තුන් කාලයටම ගලපා රූපයේ අනිත්‍යභාවය දකින්න

රූපය

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, රූපයේ ආශ්වාදයක් තිබෙනවා. වයස අවුරුදු දහඅටක්, දහනමයක් වයසැති තරුණයකුගේ, තරුණියකගේ රූපයේ ඇති ප්‍රභාශ්වරය, තාරුණ්‍යය, ලාලිත්‍යය, රිද්මය, විකසිතභාවය රූපයේ ආශ්වාදයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ඔබ මතකයෙන් ඔබේ අතීතයට යන්න. පින්වත් ඔබට ඒ තාරුණ්‍යයේ හිමිව තිබූ රූපයේ ආශ්වාදය වෙනස්වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ අත්විඳින රූපයේ කෙටි ආශ්වාදය නිසා, පින්වත් ඔබ දීර්ඝ කාලීන වූ ආදීනවයන් අත්විඳිනවා. තාරුණ්‍යයේ රිද්මයෙන්, ලාලිත්‍යයෙන්, විකසිතභාවයේ තිබූ රූපය, මෝරා, නෙරා, ඉදිමී, හැකිලී, එල්ලී වැටෙන ජරා ව්‍යාධි ලක්‍ෂණ රූපයේ දීර්ඝකාලීන වූ ආදීනව යයි කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

යුරෝපයේ රැකියාව කරන මහත්මයෙක් භික්‍ෂුව මුණ ගැහෙන්න වසරකට වරක් එනවා. එම මහත්මයාගේ මෑණියන්ගේ වයස අවුරුදු හැත්තෑපහක් වෙනවා. මේ මහත්මයා ධර්මයට ලැදි වුණත්, තමන්ගේ අම්මා ගැන ප්‍රසාදයකින් කතා කරන්නේ නැහැ. ‘ස්වාමීන් වහන්ස, මම මගේ අම්මාගෙන් මොනවද එයාගේ අවශ්‍යතා කියලා ඇහුවහම, කවදාවත් බණ පොතක්, සිල් ඇඳුමක්, වන්දනා ගමනක් යන්න අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. අම්මා නිතරම ඉල්ලන්නේ ශරීරය අලංකාර කරන ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වැනි දේවල් පමණක්මයි. මම කාමරයකට වෙලා ධර්ම දේශනාවකට ඇහුම්කන් දීගෙන ඉන්නකොට, අම්මා ලස්සනට ඇඳගෙන, සුවඳ විලවුන් තවරාගෙන පියානෝ එක වාදනය කරනවා’ කියලා ඒ මහත්මයා කියනවා.

ඒ අම්මා මෝරා, නෙරා, ඉදිමී, හැකිලී, එල්ලීගිය රූපයේ ආදීනවයෙනුත් දකින්නේ ආශ්වාදයකුයි. රූපයේ ආදීනවයත් ආශ්වාදයක් කොටගන්න සමාජයක රූපයේ නිස්සරණය හුදු මායාවක්ම වෙනවා. වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය නොදැක කෙසේනම් අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නද?

පින්වත් ඔබ මොහොතක් විවේකීව දෑස් පියාගෙන අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අතීත රූපයේ ජරා, ව්‍යාධි, මරණ ස්වභාවයන් මතුකොට දකිමින්, අතීත රූපස්කන්ධය කෙරෙහි කළකිරීම ඇතිකොට ගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයේ මව්කුසේ කළල රූපයෙන් එහාට, පටිච්ච සමුප්පන්නව අතීත රූපයේ අනිත්‍යභාවය දකින්නය කියලා. දීර්ඝ වූ අතීත භවගමනේදී ඔබ සක්විති රජුවෙලා ඉපදුන වේලාවේ, ඔබ ලැබූ දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණයෙන් බබලන රූපකාය, අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ අතීතයේ සක්‍ර දෙවියන් වෙලා තව්තිසාවේ ඉපදුනු වෙලාවේ, ඔබලා ලැබුණු දිව්‍ය තේජසින්, දිව්‍ය ඕජසින් පිරීගිය සක්‍රදෙවි රූපය වෙනස්වී ගිය හැටි නුවණින් දකින්න. රජවරු සිටුවරු වෙලා, ඔබට ලැබුණු රාජ තේජසින් බබලන රූපයන් වෙනස්වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ, රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදිලා, ඔබ ලැබූ බ්‍රහ්ම රූපයන් වෙනස්වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ මවුකුසේදීම ගබ්සාවී ගිය හැටි, ළදරු කාලයේදීම, ළමා තරුණ වයසේදීම මියගිය, අතීත රූපයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න.

අතීතයේ ඔබ සතර අපායන්ට වැටිලා අලියෙක්, කොටියෙක්, ප්‍රේතයෙක්, ප්‍රේතියක්, මහා සාගරයේ අසුරයෙක්, නිරිසතෙක් වෙලා ඉපදුන වෙලාවේ ඔබ ලැබූ රූපයන් අනිත්‍යවී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ මනුෂ්‍යකුලවල ඉපදිලා, සත්ත්ව කුලවල ඉපදිලා මියගිය අවස්ථාවලදී එකතු වූ මළකඳන් එක ගොඩක් ගැහුවොත්, එම මළකඳන්ගොඩ ගිජ්ජකූඨ පර්වතයට වඩා උසයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පින්වත් ඔබ ගිජ්ජකූට පර්වතය සිතින් මවාගෙන අතීත රූපයන්ගෙන් ගොඩනැගුණු ඔබේ මළකඳන් ගොඩ නුවණින් දකින්න. පින්වත් ඔබ දෙපා තබාගෙන සිටින මහපොළොවේ පස, අතීතයේ ඔබේ රූපයන් නමැති සතර මහා ධාතුවේ ම අනිත්‍යභාවයෙන් සැදුණු සතරමහා ධාතුවක් බව නුවණින් දකින්න. පින්වත් ඔබ මහපොළාව මත දෙපා තබන සෑම පියවරක් පාසාම, ඔබ දෙපා තබන්නේ ඔබේම අතීත රූපයන්ගේ අනිත්‍යභාවයෙන් ගොඩනැගුණු මළකඳන් ගොඩ මතම බව නුවණින් දකිමින් පියවර තබන්න.

මේ ඔබ දකින්නේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවයයි. පින්වත් ඔබට මේ ජීවිතයේදී ලැබුණු ඔය ඇස්දෙක වගේ ඇස් කෝටි කීයක් සංසාරයේ ඔබ ලබන්න ඇතිද? පින්වත් ඔබට මේ ජීවිතයේදී ලැබුණු කන්දෙක වගේ කන් කෝටි කීයක් සංසාරයේ ඔබට ලැබෙන්නට ඇතිද…

අතීතයේ ඉපදුනා වූ සෑම ඇසක්, කනක්, දිවක්, ශරීරයක්ම වෙනස් වී ගිය හැටි, අහිමිවී ගිය හැටි, පටිච්ච සමුප්පන්නව නැවත ඉපදුන හැටි නුවණින් දකින්න. ඒ ඔබ දකින්නේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවයයි. අතීතයේ කොතැනකවත් වෙනස් නොවූ ජරා, ව්‍යාධි, මරණවලට පත්නොවූ රූපයක් නම් තිබුණේ නැහැ යැයි දකිමින් අතීත රූපස්කන්ධය අනිත්‍යයි වශයෙන් දකින්න.

අතීත රූපස්කන්ධය අනිත්‍යවී ගියානම්, වර්තමාන රූපයත් අනිත්‍යනම්, පින්වත් ඔබ ‘මට අනාගතයේදී මෙවැනි රූපයක් ලැබේවා’ කියලා, මට ලස්සන රූපයක් ලැබේවා, නිරෝගී රූපයක් ලැබේවා. ජරා ව්‍යාධි මරණයන් නැති රූපයක් ලැබේවා බලාපොරොත්තුවක් ඇතිකරගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍යවේද? අනිත්‍යවේද? පින්වත් ඔබ ‘මට අනාගතයේදී මෙවැනි සශ්‍රීක දිව්‍ය ජීවිතයක්, බ්‍රහ්ම ජීවිතයක්, මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, එම බලාපොරොත්තු නිත්‍යවේද? අනිත්‍යවේද? අතීතයේ සක්විති රජවෙලා, ශක්‍රදෙවියන් වෙලා, තිබුණු රූපයනුත් අනිත්‍ය වී ගියානම්, අනාගතයේ බලාපොරොත්තුවන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය රූප හුදු මායාවක් පමණක්මයි.

පින්වත් ඔබ විවේකීව සිටිනකොට, නිරතුරුවම අතීත, වර්තමාන, අනාගත වශයෙන් රූපයේ අනිත්‍යභාවය, රූපයට උරුම වූ ජරා, ව්‍යාධි මරණ ලක්‍ෂණ නුවණින් දකිමින් රූපය කෙරෙහි මමත්වයේ දැඩිභාවය සියුම් කොටගන්න. පින්වත් ඔබට ‘මගේ රූපය’ කියන සංඥාව මතුවන හැම මොහොතකම, රූපය අනිත්‍යයි කියලා දකින්න. අනාගතයේ මම මේ විදිහේ රූපයක් ලබනවා කියලා සිතෙන සෑම මොහොතකම, රූපය අනිත්‍යයි කියලා දකින්න. අනාගතයේ පින්වත් ඔබ දිව්‍ය ජීවිත, බ්‍රහ්ම ජීවිත, මනුෂ්‍ය ජීවිත ලබලා, එම රූපයන් අනිත්‍යවන හැටි, විකෘතිවෙන හැටි, වෙනස්වෙන හැටි නුවණින් දකිමින් අනාගත රූපස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න.

මේ මොහොතේ ලෝකයේ ජීවත්වෙන සෑම ජනප්‍රිය චරිතයකටම, ඔබේ ජීවිතය ආරෝපනයකොට දකිමින්, කුසලය නැමැති හේතුව නිසා, සකස් වුණු එම ජනප්‍රියභාවය, එම චරිත අනිත්‍යභාවයට පත්වෙන හැටි නුවණින් දකින්න. ලෝකයේ බලවත්ම රාජ්‍යයේ රාජ්‍ය නායකයාත්, දිව්‍ය තලයන්ගේ බලවතා වන ශක්‍ර දෙවියනුත්, බ්‍රහ්මලෝකයේ අධිපති මහා බ්‍රහ්මයාත්, ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වී එම රූපයන් වෙනස් වී යන ආකාරය නුවණින් දකිමින් වර්තමාන, අතීත, අනාගත රූපයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න.