තමා තුලින්ම කල්‍යාණ මිත්‍රයා මතුකොට ගන්න දක්ෂවෙන්න

පිංවත් ඔබට තවමත් නිවීමේ මාර්ගයේ දොරටුව විවෘතවී නැතිනම් ඔබ මුලින්ම සද්ධාවේ යතුරයි සොයාගත යුත්තේ. සද්ධාවේ යතුර සොයාගෙන යනකොට පිංවත් ඔබ ප්‍රවේශම් වන්න ඕනේ ආකාරවති සද්ධාව කියන සැබෑම යතුරත්, අමූලිකා සද්ධාය කියන ව්‍යාජ යතුරත් දෙකම ලෝකය තුළ තිබෙනවා. මේ යතුරු දෙක නිවැරදිව හඳුනා ගැනීමේ ශක්තිය ඔබට තිබෙන්න ඕනේ. අමූලිකා සද්ධාව කියන යතුර මෝහය මුහුකරලයි හදලා තියෙන්නේ. එය අභියෝගයන් සහිත අවස්ථාවලදී දියවෙලා යනවා. ආකාරවති සද්ධාව බුදුරජාණන්වහන්සේගේ ගුණයන් කෙරෙහි අවබෝධයෙන් සැබෑම විශ්වාසයෙන් හැදිලා තිබෙන්නේ. ඒ විශ්වාසය කවදාවත් අභියෝග හමුවේ ඔබට අතහැරෙන්නේ නැහැ. ආකාරවති සද්ධාව සකස්කොටගත් තැනැත්තා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයෙන් බැහැරට යන්නේ නැහැ. එම ගුණයන් පිළිබඳව අතිශයෝක්තියක් නොවේ ඔහුට තිබෙන්නේ. සැබෑම අවබෝධයක් විශ්වාසයක්.

මෙයට සටහන් තබන භික්ෂුව බුදුරජාණන්වහන්සේගේ ගුණයන්මයි ඥානයමන්මයි නිරතුරුවම දැක්කේ. බුදුරජාණන්වහන්සේ තුළින්මයි ධර්මරත්නයේත් සංඝරත්නයේත් ආශ්චර්ය්‍ය දැක්කේ. පිංවත් ඔබ බුදුරජාණන්වහන්සේ කෙරෙහි උතුම් සද්ධාව සකස් කොටගත් සැණින් එහි ඵලය හැටියට ධර්මරත්නයත් සංඝරත්නයත් කෙරෙහි සද්ධාව සකස්වෙනවා. බුදුරජාණන්වහන්සේ ධර්මශක්තිය අයෝමය ශක්තියක්. එම ශක්තිය තුළ සිටිමිනුයි අපි ජිවිතය දකින්න ඕනෙ. බුදුරජාණන්වහන්සේගේ අයෝමය මහා කරුණා ගුණයේ ආශ්චර්ය්‍යමත් භාවයමයි භික්ෂුව හැම මොහොතේම දැක්කේ. එම මහා කරුණා ගුණයේ රැකවරණය තුළ සිටිමින්මයි භික්ෂුව නිවන් මාර්ගයේ සැම පියවරක්ම තැබුවේ. භික්ෂුව හැම මොහොතකම දැක්කේ ලොවුතුරා බුදුරජාණන්වහන්සේ මේ උතුම් සද්ධර්මය දේශනා කළේ මා උදෙසාමයි කියලා. මුලින්ම ඔබ බුදුරජාණන්වහන්සේ ඔබේ කරගත යුතුයි. ඔබේ ආරක්‍ෂයා කරගත යුතුයි.

භික්ෂුවගේ ගිහි ජිවිතයේදීත් පැවිදි ජිවිතයේදීත් සැපදුක් භික්ෂුව දැක්කේ ධර්මයේම කැඩපතක් හැටියට. බුදුරජාණන්වහන්සේගේ ධර්මයත් භික්ෂුවගේ ජිවිතයත් අතර වෙනසක් දැක්කේ නැහැ. ඒ හේතුවෙන්මයි ජිවිතයත් ධර්මයත් එකක්ම වූයේ. ජිවිතයත් ධර්මයත් එකක්ම වෙච්ච තැනකදී ධර්මයා සොයා යන්න භික්ෂුවට අවශ්‍ය වුණේ නැහැ. ජිවිතය තුළින්ම ධර්මය දැක්කා. ධර්මය තුළින් ජිවිතය දැක්කා. මේ තරම් සරළ තැනකට භික්ෂුව ගෙනාවේ තෙරුවන් කෙරෙහි සද්ධාව නිසාමයි. මේ සද්ධාව හේතුවෙන්ම භික්ෂුව තුළින්ම භික්ෂුව කල්‍යාණමිත්‍රයා මතුකොට ගත්තා.

තෙරුවන් කෙරෙහි සද්ධාවේ ආශ්චර්ය්‍යමත්ම තැන තමයි තමා තුළින්ම තමා කල්‍යාණමිත්‍රයාව මතුකොට ගැනීම. දැන් තමා සුරක්ෂිත පුද්ගලයෙක්. ඔහු දැන් ලෝකය පසුපස ධර්මය සොයමින් ඉබාගාතේ යන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තුවුන සැබෑම ඉලක්කය පිළිබඳව සිහියෙන් ඔහු නිරතුරුවම සන්නද්ධයි. මේ සිහිය නැමැති සන්නද්ධ ආරක්ෂාව නිරතුරුවම නිවීමේ මාර්ගයේ සතුරු සේනාවන් වන පංචනීවරණ ධර්මයන් පළවාහරිනවා. පංචනීවරණයන්ගෙන් යටපත් වූ සිත බුදුරජාණන්වහන්සේගේ ගුණයන් ගැනමයි සිහිපත් කරන්නේ. ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනවත්භාවය වන සද්ධාව අචල සද්ධාව බවට පත්කරගැනීමටයි දැන් ඔහු වෙහෙසෙන්නේ. ඔහු හොඳින්ම දන්නවා නිවීමේ මාර්ගයේ මුල්ම සුදුසුකම සද්ධාව බව. ඔහු සමාධිය ගැන ප්‍රඥාව ගැන සිතන්න කලබලවෙන්නේ නැහැ. එහෙම සිතන්න කියලා බුදුරජාණන්වහන්සේ තවම කියලා නැහැ.

ආරය්‍ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම පියවර සම්මාදිට්ඨිය. මුලින්ම තෙරුවන් කෙරෙහි සද්ධාවට මුල් තැන දෙන්න. අපි පළවෙනි පියවර සැකයෙන් විච්කිච්ඡාවෙන් පිරිසිදු කොටයි දෙවැනි පියවරට යායුත්තේ. තෙරුවනගේ ගුණයත් එහි සැබෑම අර්ථයත් නුවණින් දකිනකොට සද්ධාව අප තුළ අචල සද්ධාවක් බවට වැඩෙන්නේ ප්‍රඥාවත් සියුම්ව මෝදුකරගෙනයි. සද්ධාව හේතුවෙන් ඔබතුළ ප්‍රඥාව වැඩෙනවා කියන්නේ ප්‍රඥාව සකස්වීමට හේතුකාරණා වන වීර්ය්‍ය සති සමාධි ධර්මයනුත් පිංවත් ඔබ තුළ මෝදුවෙනවාය කියන කාරණයයි.

මෙවැනි මොහොතක පිංවත් ඔබ තව තවත් බුදුරජාණන්වහන්සේගේ මහා කරුණා ගුණයේ සෙවණටමයි සමීප විය යුත්තේ. බුදුරජාණන්වහන්ස්ගේ මහාකරුණා ගුණය අපගේ භව අසරණභාවය නිවීම උදෙසාමයි. උන්වහන්සේ සසර පුරාවට පාරමීධර්මයන් පුරමින් සකස්කොට ගත් ඒ මහා කරුණා ගුණයේ සෙවණට යමෙක් පත්වුවහොත් ධර්මයේ ඵලයන්මයි ඔහු බලාපොරොත්තු විය යුත්තේ.

භික්ෂුව මෙවැනි ස්වභාවයක් තුළදී නිරතුරුවම සිතුවේ බුදුරජාණන්වහන්සේ කියලා කියන කොට සිදුහත් කුමාරයා කියන තැනින් නවතිනවා. සිදුහත් කුමාරයා කියන තැනට එන්න බෝධිසත්වයන් වහන්සේ මොන තරම් නම් කැපවීම් සිදුකළාද? දීපංකර බුදුරජාණන්වහන්සේ අභිමුව සුමේධ තාපසයන් හැටියට දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් එක බණ පදයක් ශ්‍රවණය කරලා නිවන් අවබෝධය ලබන්න එදා සුමේධ තාපසයන්ට අවස්ථාව තිබුණා. සුමේධ තාපසයන් තමාගේ නිවීමේ කැමැත්ත අතහරිනවා මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. තවත් සියක් කෝටි ගණනක් අසරණ සත්වයින්ට නිවන් මාර්ගය මතුකොට දීලයි පිරිනිවි යන්නේ කියලා. එදා සුමේධ තාපසයන් ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමි තීරණයක් අරගෙන මේ අතිභයානක සංසාර ගමනට බැස්සේ ඔබ උදෙසාමයි කියලයි ඔබ සිතන්න පුරුදුවෙන්න ඕනේ.

එදා සුමේධ තාපසයන් එවැනි තීරණයක් නොගන්න අපට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැසෙන්නේ නැහැ. එහෙම වුණානම් ඔබත් මමත් බිහිසුණු මිත්‍යාදෘෂ්ටික ලෝකයේ සතර අපායේ කොටස්කරුවෙක් මේ මොහොතේ. දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ගෞතම සම්මා සම්බුද්ධත්වය කියන නියත විවරණය ලබාගත් තැන් පටන් කල්ප ලක්ෂ කීයක් නම් දසපාරමී ධර්මයන් පුරමින් සංසාරයේ සැරිසැරුවද? මේ අති දීර්ඝකාලය පුරාවට තම ඇස් ගලවා ගලවා කැමැත්තෙන්ම දන්දෙනවා. මහා සාගරයේ ජලය පරදවන තරමට රුධිරය දන්දෙනවා. මහ පොළොවේ පස් පරදන තරමට ශරීර මාංශ දන්දෙනවා. මේ සංසාරික පාරමී ගමන තුළදී සක්විති රජපදවියක් රටක් රාජ්‍යයක් බිසවක් බිරිඳක් දරුවෙක් තනතුරක් වස්තුවක් දේපළක් ලැබුවද ඒ සියල්ල කැමැත්තෙන් දන් දෙනවා. තමාගේ කැමැත්ත ඔබ අපි උදෙසාම කැපකරනවා. අපිට ධර්ම මාර්ගය විවෘත කොට දීම උදෙසා සියල්ල කැප කරනවා.

පිංවත් ඔබ සිතන්න දක්ෂවෙන්න ඕනේ ඔබ සඳහාමයි බෝධි සත්වයන් මේසා කැපවීම් කළේ කියලා. කල්පයක් කියන්නේ මොනතරම් දුරක්ද? බුදුරාජණන්වහන්සේ දේශනාකරනවා කල්පයක් හැඳින්වීමට මෙවැනි උපමාවක්. යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් ගන්න. මෙතනදී යොදුනක් කියන්නේ සැතපුම් දාහතක් පමණ ප්‍රමාණයක් බව ඔබ සිහිකරගත යුතුයි. මේසා විශාල පෙට්ටියකට අබ ඇට පුරවලා වසර 100 ට වතාවක් එක අබ ඇටය බැගින් ඉවත්කළොත් යම් දවසකද එම අබ ඇට ප්‍රමාණය ඉවර වෙන්නේ කල්පයත් එතරම් දුරයි කියලා.

එහෙම නම් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කළ යුතුයි පිංවත් ඔබ උදෙසාම ඔබට මේ ධර්මයේ සැනසිල්ල ලබාදීම උදෙසාම බෝධිසත්වයන්වහන්සේ එවැනි කල්ප ලක්ෂ කීයක් කැපකළාද කියන කාරණය. මෙවැනි සිතාගැනීමටවත් නොහැකි අතිදීර්ඝ කැපවීමක් ඔබ වෙනුවෙන් ඔබගේ දෙමාපියන්, ඥාතීන්, දරුවන් විඳලා නැහැ. ඒ අය ඔබ වෙනුවෙන් උපරිම වසර 50 ත් දුක් විඳින්න ඇති. ඒ වසර 50 ක් දුක් විඳින්නේ මගේ පුතා, දුව කියන චේතනාවෙන්. මෙවැනි මහමෙරක් වගේ කැපවීමක් ඔබ වෙනුවෙන් සිදුකළ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥාතිවරයෙක් සිටිනවා. නමුත් ඒ ප්‍රතාපවත් ඥාතිවරයාගේ අම්මාගේ තාත්තාගේ රුව ගුණ සැබැවින්ම ඔබ දකින්නේ නැහැ.

බුදුරජාණන්වහන්සේ කියලා සිතනකොට සිදුහත් කුමාරයා කියන තැනින් නවතින්නේ නැතිව දීපංකර බුදුරජාණන්වහන්සේගේ පාද මූලයටම යන්න. ඒ අතීත කාල පරාසය තුළ සද්ධාව සකස්කර ගැනීමට අවශ්‍ය මහා ගුණ කන්දරාවක් සැඟවී තිබෙනවා. මෙවැනි අතීතර පාරමි ගමනක් පරිපූර්ණ කරලා සිදුහත් කුමාරයා හැටියට ඉපදිලා මොනතරම් අසිරියක්ද වින්දේ. අනාගත සක්විති රජකමේ අසිරිය දරාගෙන රජ පවුලක උපත ලබලා රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල අනේක සැප පහසුව ලබලා යසෝදරාව වැනි පිංවත් රූමත් බිසවක් රාහුල වැනි පිනැති පුතකු ලබලා මේ සැම සම්පතක්ම හිමිදිරියේ ඉවතලන කෙළ පිඩක් සේ ඉවත දමලා ගිහි ගෙදරින් නික්මිලා වනගත වෙනවා.

පිංවත් ඔබට පුළුවන්ද ඔබේ ගේ දොර අතහැරලා ව්‍යාපාරය අතහැරලා දුවා දරුවන් අතහැරලා එක් දිනක් විවේකීව සිටින්න. නමුත් සිදුහත් කුමාරුන් මෙවන් යසඉසුරු අත්හැරදමා යන්නේ ඔබත් මමත් මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ලබාදීම සඳහාමයි.

එතැන් පටන් හය වසරක් පුරාවට ගුරුවරයෙක් ඥාතියෙක් හිතවතෙක් නොමැතිව අධිෂ්ඨානය පමණක් එකම හිතවතා කොටගෙන දුක තුළින් දුක ජයගැනීමට හැකිය යන විශ්වාසයෙන් ශරීරයට දුන් අප්‍රමාණ දුක් මෙලොව කිසිම බ්‍රහ්මයෙකු දෙවියෙකු මනුෂ්‍යයෙකු මෙයට වැඩියෙන් විඳනැති බව පසු කාලයකදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී සමහර දිනවල මම වැළඳුවේ එක කඩල ඇටයක් පමණයි. සමහර දිනවල වැළඳුවේ එක මුං ඇටයක් පමණයි. තවත් සමහරදාට එක සහල් ඇටයක් පමණයි. ඊට වඩා දෙයක් මම ගත්තේ නැහැ. මම විශ්වාස කළා දුක තුළිනුයි දුක ජයගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ කාලයේ මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබුණේ නැහැ. ඒ දෙකම එකට ඇලිලයි තිබුණේ. නමුත් අතීත පාරමී ශක්තිය නිසා ජිවිතය රැකිලයි තිබුණේ. මට සමහර දිනවල ඇවිදින්න පණ තිබුණේ නැහැ. මම බඩගාගෙන ගව ගාල් වලට ගිහිල්ල ගොපළු දරුවන් ඉවත්වෙනතුරු ඉඳලා එළදෙනුන්ගේ තන පුඩු වලට කටතබාගෙන කිරිඋරා බීවා. එම එළදෙනුන් පයින් ගසන විට ඒ පා පහරවල් වැදී කලන්තය දමා දින ගණන් වැටී සිටියා. නැවත සිහිය එනවිට ගව ගාලේ වැටී තිබු වසු පැටවුන් දමන කහපාට අසුචි මම අනුභව කළා. වසු පැටවුන්ගේ කහපාට අසුචි අනුභව කරනකොට මට අපුලක් දුගඳක් දැනුනේ නැහැ. මම කැමැත්තෙන්මයි අනුභව කළේ. රජ පවුලක සක්විති රජ තනතුරේ උරුමය දරාගෙන ඉපදිලත් සිදුහත් කුමරුන්ට හරක් පැටවුන්ගේ කහපාට අසුචි වළඳනකොටත් අපුලක් දුගඳක් නොදැනුනේ ඔබත් මමත් කෙරෙහි අනුකම්පාවෙන්මයි. ඔබත් මමත් මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ලබාදීම සඳහාමයි.

පසුව උන්වහන්සේ දැනගන්නවා දුක තුළින් දුක ජයගන්න බැහැය කියන කාරණය. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව තෝරාගන්නේ ඉන් අනතුරුවයි. ඉන් අනතුරුව සුජාතා සිටුදියණියගේ කිරිපිඩු දානය වළඳලා ජයශ්‍රීමා බෝධිමූලයේ බෝධිසත්වයින් වාඩිවෙන්නේ ‘මේ ශරීරයේ ලේ සම් මස් නහර වියලේවාෟ මා සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නොනැගිටිමි’ ය කියන අධිෂ්ඨානයෙන්. බලන්න පිංවත් ඔබත් මමත් උදෙසා බෝධිසත්වයන් වහන්සේ තම ජිවිතය මරණයට දමනවා ජිවිතය අතහරිනවා උතුම් සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන්. පිංවත් ඔබටත් මටත් මේ සම්මා සම්බුද්ධ ශාසනේ අසිරිය ලබාදෙන්න බෝධිසත්වයන් කී වතාවක් නම් ජිවිතය මරණයට දමන්න ඇතිද? උන්වහන්සේගේ අතීත පාරමී ශක්තියේ කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවය නිසාම සම්මා සම්බුද්ධ ඥානයත් ජිවිතයත් දෙකම දිනාගන්නවා. ඔබත් මමත් උදෙසා මෙවන් අසිරිමත් කැපවීම් කළ තවත් උත්තමයෙක් ගැන කෙසේ නම් සිතන්නද? පිංවත් ඔබේ අම්මා තාත්තා පුතා දුව ඥාතිවරයා වැඩිම වුනොත් ඔබ වෙනුවෙන් අවුරුදු 50 ක් දුක්විඳින්න ඇති. ඒත් ඒ දුක් වින්දේ ඔබට අධ්‍යාපනයේ රැකියාවේ ගෙදර දොරේ විවාහ ජිවිතේ වටිනාකම කියාදෙන්නමයි. ඒ කියන්නේ දුකට පාර කියාදෙන්නමයි.

එහෙත් කල්ප ලක්ෂ ගණනක් පුරාවට මහාසාගරය ලේ ධාතුවෙන් පුරවපු මහා පොළොව ශරීර මාංශවලින් වැසුව ඔබ වෙනුවෙන් මහා දුක්කන්දරාවක් වින්ද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥාතිවරයෙක් ඉන්නවා මේ ලෝකයේ. ඒ තමයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ. මෙසේ සිතමින්ම ඒ උතුම් අම්මා තාත්තාගේ මහාකරුණා ගුණයේ සෙවනටමයි අපි සේන්දුවෙන්න ඕනේ. ඒ උතුම් කරුණාගුණය තුළයි අපේ අසරණභාවයට සරණක් තිබෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරා සම්බෝධිය අවබෝධකොටගෙන හතලිස් පස් වසරක් පුරාවට උන්වහන්සේ තම සිරිපතුල්වල කරගැට දියපට්ටා මතුවෙන තුරාවට යොදුන් සිය දහස් ගණන් දෙපයින්ම වැඩමකොට අසරණ සත්වයින් සොයසොයා ගියේ සද්ධර්මයේ සැනසිල්ල ලබාදීමටයි.

සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනාවක් පුරාවට රැස්කළ පාරමී ධර්මයන්ගේ ඵලය වන සම්මා සම්බෝධිය හතලිස් පස්වසරකින් නිමාකරලා පිරිනිවන් මංචකයේ සැතපිලා උන්වහන්සේ දේශනා කරන්නේ ‘සියළු සංස්කාරයෝ අනිත්‍යය’ කියන ධර්මතාවයි. මේ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ හිස ගිනි ගත්තෙක් ඒ ගින්දර නිවන්න යම් වෙහෙසක්ද ගන්නේ ඊට වඩා වෙහෙසක් ගෙන මේ භවගින්දර නිවාගන්න කියන අවසාන වචනයයි සම්බුදු මුවින් පිටවෙන්නේ.

උන්වහන්සේ දේශනාකළේ නැහැ පිංවතුන්ලාට තට්ටු දෙකේ ගෙදරක් හදාගෙන හොඳ රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන විවාහයක් වෙලා දරු මුනුපුරන් හදාගෙන ජිවත්වෙන්න එය සැපයක්ය කියලා. උන්වහන්සේ දේශනා කළේ නැහැ කිසිදු දිව්‍ය බ්‍රහ්ම තලයක එක දශමයක හෝ නිත්‍ය ස්ථිර සැපයක් තිබෙනවා කියලා. ඇයි භාග්‍යවතුන්වහන්සේ එහෙම දේශනා නොකළේ? අනේ මේ සත්වයා මේ කෙටි සැපයට මුලාවී කල්ප ගණන් වන අබුද්ධෝත්පාද කාලවල මංමුලාවට පත්වී දුක්විඳියි කියන මහාකරුණාවෙන්මයි.

ඔබ උදෙසා මෙවන් අසිරිමත් මහාකරුණා ගුණය ලයෙහි දරාගෙන වැඩසිටිය උතුම් ශාස්තෘන්වහන්සේගේ මහාකරුණා ගුණයේ සෙවනට ඔබ ලංවෙන්න. උන්වහන්සේ කැමතිවුනේ නැහැ සත්වයා භවයේ දුකෙන් දුකට යනවා දකින්න. එවන් අසිරිමත් ශාස්තෘන්වහන්සේ නමකගේ රැකවරණයෙන් ඔබ දුරස්වෙන්න එපා.