කැමැත්ත අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්‍ෂාව

පිංවත ඔබ සිතනවද ඔබට කාගෙන් හරි අසාධාරණයක් සිද්ධවෙලා තිබෙනවාය කියලා. සමාජයේ ජීවත්වන සමහර පිංවතුන් සිතනවා තමන්ට සමාජයෙන්, රජයෙන් විතරක් නොවේ, දෙවියන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් පවා අසාධාරණයන් සහ පීඩාවන් සිද්ධවෙනවාය කියලා. අධික වැසි සහිත කාලයට වැස්ස පීඩා කරනවාය, අධික වියළි කාලයට හිරු එළිය අපිට පීඩා කරනවාය කියලා කියන පින්වතුන් මොනතරම් නම් අපි අතර සිටිනවාද?

පින්වත ඔබ අත්විඳින, ඔබ අකමැති සෑම අත්දැකීමක්ම පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාරයක් හේතුවෙන් සකස්වෙන හේතුඵල ධර්මයක්මයි. පසුගිය දිනයක පින්වත් මහත්මයෙක් භික්ෂුවට කොළ අටකින් යුක්ත ලිපියක් යොමු කළා. එම කොළ අට පුරාවට ලියලා තිබෙන්නේ තමන්ගේ කායික සහ මානසික ප්‍රශ්නයි. පිංවත, සමාජයෙන් සම්මා දිට්ඨියේ අර්ථයන් ගිලිහී යද්දී, විපාකයන්ට පැමිණෙන කුසල් සහ අකුසල් සංස්කාරයෝ අපි මමය, මගේම යැයි සක්කාය දිට්ඨියෙන් දකිනවා. සංස්කාරයෝ අයිති අවිද්‍යාවටමයි කියලා අපි දකින්නේ නැහැ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස මට හැමදාමත් අසනීප තත්ත්වයන් ඇතිවෙනවාය කියලා. එම පිංවත් දරුවාගේ මුහුණේ සිනහවක් නැහැ. කයේ ක්‍රියාශීලීත්වයක් නැහැ. භික්ෂුව එම දරුවාට දැනුම් දුන්නේ මුලින්ම සිනහවෙලා ඉන්නය කියලා. ඔබ සිතන්න මේ ලෝකයේ සිටින නිරෝගිමත්ම දරුවා ඔබයි කියලා. පින්වත කරුණාකර අකුසලය විඳින්න පුරුදුවෙන්න එපා. අකුසලයේ දුක යටපත්කොටගෙන සතුටින් නැගී සිටින්න.

පින්වත සිංහල බෞද්ධ ජනතාවගේ පිනට උදා වූ සිංහල අලුත් අවුරුද්ද අතීතයට එකතු වුණා නේද? නැකත් මතභේද, චාරිත්‍ර වාරිත්‍ර, කිරිබත්, කැවුම්, කොකිස්, අවුරුදු උත්සව මේ සෑම දෙයක්ම සිහියට නඟාගෙන අනිත්‍යයි කියලා නුවණින් දකින්න. එම දැක්ම අයිති සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින උතුම් ධම්මානුපස්සනාවටමයි. ගෙවී ගිය සිංහල අවුරුදු සතිය පුරාවටම ඔබ තුළ ඇතිවුණ හොඳ සහ නරක සෑම සිතුවිල්ලක්ම සිහියට නඟාගෙන එම සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න. එවිට ඔබ වර්තමානයේ චිත්තානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. ගෙවීගිය සිංහල අවුරුදු සතියේ ඔබ තුළ සකස් වුණ සෑම සැප වේදනාවක්ම, දුක් වේදනාවක්ම, උපේක්ෂා විඳීමක්ම සිහියට නඟා ගෙන එම සෑම වේදානාවක්ම අනිත්‍ය බව නුවණින් දකින්න. එවිට ඔබ වර්තමානයේ වේදනානුපස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. පිංවත මොහොතක් දෑස් පියාගෙන ඉහත ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ වේදනානුපස්සනාව ඔබ තුළ වැඩුන ඔබේ ආධ්‍යාත්මික රූපය මොහොතක් ඔබ අට්ඨික සංඥාවෙන් දකින්න. එවිට ඔබ වර්තමානයේ කායානුපස්සනාවෙන් ජීවත්වෙනවා. පිංවත කරුණාකර අතීතයට එකතු වූ සිංහල අලුත් අවුරුද්ද තුළින් වර්තමානයේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයෝ ජීවිතයට එකතුකොට ගන්න.

පිංවත 2025 වසරේ ඔබට වාසනාවන්ත සතුට පිරි සිංහල අලුත් අවුරුද්දක් අවශ්‍ය නම් ඊට එකම මාර්ගය කාලා, බීලා, නටලා අසිහියෙන් වඩන කාමච්ඡන්දයන් නොව උතුම් සම්මා දිට්ඨියේ ශක්තියෙන් ඇතිකොට ගන්නා සම්මා සතියම බව සිහිනුවනින් තේරුම් ගන්න. පිංවත සල්ලි රජ වූ සමාජයක ව්‍යවස්ථාව අයිති පංචනීවරණ ධර්මයන්ටයි. පංචනීවරණයෝ සතුට සොයන්නේ සංස්කෘතියෙන්, සදාචාරයෙන් හෝ ශීලයේ ශක්තියෙන් නොවේ. පංචනීවරණයෝ සතුට සොයන්නේ ආධ්‍යාත්මිත පිරිසිදුභාවය කිළිටි කරන අකුසල් මූලයන් තුළින්මයි. පිංවත කරුණාකර පරිස්සම් වෙන්න,

අනුන්ගෙන් නොව අනුන් නිසා ඔබ තුළ සකස්වෙන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ගෙන්. එක් මනුෂ්‍යයෙක් අරක්කු බීලා දුශ්ශීලභාවයෙන් විනාශවෙද්දී, තවත් මනුෂ්‍යයෙක් අරක්කු බොන අය සමග ගැටිලා අකුසලයෙන් විනාශ වෙනවා. පිංවත අපි කවදාද මේ සමාජය නිවැරදිකොට ගන්නේ, වරදකරු නොව, වරදට හේතුව මතුකොට ගන්නේ. මෙම ආසනය මත වාඩිවෙලා භික්ෂුව සමාජය දෙස සිහිනුවණින් බලද්දී පුද්ගල සංඥාවෙන් වරදකරුවෙක් දකින්නේ නැහැ. පිංවත වරද නොමනා ලෙස ජනතාව පාලනය කරන සමාජ ක්‍රමයයි. පිංවත වරද සමාජ ක්‍රමය යැයි දකිද්දී, දෙකෝටි විසිලක්ෂයක් ජනතාවට සුවපත් වේවා යැයි කියලාමයි භික්ෂුවට සිතෙන්නේ. පිංවත මතගැටුම්වලින් සහ පුද්ගල සංඥාවන්ගෙන් භේදභින්න වූ සමාජයට හේතුඵල ධර්මයෝ මතුකොට දැකීමමයි සමාජ අවුල්වලට විසඳුම වෙන්නේ.

පිංවත භික්ෂුව මේ සටහන් තබන්නේ සාමාජවාදයවත්, ධනවාදය ගැනවත් නොවේ. උතුම් ලොව්තුරා දහමේ හේතුඵල ධර්මයෝයි. සමාජගත ප්‍රශ්නවලට හේතුව අමතක කොට ඵලයන්ට නොකෙරෙන බෙහෙත් සොයනා අපි වර්තමානයේ කොතැනද සිටින්නේ. ජාති, කුල, ආගම් භේද, ධනවත් සහ දුප්පත් භේද සිල්වත් සහ දුසිල්වත්භේද මාංශ සහ නිර්මාංශ භේද. ඔබ බත් පිඟානේ මා`ඵ කෑල්ලත්, පොළොස් ව්‍යාංජනයත් මනසින් උසස් මනුෂ්‍යයෝ අපි භේදයක් බවට පත් කොට ගන්නවා. ලොව්තුරා දහම සෙවණේ සැදී වැඩුන අපි තාමත් දක්ෂවෙලා නැහැ, අපේ කැමැත්ත සහ අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්ෂාව ඇතිකොට ගන්න. පිංවත එකිනෙකාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ දුර්වලභාවයන් පුද්ගල සංඥාවෙන් ගත්තොත් අනුන්ගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ දුර්වලභාවය හේතුවෙන් ඔබ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වලකොට ගත්තා වෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයාය කියලා. රූපය අසුරින් සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ මාරයාය කියලා. පිංවත රූපය මාරයා නම් රූපය ඇසුරෙන් සකස්වෙන දුර්වල ඉන්ද්‍රීය ධර්මයෝ අයිති මාරයාටමයි. පිංවත අපිට රූපයෙන් පළායන්න බැහැ. රූපය සතුටින් පිළිගන්නත් බැහැ. රූපය දෙස ධර්මයේ උපේක්ෂාවෙන්මයි දැකිය යුත්තේ. පිංවත රූපය අයිති සතරමහා ධාතුවට, රූපය ආහාරය කොට යැපෙන පටිච්ඡසමුප්පන්න විඤ්ඤාණය අයිති සංස්කාරයන්ට. සංස්කාරයෝ අයිති චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය මුල්කොටගන්නා අවිද්‍යාවටයි. පිංවත අවිද්‍යාව නැමැති වෘක්ෂයේ කොළ, අතු, රිකිළි, කාමලෝකය පුරා පංචනීවරණ සුළඟේ දැවටී ලෙලදුන්නද අවිද්‍යා වෘක්ෂයේ ඇසට නොපෙනෙන මුදුන් මුල නිරය දක්වාම කිඳාබැස ඇති බව අපි සිහිනුවනින් තේරුම් ගන්න ඕන.

පිංවත සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගියත්, සිංහල අලුත් අවුරුද්දේ ජාතික සුවඳ, උදෑසනම පිණ්ඩපාතය බෙදන්න පැමිණෙන සමහරක් පින්වතුන් තුළින් තවමත් භික්ෂුවට දැනෙනවා. සිංහල අලුත් අවුරුද්දේ ජාතික සුවඳ යැයි භික්ෂුව සටහන් තැබුවේ තවමත් උදෑසන පිණ්ඩපාතයට බෙදන කැවුම්, අතිරසවල සුවඳනම් නොවේ. පිංවත විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැති ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වුණත්, මනුෂ්‍ය ධර්මයන්ට ගරුකරමින් උතුම් තෙරුවන් කෙරෙහි විශ්වාසයන්ට ගරු කරමින් සිල්වත් භාවයෙන් සිනාමුසු මුහුණින් අවුරුදු සැමරූ පිංවත් මනුෂ්‍යයන්ගේ ජීවිත තුළින් තවමත් ප්‍රකට කෙරෙන අධ්‍යාත්මික ගුණ සුවඳමයි. පිංවත අපි මේ ජාතික සුවඳ අනාගත පරපුරට ආරක්ෂාකොට තබන්නට ඕනේ. මේ ජාතියේ අධ්‍යාත්මික ගුණ සුවඳ, අරක්කු සුවඳින්, කාම, රාග, පටිඝ දුගඳින් දූෂණය වෙන්න දෙන්න හොඳ නැහැ.

විහාරස්ථානයක ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, මගේ පංසල දැන් පොළක් වෙලාය කියලා. සමහරු පන්සලේ පිංකම් කරලා පිං හම්බකරගෙන යනවා. තවත් සමහරු පන්සලේ පින්කම් සංවිධානය කරලා සල්ලි හම්බකරගෙන යනවාය කියලා. පිංවත, පන්සලක් පොළක් බවට පත්කොට ගන්න උත්සාහ ගන්න යුගයක බක්මහා සැණකෙළි නමින් හඳුන්වන අවුරුදු උත්සව පින්වත් ජනතාවගේ අධ්‍යාත්මික ගුණ සුවඳ මරා දමන කාම, රාග, පටිඝයෝ වඩන සංදර්ශන බවට පත්වෙමින් පවතිනවා නේද? පිංවත මුදල් රජවූ සමාජයක යහපත් ගුණ ධර්මයෝ කුණු කූඩයට වැටීම ධර්මතාවයක්ම වෙනවා. පිංවත රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව කෑම, රාග පටිඝයන්ගේ අකුසල් දුගඳින් නොව සමස්ත ජනතාවගේ ජාතික අධ්‍යාත්මික ගුණ සුවඳට ශක්තියක් ලබාදෙන අවුරුදු උත්සව බවට පත්කොට ගන්න. රට පුරා නැගීයන කාම රැල්ලට අවුරුදු උත්සව ගොදුරු වෙන්න දෙන්න එපා. පිංවත මත්වතුර නැතිව, මත්ද්‍රව්‍ය නැතිව, සංගීතයට නටන්නේ නැතිව මොන සතුටක් ද, මොන විනෝදයක්ද යැයි ප්‍රශ්න කරන සමාජයක් අපි ඉදිරියේ බිහිවෙමින් පවතිනවා.

පිංවත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි අපට කියලා දෙන්නේ සම්මා සතුටත්, මිච්ඡා සතුටත් අතර තිබෙන පරතරය, සුගතියත්, දුගතියත් අතර තිබෙන මහා පරතරයයි කියලා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන් පෝෂණය වූ සතුටයි, සම්මා සතුටක් බවට පත්වෙන්නේ. අශද්ධාවෙන් සිල්පද දුර්වලකොට ගන්න ගිහින් ලබන සතුට මිච්ඡා සතුටක් බවටයි පත්වෙන්නේ. පින්වත ලැජ්ජාව සහ බිය නැමැති දේව ධර්මයෙන් පෝෂණය වූ සිංහල බෞද්ධ අධ්‍යාත්මික ගුණ සුවඳ පුණ්‍යවන්ත සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගියත් පිංවත් ඔබලාගේ ජීවිත තුළින් මැකී යන්න දෙන්න එපා.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, ඔබ වහන්සේ ඥාතීන්ට, මියගිය අයට පිං අනුමෝදන් කරද්දී දශ දිශාවේම පිං බලාපොරොත්තු වන සත්වයන් යැයි පිං දෙන්නේ ඇයිද කියලා. පින්වත ඔබේ ඇසට සහ නාසයට අරමුණ වන ලෝකය ඉතාමත් පටු වුවද, අවිද්‍යාවට අධිපත්‍යය දරන ලෝකය මහ මෙරක් වගේම විශාලයි. පින්වත ඔබ කැමති නම් පමණක් ඔබේ මව්බිම සමග බැඳුන මියගිය ජාතියේ දරුවන් ගැන මෙහෙම සිතන්න. පින්වත 1971 වර්ෂයේදී ඇති වූ කැරැල්ලේදී මියගිය ජාති, ආගම්, පක්ෂ, සිවිල්, පොලිසිය ආරක්ෂක හමුදා ආදී භේදයකින් තොරව මියගිය සියලුම දෙනාටත්, 1983 වර්ෂයේදී රට තුළ ඇවිලීගිය ජාතිවාදී කලබලවලදී මියගිය ජාති, ආගම්, පක්ෂ, සිවිල්, පොලිසිය, ආරක්ෂක හමුදා ආදී භේදයකින් තොරව මියගිය සියලුම දෙනාටත්, 1989 වර්ෂයේදී ඇතිවූ කැරැල්ලේදී මියගිය ජාති, ආගම්, පක්ෂ, සිවිල්, පොලිසියේ, ආරක්ෂක හමුදා ආදී භේදයකින් තොරව මියගිය සියලුම දෙනාටත්, වසර තිහක් පුරාවට දිග්ගැස්සුන උතුරේ කොටි ත්‍රස්තවාදී යුද්ධයේදී මියගිය උතුරේ සහ දකුණේ ජාති, ආගම්, පක්ෂ, සිවිල්, පොලිසිය, ආරක්ෂක හමුදා ආදී භේදයකින් තොරව මියගිය, ජීවිත පූජා කළ සියලුම පිංවතුන්ලාටත්, මහා සාගරය වියරු ලෙසින් හැසිරීමෙන් මුහුද ගොඩගලා ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජාති, ආගම් භේදයකින් තොරව දහස් සංඛ්‍යාත අප්‍රමාණ වූ පිංවතුන්ලාටත්, ජාතියක් වශයෙන් අපි සියලු දෙනාට සිදුකොට ගන්නා උතුම් දානමය පිං, උතුම් ශීලමය, මෛත්‍රීයමය පිං, උතුම් ධර්මදානමය පිංවල ශක්තියෙන් ඉහත මියගිය සියලුම භූමිපුත්‍රයෝ පිං බලාපොරොත්තුවේ නම් මෙම උත්තම පිං දකිත්වා, පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, උදෙසාම මෙම පිං හේතු වේවා, යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්න. මේ මියගිය හැමෝම සහ අපි එකම අම්මාගේ දරුවෝ. අතීත සටහන් බිම්වලදී ද්වේශයෙන්, වෛරයෙන් මියගොස් පටිච්ඡසමුප්පන්නව නරක, නපුරු අමනුෂ්‍යයන්, යක්ෂයන්, යක්ෂණියන්, බහිරවයන්ව උපත ලබා ජාතිය සමග පළි ගැනීමේ චේතනාවෙන් පසුවෙන යම් අමනුෂ්‍ය පිරිස්වේද?, එසේ රටත්, ජාතියත් සමග වෛරී සිතින් පළිගැනීමේ සිතින්, පසුවෙන සෑම මියගිය භූමි පුත්‍රයෙක්ම අපගේ මේ උතුම් මෛත්‍රීයේ පුණ්‍ය සිතුවිලි දැක සතුටු සිතින් මේ පිං අනුමෝදන් වෙත්වා. උදා වූ සිංහල අලුත් අවුරුද්දේ ජීවත්ව සිටින අපෙන් ලබන්නා වූ පඬුරක් සේ, කැවිලි පිඟානක් සේ, පිං බලාපොරොත්තු වන සියලුම සත්වයෝ මෙම පිං සතුටු සිතින් පිළිගනිත්වා.