උතුම් රහත්ඵලයට පත්වෙනතුරු, තේරුම් නොගත් ජීවිතයේ යථාර්ථය

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ ඉසිදාසි කියලා සිටු දියණියක් සිටියා. තරුණවියට පැමිණි ඇය, දෙමාපියන්ගේ යෝජනාවකින් සුදුසු මනාලයෙකුට සරණපාවා දුන්නා. ඉසිදාසිය ඉතාමත් ගුණවත් කීකරු බිරිඳක්. සැමියාට පමණක් නොව, තම නැන්දනියට පවා, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් යුතුකම් ඉටුකළා. සති කිහිපයක් ගතවෙනකොට ඉසිදාසිගේ ස්වාමිපුරුෂයා, ඉසිදාසිව දැඩිලෙස ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා. ඉසිදාසිය කෙරෙහි තිබූ ආදරය අතුරුදහන්වෙලා ගියා, ඉසිදාසිය ගෙදර සිටියොත් තමන් නිවසින් බැහැරව යනවා කියලා ස්වාමිපුරුෂයා තර්ජනය කළා. කරකියාගත හැකි දෙයක් නැති වූ නැන්දනිය ඉසිදාසිව දෙමාපියන්ගේ ගෙදරට ගොස් බාරදුන්නා.

ටික දිනක් නිවසේ ගතකළ ඉසිදාසියට දෙමාපියන් විසින් නැවතත් සුදුසු තරුණයෙක් විවාහකොට දුන්නා. එම කුල ගෙදරදීත් ඉසිදාසිය තම අලුත් ස්වාමිපුරුෂයාට, ඥාතීන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් යුතුකම් ඉටුකළා. සති කිහිපයක් යනකොට දෙවන ස්වාමිපුරුෂයාත් ඉසිදාසියව දැඩිලෙස ප්‍රතික්ෂේප කරන්න, ඇයට අනාදරය කරන්න පටන් ගත්තා. ඉසිදාසිය ගෙදර සිටියොත් තමන් නිවසින් පිටවී යන බවට තර්ජනය කළා. දෙවන වතාවටත් නැන්දනිය විසින් ඉසිදාසියව දෙමාපියන්ගේ නිවසට ගොස් භාරදුන්නා.

විවාහ දෙකකින්ම දික්කසාද වී කළකිරීමෙන් සිටි ඉසිදාසිය, දැන් දෙමාපියන්ටත් හිසරදයක් වෙලා තිබුණේ. ඒ නිසාම දෙමාපියනුත් ඉසිදාසියට චෝදනාකළා, ඔබ හරිම පවුකාරියක්ය කියලා. ඉසිදාසියගේ දෙමාපියන් දැනගෙන සිටියේ නැහැ, මෙය ඉසිදාසියගේ පමණක් අකුසලයක් නොව, තමන්ගේද අකුසල් විපාකයක් බව. විවාහයන් දෙකක්ම බිඳවැටීමට හේතුව ඉසිදාසියගේ වරද කියලයි දෙමාපියන් ඇයට චෝදනා කළේ. අවසානයේ දෙමාපියන් තමන් ළඟ සේවය කරන සේවක මහත්මයෙකුට ඉසිදාසිව විවාහකොට දුන්නා. දෙදෙනාට ජීවත්වීමට අවශ්‍ය තරම් ධනය ඉඩකඩම් පවරාදුන්නා. සති කිහිපයක් එක ගෙදර ගතකළ ඉසිදාසිව තුන්වන මනාලයත් ප්‍රතික්ෂේප කරනවා.

ඉසිදාසිය කල්පනා කළා දෙමාපියන් සිදුකොට දුන්න විවාහයන් තුනක්ම කඩාකප්පල්වුණා. තවදුරටත් මට දෙමාපියන්ට මුහුණ දෙන්න බැහැ. මම නැවත දෙමාපියන්ගේ මුහුණ බලන්න ගෙදර යන්නේ නැහැ. ජීවිතය නැතිකරගන්නවාය කියන අදහසින් ඇඳි වත පිටින්ම මහපාරට බැස්සා.

දවසක් දෙකක් ඉබාගාතයේ ඇවිද්ද ඉසිදාසියට කල්‍යාණමිත්‍රයෙක් මුණගැසෙනවා. රහත් භික්ෂුණීන් වහන්සේ නමක් වන එම කල්‍යාණ මිත්‍රයාට මුණගැසීම ඉසිදාසියගේ අතීත කුසල් සංස්කාරයක ප්‍රතිඵලයක්. විවාහ ජීවිත හරහා, අතීත අකුසල් එලව එලවා පහරදෙත්දී, ඉසිදාසිය ඇලීම්, ගැටීම්වලට නොයා උපේක්ෂාවෙන්ම ජීවිතය ඉවසීමේ ප්‍රතිඵලයෙක් තමයි, කල්‍යාණමිත්‍ර ආශ්‍රය නැමති කුසල් සංස්කාරය මෝදුවී පැමිණියේ. ඇය ඇයට එරෙහි වූ සැමියන් තුන්දෙනාට එරෙහිව පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන්කිරීමට ගියානම්, ඇයට කල්‍යාණමිත්‍රයෙක් නොවේ, මුණගැහෙන්නේ, අධර්මයේ අසත්පුරුෂ මිත්‍රයෙක්මයි.

වර්තමාන සමාජයේ පින්වතුන් ඉසිදාසිය කුසලය මතුකොටගත් මේ තැන හොඳින් තේරුම්ගන්න ඕනේ. ඔබේ ජීවිතයේ විපාකයට පැමිණෙන අකුසලයට එරෙහිව, ඔබ සටන් කරන්නට ගියොත්, එහි ඵලය ලෙස ඔබට මුණගැසෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයන්මයි. ඔබ ඉදිරියට පැමිණෙන අකුසලය ඔබ ධර්මානුකූලව උපේක්ෂාවෙන් ඉවසීමට දක්ෂ නම් එහි ඵලය හැටියට ඔබට මුණගැසෙන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයක්මයි. පින්වත් ඔබේ ජීවිතයට ගලපලා බලන්න ඉහත කාරණය වැරදිද, නිවැරදිද කියලා.

ඉසිදාසියට මුණගැසුනු රහත් භික්ෂුනීන්වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවය තුලින් සද්ධර්මය ශ්‍රවනයත්, සද්ධර්මය ශ්‍රවනය තුලින් නුවණින් මෙනෙහි කිරීමටත් දක්ෂ වූ ඉසිදාසිය උතුම් පැවිදි උපසම්පදාව ලබා, උතුම් රහත් භික්ෂුනීන්වහන්සේ නමක් වෙනවා. ඇය උතුම් රහත් ඵලයට පත්වුණාට පස්සේ, ඇය පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් ඇයගේ අතීත භවයන් පිළිබඳව උතුම් සමාධියෙන් විමසලා බලනවා. ඇය තම පූර්වේනිවාසානුස්සති ඥාණයෙන් දකිනවා මීට ආත්මභාව හතරකට ඉස්සෙල්ලා ඇය ධනවත් තරුණයෙක්. මුදල්, දේපල, ලස්සන යාලුවෝ, සුන්දර තරුණ ජීවිතයක් ගතකළ මේ තරුණයා, තරුණ මදය නිසාම බලවත් ආකාරයෙන් කාමයේ වරදවා හැසිරීමේ සිල්පදය දුර්වලකොට ගන්නවා. තරුණ වයසේ පමණක් නොවේ. ජීවිතයේ මධ්‍යම වයසේත්, වැඩිහිටි වයසේත් ඔහු කාමයේ වරදවා හැසිරුණා. අනුන් ගැන සිතුවේ නැහැ. තමන්ගේ කාම ආශ්වාදය ගැනමයි ඔහු සිතුවේ, ඇය විවාහක කෙනෙක්ද, ඇයට දරුවන් සිටිනවාද, ඇයගේ විවාහ ජීවිතය බිදීයයිද, සිල්පද බිදීම අකුසලයක් වෙයිද යනදේ ඔහුට අවශ්‍ය වූයේ නැහැ. කාමයේ වරදවා හැසිරීමේ වරද බලවත් ආකාරයෙන් සිදුකොට ඔහු මිය යනවා. පටිච්චසමුප්පන්නව ඔහු උපදින්නේ, වඳුරු පැටවෙක් වෙලා, මේ වඳුරු පැටවා කුඩා කාලයේදීම, වඳුරු රැලේ නායක වඳුරා විසින් මේ වඳුරු පැටවාගේ පුරුෂ ලිංගය කඩාගෙන කෑම නිසා මියයනවා.

පටිච්චසමුප්පන්නව වඳුරු පැටවා නැවත උපදින්නේ නාකි එළදෙනක කුස වස්සෙක් වෙලා. පින්වත් ඔබ නුවණින් දකින්න තරුණ එළදෙනකට උපදින පැටවාගේත්, වයසක එළදෙනකට උපදින පැටවාගේත් සංස්කාරවල විවිධත්වය. වයසක එළදෙනකට පැටවෙක් ඉපදුනානම් එම පැටවාට ලැබෙන රැකවරණය, ආදරය, කිරි ප්‍රමාණය, ආරක්ෂාව අඩුයි. තරුණ එළදෙනකට පැටවෙක් ලැබෙනවානම් ඉහත සාධක උපරිමයෙන් එම පැටවා ලබනවා. වයසක එළදෙනකට දාව ඉපදුන මේ වසු පැටවා තරුණ වයසට පැමිණෙනකොට එම වස්සාව, හරක් හිමිකරුවා වැඩගැනීම සඳහා පුස්සෙක් කරනවා. ඒ කියන්නේ ලිංගිකත්වය අඩපණකොට දමනවා. පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමේ විපාකයන්, ලිංගික ක්‍රියාවලිය අඩපණ වූ මේ ගොන් වස්සා වයසට ගොස් මිය යනවා. පටිච්චසමුප්පන්නව මේ ගොන් වස්සා වයසක එළිච්චියකට දාව පිරිමි එඵ පැටවෙක් වෙලා උපදිනවා. එතනත් වයසක අම්මා කෙනෙකුට දාවයි උපදින්නේ. තරුණ වයසේදීම මේ එඵ වස්සාගේ පුරුෂ ලිංගයේ ආසදනයක් හේතෙුවෙන් පුරුෂලිංගයට පණුවන් ගසා මිය යනවා. මේ එඵ වස්සා පටිච්චසමුප්පන්නව පිරිමි දරුවෙක්ව මනුෂ්‍ය කුලයක උපත ලබනවා. හැබැයි නපුංසකයෙක් හැටියට. මේ නපුංසක පුද්ගලයා කළා වූ පින්කම හේතුවෙන් මියගොස් පටිච්චසමුප්පන්නව ඉසිදාසිය නමින් දඹදිව උපත ලබනවා. පින්වත් ඔබ නුවණින් දකින්න ආත්ම භාව පහක ඉසිදාසියගේ අතීත භව කථාව මොනතරම් සංකීර්ණ වූ විවිධත්වයෙන් පිරුණු කථාවක්ද. වයසක අම්මා කෙනෙකුට දරුවෙක් ලැබීමත්, වස්සෙක් වැඩ ගැනීම සඳහා ලිංගිකත්වය අඩපන කිරීමත්, එඵ වස්සගේ පුරුෂ ලිංගය පණුවො ගැසීමත්, වඳුරු පැටවාගේ පුරුෂ ලිංගය මහා වඳුරා කඩාගෙන කෑමත් නපුංසකව ඉපදීමත් අහම්බයන් නොවේ, හේතුඵල ධර්මයන්. කාමයේ වරදවා හැසිරීමේ වරදේ ජීවමාන ප්‍රතිබිම්බයක්. අරිහත් ඵල අවබෝධය සාක්ෂාත්කොටගෙන සිටි ඉසිදාසි උත්තමාවිය, නුවණින් දකිනවා, ගිහි ජීවිතයේදී තමන් විවාහ තුනකින්ම දික්කසාද වූයේ, මාගේ සැමියනට මා නීරසවූයේ, සැමියන් වහකදුරු මෙන් මාව, ප්‍රතික්ෂේප කළේ, ආදරයේ සුන්දර අත්දැකීම් විවාහය තුලින් මා නොලැබුවේ, දෙමාපියන්ගෙ න් මා චෝදනාවට ලක්වූයේ අනුන්ගේ වරදක් නිසා නොව, මා විසින්ම සංසාරයේ කරන ලද, කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයන්ගේ හේතුඵල ධර්මයන් නිසාමය කියලා. ඉසිදාසි රහත් උත්තමාවිය නුවණින් මෙනෙහි කරනවා, පටිච්චසමුප්පන්නව මා සංසාරයේ කළ කාමයේ වරදවා හැසිරීමේ අකුසල් විපාකයන් නිසා, මමත් දුකටම පත්වුණා, ජීවිතය නැතිකරගන්නවාය කියන තැනට අකුසල් විපාකයට පැමිණුනා. මගේ අතීත අකුසල් නිසා, මාව දික්කසාද කළ ස්වාමිපුරුෂයන් තිදෙනෙක් අඵතින් අකුසල් රැස්කොටගත්තා, මට චෝදනා කිරීම නිසාම මගේ දෙමාපියනුත් අඵතින් අකුසල් රැස්කොටගත්තා. කුසල්, අකුසල් ඇස්බැන්ඳුම පංචඋපාදානස්කන්ධ ලෝකය අවුලුවමින් ගිනි පතුරුවද්දී මම නැවතුනා, මම නිවුනා කියලා ඉසිදාසි උත්තමාවිය සිංහසෙයියාවෙන් සිංහනාදකළා.

දික්කසාද නඩුවලින් පිරුණු, වර්තමාන අධිකරණ ශාලාවල, අනුනට වරද පටවමින් තමන් නිර්දෝෂ වීමට තීන්දු සොයන පින්වතුන්ලාට පින්වතියන්ට ඉසිදාසි උත්තමාවිය, තම පූර්වේනිවානුස්සති ඥාණය තුලින් මතුකොටගත් ඇත්ත කථාව තිත්ත වුවද තිත්ත කසාය තුල අකුසල් මූලයන් අඩුකොට ගැනීමට හොඳ ගුණාත්මකභාවයක් තිබෙන බව, පින්වත් ඔබ අවබෝධකොටගත යුතු වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සීලය කාන්තාවකට බලයක්ය කියලා. සීලය නැමති බලය, කාන්තාවක් තම ජීවිතයට එකතුකොටගත හොත්, ඇය මෙලොව පරලොව දෙකේදීම ආරක්ෂාවෙනවා. ඒ වගේමයි ඇය, ඇයගේ ජීවිතයට විපකයට පැමිණීමට ඇති, අතීත අකුසල් ද අඩපණකොට දමනවා. පින්වත් ඔබ ආදරයෙන් බැඳුන යුගදිවි ගමනේ දෙපා තබායන, මල් පාවඩ මත කඳුලැලි වැටුණොත් සියල්ලටම ඉස්සරවෙලා නීතිය ඉදිරියට දිවයන්න එපා. මුලින්ම අකුසලය තමන්ගේම බව දැන ධර්මමාර්ගය තුලම, විසඳුම් සොයාගන්න දක්ෂවෙන්න. තෙරුවන් කෙරෙහි ඇති විශ්වාසය, කර්මය කර්මඵල කෙරෙහි ඇති විශ්වාසය, සංස්කාරයෙන්ගේ අනිත්‍යභාවය ඔස්සේ ඔබ ප්‍රශ්නයට විසඳුම් සොයන්න උත්සාහ කළොත්, පින්වත් ඔබ අකුසලය ඉදිරියේ දික්කසාද තුනක් උපේක්ෂාවෙන් අත්විඳි ඉසිදාසිව ආදර්ශයට ගත්, පින්වතෙක්, පින්වතියක් වෙනවා. පින්වත් ඔබ අතීත සංස්කාරයන්ගේ කටුකභාවය දැක ප්‍රශ්න ජීවිතය ඉදිරියට පැමිණීමට පෙරාතුව සීලයේ බලය ජීවිතයට එකතුකොට ගන්න දක්ෂවෙන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම යාගය පළිගැනීමවත්, අධිකරණයට යාමවත් සටන්කිරීමවත් නොව, සිල්පද පහ නිවැරදිව ආරක්ෂාකොට ගැනීමය කියලා.