උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවාද?

භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්‍ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම් රහතන්වහන්සේලා ලෝකයේ නැහැයි කියලා කාටවත්ම ප්‍රකාශ කරන්න බැහැ. එහෙම ප්‍රකාශකරන මොහොතේම ධර්මයේ සන්දිට්ඨිකගුණය අභියෝගයට ලක්වෙනවා. නමුත් හේතුඵල ධර්මයන්ට අනූව ගලපා බලනකොට වර්තමානයෙත් අනාගතයේදීත් ගෞතම සම්මාසම්බුද්ධ ශාසනය තුළදී උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා පහළ නොවන බවයි භික්ෂුව දකින්නේ. එය භික්ෂුවගේ අදහස පමණයි. ඕනෑම පිංවතෙකුට එම අදහසට වෙනස් අදහසක් ප්‍රකාශකරන්න පුළුවන්.

එර්දිය කියන්නේ හැමෝටම වඩා ඉහළින් ඉදිරියෙන් සිටිනවාය කියන අර්ථයයි. මේ අර්ථය තුළම තිබෙනවා එර්දිය තිබෙන කෙනාට අනෙක් අයට වඩා අතීත කුසල් ශක්තිය වැඩිය කියන කාරණය. අනෙක් අයට වඩා කුසල් ශක්තිය වැඩි නිසායි ඔහු සියල්ලන්ටම වඩා උඩින් සිටින්නේ. ඉදිරියෙන් සිටින්නේ. එහෙම නම් අපි පිළිගන්න අවශ්‍යයයි ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේට වඩා උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේට අතීත සංස්කාරික කුසල් ශක්තිය වැඩිබව සම්මා සම්බුද්ධ ශාසනයක් තුළදී යමෙක් අරහත්භාවයට පත්වෙන්නේ අතීත සංසාරයේ ඈත දුරක සිට තමා අනාගත සම්මාසම්බුද්ධ ශාසනයකදී රහතන්වහන්සේ නමක් වෙනවාය කියලා ඇතිකරගත් කැමැත්ත නිසාමයි. අතීත සම්මා සම්මා සම්බුද්ධ ශාසනවලදී එර්දියෙන් වඞ්න උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා දෑසින් දැකලා උන්වහන්සේලාට සිව්පසයෙන් ඇප උපස්ථාන කරලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා ‘මමත් සම්මා සම්බුද්ධ ශාසනයකදී උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේනමක් වෙනවාය’ කියලා. ඒ උතුම් අරමුණ උදෙසාම අවශ්‍ය කුසල් ධර්මයන් දියුණුකොට ගන්නවා. සංසාරයේ ඈත දුරක පටන් කුසල් ධර්මයන් දියුණුකොටගෙන පැමිණි නිසාම බුදුරජාණන්වහන්සේ නමක් මුණගැසුණු මොහොතක සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැසුණු මොහොතක සකස්කොටගත් අතීත කුසල් ධර්මයන්ගේ බලවත් භාවය නිසාම චතුරාය්‍යසත්‍යය අවබෝධකොටගන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේ නමකගේ ගුණයන් සහිතවමයි. එහෙම වෙන්නේ උන්වහන්සේගේ කුසල් ශක්තිය වැඞ්යි.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සාරිපුත්ත මහරහතන්වහන්සේට අග්‍රශ්‍රාවක තනතුර පිරිනමපු අවස්ථාවේ එහි වැඩසිටිය පෘතග්ජන ස්වාමීන්වහන්සේලා අතර කථාබහක් ඇතිවුණා. බුදුරජාණන්වහන්සේ මුහුණ බලලා තනතුරු දෙනවාය කියලා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේටයි අග්‍රශ්‍රාවක තනතුරු දිය යුත්තේ. උන්වහන්සේයි මුල්ම ආරය්‍යශ්‍රාවකයා බවට පත්වුනේ කියලා. බුදුරජාණන්වහන්සේ මෙම ස්වාමීන්වහන්සේලාගේ සිතුවිල්ල නුවණින් දැකලා දේශනාකරනවා කොණ්ඩඤ්ඤ මහරහතන්වහන්සේ අතීත සම්මා සම්බුද්ධ ශාසනයකදී එම බුදුරජාණන්වහන්සේ හමුවෙහි ප්‍රථමයෙන් චතුරාය්‍යසත්‍ය ධර්මය අවබෝධකොටගත් ස්වාමීන්වහන්සේව දැකලා ‘මමත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී බුදුරජාණන්වහන්සේ නමක් හමුවේ මුල්ම ආරය්‍ය ශ්‍රාවකයා වෙනවා’ ය කියන කැමැත්ත ඇතිකරගෙන ඊට අදාළ කුසල් ධර්මයන් දියුණුකොටගෙනයි පැමිණියේ. ඒ නිසයි මගේ ශාසනයේ මුල්ම ආරය්‍යශ්‍රාවකයා කොණ්ඩඤ්ඤ මහරහතන්වහන්සේ බවට පත්වුනේ. එය හේතුඵල ධර්මයක්.

ශාරිපුත්ත මහරහතන්වහන්සේ අතීත සම්මා සම්බුද්ධ ශාසනයකදී පියුමතුරා බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේලා දෙනම ඇතුළු පන්සියයක් මහරහතන්වහන්සේලාට සතියක් පුරාවට සුවඳ මලින් සුවඳ දුමින් ඵලවැලින් උපස්ථානයන් පවත්වා එම බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන්වහන්සේගේ ආශ්චර්ය්‍යන් දැක අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී සම්මා සම්බුදුවරයෙකුගේ අග්‍රශ්‍රාවක වෙමියි ඇති කරගත් අධිෂ්ඨානයට අදාළව කුසල් ධර්මයන් පිරීම නිසයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මගේ අග්‍රශ්‍රාවත තනතුර ලැබුවේ. එසේ නොමැතිව බුදුරජාණන්වහන්සේ මුහුණ බලලා හිතවත්කම් බලලා තනතුරු දෙනවා නොවේය කියලා දේශනා කළා.

උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේගේ හැකියාවන් ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේට වඩා ඉදිරියෙන් ඉහළින් සිටින්නේ අතීත කුසල් ධර්මයන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ වැඩිභාවය නිසාමයි. ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේව ශුෂ්ක විදර්ශක වශයෙනුත් හඳුන්වනවා. ශුෂ්ක විදර්ශක කියන වචනයේ අර්ථය තුළම තිබෙනවා කටුක බවක්. එතනින්ම පැහැදිලි වෙනවා. උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේට ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේට සාපේක්‍ෂව කුසල් ශක්තිය වැඩිබව. නමුත් මේ රහතන්වහන්සේලා දෙදෙනාම චතුරාය්‍යය සත්‍යය ධර්මයන් අවබෝධකොට ගැනීම සඳහා අවශ්‍ය කුසලයෙන් පරිපූර්ණවයි සිටින්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ වැඩසිටිය කාලයේ වැඩසිටියා චක්ඛුපාල මහරහතන්වහන්සේ කියලා ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක්. උන්වහන්සේ බුදුරජාණන්වහන්සේ කෙරෙහි සද්ධාව සකස්කොට ගෙන තම වීර්ය්‍යයෙන්ම ධර්මාවබෝධය උදෙසාම ජිවිතය මරණයට දමනවා. ජිවිතය මරණයට දමලයි ධර්මවාබෝධය සාක්ෂාත්කොටගන්නේ. උන්වහන්සේ ජිවිතය මරණයට දැම්මත් අතීත කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවය නිසාම උන්වහන්සේට ජිවිතයත් ධර්මාවබෝධයත් දෙකම ලැබෙනවා. ධර්මාවබෝධය ලැබෙන මොහොතේම උන්වහන්සේගේ ඇස්දෙක අන්ධ වෙනවා. මෙවැනි වීර්ය්‍යවන්ත ස්වාමීන්වහන්සේලාගේ පාරිශුද්ධ භික්‍ෂු ජිවිතය දැකලා දිව්‍යතලයන්ට අධිපති ශක්‍ර දෙවියා පවා වරක් උන්වහන්සේට උපකාර පිණිස මනුෂ්‍ය වේශයක් මවාගෙන පැමිණ උපකාරවෙනවා. මෙවැනි ස්වාමීන්වහන්සේලා කෙරෙහනි පහදින ගිහි පිංවතුන් තමන් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. ‘මමත් කවදාහරි දවසක ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙනවා’ ය කියලා. චක්ඛුපාල මහරහතන්වහන්සේ වගේ. ඒ උදෙසා කුසල් ධර්මයන් දියුණුකොට ගන්නවා. එවැනි අධිෂ්ඨානයක් ඇතිකරගත් අය එම කුසල් ශක්තිමත් වී සම්මාසම්බුද්ධ ශාසනයක් මුණගැසුණුවිට ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේනමක් බවටයි පත්වෙන්නේ. එය එසේ වන්නේ ඔහු ප්‍රාර්ථනාකරගෙන පැමිණි උපාදානය නිසාමයි.

ඉහත කාරණාවන් නුවණින් මෙනෙහිකිරිමේ දී පිංවත් ඔබ තේරුම්ගන්න දක්ෂවෙන්න අවශ්‍යයයි ඔබලාට අතීත සංසාර ගමන පුරාවට මුණගැසුණු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනකදී පිංවත් ඔබලාත් මමත් උභතෝභාගවිමුක්ත ප්‍රඥාවිමුක්ත රහතන්වහන්සේ නමක් වෙමියි කොතරම් නම් අධිෂ්ඨානයන් ඇතිකරගෙන ඇතිද කියලා. ඒ උදෙසා මොනතරම් නම් කුසල් ධර්මයන් දියුණුකොටගෙන පැමිණෙන්න ඇතිද කියලා පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඒ අතීත ඉලක්කය සියුම්ව මතුකාටගන්න. පිංවත් ඔබට නිරතුරුවම රහතන්වහන්සේ ගැන සිතනවා නම් උන්වහන්සේලාගේ ගුණයන් ගැන දැනෙනවා නම් රහතන්වහන්සේ කියන වචනයේ අර්ථයට කැමැත්තක් ඇතිවෙනවා නම් නියත වශයෙන්ම අතීතයේ අනිත්‍ය වී ගිය විඤ්ඤාණයන් තුළ රහතන්වහන්සේනමක් වෙමියි කියන ඡන්දය ඔබතුළ සකස් වී තිබුණාමය. ඔබ විචිකිච්ඡාවට පත්වෙන්න එපා. විවෘත වන්න හේතුඵල ධර්මයන්ට. පිංවත් ඔබ අතීතයේ නැවතුන තැන සද්ධාව වීර්ය්‍යය හිරිඔතප් ධර්මයන් තුළින් මතුකොටගන්නා ඒ තැන බොහොම ශක්තිමත් තැනක්. නමුත් උපාදානය හේතුවෙන් භවය සකස්වෙනවාය කියන ධර්මතාවය නිසා අතීත භවයන්හීදි අපි මිත්‍යාදෘෂ්ටිකභාවයන්ට පත්වීම නිසා සතර අපායන්ට වැටිම නිසා අතීත ඉලක්කයන් අප තුළින් මැකීගොස් තිබෙන්නේ ඒ නිසයි. සමහර පිංවතුන් රහතන්වහන්සේ කියන වචනය ඇසෙන කොටත් එහි අර්ථයන්ට විරුද්ධවෙන්නේ පිංවත් ඔබතුළ හේතුඵල ධර්මයන් නිසාම සකස්වෙන මෙවැනි විෂම අදහස් නිසයි. එම අදහස් විරේක කොට දැමීමට හොඳම කමටහන සද්ධා වීර්ය්‍යය හිරිඔතප් කියන කාරණාවන් ජිවිතයට එකතුකොට ගැනීම වෙනවා.