සතුට ඇලීම් සහ ගැටීම්වලට ආයෝජනය නොකරන්න

සුන්දර වස්සානය නිමාවෙලා, ඒත් පිංවත් මනුෂ්‍යයාගේ ඵස්සය තෙත්කරමින් ගලා හැළෙන, කෙලෙස් වැසි, දුක් රෝග බිය වැසි නම්, තාමත් නොනවත්වාම වහිනවා. කෙලෙස් වැසිවලට තෙමෙන්න, අපි හරිම ආසයි. කෙලෙස් වැසිවලට තෙමෙත්දී, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, මෝහ විතර්කවල සීතලට, ශරීරයේ, ආස්්වාදයේ හිරිගඩු පිපෙනවා. අපි කිමිදි කිමිදී, ඒ කෙලෙස් වැසි ජලයේ, තව තවත් ජල ක්‍රීඩා කරනවා. ඇලීම් සහ ගැටීම් විතර්කයන්ගෙන් පිරීගිය අපේ ජීවිත, කෙලෙස් වැසි ජලයේ තව තවත් තෙමෙත්දී කොරෝනා සෙම්ප්‍රතිශ්‍යාව සමාජයේම කොටස්කරුවෙක් බවට ම පත්වෙලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් පංචඋපාදානස්කන්ධයේ, ආස්වාදය, ආදීනවය. නිස්සරණය, තතුසේ නොදනීද, ඔහු ශාසන ලාභයන් නොලැබූ කෙනෙක්ය කියලා. තාමත් අපි රූපය නිත්‍ය, සැප, සුබ, ආත්මීය දෘෂ්ටියෙන්ම ගන්නවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්, ඵල ඇති රුකක් හැටියටමයි දකින්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්, අපි සඟවන්නේ වක්කඩේ හකුරු හංගනවා වගේම මෝහයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමක් දුක නම්, ඒ කෙරෙහි ඔබගේ ඡන්දය, කැමැත්ත පහකරන්නය කියලා. රූපය දුකක්, ඒ කෙරෙහි අසීමිත ආශාව පහකරන්න, වේදනාව දුකක්, ඇලීම්, ගැටීම් උපේක්ෂාවන් කෙරෙහි ඔබගේ අසීමිත බැඳීම පහකරන්න. සංඥ, සංස්කාර, විඤ්ඤාණයන් දුකක් ඒවා කෙරෙහි අසීමිත නිත්‍ය සංඥාවන් බැහැර කරන්න.

දිනෙන්, දින අකුසලයෙන්ම පෝෂණය වෙන කොරෝනා රෝගයෙන් බියට පත් පවුලක්, භික්ෂුවට මුණගැසුණා. මේ වසරේදී පස් වතාවක් පමණ එම පවුල භික්ෂුවට මුණගැසී තිබෙනවා. ඒ කිසිම මුණගැසීමකදීවත් එම පිංවතුන්ලාගේ මුහුණේ සිනාවක් භික්ෂුව දැක්කේ නැහැ. මරණ බිය සැකය, බලාපොරොත්තු බිඳවැටීම, අවිනිශ්චිතභාවය, මේ ජීවිත බිලි අරගෙන. පංචඋපාදානස්කන්ධ ලෝකය දුක නම්, කරුණාකර, ඒ කෙරෙහි අසීමිත තෘෂ්ණාව දුරුකරන්න. වෙනස්වෙන දේවල්වලට ආදරය කරන්න, බැඳී යන්න එපා. ඒවා වෙනස් වෙලා යනකොට දුක වැඩිවෙනවා. වෙනස්වෙන දේවල් තිබෙන්නේ ආදරය කරන්න නොවේ, අවබෝධ කරන්න.

අපි වෙනස් වෙන දේවල්වලට ආදරය කරන්න ගිහිල්ලා, පිරිනිවීයන තෙක්ම නොවෙනස්වෙන ප්‍රඥාව, අපෙන් ඈතට වෙලා බලාසිටිනවා, වෙනස්වෙන දේවල් දික්කසාද කරලා, කවදා ද නොවෙනස්වෙන ප්‍රඥාව සහේට ගන්නේ කියලා. ඵස්සය අසල අවිද්‍යාවේ මුර බල්ලා, මුරට සිටින තාක්කල්, ඇලීම් සහ ගැටීම් නමැති සොරදෙටුවන්ට නගුට වනන අතර, උපේක්ෂාවේ මිතුරාට බුරාගෙනම පනිනවා.

පිංවන්ත ඔබ, ඵස්සයට හොඳින් සවන් දෙන්න. ඵස්සය හොඳින් කියවන්න. ඵස්සය හොඳින් නුවණින් දකින්න. ලෝකයේ අවුලත්, ලෝකයේ නිරවුලත් යන දෙකම ඵස්ස අසලමයි ස්ථානගතවෙන්නේ. මෙය සටහන් තබන භික්ෂුව, මොහොතක් ඵස්සය දෙස නුවණින් බලනවා. එහි කියවීමට කිසිම දෙයක් ඉතිරිවෙලා නැහැ. ඇත්තට ම ලෝකයේ කියවන්න දෙයක් නැහැ. අනිත්‍යවූ සතරමහා ධාතුවක් වූ අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, අනිත්‍ය වූ සංස්කාරයන්ගේන් උපන් විඤ්ඤාණයත්, එකතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ ඵස්සය, හිස් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ ඇස්බැන්දුමක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබ ආචාර්ය, මහාචාර්ය පදවි සඳහා අවශ්‍ය පතපොත කියවූ පිංවතෙක් වෙන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අසූහාරදහසක් ධර්මස්කන්ධයම කියවූ පිංවතෙක් වෙන්නත් පුළුවන්, නමුත් ඔබ, ඔබේම ඵස්සය මොහොතක් හෝ විවේකීව, නොකියවූ කෙනෙක් නම්, පිංවත් ඔබ ප්‍රඥාවේ හෝඩිපොත තවම කියවලා නැහැ. භික්ෂුව ප්‍රඥාවේ හෝඩිපොත කියෙව්වේ, ඵස්සය නැමැති ගුරුගෙදරදීමයි. කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන්, කල්‍යාණ ධර්මය ශ්‍රවණයෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා, භික්ෂුව මතුකොටගත් සතිය නමැති ගුරුවරයා, ඵස්සය නැමැති ගුරුගෙදරදී, භික්ෂුවට ප්‍රඥාවේ හෝඩිපොත කියලා දුන්නා.

ප්‍රඥාවේ ”අට් යන්න සම්මා සමාධිමත් සිතයි. ප්‍රඥාවේ ”ආට් යන්න රූපය අනිත්‍යයි, වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ප්‍රඥාවේ හෝඩිපොතේ මුල් අකුරු දෙකෙන්ම, පටිච්ච සමුප්පන්න විඤ්ඤාණයත්, ආයුෂයත්, උණුසුමත් ජීවිතය තුළ ඉතිරිකරලා උපාදානය පිච්චිලාම යනවා.

අතීතයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ එකම සූත්‍රගත ධර්මයක්වත් කියවා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ ලැබූ එකම කමටහන ඇස අනිත්‍යයි, කන, නාසය, දිව, ශරීරය, මනස අනිත්‍යයි යන්න පමණක්මයි. මේ ස්වාමීන් වහන්සේ වනගතව, ඇස නිසා සකස්වෙන ඵස්සය හොඳින් කියෙව්වා. ඵස්සයට තෘෂ්ණාව එක්වෙන තැන ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් වැඩිවෙන හැටි හොඳින් කියෙව්වා. ඵස්සය අනිත්‍යනම් වේදනාව අනිත්‍ය බව නුවණින් දැක්කා. උන්වහන්සේ ප්‍රඥාවේ හෝඩිපොතෙන්ම කියවීම අවසන් කළා. ත්‍රිපිටකධාරි උගත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේට සමච්චල් කළත්, සූත්‍ර දන්නේ නැහැ, ගාථා දන්නේ නැහැය කියලා. අනුන්ගේ සිතුවිලි මගේ කරගන්න, අනුන්ගේ විතර්ක මගේ කරගන්න, ”මගේ කමක’’ උන්වහන්සේට තිබුණේ නැහැ. උන්වහන්සේගේ උපාදානය, තෘෂ්ණාවේ ආහාර නොමැති වීමෙන් නිවීගියත්, අනුන්ගේ වැරදි සෙවූ, අපගේ උපාදානයන් තවමත්, ඵස්සය අසල පොත් රාක්කවල, කාවුන් කමින් පරණ වෙනවා, කියවනවා තබා ප්‍රඥාවේ හෝඩි පොතට තවම අතවත් තියලා නැහැ.

කෙනෙක්ගේ, ලෝකය නැවතිලා. තවත් කෙනෙක්ගේ ලෝකය ගලාගෙන යනවා.

පසුගිය දවසක භික්ෂුව මුණගැසුන දේශපාලන මහත්මයෙක්, භික්ෂුවගෙන් ඇසුවා, ස්වාමින් වහන්ස අපේ අනාගතයට මොකද වෙන්නේ කියලා. පෙනුමෙන් අවුල්බව පෙනුනත්, බොහොම සරල ප්‍රශ්නයක්. භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ, මහත්තයෝ අපේ අනාගතය, අපේම සංස්කාර අතේය කියලා. පිළිතුර නොතේරුණ බවක් හඟවපු නිසා, භික්ෂුව, නැවත පැහැදිලි කළා, මහත්තයෝ, අපේ අනාගතය තීරණය වෙන්නේ, අපිම අතීතයේ සහ වර්තමානයේ සිදුකොටගත් යහපත් සහ අයහපත් ධර්මථාවයන්ගේ ඵලයෙන්ය කියලා. ඒ මහත්මයා බොහොම වේගයෙන් සුසුමක් පිට කරනවා භික්ෂුවට ඇසුණා. භික්ෂුවගේ පිළිතුර ඉදිරියේ නිහඬවූ ඒ මහත්මයා, හොඳින්ම දන්නවා අපි අතින් අතීතයේත්, වර්තමානයෙත් අයහපතමයි වැඩියෙන් සිදුවුනේය කියලා.

පංචඋපාදානස්කන්ධ ලෝකය, උපේක්ෂාවේ ඉබිගමනින් ගමන්කරන කොට, අපි සතුටුවෙන්න ඕනේ, ඒ සතුටත් අපි ඇලීම්, ගැටීම් සඳහා ම ආයෝජනය කළොත් පංචඋපාදානස්කන්ධ ලෝකය ආයෙමත් අශ්ව වේගයෙන් ජවසම්පන්න වෙනවා. සියලූ සංස්කාරයෝ වෙනස්වෙලා යනවා, පවට සහ අකුසලයට බෝනස් තෑගිත් ලබාදීලා. මේ දවස්වල හැම මනුෂ්‍ය ජීවිතයකම සේල්, සේල් කියලා බෝඞ් ගසාගෙන, දුක විකුණනවා, දුක විකිණෙනවා. පිංවත දුක තිබෙන්නේ විකුණන්න නොවේ, අවබෝධ කොටගන්න.

තෘෂ්ණාව ඔබට ඊට ඉඩදෙන්නේ නැහැ. තෘෂ්ණාව හදන්නේ තව තවත් දුකට ළංවෙලා අවිද්‍යාව පෝෂණය කරන්න. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් ඔබව ඈත්කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඈත්වෙන්න එපා. ඔබ සරණක් නැති, අසරණයෙක් වෙයි. තෘෂ්ණාවේ අශ්ව කරත්තවලට යන්න දීලා, කරුණාකර ඔබ, උපේක්ෂාවේ ඉබ්බාගේ පිටේ නඟින්න.

මෙය සටහන් තබන භික්ෂුව, මේ මොහොතේ විදර්ශනාත්මක උපේක්ෂාව නැමැති මළ ඉබ්බාගේ පිටමතයි සිටින්නේ. එයා, එහාට යන්නෙත් නැහැ, මෙහාට යන්නෙත් නැහැ. විදර්ශනාත්මක සප්තබොජ්ඣංගයන් තුළම පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යයම දකිනවා. තෘෂ්ණාවේ අශ්ව කරත්ත, භික්ෂුව පසු කොටගෙන, භික්ෂුව හප්පාගෙන හඹාගෙන යද්දිත්, අනුනගේ තෘෂ්ණාවේ අශ්ව කරත්ත නිසාත්, භික්ෂුව ජීවිතයට එකතු කොටගන්නේ විදර්ශනාත්මක සප්තබොජ්ඣංගයන්මය.

පිංවත් ඔබ ඵස්සය අසල නවතින්න. බැරිම නම් උපේක්ෂාවේ ඉබිගමනින් යන්න, ඇලීම් ගැටීම් හේතුවෙන්, කුසල් ධර්මයන්ගේ සියදිවි හානිකොට ගන්න එපා.

පිනෙන් පිරීයන චීවර මාසය උදාවෙලා, සප්තබොජ්ඣංගයන්ගෙන් පිරී යායුතු චීවර මාසය, පංචනීවරණයන් විසින් සිත්සේ ආක්‍රමණය කරලා. කොරෝනා රෝගය කියන්නේ ධර්ම නියාමයක්. මේ ධර්ම නියාමයට සැඟවිලා අමුත්තෙක් ඉහළින් සිටිනවා. ඒ අමුත්තා තමයි කර්ම නියාමය.

කොරෝනා රෝගය තුළින් අපි ධර්ම නියාමය පමණක් මතුකොට දැකලා, වෛද්‍ය උපදේශයන් ගැන පමණක් තැකුවොත් අති භයානක කොරෝනා තුන්වැනි රැල්ල, අපිව සොයාගෙන එන්න පුළුවන්. අපි හැමෝගේම අනාගතය අපේම සංස්කාර අතේ. පිංවත් ඔබ වහ වහා කොරෝනා ධර්ම නියාමයට සැඟවී ඊට ඉහළින් තිබෙන, අකුසල් ”කර්ම නියාමයට’’ අවශ්‍ය ධර්මයේ ප්‍රතිකාරයන් වහාම ජීවිතයට එකතුකොට ගන්න.

අපේ අතීත අකුසල් විසින් ගිලගත් මේ සුන්දර චීවර මාසය, භික්ෂු සමාජයේ අපිට බලකරනවා. අපි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ චීවර ප්‍රත්‍යවෙක්ෂාව, අවංකව සිදු කළා ද කියලා, සිතා බලන්නය කියලා. මේ උතුම් බුද්ධ චීවරයට උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ රැකවරණය ලබා දුන්නා ද කියලා.

මා මේ චීවරය පරිහරණය කරන්නේ, මාගේ ශරීරය අලංකාර කිරීමට නොව, ශරීරය ලස්සන කිරීමට නොව, ශරීරයේ ලැජ්ජා බිය ඇති තැන් වසාගෙන, අව්, වැසි, සීතල, පිනි, මැසි, මදුරුවන්ගෙන් ආරක්ෂාවී, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සැහැල්ලූවෙන් තරණයකොට, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය උදෙසාමයි. ඇත්තෙන් ම උතුම් චීවර මාසය පංචනීවරණයන් විසින්ම ගිලගත් මේ නිමේෂයේ දී, අපි අපේම හෘද සාක්ෂියට තට්ටු කරලා අසමු. ඉහත ප්‍රත්‍යවේක්ෂාව පෝෂණය කරමින්, අපි අපේ චීවරය පරිහරණය කළා ද කියලා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධ චීවරය නික්ලේශී සිතින්, අපේ දෝතට භාරකළේ උතුම් සුපටිපන්න ගුණයේ, උජුපටිපන්න ගුණයේ, ඥායපටිපන්න ගුණයේ ශක්තිය උදෙසාමයි. දුකෙන් මිදීම උදෙසා පැනවූ උතුම් චීවරය, දුකේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රයෝජනයට ගැනීමට නොවේ. අපි අපිට බොරු කළොත්, තව තව අපිම රැවටෙනවා. කොරෝනා අකුසලය විසින් උදුරාගත්, උතුම් චීවර මාසයේ ආත්මගරුත්වය, නැවත ලබාගැනීමට නම්, උතුම් චීවර ප්‍රත්‍යවෙක්ෂාව අපේ භික්ෂු ජීවිතවලට අපි එකතුකොට ගත යුතුම වෙනවා.