යහපත් රාත්‍රියක් තුළින්, යහපත් දිනයක් උදාකොට ගන්න

නින්ද ගැන කථාකරන්න ගිහිල්ලා රෝගියා කියන තැනට වෛද්‍ය ක්ෂේත්‍රය තියන තැනට එන්න සිද්ධ වුණා. අපි නැවතත් නින්ද කියන තැනට යමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා රාත්‍රියට දුම් දමනවා කියලා. ඒ කියන්නේ නිදි පැදුරට ගියාට පස්සේ නින්ද යන්නේ නැහැ ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා. හෙට දවසේ රාජකාරි සැලසුම් කරනවා. සිතුවිලි සිතට නැගෙන තරමට නින්ද ඈතට යනවා. විදීම සකස් වන තැනදී ඔබට හමුවන්නේ තෘෂ්ණාව, ඔබ තුල රූපයන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව නිසාම ලෝභ, දේෂ, මෝහ, අකුසල මූලයන් සකස් කොට ගන්නවා. මෙන්න මේ සැලසුම් කොට ගැනීමටයි තුඹස රාත්‍රියට දුම්දමනවා කියලා කියන්නේ.

පිංවත් මහත්මයෙක් ප්‍රකාශ කලා හාමුදුරුවනේ රාත්‍රියට නින්ද යන්නේ නැහැ. ගොඩාක් සිතුවිලි සිතට ගලාගෙන එනවා හෙට දවස ජයගන්න, සැලසුම් නිරායාසයෙන්ම සිතට ගලාගෙන එනවා. කොච්චර ඇස්දෙක පියාගන්න හැදුවත්, සිතේ ඇතිවන සිතුවිලි නින්ද පලවාහරිනවා කියලා. නිදිපැදුරේදී ඔබේ ජිවිතය ගිනිගන්න. ගිනිගන්නවාය කියලා කියන්නේ, රාත්‍රී සැලසුම් කල කරුණු දහවල් ක්‍රියාත්මක කරනවාය කියන කාරණයයි. ඔබේ ජිවිතයේ ඊයේ දවසට ආපසු හැරී බලන්න, රාත්‍රියට දුම් දමන, දහවලට ගිනිගන්නා ජිවිතයක් නේද ඔබටත් තිබෙන්නේ. අතීතභව ගමනේ රාත්‍රියට දුම්දමමින්, දහවලට ගිනිගනිමින් පැමිණි දුමත්, ගින්දරත් නිසා කොපමණ දුකකට අප පත්වී ඇතිද. ජිවිතය ඉදිරියේ ප්‍රශ්න ඇතිවන විට, දුම හෝ ගින්දර මුණගැසි වැඩක් නැහැ. ප්‍රශ්නයක් ඇතිවන විටදී සද්ධර්මයයි මුණගැසෙන්න ඕනේ. ඔබේ ජිවිතයට පැමිණෙන කුමන ප්‍රශ්නයක් වුවද නිවැරදි විසඳුම ඇත්තේ සද්ධර්මය තුලයි. සද්ධර්මයයි ජීවමාන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ භද්දේකරත්ත සුත්‍රයේදී දේශනා කරනවා. අද කල යුතු දෙය අදම කරන්න. හෙට මරණය පැමිණිය හැකියි. සේනාසහිත මාරයා සමඟ කවර සැලසුම්ද, කවර ගිවිසුම් ද කියලා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය දකින, පටන්ගත් වීර්ය්‍ය ඇති තැනැත්තා යහපත් රාත්‍රියක් ගතකරන්නේය කියලා. පිංවත් ඔබගේ රාත්‍රියට නින්ද නොයාමේ ප්‍රශ්නයට සැබෑම විසඳුම බුදුරජාණන් වහන්සේ, බොහෝම පැහැදිලිව දේශනා කොට තිබෙනවා.

රූපය කෙරෙහි චන්දරාගෙන් බැඳුන සිතුවිලි නැමැති මාරයා සමඟ කෙසේ නම් විවේකයක් ලබාගන්නද, සිතුවිලි නැමැති මාරයා රූප ඉව කරමින් දුවනවා. වරෙක සම්මතය තුල දිව යනවා. වරෙක අසම්මතය තුල දිවයනවා. ආශ්වාදයේ නිරුවතට ලස්සන සළුපිළි අන්දවමින් වසා පෙන්වනවා. වැඩිපුර අයිතිකොට ගැනීමේ තරඟයටමයි ඇද දමන්නේ. පිංවත් ඔබ නොදන්නා මාර සේනාවේ ඉලක්කයන් තිබෙනවා. රූප පෙන්වා ඔබගේ අකුසල මූලයන්ගේ ගොඩ වැඩිකරනවා. අනිත්‍ය සංඥාව පිංවත් ඔබේ ජිවිතය කිට්ටුවට ගන්න. එවිට ඔබ ධර්මයට ගොඩාක් කිට්ටු වෙනවා. ජරා, ව්‍යාධි, මරණ ධර්මතාවයන් හැකිතාත් ඔබේ ජිවිතය කිට්ටුවටම ගන්න. එතකොට පිංවත් ඔබට හිතෙනවා හෙට උදේ වෙනකොට ඔබ මරණයට පත්වෙන්න පුළුවන් කියලා. දැන් ඔබ සැලසුම් කරන්නේ හෙට ජීවත් වෙන්න නොවේ. හෙට උදෑසනට පෙර පැමිණෙන මරණයට මුහුණ දෙන්න. පිංවත් ඔබ රාත්‍රියට හිස කොට්ටය මත තබාගත්ත මොහොතේ පටන් හෙට උදෑසන ඔබ මිය ගොස් සිටිතියි දකිමින් නිදන්න. බාහිර කිසිම සිතුවිල්ලකට ඉඩ නොදෙන්න. ඔබේ මළකඳ මනසින් දකිමින් නිදන්න.

ගිහි පිංවතුන්ලා වන ඔබ, මරණය දකිමින් නිදන්න භය වෙන්න එපා. මෙතනදී යහපත් රාත්‍රියක් උදෙසා උපක්‍රමයකුයි යොදන්නේ. රාත්‍රිය අයහපත් කරන සිතුවිලි නැමැති මාර සේනාව යටපත් කොට දැමීම සිතුවිලිවලට වැටබැඳිමකුයි කරන්නේ. මරණය දකිමින් නින්දට ගියොත්, හෙට දවසේ ඔබ සුවසේ පිබිදේවි. එවිට වඩාත් ප්‍රබෝධයෙන් යුතුව වීර්යෙන් යුතුව දවස අරඹන්න. යහපත් රාත්‍රියක් තුලින් යහපත් දිනයක් උදාකොට ගන්න. මෙවැනි යහපත් රාත්‍රියකදී ඔබ, මිය ගියහොත් එම මරණයද ශ්‍රේෂ්ඨ මරණයක් වේවි. රූපයන් කෙරෙහි චන්දරාගයෙන් සිතුවිලි ගලාඑනවාය කියන්නේ මාර සේනාව හඹා එනවාය කියන කාරණයයි. සිතට ඇතිවන සෑම සිතුවිල්ලක්ම මාරයා හැටියට දකින්න. පිංවත් ඔබ දැන් උත්සහ ගන්නේ අද කළ යුතු දෙය අදම කරන්න. රාත්‍රිය උදාවුනාට, අද දවස තවම ගෙවී නැහැ. තව කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. අද කළයුතු දෙය අදම කරන්නේ නැතිව හෙට ගැන සිතන්න යන්න එපා. උදෑසන අවදි වූ මොහොතේ පටන්ම නිත්‍ය සංඥාවන්මයි වැඩුවේ. දිනයේ නිත්‍යභාවයෙන් ගත් සියළුම සංඥාවන්ගේ අනිත්‍යභාවය නින්දට පෙර මොහොතක් මෙනෙහි කරන්න. අනිත්‍ය සංඥාවෙන් රූපය මෙනෙහි කරන කොට පිංවත් ඔබ අතීතයේ තිබු රූපය වර්තමානයේ මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අනාගතයේදී මට මෙවැනි රූපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. රාත්‍රී නිදි පැදුරේදී තෘෂ්ණාවෙන් බැඳුණු මාර සිතුවිලිවලට ඉඩනොදී රූපයේ අනිත්‍යභාවය අතීත, වර්තමාන, අනාගත වශයෙන් නුවණින් මෙනෙහි කරන්න. මෙලෙස අනිත්‍ය සංඥාවන් මෙනෙහි කරමින් ඔබ නින්දට ගියොත්, එම රාත්‍රිය පිංවත් ඔබට යහපත් රාත්‍රියක් වේවි.

සෑම රාත්‍රියකදීම අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අතීතය ගැන සිතුවිලි වලින් බැහැර වන්න. අනාගත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින්, අනාගතය ගැන සිතුවිලි වලින් බැහැර වන්න. අතීතය අනාගතය පින්වත් ඔබට දැන් මැකීගොසින් දැන් ඔබ වර්තමානය තුල ජීවත් වෙන්න. වර්තමානය තුලද ඔබ ජිවත්විය යුත්තේ වර්තමානයේද අනිත්‍යභාවය දකිමින්ය. ආශ්වාස ප්‍රාශ්වාසය දෙසට සිහිය පිහිටවීමෙන් අනිත්‍ය වන්නා වූ වර්තමානයද පිංවත් ඔබට හොඳින් අරමුණු වනු ඇත.