ලෝකය අවබෝධ කර ගැනීමේ මඟ

පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත්‍රි නින්දේ දී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත්‍රියට සුවසේ නිදා ගත්තත්, කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබේ දෑස් නිදා ගත්තත්, මනෝ සම්ඵස්සය තෘෂ්ණාව සමග යහන්ගත වෙලයි සිටින්නේ. සෑම සිතුවිල්ලකදීම අවිද්‍යාවේ නිදිපෙති අහුරු ගණන් ගිල දමන අපගේ පටිච්චසමුප්පන්න ඵස්සය, තෘෂ්ණාව ඉදිරියේ අවදියෙන්මයි සිටින්නේ. රාත්‍රි නින්දේදීත් ඵස්සයේ දොරටුවට තෘෂ්ණාව තට්ටු කරනවා. ඇලීම් හෝ ගැටීමේ දොරටුවක් විවෘත කොටගන්න.

දහවල් කාලයේ අනාගත පංච උපාදානස්කන්ධයන් කෙරෙහි සිහින ලෝකවල ජීවත්වෙන පිංවතුන්ලාට, රාත්‍රියේ සිහින පෙනෙනවා වැඩියි. ආධ්‍යාත්මික රූපය තම ගොදුරුබිම කොටගෙන පෝෂණය වෙන, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මැජික්කරුවා, විදර්ශනාවේ රැහැන් පොටින් බැඳ දමන තාක්කල් අපි කෙසේ නම් සිහින දැකීමෙන් මිදෙන්න ද? පංච උපාදානස්කන්ධ ලෝකයේ ආශ්වාදය සහ ආදීනවය උපද්දවන්නා ද, තැන්පත්කොට තබා ගන්නා ද, වියදම් කරන්නා ද පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස්වෙන, විඤ්ඤාණය සමග කවුරුන් කෙසේ නම් හැප්පෙන්න ද? නඩුත් ඔහුගේමය බඩුත් ඔහුගේමය. පංච උපාදානස්කන්ධ ලෝකයේ අකීකරුම බලවතා වෙන්නේ විඤ්ඤාණය පෝෂණය කරන කුසල් සහ අකුසල් සංස්කාරයන්මය. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන, සංස්කාර තරම් අකීකරු ධර්මතාවයක් භික්ෂුව මේ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නම් දැකලා නැහැ. කුසල් සංස්කාරයන්ගෙන් ශක්තිමත් බලවතෙක්, නැවත අසරණභාවයට පත් කරන්නේ ද අකුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයමයි. අකුසලයෙන් දුබල වූ කෙනෙක්, නැවත බලවතෙක් කරන්නේ ද කුසල් සංස්කාරයන්මය.

අතීත කුසල් සංස්කාරයන්ගේ බලය මොනතරම් අකීකරු ද කියනවා නම්, මේ ලෝක ධාතුවේ බලයට අධිපති වසවර්ති දිව්‍යපුත්‍රයාව, කීකරුභාවයට පත්කොට ගැනීමට, ආර්ය ප්‍රඥාවට අධිපති ලොවුතුරා බුදුරජාණන් වහන්සේටවත් නොහැකි විය. එය අතීත පිනට අදාළ සංස්කාරයන්ගේ මුරණ්ඩුභාවයයි. මෙතැන දී බුදුරජාණන් වහන්සේට අකීකරු වූයේ, වසවර්ති මාරයා නොව, අවිද්‍යාවෙන්ම පෝෂණය වූ වසවර්ති දිව්‍යපුත්‍රයාගේ පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ බල පරාක්‍රමයයි. වර්තමානයේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය නොවූ කුසල් සංස්කාරයෝ, විනාශය පිණිස ම හේතුවෙන්න පුළුවන්. ඒ වගේමයි වර්තමානයේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන අකුසල් සංස්කාරයෝ, පිංවත් ඔබව නිවන් මාර්ගය දෙසට ම බලවත් කරන්නත් පුළුවන්.

වර්තමාන සමාජය දෙස බලන්නකෝ. රජයට, පොලීසියට පවා අභියෝග කරන, පාතාල නායකයින් සිටිනවා නේද? ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා, සිර ගෙවල් වල සිටියත් සැප ලබනවා. කෝටි ගණන් මුදල් එහා මෙහා යවනවා. මේ බලය කවුද ඔවුනට දුන්නේ? පිංවත් ඔබ පුද්ගල සංඥාවන්ගෙන් බැහැර වෙලා, පටිච්චසමුප්පන්නව දකින්න. මෙවන් බලවත්භාවයක් ඔවුන්ට ලැබෙන්නේ, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය නොවූ, අතීත පිනට අදාළ සංස්කාරයන් විසින්මය. ඒත් දැන් එම අතීත පින, ඔවුන් විසින්ම ගින්දරක් බවට පත්කොටගෙන ඇත. පින ගින්දරක් බවට පත්කොටගත් කලණ සුගතියේ සැපය පිච්චී ගොස්, උරුමය වන්නේ අකුසලයේ දුකමය.

සමාජයේ ජීවත්වෙන වර්ණය, සැපය, බලය දෝරේ ගලායන ධනවත්, ප්‍රභූ, මහේශාක්‍ය පිංවතුන්, පිංවතියන් සිටිනවා. එවැනි පිංවතුන්ලා උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ලොකු ශක්තියක් වෙනවා. එවැනි පිංවතුන් සමග කටයුතු කරලා, භික්ෂුවට සුන්දර ධර්මානුකූල අත්දැකීම් ලැබිලා තිබෙනවා. එම අත්දැකීම් කිසිවක් භික්ෂුව, ආත්මීය සංඥාව නමැති පඬු හැළියේ ඔබා දකින්නේ නැහැ. භික්ෂුව ලෝකය දකින්නේ ආත්මීය සංඥාවන්ට දරදිය නොඅදින පටිච්චසමුප්පාද ධර්මයේ ඇසෙන්මයි. සමහරක් පිංවත් ධනවත්, බලවත් පිංවතුන් උත්සාහ ගන්නවා, ස්වාමීන් වහන්සේලාව තමන්ගේ කාල සටහන් වලට යටත්කොට ගන්න. මෙම කාල සටහන් සියල්ලක්ම පෝෂණය වෙලා තිබෙන්නේ, මම සහ මගේ කියන ආත්මීය ආහාරයන්ගෙන්.

මහා සංඝරත්නය කියන්නේ පොදු දේපළක්. එම පොදු දේපළේ අයිතිය තිබෙන්නේ, කෙලෙස් නිරෝධය කළා වූ බුදුරජාණන් වහන්සේට පමණක්මයි. සත්පුරුෂ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, මහේශාක්‍ය සහ අල්පේශාක්‍ය සෑම සත්ත්වයෙකුටම සංඝයාගේ අයිතිය පොදුයි. සංඝයා පෝෂණය වෙන්නේ උතුම් කායානුපස්සනාවෙන්. සෑම රූපයක්ම සතර මහා ධාතුවක්, අට්ඨික සංඥාවක්, දෙතිස් කුණපයක්, මරණානුස්සතියක්. සංඝ සමාජයේ අපිට පන්ති භේදයක් නැහැ. ධනවත් සහ දුප්පත් සියල්ලෝම සංඝයාට කායානුපස්සනාවේ අර්ථයක්මයි.

සංඝ සමාජයේ අපි, “ලෝකය” ඉදිරියේ තබාගෙන, අනාගත පංච උපාදානස්කන්ධ සැප ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි ලබන සැප සහ දුක් වේදනානුපස්සනාවේ ශක්තියක් බවටමයි පත්කොට ගන්නේ. ධනවත් පිංවතාගේ ඇසුරත්, දුප්පත් පිංවතාගේ ඇසුරත් අපිට වේදනානුපස්සනාවේ කමටහනක් පමණක්මයි. ධනවත්භාවය සහ දුප්පත්භාවය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුළ විසිරුවා දකිනකොට, ධම්මානුපස්සනාව විකසිත වෙන්නේ චිත්තානුපස්සනාවෙන් එම සිත නිකෙලෙස් කොටගෙනමයි. පිංවත් ඔබේ සිතේ සකස්වෙන ඕනෑම කෙලෙස් සහ නිකෙලෙස් සිතක්, සංස්කාරයන්ගේ දුර්ගන්ධය යන්නට සෝදා හරින්නට චිත්තානුපස්සනාව හොඳ කමටහනක් වෙනවා. යම් ජීවිතයක් තුළ සතර සතිපට්ඨාන ධර්මයන් බලවත් වූ තැන, ඔහුට පංච උපාදානස්කන්ධ ලෝකය බේදයන්ගෙන් තොර, අනිත්‍ය වූ හේතුඵල ධර්මයක්ම, සුන්දර ධම්මානුපස්සනාවක්ම වෙනවා.

නමුත් පිංවතුනේ, සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය නොවූ ආයුෂ, වර්ණය, සැපය, බලය නම් හරිම අකීකරුයි. එය පිංවත් ඔබලාගේ වරදක් නම් නොවේ. කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය නොවූ, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ ඵලයයි. පිංවත් ඔබ “ලෝකය”, ලෝකයේ පෝෂණය උදෙසා ප්‍රයෝජනයට ගන්න එපා. පිංවත් ඔබ “ලෝකය”, ලෝකයේ නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න.

පිංවත් ඔබ මධ්‍යස්ථ වීර්යයෙන්, ලෝකය නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිහි නුවණින් ගමන් කරලා, සම්මා සමාධිමත් සිතක් ඇතිකොට ගන්න. ඒ සම්මා සමාධිමත් සිත, සම්මා සතියෙන් පෝෂණය වෙලයි තිබෙන්නේ. ධර්මයේ ඒහිපස්සික ගුණයෙන් පෝෂණය වූ ධර්මයේ ඕපනයික ගුණය, ස්වයංක්‍රීයව හේතුඵල ධර්මයන්ට අදාළව, සතර සතිපට්ඨාන ධර්මයන් තුළට පිංවත් ඔබව යොමු කරාවි. එතැනයි “ලෝකය” උපයෝගී කොටගෙන, ලෝකය නිරෝධය කිරීමේ ආර්ය කමටහන වෙන්නේ. මේ ආර්ය කමටහනයි, පිංවත් ඔබට ඇලෙන සිතට ඇලිලාම යන, ගැටෙන සිතට ගැටිලාම යන උපේක්ෂාවට පහර දී එළවා දමන, පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවය, යම් පමණකට හෝ දමනය කරලා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීමට අවශ්‍ය අවබෝධාත්මක සතිය, සිහිය ඇතිකොට දෙන්නේ.

ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ පිනයි. අපි කෙසේ නම් පිනට දොස් කියන්න ද? පිනට දොස් කිව්වොත්, අපි සම්මා දිට්ඨියම අනතුරට දමා ගත්තා වෙනවා. ආයුෂ, වර්ණය, සැපය, බලය දුර්වල වූ පවත් ඒ වගේමයි. අපි පවට දොස් කිව්වොත් අපි අපේම සම්මා දිට්ඨියේ අර්ථයන් අනතුරට දමා ගත්තා වෙනවා. අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ කොරෝනා විනාශයන් ඉතාමත් උග්‍ර වෙලා තිබෙනවා. රෝගීන් සහ මරණ හුඟක්ම වැඩිවෙලා. මේ අහිංසක, අසරණ විනාශයන් තුළින් මෙත් සිතින්ම අපි හේතුඵල ධර්මයන්මයි දකින්න ඕනේ. ඉන්දියානු සමාජයේ දානයේ අර්ථයන් හරිම දුර්වලයි. එරට ජනතාව ජීවත් වීමෙන් ගෙවා දමන ආයුෂ, වර්ණය, සැපය, බලය නැවත ජීවිත වලට උපයා ගැනීමට ධර්මානුකූලව දන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක්, නැවත පටිච්චසමුප්පන්න උපතක්, දානයේ, ශීලයේ ආනිශංස ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසාම අභියෝගාත්මකව පැමිණෙන ජරා, ව්‍යාධි, මරණ අනතුරු ඉදිරියේ, ආරක්ෂාවකින්, පාලනයකින් තොරවම උපරිම විනාශයන් කරාම ගමන් කරනවා. සම්මා දිට්ඨිය දුර්වල ලෝකය, සංස්කාර වියරුවන් ඉදිරියේ මඩේ සිටවූ ඉන්නක් බවටමයි පත් වෙන්නේ. දුර්වල සංස්කාරයෝ ජනතාවට සහ නායකයින්ට දැනීම් සකස්කෙට දෙන්නේ, විනාශය දෙසට නොසැලකිල්ලෙන් හඹා යැමටමයි.

ලෝකය දෙස බලලා, පිංවත් ඔබ සතුටු වෙන්න ඕනේ. පිංවත් ඔබේ මාතෘභූමිය නම් මේ නිමේෂයේ දී හරිම පිංවන්තයි. සියලු සංස්කාරයෝ අනිත්‍ය වුවත් සත්තකින්ම, ඔබේ මාතෘභූමියේ නායක පිංවතුන්ලාටත්, රටේ පිංවත් ජනතාවටත් වර්තමානයේ විපාකයට පැමිණ තිබෙන්නේ පිනට අදාළ සංස්කාරයන්මයි. රටේ රාජ්‍ය නායකතුමාගේ පටන් සෑම දෙනෙක්ම ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ ආරක්ෂාවකින් සහ පාලනයකින් යුතුව ජරා, ව්‍යාධි, මරණ කොරෝනා විනාශයන් අවම කොටගෙන ජීවත් වෙනවා. ඊට අදාළ දැනීම් පිංවත් ඔබට සකස්කොට දෙන්නේ පිංවත් ඔබේම පටිච්චසමුප්පන්න පිනට අදාළ සංස්කාරයන් විසින්ම. මේ ජයග්‍රහණයන් කවුරුවත් “මම” සහ “මගේ” යැයි ආත්ම දෘෂ්ටියෙන් ගන්න යන්න එපා. සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තියම, ජීවිත වලට එකතු කොටගන්න.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ ගෞරවයන් ආත්ම දෘෂ්ටියෙන් හෝ මමත්වයේ දැඩිභාවයෙන් ගතහොත් එය කොරෝනා වසංගතයට වඩා විශාල ලෝභ, ද්වේශ, මෝහ වසංගතයක්ම වේවි.

පසුගිය මහා මැතිවරණයට පෙරාතුව මහත්මයෙක් භික්ෂුවගෙන් විමසීමක් කළා, ස්වාමීන් වහන්ස, ඉදිරි මැතිවරණයේ දී පවතින රජය තුනෙන් දෙකේ බලයක් ලබා ගනී ද කියලා. රටේ නායක පිංවතුන්ලා සහ ජනතාව තුළ ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් හැසිරෙන ස්වභාවයට අදාළව, හේතුඵල ධර්මයන් දකිමින් භික්ෂුව ප්‍රකාශ කළේ, පවතින රජය තුනෙන් දෙකේ බලයක් ලබන්නේ නැහැ. වැඩිපුර ආසන දහයක් ලබා ගනීවි කියලා. නමුත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, භික්ෂුවට දැන ගන්නට ලැබුණේ, පවතින රජය තුනෙන් දෙකක බලයක් ලබා ගත්තාය කියලා. බලන්නකෝ, ධර්මානුකූලව අපේ ඇසට පෙනෙන දෙයට වඩා, නායක පිංවතුන්ලාගේ සහ ජනතාවගේ පින බලවත්. ඒ නිසාම වර්ණය, සැපය, බලය හැමෝම තල්ලු කොටගෙන ඉදිරියට පැමිණෙනවා. සත්තකින්ම, ධර්මානුකූලව ඔබලා හරිම පින්වන්තයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ ගින්දරක්ය කියලා. ඒ වගේමයි, ජයග්‍රහණය කියන්නේ සතුරන් ඇතිකොට ගැනීමක්ය කියලා. පේනවා නේද, අසිහියෙන් පින භුක්ති වින්ඳොත්, එහි තිබෙන භයානකභාවය. පෙර පින නිසාම ඔබට ලැබෙන වර්ණය, සැපය, බලය “මම” යැයි, “මගේ” යැයි ආත්මීය දෘෂ්ටියෙන් ගන්න එපා. ඔබලා ලැබූ වර්ණය, සැපය, බලය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළම විසිරුවා දකින්න. එවිට ඔබලාට වැටහේවි, පිංවත් ඔබලා ලැබූ ජයග්‍රහණයන් උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා වායාමයන්ගේම ඵලයක්ය කියලා.

ජයග්‍රහණයන් සහ පරාජයන් අනිත්‍ය වූ සංස්කාරයන්ටම භාර දුන්නාම, සිතට හරිම විවේකයක් ලැබෙනවා, ධර්මයට අදාළව තව තවත් සිතන්නට. එවිට අපට තේරුම් යනවා, අපි ලැබූ බලය, අපයෝජනය කරන්නේ අනුන් විසින් නොව, අපිම, අපිට ජීවිතයට එකතුකොට ගන්නා, මිච්ඡා වායාමයන් විසින්ය කියලා. අපි ධර්මානුකුල ඇත්ත, ඇති සැටියෙන් දකිනකොට, අපි ඇත්ත කවදාකවත් බොරුව උදෙසා ආයෝජනය කරන්නේ නැහැ.

අපි ඇත්ත ආයෝජනය කරන්නේ, සම්මා වායාමයන් වන මෙතෙක් ජීවිතයෙන් සිදුකොටගත් කුසල් ධර්මයන් තව, තව ශක්තිමත් කොටගන්න. මෙතෙක් සිදු නොකළා වූ කුසල් ධර්මයන් අලුතින් සිදුකොට ගන්න. මෙතෙක් සිදු කළා වූ අකුසල් ජීවිතයෙන් බැහැර කරලා, මෙතෙක් සිදු නොකළා වූ අකුසල් තව තව ජීවිතයෙන් ඈත්කොට දැමීමට. එවිටයි ඔබ ලැබූ බලය, නැවත බලය උදෙසාම ආයෝජනය කළා වෙන්නේ.