අතීතය සිහිනයක්‌ පමණයි වත්මනද ඒ වගේමයි

වේදනාව

වේදනාවේ අනිත්‍යභාවය පුහුණු වෙනකොට අතීත, වර්තමාන, අනාගත, වශයෙන් වේදනාවේ අනිත්‍යභාවය දකින්න පුහුණුවෙන්න ඕනේ. මුලින් වර්තමාන වේදනාවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. දැක්‌ක දෙය, ඇසුණ දෙය, දැනුණ දෙය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා, වර්තමානයේ ඔබ තුළ සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා සහගත විඳීමක්‌ම නිත්‍යද? අනිත්‍යද?

වර්තමානයේ සකස්‌වෙන සෑම විඳීමක්‌ම අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදීලා අනිත්‍යවෙලා යනවා. වර්තමානයට සිත යොමුකරලා, සකස්‌වෙන සෑම විඳීමකම අනිත්‍යභාවය නුවණින් දකිමින් අතීත වේදනාවන්ගේ අනිත්‍යභාවය නුවණින් මතුකොටගෙන දකින්න.

පිංවත් ඔබ ඔබේ අම්මාගේ මව්කුසේ ගර්භාෂ කුටියේ සිරවී සිටියදී, එම කළල රූපයට දැනුණ විඳීම් නිත්‍යද අනිත්‍යද? ඔබ ලෝකයට බිහිවෙන වේලාවේ ඔබට දනුණ දුක්‌ වේදනාව නිත්‍යද අනිත්‍යද? වෙනස්‌වෙලා ගියා. අනිත්‍ය වී ගියා.

ඔබ මෙලොවට බිහිවූ මොහොතේ පටන් අම්මා, තාත්තා, ඥාතීන්, සහෝදරයන් නිසා සකස්‌වූ සෑම දුක්‌, සැප, උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ පුංචි කාලයේදී අම්මා ඔබව නළ වනකොට, අම්මාගෙන් කිරි උරා බොනකොට, අම්මාගෙන් උණුසුම ලබනකොට, තොටිල්ලේ නැළවෙනකොට. සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරනකොට, ළදරු පාසලට යනකොට…. ඇතිවූ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. පාසල් ජීවිතය මොහොතක්‌ සිහිපත්කොට ගන්න. ඔබ හාපුරා කියලා පාසලේ පළමු වසරට ඇතුළත් වූ දවස… මේ සෑම සැප වේදනාවක්‌ම සිහිනයක්‌ පමණක්‌මයි. වෙනස්‌වී ගියා. අහිමිවී ගියා. අනිත්‍ය වී ගියා. ඔබේ උසස්‌ අධ්‍යාපනය, මුල්ම රැකියාව, ව්‍යාපාරය, තාරුණ්‍යය, ආදරය, විවාහය, කුළුඳුල් දරු උපත… මේ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍යවී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබට අතීතයේ අම්මා, තාත්තා ගහනකොට, බණිනකොට, සැරකරනකොට, අසත්පුරුෂ මිතුරන් මුණගැසෙනකොට, අකමැති දේවල් සිදුවෙනකොට, අතීතයේ මොනතරම් දුක්‌ වේදනාවන් අත්වෙන්නට ඇතිද? මේ සෑම දුක්‌ වේදනාවක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අතීතයේ පිංවත් ඔබ සැප, දුක්‌ වේදනාවන්ට බැඳෙන්නේ නැතිව, සැප, දුක දෙකම උපේක්‍ෂාවෙන් දරාගෙන මොනතරම් ජීවත්වෙලා තිබෙනවාද. ඇලීම් ගැටීම් ඉදිරියේ මොනතරම් ඔබ උපේක්‍ෂාවෙන් යුතුව ක්‍රියාකොට තිබෙනවාද. ඒ සැම අතීත උපේක්‍ෂා සහගත විඳීමක්‌ම අනිත්‍යව ගියා. අතීතයේ ඔබ අත්වින්දාවූ සෑම දුක්‌වේදනාවක්‌ම උපේක්‍ෂා සහගත විඳීමක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න.

පිංවත් ඔබේ ඊයේ දවසට සිත යොමුකොට, දවස පුරා ඔබ තුළ සකස්‌වූ සෑම සැප වේදනාවක්‌ම, දුක්‌ වේදනාවක්‌ම, උපේක්‍ෂා සහගත වේදනාවක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් වේදනාව අනිත්‍යයි.. අනිත්‍යයි.. අනිත්‍යයි වශයෙන් අර්ථවත්ව දකින්න. පුහුණු වෙන්න.

පිංවත් ඔබ වේදනාවේ අනිත්‍යභාවය පෙර භවයන්ට නුවණින් යොමුකරන්න. අතීත භවයන්හිදී ඔබ පැවිදි උපසම්පදාව ලබලා, දස දහස්‌ ගණන් පිංවතුන් වටකොටගෙන ධර්ම දේශනා, පිංකම් පවත්වපු වේලාවේ, අතීතයේ ඔබ බුදුරජාණන්වහන්සේලා, පසේ බුදුරජාණන්වහන්සේලා, මහරහතන් වහන්සේලා මුණගැසුණු වේලාවෙ ඇතිවූ සැප වේදනාවන් මනසින් මවාගන්න. අතීතයේ ඔබ සක්‌විති රජු වෙලා, මුළු ලෝකයම දිග්විජය කරනකොට, දිව්‍ය අප්සරාවක්‌ බඳු ස්‌ත්‍රී රත්නය ඇසුරු කරද්දී, සෘධිමත් අජානීය අසුපිට, ඇතුපිට ගමන්කරද්දී පිංවත් ඔබ මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. අතීතයේ ඔබ සක්‍ර දෙවියන් වෙලා, ලැබූ අසිරිමත් දිව්‍ය විඳීම් දිව්‍ය අප්සරාවන්, දිව්‍ය නැටුම්, ගැයුම්, වැයුම් , දිව්‍ය භෝජන… මොනතරම් දිව්‍ය සැප වේදනාවන් ලබන්ට ඇතිද.

අම්මලා, තාත්තා, ඥාතීන්, දරුවන්, සත්පුරුෂ ආශ්‍රයන් නිසා අතීත භවයන්හිදී මොනතරම් සැප වේදනාවන් ලබන්නට ඇතිද. මේ සෑම සැප වේදනාවක්‌ම වෙනස්‌වී ගිය හැටි, විකෘතිවී ගිය හැටි, අනිත්‍යට ගිය හැටි නුවණින් දකින්න.

සංසාරයේ ඔබ ලැබූ සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වූ තැනදී, අසත්පුරුෂ ආශ්‍රයන් ලැබුණ තැනදී, අබුද්ධෝත්පාද කාලයන් මුණගැසුණ අවස්‌ථාවන්හිදී, කල්ප විනාශයන්ට හසුවී ඉරවල් හතක උණුසුමට පිච්චි, පිච්චී මියගිය අවස්‌ථාවන්හිදී , සතර අපායන්ට වැටී ප්‍රේත ලෝකවල සෙම් සොටු කමින්, අකුසල් නිසාම ප්‍රේත ශරීර රිදුම් දෙමින් මොනතරම් කටුක දුක්‌වේදනාවන් විඳන්නට ඇතිද. තිරිසන් කුලවල ඉපදිලා, වෙනත් සතුනට ගොදුරුවීමෙන්, මිනිසුන් අමු අමුවේ අපිව මරාගෙන කෑමෙන් මොතරම් කටුක දුක්‌ වේදනා සංසාරයේ විඳින්ට ඇතිද? නිරයන්ට වැටී පටිච්චසමුප්පන්නව ඔබත් මමත් ගින්දර, යෝධි සමඟ වින්දාවූ සෑම දුක්‌වේදනාවක්‌ම වෙනස්‌වී ගියා. අතීත භවයන්හිදී කැමති දෙය සිද්ධ නොවෙනකොට, අකැමැති දෙය සිද්ධවෙනකොට, එම කැමැත්ත, අකමැත්ත කොච්චර නම් උපේක්‍ෂාවෙන් දරාගත්තාවූ අවස්‌ථා ඇතිද. ඒ සැම අතීත උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගියා. පිංවත් ඔබට දැන් වැටහෙනවා. අතීතයේ, වර්තමානයේ ඔබ වින්දාවූ සෑම සැප දුක්‌ උපේක්‍ෂා විඳීමක්‌ම අනිත්‍ය වී ගිය ධරමතාවයන්ය කියලා.