා දමන්න ඔබ දක්ෂ වෙන්න.

රූපය ඇසුරින් සකස් වෙන සෑම ධර්මතාවයක් තුළම ආශ්වාදය බැසගන්න පුළුවන්. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතරසතිපට්ඨාන ධර්මතාවයන් ඔබ තුළ වැඩෙන්නෙත්, ඔබේ රූපය ඇසුරුකොටගෙනමයි. උතුම් සතරසතිපට්ඨාන ධර්මයන් වැඩීම හේතුවෙන් සකස් වෙන, සප්තබොජ්ඣංග ධර්මයන් වැඩෙන්නේත්, ඔබේ රූපය ඇසුරුකොටගෙනමයි. මේ සෑම ධර්මතාවයක් තුළම ආශ්වාදයේ “මම”, මගේ භාවනාව, මගේ සමාධිය, මගේ ප්‍රඥාව වැනි ආශ්වාදයේ වසවිස මුසුවෙන්න පුළුවන්. ආශ්වාදයේ වසවිස සෝදාහරින සැබෑම ධර්මානුකූල සේදුම්කාරකය වෙන්නේ, උතුම් ධම්මානුපස්සනාවයි. කාය සංස්කාරයන්, වචී සංස්කාරයන්, මනෝ සංස්කාරයන් තුළින් සකස් වෙන, සෑම ධර්මතාවයක් තුළ හිඳිමින්, ඒ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ දක්ෂවිය යුතුයි. උතුම් ධම්මානුපස්සනාව තුළ හිඳිමින්, ධම්මානුපස්සනාවෙත් අනිත්‍යභාවය දකින්න අපි දක්ෂවිය යුතුයි.

සමාජය සමඟ කටයුතු කිරීමේදී, භාවනා කරන සහ භාවනා නොකරන පිංවතුන්ලා අපිට මුණගැසෙනවා. නමුත් තමන් භාවනා නොකරනවාය කියලා කියන පිංවතුන්ලාට වඩා, භාවනා කරන පින්වතුන්ලාගේ මම භාවනා කරන කෙනෙක්, මම අනුනට වඩා දන්න කෙනෙක් කියන ආඩම්බරකම නම් ටිකක් වැඩි බවක්, භික්ෂුව අත්දැකලා තිබෙනවා. එය භික්ෂුවගේ දැකීමේ වරදක්ද කියන්න භික්ෂුව දන්නෙ නැහැ. එය මගේම වරදක් නම් භික්ෂුවට සමාවෙන්න. නෙක්ඛම්ම සංකප්පය අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අංගයටයි. නෙක්ඛම්මය කියන්නේ අතහරිනවා. මොනවද එයා අතහරින්නේ, ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන්. අපේ සමථ විදර්ශනා, භාවනාවන් සෑම විටම, නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය වෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකප්පයන්ගෙන් පෝෂණය නොවී ඔබ තුළ වැඩෙන සමථ විදර්ශනා භාවනාවන් මම අතහැරීම උදෙසා නොව, ‘‘මම’’ දෝතින්ම අල්ලා ගැනීම උදෙසාම හේතුවෙන්න පුළුවන්.

අතීත සංසාරයක් පුරාවට ගෙවාගෙන පැමිණි පටිච්චසමුප්පන්න භව ගමනේදී, පිංවත් ඔබත්, මමත් සමථ විදර්ශනා භාවනාවන් පුහුණවීමට, එරමිණියා ගොතාගෙන වාඩිවී සිටි කාලය එකට එකතු කළොත්, පැය කෝටි ගාණක් වේවි. සත්තකින්ම ඒ කාලය අපි භව නිරෝධය උදෙසා නොව, භවයේ අනිත්‍ය වී යන සැපයන් උදෙසාම ආයෝජනය කොට තිබෙනවා යැයි, භික්ෂුවට සිතෙනවා.

පිංවත් ඔබ දෑස් පියාගෙන දකින්න අතීතයේ සමාධි භාවනාවන් පුහුණුකොට කල්ප ගණන් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්මතලවල සමාධියම ආහාර කොටගෙන වින්දා වූ වේදනාවේ ආශ්වාදය. පිංවත් ඔබ මොහොතක් මනසින් ගොඩවෙන්න, අතීතයේ මෛත්‍රී ධ්‍යානයන් සකස්කොටගෙන, ආකාශයේ සෘද්ධියෙන් ගමන් කළ, ඒ අතීත පංචඋපාදානස්කන්ධ ලෝකයට විදර්ශනාවේ නාමයෙන් සතරසතිපට්ඨාන ධර්මතාවයන්ගේ ආශ්වාදයේ කරවටක් ගිලී, විදර්ශනාවට අවිද්‍යාවේ සළුපිලි ඇන්දවූ අපිට භාවනාවේදී වැරදුණු තැන්, අතීත පංචඋපාදානස්කන්ධ ලෝකය තුලින් මතුකොට දකින්න. වර්තමානයේ අපට ඉගෙන ගැනීමට පාඩම් ගොඩාක්, ඒ අතීත පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ වැළලී තිබෙනවා. අපි නිහතමානීව, අපිට අතීතයේ වැරදුණ තැන් නොදකින තාක්කල්, අපි වර්තමානයත් වරද්ද ගන්නවා. බුදුරජාණන් වහන්සේ වැරදි පෙන්වාදී තිබියදීත්, වැරදි නොදකින පිංවතුන්ට, මේ පංචඋපාදානස්කන්ධ ලෝකය අවසානයක්, නිමාවක් නොදකින අනාගතයක් කෘතවේදීව විවෘත කොට දී තිබෙනවා.

මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන මොහොතක් දකිනවා, අතීතයේ පටිච්චසමුප්පන්නව මම ගොඩගැසුවා වූ මළකඳන් ගොඩ බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, සතරඅපා සත්ව මළකඳන් ගොඩ, ගිජ්ජකූඨ පර්වතයටත් වඩා විශාලව භික්ෂූවට මැවී පෙනෙනවා. එවිට භික්ෂුව එම අතීත මළකඳන් ගොඩ දිහා නොවෙයි බලන්නේ. භික්ෂුව තුළ වැඩෙනා සතිසම්බොජ්ඣංගය දෙසයි. යම් පිංවතෙක් තුළ සතිසම්බොජ්ඣංගය වැඩෙන්නේ ධම්මවිජය බොජ්ජංගයට පාවඩ එළමින්මයි. භික්ෂුව තුළ මෝදුවෙන ධම්මවිජය බොජ්ජංගය, ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාල ඒ අතීත මළකඳන් ගොඩ, සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියන එකම අර්ථයෙන්, මතකයෙන් වළලා දමනවා. එවිට භික්ෂුව තුළ ඇති වෙන්නේ නැවත පටිච්චසමුප්පන්න උපතක් සහ මරණයක් කරා නොයන්න, ජීවිතය තුළින් මතුකොටගන්නා චතුරාර්යසත්‍යය ධර්මයන් කෙරෙහි වීර්යබොජ්ඣංගයමයි. ධර්මය ධර්මානුකූලව දැකීම හේතුවෙන්මයි වීර්යබොජ්ඣංගය සක්‍රීය වෙන්නේ.

අපි හුඟදෙනෙක් ධර්මය අධර්මයක් හැටියටමයි දකින්නේ. සියලූ සංස්කාරයෝ නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මයි වශයෙන් දැකීම නිසාම, අපේ වීර්ය සකස් වෙන්නේ පංචනිවරණ දිශාවටමයි. උදේ පටන් රාත්‍රී වෙනකම් මොනතරම් නම් අධර්මයේ බරක්ද අපි දරාගෙන සිටින්නේ. පංචනීවරණයන්ගේ අධර්මයේ බර නිසාම, අපේ ජීවිතවල, ප්‍රීතිය, ඵස්සද්ධිය අපි කාටත් හොරාම පලා ගිහිල්ලා. ඇසෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් කාමච්ඡන්දයන්ම සොයනා අපිව දැකලා, සමාධි සම්බොජ්ඣංගය සැඟවී යන්නේ, උපේක්ෂා බොජ්ඣංගය, ඇලීම් සහ ගැටීම්වල ප්‍රාණ ඇපකරුවෙක් බවටම පත් කරලා.

පිංවත් මහත්මයෙක් බොහොම කනගාටුවෙන් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම මොනතරම් භාවනා කළත් සම්මා සමාධියක් ඇති වෙන්නේ නැහැය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භාවනා කරලා සම්මා සමාධියක් ඇති කොට ගන්න යැයි, කියලා නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග හත හොඳින් පුහුණු කරලා සම්මා සමාධිමත් සිතක් ඇති කොට ගන්න කියලයි. සම්මා සමාධිමත් සිතකට මුල්වෙන්නේ, භාවනාව නොවේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල්ලකට දමා, භාවනාවෙන් සමාධිය සොයනා පිංවතුන්ලාට, ලැබුණත් ලැබෙන්නේ මිච්ඡා සමාධියක්මයි. මිච්චා සමාධිය ඔබට පාර පෙන්වන්නේ, මිච්චා ඥාන දර්ශනයන්ට සහ මිච්චා විමුක්තියකටමයි.

අවසානයක් නොපෙනෙන කොරෝනා අකුසලයෙන් හෙම්බත්ව, දුකට හේතුවෙන ඇලීම් සහ ගැටීම් වලින්ම කොරෝනාව පිළිගන්න. පිංවතුන්ලා නිරතුරුවම විමසනවා, ස්වාමින් වහන්ස, කොරෝනා අකුසලයෙන් මිදෙන්න අපි කුමක්ද කළ යුත්තේ කියලා. මේ ප්‍රශ්නයට ධර්මානුකූලව බොහෝම කෙටි පිළිතුරක් තිබෙන්නේ. කරුණාකර පිංවත් ඔබ දුකට එකම හේතුව වන තෘෂ්ණාව, සියුම් කොටගෙන පංචඋපාදානස්කන්ධ ලෝකය බුක්ති විඳින්නය කියලා.

කොරෝනා අකුසලයෙන් මිදීමට පිංවත් ඔබලාට ආයුෂය, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් ශීලය මෛත්‍රිය සහ දානයමයි අවශ්‍ය වෙන්නේ. පිංවත් ඔබ තනිවම පංචශීලය ආරක්ෂා කොට ගත්තාය කියලා, මෙත් වැඩුවාය කියලා, දන් පූජා කළාය කියලා, රටටම බලපාන අකුසලයක් යටපත් කරන්න බැහැ. රටේ රාජ්‍ය නායක පිංවතුන්ලා දක්ෂ වෙන්න ඕනේ, රටවාසී ජනතාව කෙරෙහි අනුකම්පාවෙන්, ශීලය, මෛත්‍රිය, දානය තුළ ශක්තිමත් වෙන්න. රටේ ඉහල තැන්වලින් මේ පූර්වාදර්ශයන් සමාජයට ගලාගෙන එන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දෙවියන්, බ්‍රහ්මයන් වන්දනා කරන, පුණ්‍ය කෙත, මහා සංඝරත්නයයි කියලා. මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරන්නා වූ දානයයි මහත්ඵල මහානිශංස දානය බවට පත්වෙන්නේ. මේ උතුම් දානයේ ආනිශංසයන්මයි, මනුෂ්‍යයාගේ වර්ණය, සැපය, බලයට හේතුවෙන්නේ. මේ උතුම් දැක්මටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. නමුත් වර්තමාන නායක පිංවතුන්ලාගේ මේ දැක්ම, පුස්සක් බවට පත්වෙලයි තිබෙන්නේ. රටේ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කළාය කියලා, රටේ පාලක පිංවතුන්ලාගේ හෝ ජනතාවගේ වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ නැහැ. මහා සංඝරත්නය අරමුණු කොට ගෙන පූජා කරන දානයමයි, පිංවතුන්ලාට ආයුෂය වර්ණය, සැපය, බලය ලබාදෙන්නේ.

වර්තමාන සමාජය දෙස බලද්දී අපිට සක්සුදක්සේ පෙනෙනවා, රජයේත්, පිංවත් ජනතාවගේත් ආයුෂය, වර්ණය, සැපය, බලය පිරිහීමේ දිශාවටමයි ගමන් කරන්නේ. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ නාමයෙන්, සද්ධර්මයට හිතැති ජනතාවගේ නාමයෙන් මේ වැරදි අපි පෙන්වා දිය යුතුයි. ජනතාව විසින් ලබාදුන් අර්ථවත් ජයග්‍රහණයක්, පිංවතුන් කිහිපදෙනෙකුගේ අකීකරුකම් වලට අහිමි කොට ගත යුතු නැහැ. මිථ්‍යාදෘෂ්ඨික ආගම් පතුරවන අන්‍යාගමික උපදේශක පිංවතුන්ලාගේ මිච්චා උපදේශයන්ගෙන් මුළු මාතෘභූමියේම ආයුෂ, වර්ණය, සැපය, බලය දුර්වලවෙන දිශාවට, වැරදි පූර්වාදර්ශයන් සමාජ ගත කළ යුතු නැහැ. පිංවත් ජනතාව විසින් පත්කොටගත් පිංවත් රාජ්‍ය නායකයෙක්, මිථ්‍යා දෘෂ්ඨික ආගම් පතුරවන අන්‍යාගමික පින්වතුන්ලාගේ සිරකරුවෙක් වියයුතු නැහැ.

කරුණාකර, රටේ රාජ්‍ය නායකතුමා ජනතාවට ශීලයේ වටිනාකම, මෛත්‍රියේ වටිනාකම, මහා සංඝරත්නය අරමුණු කොට පූජා කරන දානයේ වටිනාකම ගැන, පූර්වාදර්ශයන් දෙන්න. රටක රජතුමා සෑමවිටම ජනතාවට ශීලයෙන්, මෛති‍්‍රයෙන්, දානයෙන් පූර්වාදර්ශීවිය යුතුයි. මේ උතුම් ධර්මයන් සඟවාගෙන කළ යුතු දේවල් නොවේ. වර්තමානයේ රටේ සමහරක් ක්ෂේත්‍රයන් අන්‍යාගමික ආගම් පතුරවන මිථ්‍යාදෘෂ්ඨික පිංවතුන්ලාගේ ග්‍රහණයට නතුවෙමින් පවතිනවා. මේ සියල්ල සිද්ධවෙන්නෙ පිංවත් රාජ්‍ය නායකතුමාගේ පටන්, පිංවත් ජනතාව දක්වාම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් දුරස්වීම නිසාමයි. නමුත් මහා සංඝරත්නය වන අපි, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, ධර්මානුකූලව ජනතාවට නිවැරදි ධර්ම මාර්ගය සිහිපත්කොටදිය යුතුයි. සත්පුරුෂ ආශ්‍රයේත්, අසත්පුරුෂ ආශ්‍රයේත් වෙනස සිහිපත් කොට දිය යුතුයි. සම්මා දිට්ඨියේත්, මිත්‍යා දිට්ඨියේත් වෙනස සිහිපත් කොට දිය යුතුයි. එසේ නොවුණොත්, හෙට දවසේ සමාජ මතයක් කලඑළි බසීවි, අපි පව් කරන්නේ නැති නිසා, පිං කරන්න අවශ්‍ය නැහැ. අපි ශිල්පද බිඳින්නේ නැති නිසා පංචශීලය සමාදන් වෙන්න අවශ්‍ය නැහැය කියලා. අපිට සැප සම්පත් සියල්ල ලැබිලා තිබෙන නිසා, දන් පූජා කරන්න අවශ්‍ය නැහැය කියලා. පිංවත් ඔබ හෙට දවසේ සමාජගතවීමට සැලසුම් සකස් වෙන, මේ මිථ්‍යාදෘෂ්ඨියේ නම්, ගෙල වැළලා ගන්න එපාය කියලා, මෙත් සිතින් සිහිපත් කොට දෙනවා.