රූපය නම් ගොදුරු බිම මගහැරීම

භික්ෂුව, තනිරූල් පොතෙන් ගලවාගත් කොළය අතට අරගෙන, මොහොතක් කල්පනා කළේ, කුමක් ගැන ද අද ලියන්නේ කියලා. රූපය ගැන ලියනවා ද, වේදනාව ගැන ලියනවා ද, සංඥාව ගැන ලියනවා ද, සංස්කාර ගැන ලියනවා ද, විඤ්ඤාණය ගැන ලියනවා ද කියලා. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය වශයෙන් හඳුන්වන්නේ ඉහත කාරණා පහයි. ඉහත කාරණා පහෙන් කුමන කාරණාවක් තෝරාගෙන, ඒ ගැන සටහන් තැබුවත්, ඒ සෑම කාරණයක් තුළම විඤ්ඤාණය බැසගෙන තිබෙනවා ය කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධ ලෝකයට, පටිච්චසමුප්පන්න බලපරාක්‍රමය මුහුකරන ඉන්ද්‍රජාලිකයා විඤ්ඤාණයයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ විඤ්ඤාණය නමැති ඉන්ද්‍රජාලිකයාගේ පටිච්චසමුප්පන්න පැවැත්මට ගොදුරු බිම වෙන්නේ රූපයයි, වේදනාවයි, සංඥාවයි, සංස්කාරයි කියලා. පටිච්චසමුප්පන්න විඤ්ඤාණය ඉහත ධර්මතාවයන් තුළ බැසගෙන, තමන්ගේ ආයුෂ, වර්ණය, සැපය, බලය පෝෂණය කරන සංස්කාරයන් නිෂ්පාදනය කිරීමේ ක‍්‍රියාවලියකයි යෙදී සිටින්නේ. සංස්කාරයන් හේතුවෙන්ම සකස් වෙන විඤ්ඤාණය, නැවත පෝෂණය කරන්නේ ද, ඵස්සයේ උපකාරයෙන් සංස්කාරයන්මය. පංච උපාදානස්කන්ධ ලෝකයේ කොතනින් දිය දෝතක් ගත්තත්, එම දිය දෝතේ විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය තිබෙනවාමයි.

පිංවත් ඔබ රූපය තුළ පමණක් විඤ්ඤාණය සෙව්වොත්, ඔබ වේදනාව තුළ පමණක් විඤ්ඤාණය සෙව්වොත්, ඔබ සංඥාවන් තුළ පමණක් විඤ්ඤාණය සෙව්වොත් ඔය විඤ්ඤාණය නමැති මැජික්කරුවා, ඔබ තුළින් විඤ්ඤාණයේම පෝෂණයට අවශ්‍ය සංස්කාරයන්මයි රැුස්කොට ගන්නේ. සොයලා ඉවරයක් කරන්න බැරි, දැකලා, අහලා ඉවරයක් කරන්න බැරි, හිතලා ඉවරයක් කරන්න බැරි පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, පින්වත් ඔබ ඉවරයක් කරන්න නම්, පින්වත් ඔබ විඤ්ඤාණයේ ගොදුරු බිම් වන, රූපයේ, වේදනාවේ, සංඥා, සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය නුවණින් දකින්නම ඕනේ. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඇසුරෙන් සකස් වන ඵස්සයේ අනිත්‍යභාවය නුවණින් දකින්නම ඕනේ.

ඒ කියන්නේ පින්වත් ඔබ, ගොදුරෙහි නොහැසිරෙන්නෙක් වෙන්න ඕනේ, එවිටයි ඔබ විඤ්ඤාණයේ පෝෂණයට, බාධා කළා වෙන්නේ. පින්වත් ඔබ රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි යම් ඡන්දරාගයක්, යම් සතුටක්, ආශ්වාදයක් වේද, එහි ආදීනවය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය දැකීමට දක්ෂ විය යුතුයි.

පින්වත් ඔබ, ඵස්සයට හේතුවෙන්නා වූ පටිච්චසමුප්පන්න මහදැනමුත්තා වන විඤ්ඤාණයට, විඤ්ඤාණයේ පැවැත්මට, පෝෂණයට පටිච්චසමුප්පන්න භව රස්තියාදුවට, නැවතීමක් තැබීමට අවශ්‍ය නම්, විඤ්ඤාණයට තමාගේ ගොදුරු බිම් වන රූප, වේදනා, සංඥා, සංස්කාර ධර්මයන් තුළ නොහැසිරීමට අදාළව, ඔබ කටයුතු කළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ඔබ, අධ්‍යාත්මික සහ බාහිර රූපයන් කෙරෙහි යම් ඡන්දරාගයක්, යම් කැමැත්තක්, යම් ආශ්වාදයක් තිබේ නම්, රූපයේ අනිත්‍යභාවය දකිමින්, ඒ කැමැත්ත, තෘෂ්ණාව නිරෝධයකොට දමන්න. එවිට පින්වත් ඔබ විඤ්ඤාණයට, රූපය නමැති ගොදුරු බිම අහිමි කළා වෙනවාය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක් තිබෙනවා. රූපයේ ආදීනවයක් තිබෙනවා. මේ රූපයේ ආශ්වාදය, ආශ්වාදය හැටියටත්, රූපයේ ආදීනවය, ආදීනවය හැටියටත්, රූපයේ නිස්සරණය, නිස්සරණය හැටියටත් අවබෝධ කොටගන්නා තෙක්ම, මම, මගේ උතුම් සම්මා සම්බුද්ධත්වය ලෝකයාට ප්‍රකාශ කළේ නැහැය කියලා. වර්තමාන පංච උපාදානස්කන්ධ ලෝකයේ නම්, තෘෂ්ණාව කෙරෙහි හිරි සහ ඔතප් දෙක නැති නිසාම, රූපයන් තුළ බහිරවයන්සේ බැසගෙන, රූපයේ ආශ්වාදය, සිවුපසයෙන් තව තව තිරිහන් කොටගෙන, රූපයේ ආදීනවය, රූපලාවණ්‍යන්ගෙන් ඔපමට්ටම් කොටගෙන, ජීවිතය මිච්ඡා හැසිරීම් වලින් වසාගෙන, මිච්ඡා අවබෝධයන් ගැන ලෝකයට අඬබෙර ගහන ගිහි, පැවිදි පාර්ශ්වයන් ඕනෑතරම් ඉන්නවා.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අතීත දසපාරමී ශක්තියෙන් උපන්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබළන, සක්විති රජ පෞරුෂත්වයෙන්, මහා කරුණා ගුණ තේජසින්, පරිපූර්ණ වූ අයෝමය රූපකාය, ලා රන්වන් පාටින් බබළන රූපකාය, අමු සොහොනක මළමිනියක් ඔතා තිබූ, සුදු රෙදි කඩකින් සකස්කොටගත්, පාංශකූල චීවරයක් පොරවාගත් බුදුරජාණන් වහන්සේ, ගංගාවකින්, ඇළකින්, දොළකින්, මුව දොවාගත්, පැන් පහසු වූ බුදුරජාණන් වහන්සේ, තම පාංශකූල දෙපට සිවුර, ගසක් යට එළා සිංහසෙයියාවෙන් වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ, අනුනගෙන් ලැබෙන පිණ්ඩපාතයක් පිණිස පාත්‍රය අතැතිව ගෙන්ගෙට පිණ්ඩපාතයේ වැඩිය බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ චර්යාවන් භික්ෂුවට මේ මොහොතේත් මැවී පෙනෙනවා.

වර්තමානයේ ඒ සුන්දර පූර්වාදර්ශී මතකයන් සිහිපත් වෙනකොට, භික්ෂුවට කරන්නට ඉතිරි වෙලා තිබෙන්නේ, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය නුවණින් මෙනෙහි කරලා, ඒ අතීත පූර්වාදර්ශී මතකයන් තුළින්, උතුම් සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි.

වර්තමානයේ භික්ෂු සමාජයේ අපි, සුඛෝපභෝගී සිවුපසය, දහස්කඩ සිවුරු, සුන්දර යාන වාහන, සුන්දර පන්සල්, ආරණ්‍ය, සුන්දර නාන කාමර තවත් අපේම පිනට ලැබෙන සුන්දර සිවුපසය, අපි හරිම පිංවන්තයි, පිරී ඉතිරී යන්න ලැබෙනවා. හැබැයි ඉතින් සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය කියන්නේ මැජික්කරුවෙක්. කුසලයට අදාළව, අකුසලයට අදාළව ද්විපාක්ෂික මැජික් සංදර්ශන එකම වේදිකාවේ පෙන්වනවා. බැංකු පොතේ ලක්ෂ සියයක් තිබෙනවා. හැබැයි පොරවන්නේ පාංශකූල චීවරයක්. ඒ කියන්නේ එකම වේදිකාවක ද්විපාක්ෂික මැජික් සංදර්ශන පෙන්වනවා. රූප, වේදනා කෙරෙහි තෘෂ්ණාව අරටු බැහැල තිබෙනවා. හැබැයි ඉතින් ප්‍රකාශ කරන්නේ භව නිරෝධය කළාය කියලා. අනිත්‍ය සංඥාවන් දුර්වල වූ තැන, විඤ්ඤාණය අසත්පුරුෂයෙක්.

අනේ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවාෟ උතුම් ධර්මරත්නයට, උතුම් සංඝරත්නයට නමස්කාර වේවාෟෟ භික්ෂුවට මේ මොහොතේත් සිහිපත් වෙනවා, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පෙරවූ, අමු සොහොනින් සොයාගත්, පාංශකූල සිවුර, ගංගාවෙන්, ඇළෙන්, දොළෙන්, මුව දොවාගත්, පැන් පහසු වූ ඔබවහන්සේගේ නික්ලේශී පූර්වාදර්ශී උතුම් ජීවිතය. තම දොපොට සිවුර හතරට නමා, ගසක් මුල එලා, වැඩ සිටිමින්, ස්වභාවධර්මයේම කොටසක් බවට පත්වූ ඔබවහන්සේගේ, සිත නිවන චර්යාවන්, යොදුන් දහස් ගණන් දෙපයින් වැඩම කොට වදාළ ඔබවහන්සේගේ, පූජනීය, වන්දනීය සිරිපතුල් යුගල වර්තමානයේ බෙන්ස් කාර් අතරින් මතු වී පෙනෙත්දී, අපි හැමෝටම වර්තමානයේ ඉතිරිව තිබෙන්නේ, අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම පමණක්මයි.

ඒ වගේමයි මේ මොහොතේ දකින, වර්තමාන පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වෙලා යනවා. අනාගතයේ දී ගෞරවනීය ස්වාමීන් වහන්සේ යන අර්ථය කාසාවකණ්ඨක වෙනවා. පන්සල ආරණ්‍ය, පන්සල් ගෙදර, ආරණ්‍ය ගෙදර වෙනවා. ඒවායේ අඹු දරුවොත් ඉන්නවා. එදාට ගිලන්පසට මත්වතුරත් අයිති වෙනවා. එදාට සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ, සම්මා සතියෙන් පෝෂණය වූ සම්මා සමාධියක් නැහැ. එදාට තිබෙන මිච්ඡා සමාධිය ලබන්නේ ගංජා සුරුට්ටුවෙන්. සියලූ සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය සක්සුදක් සේ ප්‍රකට කරලා. මෙය සටහන් තබන භික්ෂුව, මේ වැඩ සිටින පුටුව මත හිඳිමින්ම, ධර්මයේ ඒහිපස්සික ගුණය වගේම සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, හේතුඵල ධර්මයන්ගෙන්ම සකස් වුණ මැජික් සංදර්ශනයන් දෙස ඇලීම් සහ ගැටීම්වලින් තොර, ධර්මයේ උපේක්ෂාවෙන්ම බලා සිටිනවා.

පින්වත් ඔබට ද ගෞරවයෙන් ආරාධනා කරනවා, ලෝකය ඉදිරියේ ඇලෙන්න දෙයක්, ගැටෙන්න දෙයක් නැහැ. අවබෝධ කරගන්න දෙයක් පමණයි තිබෙන්නේ. රූපය, ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙනවා. ඒ නිසාම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් ඇතිවෙනවා. රූපය ඔබට අයිති නැහැ. පිංවත් ඔබේ ඇසත් ඔබට අයිති නැතිකොට, අනුන්ගේ ඇසක් ඔබට අයිති වෙයි ද? රූපය තිබෙන්නේ ආදරය කරන්න නොවේ. රූපය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් බව අවබෝධ කොටගන්නයි.

වේදනාවට ඔබ ඇලෙන්න, ගැටෙන්න එපා. සෑම සැප, දුක්, උපේක්ෂා විඳීමක්ම වෙනස් වෙලා යනවා. ඵස්සය හේතුවෙන් සකස්වෙන වේදනාවෝ අයිති ජරා, ව්‍යාධි, මරණයන්ටමයි. වෙනස්වී යන දෙයකට ආදරය කළොත් ඔබට ඉතිරි වෙන්නේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් පමණක්මයි. පින්වත, වේදනාවෝ විඳින්නේ නැතුව වේදනාවෝ අනිත්‍ය බව අවබෝධකොට ගන්න.

විඳීම් හේතුවෙන් සකස්වෙන හඳුනා ගැනීම්, මොනතරම් නම් මායාවක් ද? මගේ භික්ෂු ජීවිතයේ දී මම මොනතරම් දේවල් හඳුනා ගත්තා ද? අහවල් ස්වාමීන් වහන්සේ හරිම සත්පුරුෂයි කියලා මම හඳුනා ගත්තත්, අනේ උන්වහන්සේ මාව ගොඩක් විවේචනය කළා. අනේ අහවල් දායක මහත්මයා හොඳයි කියලා හඳුනා ගත්තත්, ඒ මහත්මයා නරක දෙසට වෙනස් වෙලා ගියේ, මහා සුළඟක වේගයෙන්. පින්වත් ඔබ හොඳයි, නරකයි, දුකයි, සැපයි, ආදරෙයි, කරුණාවයි, ද්වේශයයි, මේ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වෙලා යනවා. අම්මා, තාත්තා, බිරිඳ, දරුවා මේ සෑම හඳුනා ගැනීමක්ම මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. මේ කුටියේ ආලේප කරපු සුදු පැහැය දැන් වෙනස් වෙලා. සංඥාවන් තිබෙන්නේ මගේකොට ගන්න නොවේ. සංඥාවෝ නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙනවා. එවිට ඔබට ඉතිරි වෙන්නේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් පමණමයි. සංඥාවෝ විඳින්න එපා, අවබෝධ කොට ගන්න.

සංස්කාරයෝ කියන්නේ, වංචාවක්, ප්‍රෝඩාවක්, ඇස්බැන්දුමක් නමුත් සංස්කාරයන්ගේ ආශ්වාදය හරිම සුන්දරයි. ආදීනවය ඒ වගේම අසුන්දරයි. පිංවත් ඔබ මොහොතක් දෑස් පියාගෙන නුවණින් මෙනෙහි කළොත්, ඇයි මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක කියලා, ඊට හේතුව සංස්කාරයෝ නිත්‍ය වශයෙන්ම දැකීමම යි. සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දිව්‍ය තලයක ජීවත්වෙන දෙවිකෙනෙක් ආයුෂ ඉවරවෙලා, නැවත දිව්‍ය තලයකම ඉපදෙනවාය කියන කාරණය දුර්ලභයි කියලා. නමුත් දිව්‍යතලයක සිටින දෙවියන්, ආයුෂ ඉවරවෙලා, නැවත සතර අපායට වැටෙනවාය කියන කාරණය සුලභයි කියලා. සංස්කාරයන්ගේ වෙනස්වීම අපිට පටිච්චසමුප්පන්නව, වෙනස් වෙනස් ජීවිත ලබා දෙනවා.

ලෝකය දෙස බලන්නකෝ, මීට මාස හයකට පෙර නිරෝගීව, මරණ බියෙන් තොරව තිබූ ලෝකය, වර්තමානයේ කොරෝනා වසංගතයෙන්, ලක්ෂ ගණනින් මනුෂ්‍යයින් මියයන, රෝගීභාවයට පත්වෙන තැනට පත්වෙලා. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර අනිත්‍ය වෙලා යන්නේ, අපිට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස දෝතපුරා ඉතිරිකොට තබලා.

පිංවත් ඔබ දෑස් පියාගෙන, අතීත, වර්තමාන සහ ඔබ අනාගතයේ ප්‍රාර්ථනා කරන සියලූම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත් ඔබ සංස්කාරයන්ගේ ආශ්වාදයන්, සංස්කාරයන්ගේ ආදීනවයන් උපයෝගී කොටගත යුත්තේ, ඇලීම් සහ ගැටීම් හේතුවෙන් නැවත සංස්කාර රැුස්කොට ගැනීම සඳහා නොවේ. උපේක්ෂාවට අදාළව වේදනාවේ ආශ්වාදයටවත් නොවේ, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිස්සරණය උදෙසාමයි. එවිටයි පින්වත් ඔබ සංස්කාර නමැති ගොදුරු බිම විඤ්ඤාණයට අහිමි කළා වෙන්නේ.

කුසල්, අකුසල් සංස්කාරයන් හේතුවෙන්, රූපාවචර සහ අරූපාවචර වේදනාවේ ආශ්වාදයන් හේතුවෙන් අපි මොනතරම් නම් දැනීම් හෙවත් විඤ්ඤාණයන් ඇතිකොට ගන්නවා ද? පින්වත් ඔබ ඇසෙන් රූපයක් දැකලා, එම රූපය ගැන ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඇතිකොටගෙන, ඒ අලූන, ගැටුණ, උපේක්ෂාසහගත වුණ දෙය හඳුනාගෙන, (සංඥා* හඳුනාගන්න දෙය ගැන සිතලා, (සංස්කාර* එම සිතුව දෙය ගැන, මොනතරම් නම් දැනීම් හෙවත් විඤ්ඤාණයන් අපි ඇතිකොට ගන්න ඇති ද? ඒ සෑම විඤ්ඤාණයක්ම අනිත්‍ය වී ගියේ, අපේ භව ගිණුමට නැවත සංස්කාරයන් පමණක්ම එකතුකොට තබලයි.

භික්ෂුවට පැවිදි වීමට දැනීම සකස් වුණෙත්, පිංවත් ඔබට විවාහ වීමට දැනීම් හෙවත් විඤ්ඤාණයන් සකස් වුණෙත්, අපි දෙපාර්ශ්වයේම සංස්කාරයන්ගේ විවිධත්වය නිසාමයි.

මේ මොහොතේ පින්වත් ඔබට, මේ ”මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” ලිපි පෙළ කියවීමට, දැනීම සකස් වූයෙත්, තවත් පින්වතෙකුට කාමයේ ආශ්වාදයන් සොයාගෙන යැමට දැනීම, විඤ්ඤාණය සකස් වෙන්නෙත් දෙපාර්ශ්වයේ සංස්කාරයන්ගේ විවිධත්වය නිසාම ය. මේ සෑම විඤ්ඤාණයක්ම වෙනස් වෙලා යනවා. අංගුලිමාලට මනුෂ්‍ය ඝාතන කිරීමට දැනීම සකස්වෙලා, අංගුලිමාලගේම කුසල් සංස්කාර හේතුවෙන්, මව මැරීමේ ආනන්තරීය පාපකර්මයෙන් වැළකිලා, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ඉදිරියේ, තෙරුවන් සරණ යැමට දැනීම හෙවත් විඤ්ඤාණයන් සකස් වූයේ, අතීත කුසල් සංස්කාරයන් හේතුවෙන්මය.