දානයේ ආනිසංශ බෞද්ධ අබෞද්ධ කාටත් පොදුයි

බෞද්ධ වේවා අබෞද්ධ වේවා පින්වතුන්ලා දන් දෙන්න ගොඩක් කැමතියි. බෞද්ධ පින්වතුන් සම්මා දිට්ඨියේ අර්ථයෙන් පෝෂණය වූ සිතින්, දන් පූජාකරන අතර අබෞද්ධ පින්වතුන් දන් දෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැරවයි. දානයෙන් ලැබෙන ආනිසංශ බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ. සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ දානය පින්වත් ඔබට සම්මා දිට්ඨියට අදාළ දිව්‍ය මනුෂ්‍ය සැපයන්ට ඔබව ඔසවා තබන අතර සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් තොරව පූජාකරන අන්‍ය ආගමික පින්වතුන්ලාගේ දානයන්ගෙන් ලැබෙන ආනිසංශ මිථ්‍යාදෘෂ්ටික දිව්‍ය මනුෂ්‍ය සැපයන්ට ඔසවා තබනවා.

එක පින්වත් මහත්මයෙක් සිටිනවා. එම මහත්මයා බෞද්ධ පින්වතෙක්. නමුත් බුදුරජාණන්වහන්සේගේ දේශනා කොට වදාල සූත්‍ර ධර්මයන්ට පටහැනි දෘෂ්ඨිමතවාදවල සිරකරුවෙක් වෙලයි ඔහු ජීවත්වෙන්නේ. ඒ කියන්නේ එම පින්වත් මහත්මයාගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉතාමත් දුර්වලයි. යම් මනුෂ්‍යයෙක් තම බත් පිඟාන සමග මාලු කැබැල්ලක් අනුභව කළොත් එම මාලු කැබැල්ල අනුභව කළ මහත්මයා යන අපායක නම පවා ඉහත මහත්මයා ප්‍රකාශකරනවා. මේ හේතුව නිසයි භික්ෂුව සඳහන් කළේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් එම පින්වත් මහත්මයා දුර්වලයි කියලා. නමුත් මේ පින්වත් මහත්මයා විශාල වශයෙන් දන් දෙනවා. සාංඝික දාන පූජාකරනවා. සිල්වතුන්ට දන් දෙනවා. නමුත් මේ දානයන් ශ්‍රද්ධාවෙන් පෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසාම යම් දවසක ඒ මහත්මයා දීර්ඝායුෂ ඇතිව ජීවත්වෙලා මියපරලොව යන වේලාවට දෘෂ්ඨිගත ශ්‍රද්ධාවෙන් පෝෂණයව පූජාකළ දානයන් නිසාම අන්‍ය ආගමික ධනවත් ප්‍රභූ පවුලක උප්පත්තිය සකස්කොට ගන්න පුලුවන්. සමහරක් පින්වතුන් අපෙන් ප්‍රශ්න කරනවා සාංඝික දානයත් පූජාකරන්නේ පින්වතුන් අපෙන් ප්‍රශ්න කරනවා සාංඝික දානයන් පූජාකරන්නේ බෞද්ධ පින්වතුන් නමුත් ලෝකයේ වැඩිම ධනවත් ප්‍රභූ පුද්ගලයින් ඉන්නේ අන්‍ය ආගම්වලය කියලා. අබෞද්ධ ධනවතෙක් උපදින්න එක හේතුවක් තමයි භික්ෂුව ඉහතින් සඳහන් කළේ.

තවත් පින්වත් අබෞද්ධ මහත්මයෙක් සිටිනවා. එම මහත්මයා පල්ලිය මුල්කොටගෙන තම ආගමට සම්බන්ධ පින්කම් සිදුකොට ගන්නවා. තම ආගමට සම්බන්ධ සීලයන් ආරක්ෂාකරන, මෛති‍්‍රය වඩන, සමාධිය වඩන, පින්වතුන්ලාව ආහාර, ඇඳුම් පැළඳුම්, පතපොත, නිවාස, යනාදී පූජාවන් සිද්ධ කරනවා. නමුත් ඔහු අබෞද්ධ පින්වතෙක්. මේ පුද්ගලයා දීර්ඝායුෂ ලබා ජීවත්වෙලා යම් දවසක මියපරලොව යන වෙලාවට අවසාන චුති සිතට තමන් සිදුකළ පින්කම් සිහියට නැගුනොත් ඔහු නැවත මිථ්‍යාදෘෂ්ඨික පවුලක ධනවත් ප්‍රභූ දරුවෙක්ව උපදින්න පුලුවන්.

කුසල් වේවා අකුසල් වේවා සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වය හරිම උපක්‍රමශීලියි. සමාජය තුල ඔබ දකින මනුෂ්‍යයාගේ උපක්‍රමශීලී ජීවන චර්යාවන් කියන්නේ සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම්වල ක්‍රියාකාරීත්වයයි. කෙනෙක් විශ්වවිද්‍යාල උපාධිය දක්වා අධ්‍යාපනය ලබලා, මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරනවා. තව කෙනෙක් පහේ පන්තියට විතරක් පාසලට ගිහිල්ලා වැඩිවියට පත්වෙලා ධනවත් ප්‍රභූ ජීවිතයක් ගතකරනවා. එක පින්වත් මහත්මයෙක් සිටිනවා. එතුමා උපත ලබන්නේ ඈත ගම්මානයක දුප්පත් ගොවි පවුලක. ගොවි පවුලක් කිව්වත් ඔවුනට ඉඩ කඩම් නැහැ. නමුත් මේ දුප්පත් දරුවා, මැදිවියට පත්වෙනකොට ධනවත් ප්‍රභූ ව්‍යාපාරකයෙක් බවට පත්වෙනවා. මේ දුප්පත්භාවය ධනවත්භාවය දෙකම සංස්කාරයන්ගේ ක්‍රියාකාරීත්වයේ ඵලයන්. මේ මහත්මයා දුප්පත්කම මැද්දේ අගහිගකම් ඇති පවුලක උපදින්නේ හේතුඵල ධර්මයන් නිසා. අපි සිතමු මේ දුප්පත් දරුවා පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක් කියලා. මේ පින්වතා පෙර ජීවිතයේ හොඳින් සිල්පද ආරක්ෂාකොටගෙන තිබෙනවා. එම නිසයි නැවත මනුෂ්‍යයෙක් බවට පත්වෙන්නේ. ඒ වගේමයි පෙර ජීවිතයේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවත්වෙලා තිබෙනවා. ඒ නිසයි බෞද්ධ අම්මා තාත්තාට දාව ඉපදුනේ. මෙම පින්වතා පෙර ජීවිතයේදී හොඳින් දන් පූජා කර තිබෙනවා. මෙම දානයන් අතර සාංඝික දානයක් වගේම උපාසක උපාසිකාවන් වැනි සිල්වතුන්ට දන් පූජා කරලා තිබෙනවා. සිල්වතුන්ට දන් පූජාකරනවා වගේම මේ පින්වතා ගිය ජීවිතයේදී දුගී මගී යාචක පින්වතුන්ලාට, රෝගී පින්වතුන්ලාට ළමා නිවාසවලට ආදී පිරිසවලටත් දානයන් පූජා කොටගෙන තිබෙනවා. මේ පින්වතා පෙර ජීවිතයේ මියයන වෙලාවේ අවසාන චුති සිතට අරමුණවෙලා තිබෙන්නේ දුර්වල දානමය චේතනාවක්. දුර්වල දානමය චේනාවට අදාලව මොහු දුප්පත් පවුලක උප්පත්තිය සකස්කොට ගන්නවා.

සමහර පින්වත් මහත්වරුන් සිටිනවා එම පින්වතුන් හොඳින් ගෞරවයෙන් මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථාන කරනවා. ඒ වගේම එම පින්වතුන් තිරිසන් සතුන්ටත් බොහෝම කරුණාවෙන් ඇප උපස්ථාන කරනවා. තිරිසන් සතුනගේ තිබෙන අසරණභාවය, සුරතල්භාවය නිසා තමන් පූජාකරන සාංඝික දානමය චේතනාවන්ට වඩා තමන් ආශ්වාදය ලබන්නේ තිරිසන් සතුනට කරන උපස්ථානයන්ට මේ ස්වභාවය හරිම අනතුරුදායක තැනක්. එම පින්වත් මහත්වරුන් දීර්ඝායුෂ ලබල, යම් මොහොතක මිය පරලොවයත්දී අවසාන චුති සිතට සාංඝිකදානමය චේතනාවන් යටපත්වී තමන් වැඩියෙන් ආශ්වාදය ලබන තිරිසන් සත්ව උපස්ථානයක් මතකයට පැමිණියොත් එම පින්වතුන් සිල්පද ආරක්ෂාකරගන්න නිසා නැවත පටිච්චසමුප්පන්නව දුප්පත් පවුලක මනුෂ්‍යයෙක්ව ඉපදීමේ ප්‍රවණතාවය හුඟාක්ම වැඩියි.

ගෙදර සුරතල් මසුන් ඇතිකරන, මාලු ටැංකියක් තිබෙන පින්වතුන් නිරතුරුව එම මාලුවන්ට කෑම දමමින් එම මාලුවන්ගේ හැසිරීම් රටාවන් නිසා ලොකු ආශ්වාදයක් ලබනවා. මාලු ටැංකියේ මාලුන්ට කෑම දැමීම නිසා ඔහු දන්දීමේ ආශ්වාදය හොඳින් ලබනවා. නමුත් මෙම තිරිසන් සතුනට දන්දීමේ ආනිසංශ හුඟාක් දුර්වලයි. මාලුන්ට දන්දීමේ ආශ්වාදය වැඩි නිසා මෙවැනි පින්වතුන්ට මරණාසන්න මොහොතේ තමන් පූජාකරගෙන තිබෙන සාංඝික දානයක් සිල්වතුන්ට පූජාකොටගත් දානයක් පිළිබඳ මතකය යටපත් වී දුර්වල සත්ව දානයක් මතකයට ඒමේ ඉඩකඩ වැඩියි. ඉහත කාරණාවන්ගෙන් පින්වත් ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ රෝගීන් වේවා, ළමා නිවාස වේවා, දුගීමගී යාචක පින්වතුන් වේවා, සියලු දෙනාටම ඇප උපස්ථාන කරන්න. නමුත් මේ සෑම උපස්ථානයක් තුලින්ම පින්වත් ඔබ පූජාකොටගත් සාංඝික දානමය චේතනාවන්, සිල්වතෙකුට දන් පූජාකළ චේතනාවන් ශක්තිමත් කොටගන්න දක්ෂවෙන්න. පින්වත් ඔබ ජීවිතයේ පූජාකොටගත් සියලු දානයන්ට ඉදිරියෙන් සාංඝික දානමය චේතනාවන් ඉදිරියටම ගන්න ඔබ දක්ෂවෙන්න. දන් පූජාකරන පින්වතුන්ලා ශක්තිමත්ව ආරක්ෂාවෙන ඉහත හේතුව නිසාම රෝගී පින්වතුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාසවල පින්වතුන්, දුගීමගී යාචක පින්වතුන් දක්ෂවෙන්න නිරතුරුවම තම තමන් සිල්පද පහ හොඳින් ආරක්ෂාකොටගෙන ජීවත් වී, තමන්ට ඇප උපස්ථාන කරන පින්වතුන්ලාගේ දානමය කුසල් ශක්තිය ශක්තිමත්කොට දෙන්න. එතැනදී පින්වත් ඔබත් ආරක්ෂා වී ඔබට උපකාර කරන ඔබට උපස්ථානකරන පින්වතුන්ලාවද ආරක්ෂා කරනවා.

පෙර ජීවිතයේ සාංඝික දානයන් සහ සිල්වතුන්ට දන් පූජාකොගෙන තිබුණත් අවසාන චුති සිතට එම ශක්තිමත් දානමය චේතනාවන් යටපත්වී දුර්වල දානමය චේතනාවක් සකස්වීම හේතුවෙන් දුප්පත් පවුලක ඉපදුනොත් මොහු පසුපස පසුගිය ජීවිතයේ පූජාකොටගත් සාංඝික දානමය පින්කම් සිල්වතුන්ට දන්දීමේ පින්කම්වල ශක්තිය සැඟවී තිබෙනවා. දැන් මේ දුප්පත් පින්වතා තරුණවියට එළඹෙනකොට සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මථාවය යටතේයි මේ තරුණයාට දැනීම සකස්වෙන්න, ගොවිතැන් කරන්න නොවේ. අනුන් යටතේ රැකියාවක් කරන්න නොවේ. ඔහුගේ කැමැත්ත දැනීම් සකස්වෙන්නේ පේමන්ට් එකේ වෙළඳාමක් කරන්න, නැතිනම් මැණික් ගරන්න, කුමක් හෝ ව්‍යාපාරයක නියැලෙන්න. මේ දුප්පත් තරුණයාට මෙවැනි දැනීම් සකස්වෙන්නේ පසුගිය ජීවිතයේ සැඟවී ඇති පිනට, විපාකදීමට අවශ්‍ය පසුබිම සකස්කොට ගන්න. අවසානයේ මේ දුප්පත් තරුණයා බොහෝම කැපවීම් කරමින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ධනවතෙක්, ප්‍රභූ පුද්ගලයෙක් බවට පත්වෙනවා.

පින්වත් ඔබ ඉහත කාරණය හොඳින් නුවණින් විමසා දකින්න. මොහු දුප්පත් පවුලක ඉපදුනේ, පෙර ජීවිතයේදී අවසාන චුති සිත, දුර්වල දානමය චේතනාවකට අදාලව සකස්වුණ නිසා, දුප්පත් පවුලක ඉපදීම හේතුඵල ධර්මයක්. එම දුප්පත් පවුලේ තරුණ දරුවාට ගොවිතැන් කරන්න, අනුන් යටතේ රැකියාවක් කරන්න, දැනීම් සකස් නොවී, අමාරුවෙන් හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුවීමට දැනීම් සකස් වූයේ අතීත ජීවිතයේ සැගවී ඇති ශක්තිමත් දානමය සංස්කාරයන්ට විපාකදීමට අවශ්‍ය අවස්ථාව ඇතිකොට ගන්න.

භික්ෂුව මේ මොහොතේ වැඩසිටින ප්‍රදේශයේ බොහෝම ධනවත් ව්‍යාපාරිකයෙක් සිටිනවා. මොහු බොහෝම දුප්පත් තැනකින් මතු වී පැමිණි ධනවතෙක්. මොහුගේ හිතවතෙක් මොහුට යෝජනා කරනවා, අපි පිරිතක් කියලා සාංඝික දානයක් පූජාකරලා ලොකු පින්කමක් කරමු කියලා. ඒ වේලාවේ මේ ධනවත් පින්වතා කියනවා, ඔය දාන පිරිත් මම ජීවිතයට ගාවගන්නේ නැහැ කියලා. පෙර ජීවිතයේ සිල්වතුන්ට පූජාකොටගත් දානමය පින්කම් හේතුවෙන් ලැබුණු ආයුෂ, වර්ණය, සැපය, බලය මත වැජඹෙමින් සංඝරත්නයට, දානයේ අර්ථයන්ට නිගරුකරන මෙවැනි පින්වතුන්ලා කවදා නැවත ඔය ලබන සැපයන් ලබන්නද? පින්වත් ඔබ කුමන ක්ෂේත්‍රයකදී වුවද ඔබ ලබන ජයග්‍රහණයන්ට සැපයන්ට, එකම හේතුව ඔබ අතීතයේ සිදුකරගත් ශක්තිමත් දානමය පින්කම්වල ඵලයන් වශයෙන්ම දකින්න දක්ෂවෙන්න. එය උතුම් සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. සැපයට හේතුව හඳුනාගැනීමට අදක්ෂ පින්වතා, යම් දවසක ඵලය අහිමිකොට ගන්නවා.