දහම සොයන ජීවිතේ

පිංවත මෙය සටහන් තබන භික්ෂුව අද උදෑසන පිණ්ඩපාත මඩුවට වැඩියා. පිංවත ගමේ ශ්‍රද්ධාවන්ත දායක පිංවතුන් භික්ෂුවගේ පාත්‍රයට පූජා කළේ හිමිදිරි උදෑසන නිවසේ පිසගත්ත බත් මුට්ටියේ මුල්ම කොටසයි. නිවසේ පිසගත්ත ව්‍යංජන හට්ටියේ මුල්ම කොටසයි. නිවසේ සාදාගත් කැවිලිවල මුල්ම කොටසයි. ගමේ ලොකු කුඩා හැමෝම පාත්‍රයට දානය පූජා කළේ භික්ෂුව අසල දණ නවාගෙන, භික්ෂුවගේ පාත්‍රයට දන් හැන්ද පූජා කරලා එම පිංවතුන් පසඟ පිහිටුවලා වන්දනා කරලයි ඉවතට ගියේ. පිංවත සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ පිණ්ඩපාත දානයක තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, ප්‍රණීතභාවය, සියතින් සකසා පූජා කිරීම කියන අර්ථයන් හොඳින් මුහුවෙලා තිබෙන්නට ඕනේ. මහා සංඝරත්නය කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුරුෂයන් අට දෙනාටයි. මහා සංඝරත්නය යැයි කියන්නේ ආරාධනාකොට වැඩියත්, ආගන්තුකව වැඩියත් ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, අග්‍රම සිවුපසයෙන් පූජා ලබන පිරිසයි. මහා සංඝරත්නය යැයි කියන්නේ සත්පුරුෂ දෙවියන්, බ්‍රහ්මයින් වන්දනා කරන මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙතයි. ගෞරවනීය සංඝ සමාජයේ අපි දක්‍ෂ විය යුතුයි, අපිට ලැබෙන පිණ්ඩපාත දානයෙනුත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්න, සංඝ සමාජයේ පුණ්‍යවන්තභාවය ලෝකයාට ප්‍රකට කරන්න.

පිංවත භාග්‍යවන්ත, පුණ්‍යවන්ත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ අපිට අග්‍රම දෙය, ප්‍රණීතම දෙය, පිරිසිදුම දෙය ලැබීමට අදාළවයි මහා සංඝරත්නයේ උත්තරීතර ගුණයන් පනවා තිබෙන්නේ. මහා සංඝරත්නය සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. පිංවත මෙවන් අයෝමය ගුණයන් හමුවේ උතුම් සංඝ සමාජයේ කිසිවෙක්වත් උවමනාවෙන්ම ගිහි පිංවතුන්ලාගේ ඉඳුල් වූ ආහාර සොයාගෙන යන පුලන්නන්වීම සමස්ත සංඝරත්නයේම ගුණයන්ට සිදුකරන මහත් නිගාවක් වෙනවා. ගිහි පිංවතුන්ලාගේ ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, ප්‍රණීතභාවය කියන අර්ථයන් මරා දැමීමට මෙවැනි අසත්පුරුෂ දානයන් පූර්වාදර්ශයක්ම වෙනවා. පිංවත ආර්යයන් වහන්සේලා පෙරවූ මේ උතුම් චීවරය දරාගෙන, සංඝ සමාජය නමැති උත්තරීතර පිරිසේ සාමාජිකත්වය දරාගෙන යම් භික්ෂුවක් මිථ්‍යාදෘෂ්ටික අදහස් දරයි ද, උතුම් සද්ධර්මය විකෘති කරයි ද, අහිංසක ගිහි පිංවතුන්ලාව ද අශ්‍රද්ධාව, මිථ්‍යාදෘෂ්ටිය තුළ පිහිටුවයි ද, මෙම වැරදි ක්‍රියාවන් උතුම් ධර්ම විනය අතුරුදන්කොට දැමීමට අදාළ බරපතළ පාපකාරී වැරදි වෙනවා. මෙවන් වැරදි කරන යම් භික්ෂුවකට ඉඳුල් ආහාර වැළඳීමේ මානසික ව්‍යාධියක් ඇති වෙනවා නම්, එම මානසික ව්‍යාධිය තම අකුසලයේ දිට්ඨධම්මවේදනීය විපාකයක්ම මිස, උතුම් සංඝ සමාජයේ පුණ්‍යවන්තභාවයට සහ චර්යාවන්ට අදාළ ධර්මතාවයක් නම් නොවේ. ගෞරවනීය පිංවත සීමාව ඉක්මවා ශාසන විකෘතීන් සිද්ධ කරන්න එපා. අකුසල් බර වැඩි වුණොත්, උවමනාවෙන්ම ගිහි පිංවතුන්ලා ඉඳුල් කළ දානය නොව, කටින් ඉල්ලා බලු කපුටු දාන වළඳන්න සිතෙන්නත් පුළුවන්. මෙය සටහන් තබන භික්ෂුව හෙටත් උදෑසන පිණ්ඩපාතයේ වඩිනවා, ඒ පිංවත් ගිහි ජනතාව තුළ අශ්‍රද්ධාව වර්ධනය කරන්න නොවේ, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තව තවත් අවදිකොට දෙන්නයි. පිංවත භික්ෂුව දන්න ගිහි මහත්මයෙක් සිටියා. ඔහු ඇඳුම්, සපත්තු මිලට ගන්නේ පිටකොටුවේ මල්වත්ත පාරේ තිබෙන පරණ ඇඳුම් සහ සපත්තු කඩවලින්මයි. ඔහු කවදාකවත් අලුත් ඇඳුමක්, සපත්තුවක් ගන්නේ නැහැ. අවිවාහක මොහු අවසානයේ විවාහ වුණෙත් දික්කසාද වෙච්ච නෝනා කෙනෙක්ව. පිංවත මෙම සිද්ධීන් ඇතුලේ සුන්දර හේතුඵල ධර්මයන් සැඟවිලා තිබෙනවා. කරුණාකර පිංවත් ගිහි ඔබ, ඔබ විසින් ඉඳුල් කළ දෙය දන් දෙන්න එපා. පිංවත් ඔබටත් පරණ බඩු කඩවලටම යන්න සිත සකස් වේවි. පිංවත ඔබට මෙලොව සහ පරලොව අලුත්, නැවුම්, නොඉඳුල් ලෞකික සැප සම්පත් ලබන්න අවශ්‍ය නම්, කරුණාකර තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, සියතින් සකස්කොට, ප්‍රණීතභාවයෙන්ම සිවුපසය පූජාකර ගන්න. වර්තමානයේ සමාජගතවෙන අකුසලයේ මිථ්‍යාදෘෂ්ටික මානසික රෝගී විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයන්ට නම් රැවටෙන්න එපා.

පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ පිංවත් ගිහි සහ පැවිදි අපි හැමෝම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා. මෙම මානසික ව්‍යාධියේ රෝගකාරකය වෙන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවයි. පිංවත මෙම මානසික ව්‍යාධියට එකම ඖෂධය කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් අපි මතුකොට ගන්නා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සමාජය උතුම් තෙරුවන්ට අකීකරු වෙත්දි, ලෞකික සැපයට සහ ලෝකෝත්තර සැපයට අදාළව මිච්ඡා මාර්ගයන් සමාජගත කරත්දි, සමස්ත සමාජයේම මේ මානසික ව්‍යාධිය උත්සන්න වෙනවා. සංස්කාර පච්චයා විඤ්ඤාණං. උතුම් තෙරුවන්ට අගෞරව කිරීම හේතුවෙන් සකස් වෙන බලවත් අකුසල් සංස්කාරයෝ විඤ්ඤාණය නමැති තමන් තුළම පටිච්චසමුප්පන්නව සකස්වෙන මැජික්කරුවාට, මායාකරුවාට, වධකයාට වහලෙක් වෙනවා. මේ වධකයා මම ය, මගේ ම යැයි ආත්මීය දෘෂ්ටියෙන් දකිනවා. මෙම වධකයාව ගැලවුම්කරුවෙක් ලෙස, කල්‍යාණ මිත්‍රයෙක් ලෙස සමාජයට හඳුන්වා දෙනවා. පිංවත මෙම අධි තෘෂ්ණාවේ මානසික ව්‍යාධිය බෝවෙන රෝගයක් වෙනවා. කරුණාකර උතුම් තෙරුවන්ට අගෞරව කරන අසත්පුරුෂ ආශ්‍රයන් ඉදිරියේ මනා සිහිනුවණ ඇතිකොටගෙන ජීවත් වෙන්න. මෙවන් අසාධ්‍ය මානසික ව්‍යාධි රෝගීන් ඉදිරියේ, වසාගත් දෙසවන් සහ නොතෙපලන වදන් ඇතිකොට ගත්ත කෙනෙක් වෙන්න. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍යයි. වැළඳගන්න හෝ ගැටෙන්න කිසිම දෙයක් සංස්කාර ලෝකය තුළ නැහැ. සංස්කාර ලෝකයෙන් එකම ගැලවීම පටිච්චසමුප්පාද ක්‍රියාන්විතය නිවා දැමීමයි. අනාගතයේ පහළවෙන කාශායකණ්ඨකලා කියන්නේ මෙම මානසික ව්‍යාධියේ සුව කළ නොහැකි සහ එදාට සුව කිරීමට ඖෂධ නොමැති දරුණුම ගණයේ මානසික රෝගියායි. මෙම දරුණුම ගණයේ මානසික රෝගීන් යනු ඉදිරි මෘග සංඥාවේ කසකරුවන් පිරිසයි. වර්තමානයේ උතුම් තෙරුවන්ට නිගා කරන, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් හාස්‍යයට ලක්කරන, උතුම් සංඝ ප්‍රතිපදාවන් විකෘති කරන යමෙක් වේද, අකුසල් මාරයා ඔවුන්ව මෘග සංඥා ලෝකයේ දී එකිනෙකා මරා ගන්නා, මනුෂ්‍ය රුධිරය බොන, අමු අමුවේ මිනීමස් කන අකුසලයේ මාර දූතයන් බවටම පටිච්චසමුප්පන්නව පත්කරවනු ඇත. පිංවත වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සමාජගතවෙන මානසික ව්‍යාධීන් ඉදිරියේ පිංවත් ඔබ රෝගයට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තිය වැඩිකොට ගන්න. ඊට සුදුසුම එන්නත ඇලීම් සහ ගැටීම්වලින් තොරව, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ධර්මයේ උපේක්‍ෂාවෙන්ම සමාජය දෙස බැලීමට පුහුණුවීමයි.

පිංවත අපේ සමාජය තුළ සිල්වත් සමාජයක් බිහි වෙයි ද? සිල්වත් සමාජයක් යම් පමණකට හෝ බිහිකොට ගන්න නම්, සමාජයට සම්මා දිට්ඨියේ අර්ථයනුයි අපි කියලා දියයුත්තේ. උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නොහඳුනන, කර්මය කර්මඵල විශ්වාස නොහඳුනන, පටිච්චසමුප්පන්නව නැවත උපතක් තිබෙනවාය කියන කාරණය නොහඳුනන සමාජයට සීලයෙන් වැඩක් නැහැ. පිංවත දුශ්ශීලභාවයෙන් ධනය උපයමින් තරු පන්තියේ ජීවිත ගතකරන සමහරක් පිංවතුන් සීලය කන්න ද කියලා ප්‍රශ්න කරන්නේ, සම්මා දිට්ඨිය නොහඳුනන නිසාමයි. එවැනි පිංවතුන්ලා තුළ තිබෙන්නේ විභව තෘෂ්ණාවක්. නැවත පටිච්චසමුප්පන්න භවයක් නැහැ, මේ ජීවිතයෙන් සියල්ල අවසන් යැයි දකින තෘෂ්ණාවක්. පිංවත සිල්වත් ජීවිතයක් ගතකරන්නා මෙලොවත් ජනප්‍රිය වෙනවා, පරලොවදීත් ජනප්‍රිය වෙනවා. සිල්වත් පිංවතා මියගියාට පසුව ඔහුගේ මතකය සමාජයෙන් මැකිලා යන්නේ නැහැ. වර්තමානයේ මැරෙන සමහරක් පිංවත් මනුෂ්‍යයෝ තුන් මාසය ගෙවී යන්නත් පෙර හැමෝටම අමතක වෙලා යනවා. වරක් ධර්ම දේශනාවක් අවසානයේ දී පිංවත් ගිහි මහත්මයෙක් සැරෙන් භික්ෂුවට කතා කළා. එතුමා භික්ෂුවට කියනවා, අහවල් මියගිය මහත්මයාගේ උපන් ගම මේක, ඇයි එම මහත්මයාට නම කියලා පිං නොදුන්නේ කියලා. පිංවත සත්‍යයකින්ම අදාළ මියගිය මහත්මයාගේ නම භික්ෂුවගේ මතකයට පැමිණියේ නැහැ. එම නම පිං අනුමෝදන් කරන සටහනේ තිබුණෙත් නැහැ. පිංවත මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පිංවත සංස්කාර හේතුවෙනුයි දැනීම් සකස් වෙන්නේ. සංස්කාර දුර්වල නම් අසරණ භික්ෂුව කුමක් නම් කරන්න ද?

පිංවත කර්මය, කර්මඵල විශ්වාසය දුර්වලවෙත්දි, මනුෂ්‍යා සීලයේ අර්ථවත්භාවය ගැන සැක කරනවා. වර්තමාන සමාජයේ ජීවත්වෙන නිතර නම කියවෙන, නිරතුරුවම ජනතාවගේ මතකයට පැමිණෙන බලවත්, නිලවත්, තෙදවත් නම් ලැයිස්තුව සිහියට නගා ගන්නකෝ. මේ නම් ලැයිස්තුවේ බහුතරයක් දෙනා සීලයෙන් දුර්වලයි. සීලයෙන් දුර්වල වුණත්, එම පිංවතුන් සමාජයේ ජනප්‍රියයි. පිංවත මේ ජීවිතයේ දී දුශ්ශීල වුවත්, ඔහු සමාජයේ නිරතුරුවම නම කියවෙන කෙනෙක්, ජනප්‍රිය කෙනෙක් වෙනවා නම්, ඊට හේතුව එම පිංවතාගේ පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ සීලයේ ශක්තිමත්භාවයමයි. නමුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. ජනප්‍රියභාවයට පත්වුණ පාතාල නායකයින් කොතෙක් නම් සමාජයේ සිටියා ද? මේ ජීවිතයේ දී දුශ්ශීල වුණත්, පෙර ජීවිතයේ සීලයේ ශක්තියයි පාතාල නායකයෙක් වුවත් ජනප්‍රියභාවයට පත්කරන්නේ. වර්තමාන රටේ නායකත්වය දරණ පිංවත් නායකතුමා පාර්ලිමේන්තුවේ එක ආසනයක් දිනාගත්ත පක්‍ෂයක නායකතුමෙක්. මෙම ලැබීම් පෙර ජීවිතයේ සීලයේ ශක්තියේ හේතුඵල ධර්මයන් මිස, මේ ජීවිතයේ සීලයේ ශක්තියක් නොවේ යැයි භික්ෂුව විශ්වාස කරනවා. පිංවත භික්ෂුව මේ දේවල් සටහන් තබන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවය හේතුවෙන් වැරදුන යම් පිංවතෙකුට, නිවැරදිව යළි ධර්මානුකූලව නැගී සිටීමටයි. පිංවත මෙය සටහන් තබන භික්ෂුවත් තම ගිහි ජීවිතයේ දී සිල්පද දුර්වල කොටගෙන, කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් යළි සීලයෙන් නැගීසිට පැවිදිභාවයට පත්වූ භික්ෂුවක්. ගිහි ජීවිතය පුරාවට නොමග ගිය සෑම සිතුවිල්ලක්ම වර්තමානයේ භික්ෂුවට චිත්තානුපස්සනාවට ආහාරයක් පමණක්මයි. දුසිල්වත් සංස්කාරයෝත්, සිල්වත් සංස්කාරයෝත් අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාවට ආහාරයක්මයි. පිංවත පිනෙන් සහ පවෙන් ඇවිළෙන සංස්කාර ලෝකය, නිවෙන සිසිල් දිය පොද සතර සතිපට්ඨාන ධර්මයෝමයි.

පිංවත අපි හැමෝගේම පටිච්චසමුප්පාද නූල් බෝලයන් පැටලිලා. අවිද්‍යාවේ මුල සහ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගේ කොණ දෑස් ඉදිරියේ පෙනි පෙනී තිබුණත්, අපි අල්ලා ගන්නේ ඇලීම් සහ ගැටීම් නමැති පැටලුන නූල් බෝලයේ මැදින්මයි. පිංවත සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ සීලයේ ශක්තියෙන් ඇතිකොටගත් සමාධිමත් සිතෙන්, අපි මේ පැටලුන නූල් බෝලයේ අවුල ලිහා ගත්තොත් අපේ ජීවිත මොනතරම් නම්, බොරුවෙන් බැහැර වෙලා සත්‍යයට සමීප වෙයි ද? පිංවත රටක රාජ්‍ය නායකතුමා තම පටිච්චසමුප්පාද නූල් බෝලය අවුල්කොටගත් පිංවතෙක් නම්, එම අවුල සමාජයටම ගලාගෙන යෑම හේතුඵල ධර්මයක්ම වෙනවා. උපේක්‍ෂාව වඳ බැහැපු ඇලීම් සහ ගැටීම් වසංගතය සමස්ත සමාජයම බිලි අරගෙන ඉවරයි. අපේ අකුසල් වැඩිවෙනකොට අපිට නිවැරදිවීමට සිත් සකස් වෙන්නේ නැහැ. අකුසල් ධර්මයෝ අකුසලය දෙසටම අපිව මෙහෙයවනවා. පිංවත සමාජයට අධ්‍යාත්මික විප්ලවයක් අවශ්‍යයි. අරටු බැහැපු ඇලීම් සහ ගැටීම් විනිවිද හේතුඵල ධර්මයන් නුවණින් දකින, හෙට දවසකට ජාතිය අවදි කරවමු.