අනුන් තුළ පමණක් නොව, තමා තුළද සිටින මාරයා හඳුනාගන්න

විඤ්ඤාණය

සමහර පින්වතුන්ලා භික්‍ෂුව මුණ ගැහෙන්න ඇවිල්ල ධර්මකාරණා සම්බන්ධයෙන් කථා කරනවා. එම ධර්ම කාරණයන්ට එම පින්වතුන් සූත්‍රගත අර්ථය නොවෙයි දෙන්නේ, තම තමන්ගේ දෘෂ්ඨි මතවාදයි ප්‍රකාශ කරන්නේ. භික්‍ෂුව දැන් එවැනි පින්වතුන්ලාට කරුණු දක්වන්න යන්නේ නැහැ. සිනාවෙලා රටතොටේ විස්තර අහල සතුටු සිතින්ම පිටත් කර හරිනවා. එම පින්වතුන්ලාට නැති අකුසල් රැස්කරදෙන්නේ නැහැ. භික්‍ෂුව කරුණු දැක්වුවාය කියලා එම පින්වතුන් නිවැරැදි කරන්න බැහැ. දෘෂ්ඨී මතවාද කාන්තාරවල බැසගෙනයි එම පින්වතුන් සිටින්නේ. මෙවැනි විනාශයන් මනුෂ්‍යයින් සිදුකර ගන්නේ, තෘෂ්ණාවෙන් උපන් පංච උපාදානස්කන්ධ මාරයා තමන් තුළින් ක්‍රියාත්මකවන බවක් නොදන්නා නිසාමයි. ‘මම’ම ඔසවා තබමින් ‘මම’ නිවැරැදිකරුවා කරමින් ‘මම’ම දන්නා බව සිතමින් තමන් තුළ ජීවත්වෙන පංච උපාදානස්කන්ධ මාරයාට තව තව තෘෂ්ණාවේ ආහාර දෙමින් පෝෂණය කරනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම අතීත දසපාරමී කුසල් ශක්තියෙන් අති ගැඹුරු ලෝක ධර්මයන්, තම උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් සරල කොට, කාරණා හතරකින් අපිට දේශනාකර තිබෙනවා. එම කාරණා හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය. බලන්න, දුකින් පිරුණු පංච උපාදානස්කන්ධ ලෝකය නිරෝධය කරන්න එකම එක මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනාකරල තිබෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ තරම් සරල අර්ථයකට මේ ගැඹුරු ලෝකධර්මයන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදීලත්, මනුෂ්‍යයා තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම මොනතරම් පඹගාල්වල පැටලිලා සිටිනවාද? තර්ක, විතර්ක, දෘෂ්ඨි, මතවාද සමාජයට බෝකරනවාද? පංච උපාදානස්කන්ධ මාරයා ධර්මයේ නාමයෙන් පින්වත් ඔබට මොන දෘෂ්ඨී මතවාද, තර්ක, විතර්ක ඉදිරිපත් කළද, පින්වත් ඔබ තෙරුවන්ගේ නාමයෙන් නොබියව කියන්න ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය බොහෝම නිරවුල්ව තිබෙනවා. මගේ දුක මට නිවාගන්න අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක්මය’ කියලා.

තෘෂ්ණාවෙන් පිරී ඉතිරී ගිය පංච උපාදානස්කන්ධ මාරයාට බොහෝම නිහතමානීව පිළිතුරු දෙමින් අනතුරුවලින් මිදී, සද්ධර්මයේ ශක්තිය ජීවිතයට එකතුකර ගන්න. අනුන්ගේ දෘෂ්ඨි කාන්තාරවල ඔබ අතරමං වෙන්න යන්න එපා.

පසුගිය දවසක එක් විදේශගත පින්වතියක් තමන් හොඳින් ඇසුරු කරන පින්වතෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් දැක්වෙන ධර්ම පුස්තකයක් තෑගිකොට තිබෙනවා. ඒ අවස්ථාවේදී එම පින්වත් මහත්මයා එම ආර්ය අෂ්ටාංගික මාර්ගය පොත ප්‍රතික්ෂේපකර තම හිතවතියට කියනවලූ, අපි ‘‘පියෝ බුඩිස්ට්’’ ඒ කියන්නේ පිරිසිදු බෞද්ධයෝ. ‘අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩක් නැහැ’ය කියල. පංච උපාදානස්කන්ධ මාරයා කතා කරනවිට ඔබ, සමාවෙන්න කියලම ඉවත්ව යන්න ඕනේ. සමාජ ඇසුරේදී ඔබ උපක්‍රමශීලී වෙන්න දක්‍ෂවෙන්න ඕනේ. එම උපක්‍රමශීලීභාවය ඔබ තුළ ඇලීම් හා ගැටීම් අඩුකොට ගැනීමට හේතුවෙනවා. යම් පින්වතෙක් ධර්මයෙන් බාහිර දෘෂ්ඨි මතවාද ඉදිරිපත් කරනවා නම්, කථාකරනවා නම්, කරුණාකර බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති මගහැරයාමෙන් දුරුකළ යුතු ආශ්‍රවයන් ඔස්සේ උපක්‍රමශීලීව එම අකුසල් මගහැර යන්න දක්‍ෂවෙන්න ඕනේ.

භික්‍ෂුව දන්න එක මහත්මයෙක් සිටිනවා, ඔහු නිතිපතා පන්සිල් සුරකින, දන් පැන් පුජා කරන, සද්ධර්මය ශ්‍රවණය කරන මහත්මයෙක්. මේ මහත්තයාගේ එක දුර්වලතාවයක් තියෙනවා, මොහු නිරතුරුව උතුම් සම්බුද්ධ දේශනාවන්ට පටහැනි දෘෂ්ඨි මතවාද ප්‍රකාශකරන අය සමග ගැටෙන්නට යනවා. ඔහු හඳුනා ගන්නේ නැහැ, තමා තුළත් අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ මාරයාට අයිති පංච උපාදානස්කන්ධයයි කියලා. මොහු අනුන් තුළ මාරයා දැක්කත් තමන් තුළ මාරයා දකින්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති මමත්වයේ දැඩිභාවයයි ඔබව මෙවැනි අනතුරුවලට යොමුකරන්නේ.