උතුම් බුදුගුණයන් නොවන්නට මම අද කොහේදැයි සිතුවාද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පින්වතෙක්, පින්වතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්ෂුවට, නිරතුරුව ම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇති කොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්ෂුවගේ, භික්ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්ෂුවට මතකයට නැඟෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන්. ඒ උතුම් බුදුගුණයන් නොවෙන්න, භික්ෂුව මේ මොහොතේ කර්මය කර්මඵල නොහඳුනන, මිථ්‍යා දෘෂ්ටික මනුස්සයෙක්. පින්වත් ඔබේ, සම්මාදිට්ඨියේ අර්ථයන් ගෙන් පෝෂණය කොට ගන්නා, ජීවිත දෙස බලන්න, ඔබේ ගෞරවණීය ජීවිතය, බුදුගුණයක ඵලයක් මයි.

බුදුරජාණන් වහන්සේ සතු උතුම් මහා කරුණා ගුණයේ, ශක්තිය මයි, අපගේ ජීවිත සම්මාදිට්ඨියේ අර්ථයන් ගෙන් ආලෝකවත් කළේ. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය විශ්වය තුළ පැතිරිලා තිබෙනවාය කියලා සඳහන් වෙන්නේ, මේ භවාත්‍රය තුළ ජීවත්වන සම්මාදිට්ඨියෙන් දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, ප්‍රජාව මේ බුදුගුණයන්ගේ අසිරිමත් භාවය තම ජීවිතය තුළින් දරා ගැනීම නිසා මය.

අපි උතුම් බුදුගුණයන්ගේ රැකවරණයෙන් බැහැර වන තරමට, උතුම් බුදුගුණයන් විශ්වයෙන් අතුරුදන් වී යනවා. තමා තුළින් තම ධර්මයේ ගුණයන් දරා ගැනීමේ ඕපනයික ගුණයේ ශක්තියයි, උතුම් බුදුගුණයන් ලෝකයම ආරක්ෂා කොට තබන්නේ. පරිසරය දෙස බැලුවත්, මනුෂ්‍ය ප්‍රජාව, තිරිසන් ප්‍රජාව දෙස බැලුවත් මේ සෑම දෙයක් තුළින්ම භික්ෂුව දකින්නේ උතුම් බුදුගුණයන්ගේ අසිරිමත් ඵලයක් මයි. පින්වත් ඔබට උතුම් සද්ධර්මය මුණනොගැසී, මිථ්‍යාදෘෂ්ටික භාවයට පත් වුණා නම්, මේ සතා සිවුපාවා, මනුෂ්‍යයා, පරිසරය, මොන තරම් නම් ලෝභ, ද්වේෂ මෝහයන් ගේ විකෘතියක් වෙන්න තිබුණාද? කැලයේ සතා සිවුපාවා යම් තරමකින් හෝ තවමත් නිදැල්ලේ හැසිරෙන්නේ යම් පමණකට හෝ නියමිත කාලවල වැසිවැටී මහ පොළොව කාන්තාරයක් නොවීමේ, භාග්‍යය අපි ලබලා තිබෙන්නේ බුදුගුණයන් කෙරෙහි අපි දක්වන්නා වූ කෘතවේදී භාවය නිසාමයි.

මනුෂ්‍ය සමාජය තුළ ශීලාචාර සදාචාරාත්මක ධර්මයන් යම් පමණකට හෝ ආරක්ෂා වී තිබෙන්නේ, උතුම් බුදුගුණයන් තුළින් සමාජය ලැබූ ශික්ෂණය නිසා මය. පින්වත් ඔබගේ දෑසට, සවනට, මනසට, අරමුණු වන සෑම යහපත් සිතුවිල්ලක් ම, බුදුගුණයන් කෙරෙහි විශ්වාසයෙන්, මනුෂ්‍යයා තුළ ඇති වූ ධර්මානුකූල ශික්ෂණයේ ඵලයක් ය. පින්වත් ඔබ, ජීවත් වීමේදී අත්දකින සෑම අහිතවත්, අසංවර දෙයක් ම බුදුගුණයන් කෙරෙහි විශ්වාසයෙන් බැහැර වූ, මිථ්‍යාදෘෂ්ටික භාවයේ ම ඵලයක් ය. භික්ෂුව පින්වත් ඔබට, මේ සටහන තබන වේලාවේ, භික්ෂුව තුළ පින්වත් ඔබ කෙරෙහි ඇතිවන ආර්ය මෛත්‍රියේ සිතුවිලි, උතුම් බුදුගුණය සරණ යෑමෙන් උපන් භික්ෂුවගේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ශක්තියයි.

බුදුගුණයකින් තොරව සම්මාදිට්ඨියෙන් තොර යහපත් දෙයක්, සිල්වත් දෙයක්, මෛත්‍රීසහගත දෙයක්, කුසල් ධර්මයක්, සුගතියක් භව නිරෝධයක් භික්ෂුව නොදකියි. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ උතුම් බුදුගුණයත්, සම්මාදිට්ඨියට පත් ප්‍රජාව, විශ්වාසයෙන්, ගෞරවයෙන්, ජීවිතවලට එකතු කොට ගන්නා තෙක් ම, බුදුගුණය විශ්වය තුළ ජීවමානව පවතිනු ඇත. කවදා හෝ දවසක උතුම් බුදුගුණයන් මේ විශ්වයෙන් අතුරුදන් කොට දමන්නේ, අජීවී සතර මහා ධාතුව නොව, සජීවී උතුම් බුදුගුණයන් සරණ නොයන අපි විසින් මය. අජීවී විශ්වය තුළ කොතැනක වත්, බුදුගුණයක් නැත. උතුම් සම්මාදිට්ඨියට පත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන පින්වත් ඔබ, ඔබගේ ජීවිත තුළින් මයි, උතුම් බුදුගුණයන් ඊළඟ පරම්පරාවට දායාද කොට දිය යුත්තේ.

භික්ෂුව මේ සටහන ලියන මොහොතේ, ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය, ආලෝකය ලබන හිරු එළිය, දෙපා තබා ගෙන සිටින මහපොළොව, පිපාසය සංසිඳවන දිය දෝත, කුසගින්න සංසිඳවන පිණ්ඩපාතය නමැති සතර මහා ධාතුව, සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක්, අපට විමුක්ති මාර්ගය මතු කොට දීම උදෙසා, දස පාරමී ධර්මයන් පිරූ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ, පටිච්චසමුප්පන්න රුධිරයෙන්, කඳුළින්, දහදියෙන්, ශරීර මාංශයෙන් මොන තරම් නම් පෝෂණය වෙලා ඇතිද?. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් සතු උතුම් බුදුගුණයන් සම්මා දිට්ඨියට පත් අපගේ ලේ මස්, සම්, ඇට, නහරවැල් තුළට ළං කොට දක්වා තිබුණත්, අපි තවමත් බුදුරජාණන් වහන්සේ, අපිට ගොඩක් ඈතින් තබා තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුව, යම් දවසක උතුම් පැවිදි භාවයට පත්වුණාද, භික්ෂුව තමන්ගේ පැවිදි ජීවිතය දැක්කේ උතුම් බුදුගුණයන්, ගෞරවයෙන් විශ්වාස කිරීම තුළින් ලැබූ ඵලයක් ලෙසින් මය.

“භාග්‍යවතුන් වහන්ස, මාගේ මේ භික්ෂු ජීවිතයේ අයිතිය ඔබවහන්සේට මය. භාග්‍යවතුන් වහන්සේ මට දුන් භික්ෂු ජීවිතය, ඔබ වහන්සේ භික්ෂුවක ගෙන් බලාපොරොත්තු වූ භවනිරෝධය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැප කරමි” කියන අධිෂ්ඨානය පමණයි, මා ගිහි ජීවිතය හැරගිය දවසේ මා තුළ තිබූ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගෙන් තොර එකම අරමුණ වුණේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන් තුළින්, ජීවිතවලට ලබා දෙන අයෝමය මහා කරුණා ගුණයේ ශක්තිය, අපේ ලේ, මස්, සම්, ඇට නහරවැල් තුළින් මතු කොට දකිද්දී, මේ ලෝක ධාතුව තුළ තිබෙන අර්ථවත් ම බුද්ධ පූජාව, තමා තුළින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ විමුක්තිය සාක්ෂාත් කොට ගැනීම පමණක් මයි කියලා දකිනවා.

මේ උතුම් දැක්ම සතර අගතියෙන් තොර දැක්මක්. මේ දැක්ම සතර අගතියෙන් තොර දැක්මක් බවට පත් කොට දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවය තුළින් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් සහ එම සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් ශක්තිමත් කොට ගන්නා සප්තබොජ්ඣංග ධර්මයන් විසින් මය. මෙතනදී බුදුරජාණන් වහන්සේ සතර අගතියෙන් තොරව කියලා දේශනා කොට ඇත්තේ, පළමුවැනි කාරණය ඡන්දය ඒ කියන්නේ කැමැත්ත.

බුදුරජාණන් වහන්සේ උදෙසා සැබෑම, අර්ථවත්ම, බුද්ධ පූජාවක් ලෙස තම ජීවිතය පූජා කරන භික්ෂුවක්, එය සිදුකළ යුත්තේ ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා, ජනප්‍රිය භාවයන්, සශ්‍රීක සිවුපසය, කෙරෙහි කැමැත්තකින් තොරව මය. මේ ශක්තිය ලබා ගැනීම උදෙසා භික්ෂුවකට උපකාරක ධර්මයන් සකස් කොට, දෙන්නේ, තමන් ප්‍රගුණ කළ කායානුපස්සනාවයි.

ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වූ මේ ජීවිතයට, මරණයට අත වනන මේ ජීවිතයට ලේ, සෙම්, සොටු, සැරව, මුත්‍රා, අසූචි කළගෙඩියක් වූ මේ රූපයට, කුමන ලාභ සත්කාරයක් ද?. කුමන කීර්ති ප්‍රශංසාවක්ද?. තමා තුළින් රූපයේ අනිත්‍යභාවය දකිමින්, රූපය තවත් පටිච්චසමුප්පන්න රූපයක් උපද්දවා ගැනීම උදෙසා නොව, රූපය රූපයේ නිරෝධය උදෙසා ම යොමු කර ගන්නවා. ලාභසත්කාර, කීර්ති ප්‍රශංසා එම භික්ෂුව වේදනානුපස්සනාවෙන් දමනය කොට ගෙන සැප වේදනාවන්ගේ අනිත්‍යභාවය දකිනවා.

සතර අගතියට අයත් දෙවැනි අර්ථය තමයි ද්වේශයෙන් තොරවීම. භික්ෂුවක් අර්ථවත්ව බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් ලෙස තම ජීවිතය පූජා කරන්නේ ද්වේශයෙන් තොරව මයි. වේදනානුපස්සනාවට අදාළව සැප, දුක් විඳීම් වල අනිත්‍යභාවය දකිමින්, එම භික්ෂුව ද්වේශය සියුම් කරනවා, ද්වේශය සකස් කොට දෙන, සැප දුක් වේදනාවන් අතීත සංස්කාරයන්ගේ ම පටිච්චසමුප්පන්න ඵලයක් බව දකිමින්, හේතුඵල ධර්මයන්ට අදාළව එම භික්ෂුව ද්වේශය සියුම් කොට ධර්මයේ උපේක්ෂාවට සිත ගන්නවා. වර්තමානයේ ද්වේශයට හේතු වන, සංසාරයේ තමන්ම පටිච්චසමුප්පන්නව සිදුකළ වැරදිවලට තමා තමාගෙන් පළිගන්නේ නැහැ. එම භික්ෂුව දන්නවා, ද්වේශය කියන්නේ, තමා තමාගෙන් ම පළිගැනීමක් ය කියලා. ද්වේශය අදාළ සෑම සිතුවිල්ලක් ම භික්ෂුව චිත්තානුපස්සනාවට යොමු කරනවා. භික්ෂුව තුළ සකස්වන අපායගාමී නොවන සියුම් ද්වේශය, දැන් එම භික්ෂුවට ද්වේශය නිරෝධය කිරීමේ කමටහනක් බවටයි පත් වන්නේ.

සතර අගතියට අයත් තුන්වැනි කාරණය වෙන්නේ, එම භික්ෂුව භයෙන් තොරවයි හැසිරෙන්නේ. බිය රහිතව ජීවත්වන භික්ෂුවක්. බිය කියන කාරණය භික්ෂුව දන්නවා, අනිත්‍ය වූ සිතක් ය කියලා. බුදුරජාණන් වහන්සේ උදෙසා අර්ථවත් ම බුද්ධ පූජාවක් හැටියට ජීවිතය පූජා කරන භික්ෂුව එම පූජාව සිදු කළ යුත්තේ භයෙන් තොරව මයි. බුදුරජාණන් වහන්සේ නමැති අයෝමය ශක්තිය ඉදිරියේ එම භික්ෂුවට බිය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් පමණක් මයි. තමා තුළ වැඩෙන ආර්ය ශීලය, ආර්ය මෛත්‍රිය, තමා තුළින් බිය බැහැර කරනවා.