විදීම් සොයා අයාලේ යන සිතක රස්තියාදුව

දැන් වේලාව සවස 5.30 ට පමණ ඇති. කුටිය අවට පරිසරය හරිම නිහඬයි. දවසේ අවසාන ආහාර වේල සොයමින් කිචි බිචි ගාන කුරුල්ලන්ගේ නාදය, ඇසී නෑසී යනවා. සුළග වේගයෙන් හමා ගෙන ඇවිත්, නැවතත් නවතිනවා. සෑම දෙයක්ම නිරතුරුවම වෙනස් වෙනවා. අපි කැමති අකැමැති දෙයක්, වෙනස් වී යන කොට අපි අලුත් දෙයක් සොයනවා. ඒ සොයාගත් දෙයත් වෙනස් වෙන දෙයක් මයි. අවසානයේ වෙනස් වෙන ලෝකයේ අර්ථය තුළ නොවෙනස් වෙන දේවල් සොයන්න ගිහිල්ල, අපගේ පටිච්චසමුප්පන්න භව ගමන ඉලක්කම් වලින් දක්වන්න බැරි තරමට, දීර්ඝ කොට ගන්නවා.

ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මහ පොළොවේ තිබෙන පස් වෙරළු ගෙඩි තරමට ගුලි කරන්නය කියලා. එහෙම ගුලි කරලා මේ මම පටිච්චසමුප්පන්නව ගෙවා ගෙන පැමිණි එක කල්පයක්, මේ මම ගෙවා ගෙන පැමිණි තවත් කල්පයක් කියලා, එක වෙරළු ගෙඩිය එක වෙරළු ගෙඩිය අයින් කරන්න කියනවා. පින්වත් ඔබ වෙරළු ගෙඩි ප්‍රමාණයට ගුලි කරපු පස් ගුලි අවසන් වෙලා යනවා. නමුත් ඔබත්, මමත් පටිච්චසමුප්පන්නව ගෙවා ගෙන පැමිණි කල්ප ගණන අවසන් වෙන්නේ නැහැයි කියලා මේසා ගණනය කළ නොහැකි දීර්ඝ පටිච්චසමුප්පන්න භව ගමනක් ඔබත් මමත්, කැමති, අකමැති විඳීම් සොයමින් ගෙවා ගෙන පැමිණියත් මේ නිමේෂයේදී ඔබ නොසන්සිඳුණා වූ ඒ කැමැත්ත අකැමැත්ත ම සොයමින් සිටිනවා. ගිහි ජීවිතයේදී භික්ෂුව හරිම කැමතියි අලුත් අත්දැකීම් සොයන්න. එක අත්දැකීමක් අයිති කොට ගත්තට පස්සේ නැවත එම අත්දැකීම පසුපස මම කවදාකවත් හඹාගෙන ගියේ නැහැ. තවත් අලුත් අත්දැකීමක් සෙව්වා. එදා මට තේරුණා, විඤ්ඤාණය නමැති මැජික්කරුවා, මට දැනීම් සකස් කොට දුන්නා, සැඟවුණා වූ නොතේරෙන්නා වූ නොවින්දා වූ කුමක් හෝ දෙයක් ලෝකය තුළ තිබෙනවායි කියලා. එම නිසයි, ගිහි ජීවිතයේදී මමත්, අත්දැකීම් පසුපස හඹාගෙන ගියේ. එදා මම විඤ්ඤාණය ගැන වත්, විඤ්ඤාණය යනු මැජික්කරුවෙක් බව වත් දැනගෙන සිටියේ නැහැ.

විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ නූල් සූත්තර වලට අදාළව නැටවුණා වූ රූකඩයක් බවට මම පත් වෙලයි සිටියේ. පූර්වාදර්ශයක්, පරමාදර්ශයක්, සමාජයේ කොතැනකින් වත් අපිට ලැබුණේ නැහැ. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා ගසා දෙන මැස්ස මත, ජීවිතය නමැති කරවිල වැල, කැමැති අකැමැති ඵලයක් ලබමින්, සොයමින් සරුසාරව වැඩී ගියා.

මේ ලිපිය සටහන් තබන මොහොතේ භික්ෂුවගේ සිත, කුටිය කියන සංඥාව මත විදර්ශනාත්මකව නැවතී තිබුණත් පින්වත් ඔබ මේ නිමේෂයේදීත් ගොඩක් දේවල් සොයනවා. භික්ෂුව මෙතැනත් ගොඩක් දේවල් කියලා සටහන් කළත්, ගොඩක් දේවල් ලෝකයේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකය කාරණා පහකටයි ගොනු කරන්නේ. ධර්මානුකූලව ලෝකයට අයිති කාරණා පහ වෙන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කියන අර්ථයන් පහයි. ඉහත අර්ථයන් පහෙන් තොර දෙයක් මේ ලෝක ධාතුව තුළ ධර්මානුකූලව දකින්න නැහැ.

බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව ධර්මානුකූලව කාරණා පහකට ගොනු කළත්, අපේ අවිද්‍යාව නිසාම අපි ලෝකය, ලෝකයක් ම කොට දකිනවා. ලෝකය ලෝකයක් ම කොට දකිද්දී, අපි දකින සංකීර්ණ ලෝකය විඳින්න, සිත නිරතුරුවම රස්තියාදුවේ යනවා. අවිද්‍යාව විසින් සංකීර්ණභාවයට පත්කොට ගන්නා වූ ලෝකය තුළ, විඳීම් සොයාගෙන අයාලේ යන සිතට, ධර්මානුකූලව “සිතක රස්තියාදුව” කියලා කියනවා. ධර්මයකින් නොහික්මුණු, ලැජ්ජාව, භය දෙකින් නොහික්මුණු මෙවන් රස්තියාදුකාර සිතකට පුළුවන්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් රස්තියාදුකාරයෙක් වශයෙන් දකින්න, ක්‍රිස්තුන් වහන්සේත් රස්තියාදුකාරයෙක් වශයෙන් දකින්න, දේවදත්ත හාමුදුරුවො තුළ සකස් වුණ මෙවන් රස්තියාදුකාර සිත නිසා දේවදත්ත හාමුදුරුවෝ පෙළඹුණා බුදුරජාණන් වහන්සේ විනාශ කොට දමන්නට.

අජාසත්ත රජතුමා ලැබූ අසත්පුරුෂ ආශ්‍රයන් නිසා ම සකස් වුණ රස්තියාදුකාර සිත් නිසා, පීතෘ ඝාතක අකුසල සිදු කොට ගැනීමට යොමු වුණා. ක්‍රිස්තුස් වහන්සේගේ නොහික්මුණු අනුගාමිකයන් කිහිප දෙනෙක් තුළ සකස් වුණ රස්තියාදුකාර සිත් නිසා ක්‍රිස්තුන් වහන්සේ පණ පිටින් ම කුරුසයේ ඇණ ගසා ජීවිතක්ෂයට පත් කළා. නිඝණ්ඨනාථ පුත්තගේ ප්‍රධාන දායකයා වූ සච්චකගේ නොහික්මුණු රස්තියාදුකාරයෙක් වරක් බුදුරජාණන් වහන්සේට අභියෝග කරනවා. “මම ඔය ගෞතමයන්ව, ශක්තිමත් එළුවෙක්ගේ අං දෙකෙන්, රැවුලෙන් අල්ලලා, කරකවලා පොළොවේ ගසන්නේ යම් සේද, මම ඔය ගෞතමයන්ව තර්කයෙන් පරාජයට පත් කරලා පොළොවේ ගසනවා”ය කියලා. ධර්මයෙන් නොහික්මුණු රස්තියාදුකාර සිතකට පුළුවන් ඔහුගේ අනාගත භව ගමන ම සතර අපායක් බවට පත් කොට දමන්න.

ලෝකය, අවිද්‍යාවෙන් සංකීර්ණ කොට ගත් මනුෂ්‍යයෝ සංකීර්ණ කොට ගත් ලෝකය පසුපස්සේ විඳීම් සොයමින් හඹාගෙන යද්දී, අතීතයේ ලබපු අත්දැකීම් නැවත, නැවත ලබන කොට ජීවිතය නීරස වෙනවා. මේ අවස්ථාව අපි බොහොම පරිස්සම් විය යුතු තැනක්. මේ තැනදී ඔබට ධර්මානුකූල හික්මීමක් නොලැබුණොත්, ඔබ ඔබට ම අනතුරුදායක, විඳීම් සොයා ගෙන ඔබේ සිත රස්තියාදුවේ යවනවා. එවිට ඔබේ අම්මා තාත්තා කියන්නෙත් ඔබට තවත් රූපයක් පමණක් ම වෙනවා. බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ තවත් එක චරිතයක් පමණක් ම වෙනවා. ධර්මයකින් ලැජ්ජාව, භය දෙකෙන් නොහික්මුණු රස්තියාදුකාර සිතකට පුළුවන් තමන්ගේ බිරිඳත් සමග, පෙම්වතියත් සමග ලබන ලිංගික ආශ්වාදය, නිවන හැටියට දකින්න.

වරක් තරුණ මහත්මයෙක්, භික්ෂුවට ප්‍රකාශ කළා “ඔස්ටේ්‍රලියාවට හරි කැනඩාවට හරි පැනගන්න තිබෙනවා නම් නිවන් දැක්කා වගේ”ය කියලා. බුදුරජාණන් වහන්සේ කාමයත් දිය බුබුළකට, පිනි බිඳුවකට, ජලයේ ඇඳි ඉරකට, විෂකුරු සර්පයකුට, මස් වැදැල්ලකට, ගිනියම් වූ අගුරු වළකට උපමා කරද්දී, අවිද්‍යාවෙන් පෝෂණය වූ රස්තියාදුකාර සිතක්, කාමයන්ගේ ආශ්වාදය නිවන හැටිය ම දකිනවා නම්, එම පින්වතා මනුෂ්‍යයෙක්ව ඉපදුණු ජාති අන්ධයෙක් බවට මයි පත් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් සිටිනවාය කියලා. පළමු වැනි පුද්ගලයා තමයි සැඩපහරට අනුව ගමන් කරන්නා. මීළග පුද්ගලයා සැඩ පහරට එරෙහිව යන පුද්ගලයා, තුන්වැනි පුද්ගලයා තමයි, සැඩ පහරට ගසාගෙන නොයන පුද්ගලයා. හතර වැනි පුද්ගලයා තමයි, සැඩ පහර තරණය කොට භවයෙන් එතෙරට යන පුද්ගලයා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැඩ පහරට අනුව ගසාගෙන යන පුද්ගලයා විනාශය කරා ම ගමන් කරන පුද්ගලයාය කියලා. සැඩ පහරට ගසාගෙන නොයන සහ සැඩ පහරට එරෙහිව යන පුද්ගලයන් දෙදෙනා, ධර්මාවබෝධය දෙසට ගමන් කරන පුද්ගලයන් දෙදෙනා වෙනවා. සැඩපහර තරණය කොට එතෙරට යන උත්තමයා උතුම් රහතන් වහන්සේ ම වෙනවාය කියලා.

වර්තමාන සමාජය දෙස බලන කොට ධර්මානුකූලව අපට පෙනෙන්නේ සැඩපහරට අනුව ගසාගෙන යන පින්වතුන්ලා, ඒ කියන්නේ විනාශය කරා ගමන් කරන පින්වතුන්ලාගේ වැඩි වීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කවදත් ලෝකයේ ස්වභාවයෙන් ම පවතිනවාය කියලා. ලෝකයේ ඇත්තම ස්වභාවය තමයි දුකය කියන කාරණය. ආධ්‍යාත්මික, බාහිර රූපය වෙනස් වී යද්දී දුකමයි අපි උරුම කොට ගන්නේ, ඇලීම්, ගැටීම්, උපේක්ෂා, වේදනාවන් වෙනස් වී යද්දී, දුකක් මයි අපි උරුම කොට ගන්නේ. හඳුනා ගැනීමේ සංස්කාර, දැනීම් වෙනස්වී යද්දී අපි දුකක් මයි සකස් කොට ගන්නේ. මෙයයි ලෝකයේ ඇත්තම ස්වභාවය.

ඒ නිසා ම, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක ම අර්ථය කොටගත් ලෝකය දුකේ වර්ධනය උදෙසා නොව දුකේ ප්‍රහාණය පිණිස ම යොදාගන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වූ මෙම අර්ථය, ඔබ ජීවිතයට එකතු කොට ගන්න නම්, පින්වත් ඔබ ධර්මානුකූලව මීට වඩා අර්ථවත්ව සිතන්නට වෙනවා. තෘෂ්ණාවෙන් ඔද්දල් වුණ ලෝකය නමැති පංච උපාදානස්කන්ධ මාරයා, කවදත් ලෝකය නිර්මාණය කරන්නේ, වැරදි කරන පුද්ගලයා වැරදි කරලා සතර අපායට ඇද දමන්න. වැරදි නොකරන පුද්ගලයා වැරදි කරන පුද්ගලයන් සමග ගැටීමට යොමු කරලා, ඔහුවද සතර අපායට ඇද දමන්න. වැරැද්දත්, නිවැරැද්දත්, දෙකම මාරයාට අයිති ධර්මතාවන් දෙකක් ම වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව වැරැද්දෙනුත්, නිවැරැද්දෙනුත් දෙකෙන් ම මිදුණු භික්ෂුවක්. භික්ෂුව ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවාය කියන අර්ථය, සරල අර්ථයක් නොවේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න නම්, ඔහු තුළ විදර්ශනාත්මක සම්මා සතිය, සම්මා සමාධිය තිබෙන්නට ඕනේ, එහි පෝෂණයෙන් සම්මා ඥාණ සකස් වෙන්න ඕනේ. ඉන් මෙහා අපි ඇත්ත ඇති සැටියෙන් දැක්කත්, ඒ දැක්කා වූ සිතට නැවත අපි බැඳී යනවා. ඒ නිසාම අපි ඇත්ත බොරුවක් කොට දැකීමේ මාරයාගේ සියුම් උපායට අවසානයේදී කොටුවෙනවා.

විදර්ශනාත්මක සම්මා සතිය, සම්මා සමාධිය දුර්වල නිසා ම, පින්වත් ඔබ කොතෙක් නිවැරැදි වුණත්, අනුන්ගේ වැරදි ඉදිරියේ ඇලීම් ගැටීම් ඇති කොට ගෙන විනාශය කරා ම ගමන් කරනවා. අසත්පුරුෂ අනුන්ගේ සිතේ රස්තියාදුකාරිත්වය නිසාම පින්වත් ඔබත් රස්තියාදුකාර සිතක උරුමය අයිතිකොට ගන්නවා.

පින්වත් ඔබ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කොට ගත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහල බෞද්ධ පින්වතෙක් නම් ඔබේ ජීවිතයත් සමග බැඳුණු පූජනීය වගකීමක් තිබෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න ඕනේ, උතුම් තෙරුවන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා වෙන්න ඕනේ, මේ උතුම් අර්ථයන්, ලෝකයාගේ යහපත උදෙසා ආරක්ෂා කරන්න ඕනේ, ඔබත් ආරක්ෂා වෙලා මයි. පින්වත් ඔබ අනාරක්ෂිත නම් ඒ කියන්නේ ඔබත් සිතේ රස්තියාදුකාරිත්වයට යට වෙලා නම් එය ඔබේත් ශාසනයේත් විනාශය පිණිස මයි හේතු වන්නේ. ඔබත් තෙරුවනට අගෞරව කරන බෞද්ධයෙක් බවට මයි පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වැරැද්ද ඉදිරියේ නිහඬව ඉන්න එපාය කියලා. මෙත් සිතින් ඇත්ත ඇති සැටියෙන් පහදලා දෙන්න කියලා. නමුත් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ යමක් පහදලා දෙන්න යද්දී අපේ මෙත් සිත ද්වේශ සිතක් බවට පත්වීමයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් අකුසලයක් සිදුකොට යමෙක් දුක් විපාකයක් ලබයිද එබඳු අකුසල් සිදුකරමින්, අනුවණ පුද්ගලයෝ තමන්ට ම තමන්, සතුරන්ව ජීවත් වෙනවයි කියලා. බුදුරජාණන් වහන්සේට ආර්යයන් වහන්සේලාට අගෞරව පිණිස ප්‍රකාශ කරන පාපී වචන, තොල ගෑ සැණින් මිය යන, හලාහළ විෂක් බඳු යැයිද එවන් පාපී වචන වැනි, හොඳින් මුවහත් කරන ලද වෙනත් ආයුධයක් නොමැති බවත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මේ ලෝක ධාතුවේ කිසිම දෙවියකුට, බ්‍රහ්මයකුට, මනුෂ්‍යයකුට, බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න බැහැ. යමෙක් එහෙම අගෞරව කළොත්, අගෞරවයට පත්වන්නේත්, කෙළෙසෙන්නේත් තමන් ම යැයි අපි තේරුම්ගත යුතුව තිබෙනවා. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය, ලෝකයේ සාධාරණ ම අධිකරණ ක්‍රියාවලිය වෙනවා. සැබෑ සිංහල බෞද්ධ පින්වතෙක් කවදාකවත් ක්‍රිස්තුස් වහන්සේට අගෞරවයක් කරන්නේ නැහැ.