ජීවිතයේ අනිත්‍යය දකිමින් කොරෝනාවෙන් මිදෙන්න – 2

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රියයන් සමග ද, අප්‍රියන් සමග ද, තෘෂ්ණාවේ බැඳීමෙන් එකතු වෙන්න එපාය කියලා. අප්‍රියයන් සමග එකතුවීම දුකක් වගේම, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්ම වෙනවා. අපට ප්‍රියයන් නිසාත්, අප්‍රියයන් නිසාත් දුකම සකස් වෙනවා නම්, ප්‍රිය සහ අප්‍රිය කියන දෙපාර්ශ්වයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕන. අවිද්‍යාවේ අන්ධභාවය නිසා අපි සිතනවා, ප්‍රියයන් සමග එකතුවීම සැපක්ය කියලා. ඒ නිසාම අපි නිරතුරුවම ප්‍රියයන්ෙගේ ඇසුර සොයනවා. නමුත් තෘෂ්ණාවේ ඇඟිලි තුඩුවලින් ඵස්සය කොතනින් ඇල්ලූවත්, දුක එතැන ස්ථානගතවී තිබෙනවා.

ආදරය නිසාම ශෝකයද, බියද උපදිනවා. ද්වේශය නිසාද, ශෝකය සහ බිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ප්‍රිය වස්තූන් දහයක් ඇති පිංවතාට දුක් දහයක් තිබෙනවාය කියලා. ප්‍රිය වස්තූන් පහක් ඇති පිංවතාට දුක් පහක් තිබෙනවාය කියලා. පිංවත් ඔබට ප්‍රිය වස්තුවක් නැතිනම්, ඔබට දුකක් නැහැ. යම් පිංවතෙක් තුළ ශෝකකිරීම්, හැඬීම්, වැළපීම්, දුක ඇත්නම් ඒවා ප්‍රිය වස්තූන් හේතුවෙන්මයි ඇතිවෙන්නේ. යම් පිංවතෙකුට ප්‍රිය වස්තූන් නැති ද ඔහු සුවසේ දුක, ශෝකය දුරුකල ඇත්තෙක් වෙනවා.

අපි ජීවත්වෙන සමාජය තුළ බිරිඳ, ස්වාමිපුරුෂයා, දෙමාපියන්, දරුවන්, ශිෂ්‍යයන් නිසා දුක් විඳින, ශෝක කරන පිංවතුන් කොතෙක් නම් සිටිනවාද? මෙම දුක් ශෝකයන් අපි තුළ සකස්වෙන්නේ ප්‍රිය වස්තූන් කෙරෙහි අපි ඇතිකොටගන්නා තෘෂ්ණාව නිසාම නේද? දුකත්, දුකට හේතුව වන තෘෂ්ණාවත් ගැන බුදුරජාණන් වහන්සේ මෙතරම් සරලව දේශනා කොට තිබියදීත්, දුකට හේතුවෙන තෘෂ්ණාව තුළ බැසගෙනම අපි සැපය සෙවීමේ නිරර්ථක උත්සාහයක යෙදී සිටිනවා.

අපි සෑම කෙනෙකුටම ප්‍රිය සහ අප්‍රිය දේවල් මුණගැසෙනවා. අපිට මුණගැසෙන සෑම ප්‍රිය වස්තුවකටම අපි ඇලෙනවා. අපිට මුණගැසෙන සෑම අප්‍රිය වස්තුවකටම අපි ගැටෙනවා. අපගේ ජීවිතවලින් අකුසල් සිදුවීම වැඩිවෙන්න, වැඩිවෙන්න අප්‍රිය දේවල් සිදුවීමේ සහ මුණගැසීමේ වේගය වැඩිවෙනවා. ඉහත දුර්වලතාවය අපි තුළ ඇතිවෙන්නේ සංස්කාරයන්ට අදාළව ජීවිතය නොදැකීමේ දුර්වලතාවය නිසාමයි.

මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, සංස්කාරයන් සකස්වෙන්නේ කුමක් හේතුවෙන් ද? කියලා. සංස්කාරයන් සකස්වෙන්නේ අවිද්‍යාව කියන චතුරාර්ය සත්‍යය ධර්මයන් නොදැනීමේ හේතුව නිසාමයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධකොටගත් රහතන් වහන්සේ පමණක්මයි, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධකොටගෙන සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කොටදමා ජීවත්වෙන්නේ.

උතුම් අනාගාමීඵල අවබෝධය ලැබූ පිංවතා කාම, රාග, පටිඝ ධර්මයන් අවබෝධයෙන් නිරෝධය කළත්, සංස්කාරයන් කෙරෙහි පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවයේ දැක්මෙන් පෝෂණය වූ සංස්කාරයන් කෙරෙහි අනුශය තෘෂ්ණාවක් තිබෙනවා.

සංස්කාරයන්ට අදාළව ජීවිතය දකින පිංවත් ඔබ, තමා අත්දකින ප්‍රිය සහ අප්‍රිය වස්තූන් ඉදිරියේ ඇලීම්, ගැටීම් ඇතිකොටගන්නේ නැහැ. ඔහු ඇලීම්, ගැටීම්, සංස්කාරයන්ට අදාළව සිහිනුවණින් දකිනවා. එවිට ඔහු තමාගේ අතීත කුසල් සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන ප්‍රියභාවයන් හේතුවෙන්, නොවිසිරුණු සමාධිමත් සිතක් ඇති කොටගන්නවා. නමුත් වර්තමානයේ අපි තුළින් සිද්ධවෙන්නේ, අපිට ප්‍රිය වස්තුවක් මුණගැසෙද්දී, එම ප්‍රිය වස්තුව නිසාම අපි පංච නීවරණයන්මයි ඇතිකොට ගන්නේ.

අපිට මුණගැසෙන අප්‍රිය වස්තුවක් හෙතුවෙන්, එම අප්‍රිය වස්තුවට ගැටිලා, එතැනදීත් පංච නීවරණයක්මයි සකස්කොට ගන්නේ. අපිට හේතුඵල ධර්මයන් නිසාම මුණගැසෙන, ප්‍රිය සහ අප්‍රිය වස්තූන් ඉදිරියේ සප්ත බොජ්ඣ`ඕඟ ධර්මන් මතුකොට ගැනීමට දක්ෂ නැහැ.

භික්ෂුව දෑස්දෙක පියාගෙන මොහොතක් නුවණින් දකිනවා, භික්ෂුවගේ භික්ෂු ජීවිතය තුළ මොනතරම් නම් ප්‍රිය සහ අප්‍රිය වස්තූන් මුණගැසෙන්නට ඇත්ද?

භික්ෂුවගේ පැවිද්ද කියන්නේ භික්ෂුවට ප්‍රිය දෙයක්. නමුත් භික්ෂුව මේ ලැබූ පැවිද්දෙන් පුංචි හෝ ආශ්වාදයක් ලබන්නේ නැහැ. මේ පැවිද්ද එක දශමයකින්වත් මගේ කොටගෙන ජීවත් වෙන්නේ නැහැ.

භික්ෂුව, තමාට ප්‍රිය දෙයක් වූ පැවිද්ද දෙස ප්‍රත්‍යවේක්ෂාවෙන් දකිනවා. සංසාරයේ පටිච්චසමුප්පන්නව, බුද්ධෝත්පාද කාලවල ඉපදිලා සහ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා ලක්ෂ කොතෙක් නම් වාරයක්, මම පැවිදිභාවයන් ලබන්නට ඇතිද? මම ගුරුවරයෙක්ව ශිෂ්‍යයින්ව පැවිදි කරන්න ඇත්ද?

භික්ෂුව මේ මොහොතේ ඇස්දෙක පියාගෙන දකිනවා, අතීත සංසාරයේ මම පැවිදි උපසම්පදාවන් ලබා, පෙරවූ සිවුරු ගොඩ ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාලයි කියලා. එම නිසා භික්ෂුව, මේ ජීවිතයේදී ලැබූ මේ උතුම් පැවිද්ද භික්ෂුවට ජයග්‍රහණයක් නම් නොවේ.

උතුම් පැවිද්ද ජයග්‍රහණයක් කොටගත්තොත් එතැන පරාජයක් තිබෙනවාමයි. මොකද ජයග්‍රහණය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් නිසා.

අතීත පටිච්චසමුප්පන්න පැවිදි ජීවිත ලක්ෂ ගණනක ධර්මානුකූල විදර්ශනාත්මක ඵලය වන මේ උතුම් පැවිදි ජීවිතය, භික්ෂුවට ජයග්‍රහණයත්, පරාජයත් නිරෝධය කරන මාර්ගයක් පමණක්මයි.

අපි ලබන උතුම් පැවිදි ජීවිතය ජයග්‍රහණයක් කොටගෙන, එම ජයග්‍රහණය මගේ කොටගෙන, ලැබුවා වූ උතුම් පැවිද්දේ උපසම්පදාවේ ආශ්වාදයෙන්, අංජලිකරණීය වූ සුන්දර භික්ෂු ස්වරූපයේ ආශ්වාදයෙන්, ගිහි පිංවතුන්ලාගෙන් ලැබෙන ගරු සත්කාර, ප්‍රණීත සිවුපසය කෙරෙහි ආශ්වාදයෙන් පරාජය දෙසට ගමන් කරන්න එපා.

අතීත සම්මා සම්බුද්ධ ශාසන වලදී පටිච්චසමුප්පන්නව ඔබත්, මමත් පෙරවූ ගිජ්ජකූඨ පර්වතය තරම් විශාල පැරණි සිවුරු ගොඩක් ධර්මානුකූලව අපි ඉදිරියේ තිබෙනවාය කියන කාරණය නුවණින් දකින්න.

අපි අපේ පැවිදි ජීවිත උපයෝගීකොටගත යුත්තේ, ජයග්‍රහණයේ ආශ්වාදයෙන් භව පරාජය දෙසට යාමට නොවේ. අප ලබන සෑම ජයක්ම, සෑම පරාජයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන්ය යැයි අවබෝධකොට ගෙන, ජය සහ පරාජයෙන් සදහටම නිදහස්වීම උදෙසාමය. අපිට ප්‍රිය ධර්මයක් වූ උතුම් පැවිදි ජීවිතය තුළින් විදර්ශනාත්මක සප්ත බොජ්ඣ`ඕඟ ධර්මයන් මතුකොට ගන්නා මාර්ගයයි, භික්ෂුව ඉහතින් සටහන් තැබුවේ.

අද උදෑසන භික්ෂුව මුණගැසීමට පැමිණි මවක් කඳුළු සලමින් ප්‍රකාශ කළේ, තම පාසල් වයසේ දියණිය, අකීකරු ලෙස කටයුතු කරනවාය කියලයි.
දේවදත්ත හාමුදුරුවෝ සංඝයා භේදකොට ආනන්තරිය පාපකර්මය සිදුකොටගත්තාට පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබලා නිරතුරුවම තමා තුළින් තමාට වියහැකි, තමා නිසා අනුන්ට වියහැකි විපත් ප්‍රත්‍යවේක්ෂාවෙන් දකින්නය කියලා. තමා තුළින් සකස්වෙන පාපී සිතුවිලි සහ පාපමිත්‍ර ආශ්‍රයන් ප්‍රත්‍යවේක්ෂාවෙන් දකින්නය කියලා.

දේවදත්ත හාමුදුරුවන්ගේ කාමයේ සහ රූපයේ ආශ්වාදයේ බලවත්භාවය නිසාම, තමා තුළින් සකස් වූ තමන්ට සහ අනුනට විපත් ගෙනදෙන පාපී සිතුවිලි නුවණින් නොදැකීම නිසාම, සිදුකොටගත් අකුසල් හේතුවෙන්, තමනුත්, තමන් නිසා අජාසත් රජතුමාත් ආනන්තරිය පාපකර්මය වැනි බලවත් අකුසල් වලට ගොදුරු වුණා.

තමන්ට සමාජයේදී මුණගැසෙන, පාසලේදී මුණගැසෙන පාපමිත්‍ර ආශ්‍රයන් නිසා තමන්ට සිදුවෙන ආත්ම විපත් ප්‍රත්‍යවේක්ෂාවෙන් දකින්න පාසල් දරුවන් අදක්ෂ නිසාම, දරුවන් පාපී සිතුවිලි ඇතිකොටගෙන තමා තමාට බලවත් විපත් සිදුකොට ගන්නවා.

අම්මා, තාත්තාට අකීකරුවීම, දෙමාපියන්ගේ සිත් රිදවීම, මව්පියන්ගේ අහිංසක බලාපොරොත්තු කඩා බිඳ දැමීම, දරුවන්ට බලවත් වූ අකුසලයක්. දෙමාපියන්ගේ සිත් රිදවන මොහොතේම, එම දරුවා බුදුරජාණන් වහන්සේට අකීකරු වූ දරුවෙක් වෙනවා. මෙලොව, පරලොව සැපයට අදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට ගිය දරුවෙක් වෙනවා.

දරුවන් විසින් දෙමාපියන්ගේ සිත් රිදවීමෙන්, දෙමාපියන්ට අකීකරුවීමෙන්, අම්මා තාත්තාගේ නෙතින් ගලනා කඳුළක් කියන්නේ, හුදු කඳුළු බිඳුවක් පමණක් නොවේ. දෙමාපියන්ගේ නෙතින් රූටා වැටෙන කඳුළු, උතුම් බ්‍රහ්ම ගුණයන් වන, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් උණුකරගෙන ගලාගෙන එන කඳුලක්මයි.

පිංවත් දරුවන් මොනම හේතුවක් නිසාවත් පාසලේදී, පන්ති කාමරයේදී, සමාජයේදී ඔබට මුණගැසෙන, මත්ද්‍රව්‍ය වලට ඔබව පොළඹවන, අවිචාරවත් කාමච්ඡන්දයන්ට ඔබව පොළඹවන, පාප මිත්‍රයන් මුල්තැන තබා, එම පාප මිත්‍රයන්ගේ පාපී සිතුවිලි මුල්තැනට තබා පින්වත් ඔබේ දෙමාපියන් දෙවැනි තැනට දමන්න එපා.

තමන්ගේ දෙමාපියන්ට වඩා, වර්තමානයේ ඔබට විශ්වාසවන්තවී ඇති ඔය කිසිම පාප මිත්‍රයෙක්, ඔබව දස මාසයක් කුසේ දරාගෙන පෝෂණය කළේ නැහැ. නොවිඳිනා දුකක් විඳලා ඔබව මේ ලෝකයට බිහි කළේ නැහැ. ඔබේ මලමුත්‍රා දෑතේ තවරා ගත්තේ නැහැ. උදේ සිට රාත්‍රී වෙනතෙක් ශ්‍රමය වගුරවමින් ඔබව පෝෂණය කළේ නැහැ.

මෙවන් මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් පෝෂිත උත්තරීතර මාතෘත්වය, පීතෘත්වය තුළින් පිංවත් දරුවන්ට ලැබුණා වූ මහා බ්‍රහ්ම ගුණයන් පාපමිත්‍ර යහළුවන් නිසා දෙවැනි තැනට දමන්න එපා. පිංවත් දරුවන්, තම දෙමාපියන්ගේ සිත් රිදවීමට, අකීකරු වීමට, එකට එක කතා කිරීමට, ඔබ තුළ සකස්වෙන පාපී සිතුවිලි පිංවත් දරුවන් ප්‍රත්‍යවේක්ෂාවෙන් දකින්න. මෙවන් පාපී සිතුවිලි නිසා තමා විසින් තමාට, තමා විසින් අනුනට සිදුකොටගන්නා වූ බරපතළ විනාශය නුවණින් දකින්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දරුවන් තුළ සකස්වෙන පාපී සිතුවිලි සහ පාපමිත්‍ර ආශ්‍රයන් මැඩගෙන දරුවන්ට නැගිටින්නය කියලා. ඉහත දක්ෂභාවය ඇතිකොටගත් පිංවත් දරුවා තමා විසින් තමාව විනාශ කොට ගන්නේ නැහැ. ඔහු තමා තමාට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා වගේම, තමා අනුන්ටද කල්‍යාණ මිත්‍රයෙක්ම වෙනවා.

බුදුරජාණන් වහන්සේ නමැති උතුම් කල්‍යාණමිත්‍රයා සොයාගෙන පැමිණි සෑම කෙනෙක්ම, යහපතක්මයි ලැබුවේ. උපත ස්වභාවය කොටගත් සත්ත්වයෝ උපතින් මිදුනා. ජරාව ස්වභාවය කොටගත් සත්ත්වයෝ ජරාවෙන් මිදුනා. ව්‍යාධි, මරණයන් ස්වභාවය කොටගත් සත්ත්වයෝ ව්‍යාධි, මරණයන්ගෙන් මිදුනා. කල්‍යාණමිත්‍ර ආශ්‍රය නිවනටම දොරටුව යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් දරුවන් නිරතුරුවම ඔබට යහපත කියලා දෙන කල්‍යාණ මිතුරන්ම ඇසුරු කරන්න. කල්‍යාණමිත්‍රයින් කෙරෙහි නැමුන පිංවත් දරුවා අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවත්වන දරුවෙක් වෙනවා.

පාපමිත්‍රයන් ඇසුරු කරන දරුවා තුළ පවට ලැජ්ජා නැතිකම සහ බිය නැතිකම නිසා උපදින අවිද්‍යාව, අකුසල් මතුකොට දීමටමයි පෙරටුවෙන්නේ.

කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන පිංවත් දරුවා පවට ලැජ්ජාව සහ බිය හේතුවෙන් උපදින විද්‍යාව තමන්ට කුසල් මතුකොට දීමටමයි පෙරටුවෙන්නේ.

භික්ෂුව මුණගැසීමට දෙමාපියන් සමඟ වැඩිහිටි පාසල් ගැහැණු දරුවෙක් පැමිණියා. මෙම ගැහැණු දරුවා බොහෝම සංයමයෙන් භික්ෂුව ඉදිරියේ හැසිරුනේ. දරුවාගේ තාත්තා භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ දුව දැන් සද්ධර්මය ශ්‍රවණය කරනවා. එම ධර්මය ඇය නුවණින් මෙනෙහි කරනවා. ඇය වාහනයේ, මඟ තොටේ ගමන් කරනකොට, නොගැලපෙන අසංවර ඇඳුමක් පැළඳගෙන යන කාන්තාවක් දැක්කොත්, දුව කියනවලූ මේ අක්කා නම් ඊළඟ ජීවිතයේ සතර අපායටමයි යන්නේ කියලා.

පාසලේදී වැඩිහිටි අක්කා කෙනෙක් කාමයන්ට අදාළ දෙයක් ප්‍රකාශ කළොත්, දුව කියනවලූ, ඕවා කියන්න එපා, ඕවා කිව්වොත් ඔයාව තිරිසන් ලෝකයේ උපදියි කියලා. නිවසේදී තම තාත්තා, අම්මා සමඟ කේන්ති ගත්තොත් දුව කියනවලූ, තාත්තේ ඔයා ඊළඟ ජීවිතයේ විෂකුරු සර්පයෙක් වෙන්නද යන්නේ කියලා.

සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නා, මේ ගැහැණු දරුවා ප්‍රකාශ කරන්නේ, සම්මා දිට්ඨියේ සුන්දර අර්ථයක්. මෙම දරුවා තෙරුවන්ට කීකරුභාවයෙන් යහපත සහ අයහපත නුවණින් දකිනවා. අයහපත කෙරෙහි බිය ඇතිකොටගනිමින් යහපතේ යෙදෙනවා. අනුනටද යහපත කියලා දෙනවා. මේ පාසල් දැරියට ඊළඟ පටිච්චසමුප්පන්න උපත පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තිබෙනවා. ඇය දෙමාපියන්ගේ ගුණයන් හොඳින් හඳුනනවා. ඇය සුගතිය හා දුගතිය හොඳින් හඳුනනවා.

බලන්න කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය වූ සම්මා දිට්ඨියේ අර්ථයන්ට, මොනතරම් සුන්දර දරුවෙක් බිහිකරන්න පුලූවන්ද? මෙවැනි සුන්දර දරුවන් මනුෂ්‍යයාට නැවත දෙවියෙක් වෙන්න මාර්ගය කියන පිංවත් දරුවන්මයි. ධර්මයට අදාළව කුසලය සහ අකුසලයට අදාළව, අදහස් දැක්වීමට පිංවත් දරුවන් බය වෙන්න එපා. ලැජ්ජ වෙන්න එපා. අධර්මයට අදාළව හැසිරීමටමයි දරුවන් ලැජ්ජා විය යුත්තේ.