අශ්‍රද්ධාවේ අකීකරුකමට, හොඳම ඔසුව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයි

සාරිපුත්ත මහරහතන්වහන්සේගේ ගිහි කාලයේ නම උපතිස්ස. මේ පින්වත් උපතිස්ස තරුණයා, අස්සජි මහරහතන්වහන්සේගෙන් උතුම් සද්ධර්මය ශ්‍රවණය කරලා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණෙනවා. ධර්මයේ ඇස මතුකොටගන්න පින්වත් උපතිස්ස තරුණයා, තමන් සමග එකම ගුරු නිවසේ ශිල්ප හදාරමින් සිටි යහලුවන් සියලු දෙනාමත් එකතුකරගෙන බුදුරජාණන්වහන්සේ බැහැදකින්න යන්න සැරසෙන මොහොතේ, පින්වත් උපතිස්ස තරුණයාට සිතෙනවා, ගුරු ගෙදර තමන්ගේ ගුරුවරයා වන සංජය නැමති ගුරුවරයාවත් බුදුරජාණන්වහන්සේ හමුවීමට කැඳවාගෙන යන්නට ඕනෙය කියලා. පින්වත් උපතිස්ස තරුණයා තම ගුරුවරයාට කියනවා, ගුරුතුමනි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහළවෙලා තිබෙනවා, තෙරුවන් ලෝකයේ වැඩසිටිනවා, පින්වත් ගුරුතුමාත් එන්න අපිත් සමඟ බුදුරජාණන්වහන්සේ බැහැදකින්න යන්න කියලා. එවිට සංජය ගුරුවරයා කියනවා උපතිස්ස ඔබලා යන්න, ඔබ මගේ ගුරු ගෙදර සියලුම ශිෂ්‍යයින් එකතුකරගෙන යන්න. මම එන්නෙ නැහැ බුදුරජාණන්වහන්සේ දකින්න යන්න. මගේ ගෝලයින් සියලු දෙනාම මා අතහැරගියත්, මගේ පිරිස කවදාවත් අඩුවෙන්නේ නැහැ. මගේ ගුරු ගෙදර කවදාකවත් වසාදමන්නේ නැහැ. මොකද මම හොඳාකාරවම දන්නවා, ලෝකයේ අනුවණ පිංවතුන්, මෝඩ පිංවතුන් වැඩිය කියලා. සංජය ගුරුවරයා, තම උපතිස්ස ශිෂ්‍යයාට කරන මේ ප්‍රකාශය, බුදුරජාණන්වහන්සේලා දේශනාකොට වදාළ අප්‍රමාදීභාවයට පිටුපාන ලෝකයාගේ සැබෑම තත්වය පෙන්වා දෙනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටි කාලයේදීත් ලෝකයේ සැබෑ තත්වය මෙසේනම්, මේ සංසාරික බිය නුවණින් මෙනෙහි කිරීමට දක්ෂ පින්වතා, ධර්ම මාර්ගයේ අප්‍රමාදීභාවයට පත්වීම හැර, වෙන කුමන විකල්පයක් ජීවිතයට එකතුකොට ගන්නද? මෙය සටහන් තබන භික්ෂුව පින්වතුන්ලාට යම් ධර්මයක් දේශනා කරනවා නම්, යම් ධර්මයක් සටහන් තබනවා නම්, එම ධර්මය සටහන් තබන්නේ ලෝකය හදන්න නොවේ, පින්වත් ඔබට ලෝකයෙන් මිදීයන්නයි. අතීතයේ බුදුරජාණන්වහන්සේලා ලක්ෂ ගණනක් පහළවෙලත්, දසරාජධර්මයෙන් රාජ්‍ය කරන සක්විති රජවරුන් ලක්ෂ ගණනක් පහළවෙලත්, හදන්න බැරිවුණ ලෝකයක් මේක. අපේ කාලයේ කාල්මාක්ස්, ලෙනින්, පිදෙල් ක්‍රෑස්ත්‍රෝ වැනි මහත්වරුන්ටත් හදනවා තබා, තමන්ටවත් ගොඩඑන්න බැරිවූ ලෝකයක් මේක. බුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා ධර්මමාර්ගය උපයෝගීකොටගෙන ලෝකයෙන් මිදීයත්දී මෝඩ අපි, තවමත් ලෝකය හදන්නට යනවා, නිවැරදි කරන්නට යනවා. සංස්කාරයන් වේගයෙන් අනිත්‍යභාවයට පත්වීගෙන යනවා, සංස්කාර අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්, අපි නැවත නැවත වේගයෙන් සංස්කාරයන් රැස්කොටගන්නවා. සංස්කාරයන් විපාකදීමත්, සංස්කාරයන් රැස්වීමත් එකම ක්‍රියාන්විතයක ඇස්බැන්දුමක් බව නුවණින් දකින පින්වතා, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නැමති මැජික්කරුවාට නිරතුරුවම, සතියෙන් සිහියෙන් යතුව වේවැල පෙන්වන අප්‍රමාදීභාවයට පත්වූ පිංවතෙක් වෙනවා.

අයෝනිසෝ මනසිකාරය තුල නිරතුරුවම යෝනිසෝ මනසිකාරය සැඟවී තිබෙනවා, අයෝනිසෝ මනසිකාරය තුලින් යෝනිසෝ මනසිකාරය මතුකොට දෙන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුලින්, එක් පින්වත් මහත්මයෙක් තම හොඳම හිතවතෙකුට ආර්යඅෂ්ඨාංගික ධර්මය සටහන් තැබූ පොතක් ධර්මදානයක් වශයෙන් පූජාකොට තිබෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පොත අතට ගත්ත එම හිතවතා අපෝ මේ හාමුදුරුවන්ගේ පොත් මම කියවන්නේ නැහැ, මේ හාමුදුරුවො ධර්මය විකෘති කරනවා කියලා, එම පොත ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එවිට ආගන්තුක හිතවතා ප්‍රකාශ කරල තිබෙනවා ඔයාට එපානම් බිරිඳ පොත කියවයි කියලා. බිරිඳට පොත පූජාකරලා තිබෙනවා. තම සැමියාගේ විරෝධය මැද්දේම බිරිඳ පොත කියවලා, එහි ධර්මානුකූල වටිනාකමක් දැකලා, ඒ බව තම සැමියාට කියලා තිබෙනවා. සැමියා එතනදීත් පොත ප්‍රතික්ෂේප කරලා. බලන්න අශ්‍රද්ධාවේ අකීකරුකමක අනතුරුදායකභාවය. නුවණැති බිරිඳ තම ස්වාමිපුරුෂයා කෙරෙහි අනුකම්පාවෙන් ස්වාමිපුරුෂයාට හොඳින් ඇසෙන්න පොත ශබ්දනගලා කියවලා තිබෙනවා. බිරිඳගේ උපක්‍රමශීලීභාවය හමුවේ පොතේ කරුනු තේරුම්ගත් ස්වාමිපුරුෂයා පසුව එම ධර්ම පුස්තකය බිරිඳගෙන් ඉල්ලාගෙන කියවලා තිබෙනවා. සතියකට විතර පස්සේ එම පින්වත් මහත්මයා, පොත පූජාකරපු මහත්මයාට දුරකථනයෙන් කතාකොට දැනුම් දෙනවලූ ඔබ පූජාකරපු පොත් පිංච ගොඩාක් වටිනවා, මට මගේ පන්සලේ සිල් ඇත්තන්ට බෙදා දෙන්න පොත් පනහක් එවන්නය කියලා. ඉහත සිද්ධිය තුලින් පින්වත් ඔබට පැහැදිලි වෙනවා අනුවණභාවය තුල නුවණැතිභාවය සැඟවී තිබෙනවා. නමුත් ඔහු එය මතුකොටගන්නේ තම බිරිඳගේ කල්‍යාණමිත්‍ර උපකාරය තුලින්මයි.