ඔබේ සුබ නැකත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි

පිංවත සිංහල අලුත් අවුරුදු නැකත් පිළිබඳව සමාජය තුළ මත ගැටුමක් ඇතිවෙලා තිබෙනවා නේද? එක පාර්ශ්වයක් කියනවා රාත්‍රී කාලයේ යෙදී ඇති අවුරුදු නැකත් නිවැරදිය කියලා. අනෙක් පාර්ශ්වය කියනවා අවුරුදු නැකත් වැරදිය කියලා. පිංවත සුබ නැකතක්, අසුබ මතගැටුමක් බවට පත්වෙන්න අපි මොනතරම් නම් අකුසලයේ සිරකරුවෝ ද? පිංවත ඉහත ගෞරවනීය ජ්‍යොතිර්වේදී පාර්ශ්ව දෙකෙන්, එක පැත්තක්වත් ඔබ ගන්න එපා. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෝම පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අධම්මික සූත්‍රයේ දී රාජ්‍ය නායකයා අධාර්මිෂ්ඨ වෙත්දි, ඇමැති මණ්ඩලය අධාර්මිෂ්ඨ වෙනවා. ඇමැති මණ්ඩලය අධාර්මිෂ්ඨ වෙත්දි, මන්ත්‍රී මණ්ඩලය අධාර්මිෂ්ඨ වෙනවා. මන්ත්‍රී මණ්ඩලය අධාර්මිෂ්ඨ වෙත්දි, මහණ බමුණන් අධාර්මිෂ්ඨ වෙනවා. මහණ බමුණන් අධාර්මිෂ්ඨ වෙත්දි, රටේ ජනතාව අධාර්මිෂ්ඨ වෙනවා. මේ සියල්ලම අධාර්මිෂ්ඨ වෙත්දි, ඉර, හඳ, තාරකා විකෘති වෙනවාය කියලා. පිංවත අධාර්මිෂ්ඨභාවයේ පතුලටම වැටුණු සමාජ දේහය තුළ වර්තමානයේ ඉර, හඳ, තාරකා විකෘති වෙලයි තිබෙන්නේ. පිංවත් ජ්‍යොතිර්වේදී මහත්වරුන්ට දොස් කියන්න එපා. එම පිංවතුන්ලා අසරණයි. වර්තමානයේ ඉර, හඳ, තාරකා විකෘති වී ඇති බව ධර්මානුකූලව තේරුම් ගන්න නම්, අවම වශයෙන් ඔහු සෝවාන්ඵල අවබෝධයවත් ලබා තිබෙන්නට ඕනේ. උතුම් සෝවාන් ඵලයට පත් වූ ඕනෑම පිංවතෙක් අන්‍යශීලවෘත හැටියට ගැනෙන ජ්‍යොතිෂයේ සරණ යන්නේ නැහැ.

පිංවත සමාජගත අධාර්මිෂ්ඨ දේශපාලනය ප්‍රසූත කළ තෘෂ්ණාවේ මාරාවේශයට හසුව, මනුෂ්‍ය අධ්‍යාත්මයන් ආත්මාර්ථකාමී වෙත්දි, රුපියල් ශත වන්දනාව උතුම් සම්බුද්ධ වන්දනාවන් දෙවැනි තැනට දමත්දි, සල්ලි පිස්සුවෙන් පරිසරය මරාගෙන කත්දි, ධර්මානුකූලව අපගේ එකම ඉතිරිය වෙන්නේ විකෘති වූ ඉර, හඳ, තාරකා, අව්, වැසි පමණක්මයි. පිංවත වර්තමානයේ අපි රටක් හැටියට ඉහත විනාශයේ දොර අගුළු හැරගෙන විකෘතිය දෙසට ළඟා වෙලා ඉවරයි. සිංහල අලුත් අවුරුදු නැකත් මතභේදය යනු මෙම ඉර, හඳ, තාරකා විකෘතියේ එක පැතිකඩක් පමණක්මයි. පිංවත මෙය සටහන් තබන භික්ෂුව ජ්‍යොතිෂ විද්‍යාවට එක වචනයකින්වත් වරදක් කියන්නේ නැහැ. පිංවත සත්‍යය ජ්‍යොතිෂ විද්‍යාව ගරුකළ යුතු විද්‍යාවක්. නමුත් අදින් පසුව එළඹෙන ඉර, හඳ, තාරකා විකෘති වූ ලෝකය තුළ ජ්‍යොතිෂ විද්‍යාව ඉදිරියේ භික්ෂුව ප්‍රශ්නාර්ථයක්මයි තබන්නේ. ඉර, හඳ, තාරකා විකෘති වූ ලෝකය තුළ, අතීතයේ ප්‍රකෘති ඉර, හඳ, තාරකා ශාස්ත්‍රයන්ට අදාළව නැකත් හදද්දි, හදන නැකත විකෘතියක් වෙනවා. වර්තමානයේ සමාජගත වෙන රාත්‍රී කාලයේ යෙදෙන නැකත් ඉහත විකෘතියේ ඵලයක්ම බව ධර්මානුකූලව සටහන් තබනවා. වර්තමානයේ විකෘති ඉර, හඳ, තාරාකා ගැන නොසිතා හදන නැකත් හේතුවෙන් ඉදිරියේ දී විවාහ ගිවිසගැනීමේ නැකත්, පෝරුවට නැගීමේ නැකත් පවා රාත්‍රී කාලයේ දී යෙදෙන්න පුළුවන්. පසුගිය දවසක විවාහක යුවලකගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේ හෝටලයෙන් පිටවීමේ නැකත යෙදී තිබුණේ රාත්‍රී දහයයි හතළිස් පහටයි. පිංවත මෙම සමාජ විකෘතීන් දෙස අපි හාස්‍යයෙන් නොවේ බැලිය යුත්තේ. මෙම සිද්ධීන් බරපතළ ඛේදවාචකයන්. සියයට හැට නවයක ජනවරමක් ගත්ත, තුනෙන් දෙකේ බලයක් ගත්ත පිංවත් නායකයෝ සුබ නැකතට වැඩ ඇල්ලුවත්, සියලු වැඩ අන්ත අසාර්ථකයි. නැකත් බලලා සුබ නැකතට පැවිදි කරන පුංචි හාමුදුරුවරු සිවුර හැර යන්නේ ඉර, හඳ, තාරකා වෙනස් වී යනවා වගේමයි. නැකත් බලලා සිදුවන විවාහයන් ගැන භික්ෂුව සටහන් තබන්න යන්නේ නැහැ. පිංවත රාජ්‍ය අසාර්ථකත්වය, සමාජ අසාර්ථකත්වය, ව්‍යාපාර අසාර්ථකත්වය අධි වේගයෙන් සමාජගතවෙන වර්තමානයේ නැකත් හදන පිංවත් ජ්‍යොතිර්වේදීන්ට බනින්න නම් එපා. වරද පිංවත් ජ්‍යොතිර්වේදී පිංවතුන්ගේ නොව, ඔවුන් නොදන්න ඉර, හඳ, තාරකා විකෘතියේ හේතුඵල ධර්මයෝමයි.

පිංවත අකුසල් විපාකයට පැමිණෙන්නේ තව තවත් අකුසල් සිදුකොටදීමටයි. අකුසල් විපාකයන් ඉදිරියේ ඇලීම් සහ ගැටීම් නොව ධර්මානුකූල හේතුඵල ධර්මයෝමයි අපි මතුකොට දැකිය යුත්තේ. පිංවත අපි රාත්‍රී කාලයේ යෙදෙන සුබ නැකත්වලට ගැටීමෙන් හෝ ඇලීමෙන් මාර ධර්මයන්ටමයි සුබ සිංහල අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නේ. පිංවත සමාජගතවෙන අධාර්මිෂ්ඨභාවයන් නිසා සිදුවෙන තෘෂ්ණාධික මනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාවධර්මය අසමතුලිත වී සිදුවෙන ඉර, හඳ, තාරකා, අව්, වැසි විකෘතිවීම් ඉදිරියේ පිංවත් ඔබ සද්ධර්මයේ අර්ථයන්ගෙන් නොවෙනස් කෙනෙක් වෙන්න. කරුණාකර පිංවත් ඔබ නැකත් හදන පිංවත් ජ්‍යොතිර්වේදීන්ට හෝ ජ්‍යොතිෂ විද්‍යාවට චෝදනා කරන්නේ නැතිව, සියලු සත්ත්වයෝ සුවපත් වේවා යැයි මෙත් සිතින් උතුම් සද්ධර්මයේ සුබ නැකත වෙන, දශකුසල් ධර්මයෝම, ලෞකික සැපයට එකම මාර්ගය වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ඔබේ සුබ නැකත බවට පත්කොට ගන්න. ඉදිරියේ දී උදාවෙන පුණ්‍යවන්ත අප්‍රේල් දහහතර වැනි දින හිමිදිරි උදෑසන සියලු සත්ත්වයෝ සුවපත් වේවා යැයි මෙත් සිතින් අවදිවෙලා, කායික වශයෙන් පිරිසිදු වී, උතුම් සීලයක පිහිටා, තෙරුවන් වන්දනාකොට, දස දිශාවටම මොහොතක් මෛත්‍රිය පතුරුවා උදාවෙන පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද පුණ්‍ය සිතින් ආරම්භකොට ගන්න. සිංහල අලුත් අවුරුද්ද දවසේ නැවුම් මුට්ටියක ඔබේ නිවසේ ඉදෙන කිරිබතේ, කැවුම්, කොකිස්, අතිරසේ ජාතික බැඳීම පූර්වාදර්ශීව දරුවන්ට කියලා දෙන්න. සිංහලකම ජාතියට අමතක වෙන්න දෙන්න එපා. උතුම් සිංහලකම රැකගත් පරපුරේ අන්තිමයා ඔබ වෙන්න එපා. සිංහල අලුත් අවුරුද්ද දවසේ කිරිබතක්, කැවුමක්, අතිරසයක්, කොකිස් එකක් හදන ඔබේ පරම්පරාවේ අන්තිමයා ඔබ වෙන්න එපා.

සිංහල අලුත් අවුරුද්ද දවසේ මෙත් සිතින් වැඩිහිටියන්, ආදරණීය දෙමාපියන් කමාකොටගෙන වන්දනා කරන ඔබේ පරපුරේ අන්තිමයා ඔබ වෙන්න එපා. ඔබේ ලෙයින් උපන් දරුවාට මේ උතුම් ප්‍රෞඩ ධර්මයෝ පූර්වාදර්ශීව කියලා දෙන්න. පිංවත වර්තමානයේ අපි අසිංහල, අබෞද්ධ දේශපාලන මාමලා, නැන්දලා හේතුවෙන් හිඟන ජාතියක් බව ඇත්ත. පව්කාර දේශපාලනය ලෝකය ඉදිරියේ අපේ අධ්‍යාත්මයන්, සාරධර්මයෝ, සදාචාර ධර්මයෝ මරාදමා තිබෙන බව ඇත්ත. ගෞරවනීය පිංවත අසත්පුරුෂ ධර්මයෝ සමාජය තුළ අකුසලයම වගාකොට, ඔබේ කුසල් ධර්මයෝ වට්ටපු තැනින් යළි නැගීසිටින සුබ දවස උදාවෙන සිංහල අලුත් අවුරුද්ද බවට පත්කොට ගන්න. පිංවත හැමදාමත් සුබ නැකතට වැඩ අල්ලා වර්තමානයේ බංකොළොත් වූ ජාතියට, අතීතයේ ලෝකයාට බත සපයා වර්තමානයේ අවුරුදු කන්න සල්ලි නැතිව හූල්ලන ජාතියට, අතීතයේ සිංහල අවුරුදු නැකතට ගනුදෙනුකොට මූල්‍ය විනය, මූල්‍ය පරිපාලනය අවුරුදු චාරිත්‍රයක් බවට පත්කොටගත් පෞඩ ජාතිය, වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිථ්‍යාදෘෂ්ටික මාමලා සහ නැන්දලාගෙන් මූල්‍ය විනය ගැන වැදි බණ අසන තත්ත්වයට පත් වූ ජාතියක්, සිංහල අලුත් අවුරුදු නැකතට ආහාර අනුභවකොට, නැකතට හිසතෙල් ගෑමෙන් නිරෝගීභාවයේ වටිනාකම අවුරුදු චාරිත්‍රයක් බවට පත්කොටගත් ජාතියක්, වර්තමානයේ සමස්ත ජාතිය පමණක් නොවේ, ස්වභාව ධර්මයේ ඉර, හඳ, තාරකා පවා විකෘතියක් බවට පත්කොට ගැනීමේ ඛේදවාචකයට වගකිවයුත්තෝ අධාර්මිෂ්ඨ අතීත, වර්තමාන දේශපාලන නායකයෝම නේද? පිංවත ඔබව වැට්ටුව තැනින් අගාධයේ පතුලටම ලිස්සායෑම නොවේ ඔබ කළයුත්තේ. වර්තමානයේ මතගැටුමට මුල් වී තිබෙන ජ්‍යොතිෂ විද්‍යාවේ ඉර, හඳ, තාරකා ස්වභාවධර්මයට භාර දී, උතුම් සද්ධර්මයේ ලෞකික සැපයට එකම මාර්ගය වූ, එකම සුබ නැකත වූ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් එළඹෙන පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්දේ පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්න.

පිංවත අකුසලයේ අසත්පුරුෂ ධර්මයන්ට යටත් වෙන්න එපා. අකුසල් මාරයා අලුත් අවුරුදු නැකත් මතගැටුම් තුළින් උත්සාහ කරන්නේ සමාජගත වී තිබෙන ඉර, හඳ, තාරකා විකෘතිවීමට සැබෑ හේතුව වන අධාර්මිෂ්ඨ අතීත සහ වර්තමාන දේශපාලන ධර්මතාවයෝ ජනතාවගෙන් වසන්කොට, සිංහල බෞද්ධ සමාජයේ අධ්‍යාත්මය බෙලහීනකොට දැමීමයි. සිංහල බෞද්ධකම හා බැඳුණ යහපත්, ජනතාව තුළ සිහිනුවණ උපද්දවන අවුරුදු චාරිත්‍ර තරුණ පරපුරට එපා කරවීමයි. පිංවත සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. කරුණාකර සිහිනුවණින් බෞද්ධකමේ ආරක්‍ෂාව උදෙසා සිංහලකම ආරක්‍ෂාකොට ගන්න කැපවෙන්න. සමාජගත වී ඇති අවුරුදු නැකත් මතභේද පිළිබඳ සිත් චිත්තානුපස්සනාවෙන් සෝදා හරින්න. අවුරුදු නැකත් මතභේදයෝ අනිත්‍ය වූ හේතුඵල ධර්මයන් යැයි ධම්මානුපස්සනාවෙන්ම දකින්න. උදාවෙන නව සිංහල අලුත් අවුරුද්දේ දී ඉර, හඳ, තාරකා පවා විකෘති කරන අධාර්මිෂ්ඨභාවයන් යටපත්කොට, ධාර්මිෂ්ඨභාවයට මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් නැගී සිටින්න. හෙට දවස මාර ධර්මයන්ට නොව සද්ධර්මයේ ශක්තියට භාර දෙන්න. පිංවත මෙය සටහන් තබන භික්ෂුව නැකත් බලලා පැවිදිවුණ භික්ෂුවක් නොවේ. භික්ෂුවගේ පැවිද්ද උදෙසා සුබ නැකත වුණේ සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දැක්ක, විදර්ශනාමය කුසල් සිතමයි.

පිංවත සමාජය තුළ සම්මා දිට්ඨියේ අර්ථයන් හීනවෙත්දි ගිහි, පැවිදි හැමෝම තුළින් කර්මය කර්මඵල විශ්වාසය අතුරුදන්වෙලා යනවා. එවිට ඔහු ලෝකය දකින්නේ අතේ, පයේ සහ කටේ ශක්තියෙන්. පෙර පිනෙන් උපදින ආශ්චර්යමත් ධර්මයෝ එම පිංවතුන් පිළිගන්නේ නැහැ. සිදුහත් කුමාරයාගේ පුණ්‍යවන්ත උපත සිදුවුණ මොහොතේ අතීත දශපාරමී කුසල් ශක්තියෙන් උපන් ආශ්චර්යමත් පුණ්‍යවන්ත සිද්ධීන් පවා සමහරු හාස්‍යයෙන් ප්‍රතික්ෂේප කරනවා. පිංවත පින වර්ණනා කරන්න නම් සම්මා දිට්ඨිය තිබෙන්නට ඕනේ. එසේ නොවුණොත්, පින පවක්ම කොටගන්නවා. මෙය සටහන් තබන භික්ෂුව දශපාරමී ධර්මයන් දශමයක්වත් පුරලා නැහැ. කාෂ්‍යප මහෝත්තමයන් වහන්සේගේ උතුම් ඥානයන්ගෙන්, ගුණයන්ගෙන් එක දශමයක්වත් මෙය සටහන් තබන භික්ෂුවට නැහැ. නමුත් ගෙවීගිය අවසාන වප් පසළොස්වක පොහොය දවසේ පදලංගල ගමේ පිණ්ඩපාත මඩුවට භික්ෂුවට පිණ්ඩපාතය බෙදන්න දෙදහසකට වැඩි පිරිසක් පැමිණියා කියලා ඔබ විශ්වාස කරනවා ද? උදෑසන හයයි තිහට භික්ෂුව පිණ්ඩපාත මඩුවට වැඩමකරලා, සියලුම දෙනාගේ පිණ්ඩපාතය පිළිඅරගෙන, පුණ්‍යානුමෝදනාව සිදුකරලා අවසන්වෙත්දි, වෙලාව දහවල් එකොළහයි තිහයි. භික්ෂුවට දානය වැළඳීමට කුටියට වඩින්න වෙලාව මදි. පිණ්ඩපාත මඩුවේදීම දානය ටිකක් වළඳලා භික්ෂුව කුටියට වඩිනකොට වෙලාව දොළහත් පහුවෙලා. පිංවත උදේ හයයි තිහට පිණ්ඩපාත මඩුවට වැඩම කරලා, දහවල් දොළහත් පසුවෙලා පිණ්ඩපාත මඩුවෙන් පිටව ගිය භික්ෂුවක් ගැන ඔබ අසා තිබෙනවා ද? පිංවත සාමණේර ස්වාමීන් වහන්සේ නමකගේ වුව ද පිනේ ආශ්චර්යය තේරුම් ගන්න නම්, උතුම් සම්මා දිට්ඨිය තිබෙන්නටම ඕනේ. මිච්ඡා වාචාවන්ගෙන් ධර්ම විනය විවේචනය කරන්නා, කෙසේ නම් අතීත පිනේ ආශ්චර්යයන් දකින්න ද? ඔහුගේ මිච්ඡා දැක්ම අකුසලයේ දැක්මක් මයි.