ඔබේ අතීත මළ කඳන්ගොඩ මත මොහොතක්‌ සක්‌මන් කරන්න

කායානුපස්‌සනාව – සතර මහා ධාතුවක් ලෙස කය දැකීම

බුදුරජාණන්වහන්සේ නකුල පියාට දේශනා කරනවා නකුල මේ සතර මහ ධාතුව නිරතුරුවම ලෙඩ වෙන දෙයක්‌, වේදනාවට පත් වෙන විනාශ වන දෙයක්‌, එම නිසා ඔබ සතරමහ ධාතුව නමැති රූපයට බැඳෙන්න එපා, රූපය ලෙඩ උණත් සිත ලෙඩ කරගන්න එපාය කියල. රූපය මගේ කරගත් තැනදි අපි සිත ලෙඩ කර ගන්නවා. ලෙඩවෙන සිත නැවත නැවතත් සතර මහ ධාතුවක්‌ම උරුමය කර දෙනවා. ඇසත්, ඇසට අරමුණු වන සෑම රූපයක්‌මත්, කනත් කනට අරමුණු වන සෑම (ශබ්ද) රූපයක්‌මත් සතර මහ ධාතුවක්‌ හැටියට දකින්න. අනෙකුත් ආයතන ගැන ඉහත ආකාරයට ක්‍රියාත්මක වෙන්න. සතර මහ ධාතුව ආත්මීය වශයෙන් ගැනීම නිසා අතීත සංසාරයක්‌ පුරාවටම ඔබ විඳි දුක්‌ වේදනා නුවණින් දකින්න. අතීතයේ කල්ප විනාශයක්‌ සිදු වුණ මොහොතේ පඨවි ධාතුවේ අයෝමය ශක්‌තිය බඳුවූ යොදුන් 168000 උසින් දිගින් පළලින් යුත් මහමේරූ පර්වතය සුනුවිසුනු වී ගිය හැටි නුවනින් දකින්න. ආපෝ ධාතුවේ අයෝමය ශක්‌තිය බඳු වූ මහාසාගරය සිඳී, වියලී ගිය හැටි නුවනින් දකින්න. තේජෝ ධාතුවේ අයෝමය ශක්‌තිය බඳු වූ හිරු, ඉරවල් හතක්‌ පායා මුළු මනුෂ්‍ය ප්‍රජාවම විනාශ වන හැටි මුළු පෘතුවියම ගිනි ගෙන අළුදුවිලි බවට පත් වී ගිය හැටි නුවනින් මෙනෙහි කරන්න. වායෝ ධාතුවේ අයෝමය ශක්‌තිය බඳුවු මහාමේරුවෙන් නැගෙන දුම් කඳ, මුළු පෘතුවියම අවුරුදු දහස්‌ ගණනක්‌ දුමෙන් වසා ගෙන තිබු ආකාරය නුවනින් දකින්න. අතීත සතරමහ ධාතුවේ අනිත්‍යභාවය ඔබ නුවණින් අවබෝධකොට නොගත්තොත් මෙවැනි කල්ප විනාශයන් තුළින් අනාගතයේදී නැවත නැවත දුකට පත් වෙන බව සිහිපත් කරන්න. පිංවත් ඔබ මගේ කොට ගෙන දරාගෙන සිටින සතර මහ ධාතුව ගැන අවබෝධයෙන් කලකිරෙන්න.

මහා සාගරය පතුලෙන් සතර මහ ධාතුව කිපී රටවල් විනාශ කරන සුනාමියක්‌ මතුවී එන්නාසේ, අපත්‍ය ආහාරයක්‌ ගැනීම නිසා ඔබේ ශරීරය නමැති සතර මහ ධාතුව කිපී මුඛයෙන් නික්‌මෙන වාතයක්‌ අධෝමාර්ගයෙන් නික්‌මෙන වාතයක්‌ සුනාමියක්‌ සමග සංසන්දනය කර දකින්න. පිංවත් ඔබ බත් පිඟාන අනුභව කරන විට, බත් ව්‍යංජන කියන සතරමහධාතුව මුඛයේ කෙළත් සමග මිශ්‍ර වී ආමාශයේදී වමනයක්‌ බවට පත්වී රුධිරය හැටියට ඔබේ රූපය නමැති සතරමහ ධාතුවට එකතු වෙනවා නුවණින් දකින්න. එම සතරමහ ධාතුව මුත්‍ර, අසුචි හැටියට නැවත මහපොළව නැමති සතරමහ ධාතුවට එකතු වෙනවා නුවනින් දකින්න. පිංවත් ඔබේ සිරුර යම් දවසක මිය පරලොව ගොස්‌ මහ පොළවේ වළ දැමුවොත් එම මළසිරුර කුණු වී විනාශවී මහ පොළව නැමති සතර මහ ධාතුවට එකතුවෙන හැටි, මහපොළවේ සාරයෙන් ගහකොළ පෝෂණයවන හැටි, එම ගහකොළවලින් සතුනගේ සතර මහ ධාතුව පෝෂණය වෙන හැටි නුවනින් දකින්න. මහපොළවත් ඔබේ සතර මහ ධාතුවත් ස්‌වභාවයෙන් එකම බව නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහපොළව අතීත සංසාරයේ ඔබේම මළකඳන්වලින් පෝෂණය වු අනිත්‍යභාවයට පත්වු සතර මහ ධාතුව වශයෙන්ම දකින්න. ඔබේම අතීත මළකඳන් ගොඩ මත මොහොතක්‌ සක්‌මන් කරන්න. මහ පොළවත්, ජලයත්, සුළඟත්, හිරුඑළියත්, ඔබේ රූපයත් සතරමහ ධාතුව වශයෙන් දකින්න.

දැන් වේලාව සවස 6.00 පමණ ඇත. පරිසරයම අඳුරු කරල අහස වැසි වලාකුළුවලින් බරවෙලා කඳුවලල්ට එහායින් හයියෙන් ගොරවනවා. දැන් වැහිපොද වැටෙනවා. භික්‍ෂුව ගල්තලාවෙන් නැගිටල කුටිය තුළට යනවා. පරිසරයේ මේ වෙනස්‌වීම් තුළ කුමක්‌ද අපි දකින්නේ. සතර මහ ධාතුවේ වෙනස්‌වීමයි. සතර මහ ධාතුවේ කිපීමයි. ඇස කියන සතර මහ ධාතුව කිපීමෙන් කඳුළුගලනව වගේ තුවාලය කියන සතර මහ ධාතුව කිපිල සැරව ගලනව වගේ, මුත්‍රාශය කියන සතර මහ ධාතුව කිපිල මුත්‍ර වැගිරෙනව වගේ ආකාශයේ වළකුළුවල කිපීමේ ක්‍රියාත්මකභාවය වැස්‌ස හැටියට අපි දකින්නේ. පරිසරයේ සිදුවීම් සමග ඔබේ රූපය නැමති සතර මහ ධාතුව නිරතුරුව ගලපා දකින්න. වැස්‌සට ඇති නොඇල්ම ඔබේ රූපය කෙරෙහිත් ඇති කරගන්න. ඔබ මේ මොහෙතේ යම් කායික මානසික පීඩාවිදීමක්‌ විඳිනවා නම් ඔබ කායිකව මානසිකව සතුටක්‌ සොම්නසක්‌ විඳිනවා නම් ඉහත ස්‌වභාවයන් දෙකම ඔබ සකස්‌ කර ගන්නේ සතර මහ ධාතුවක්‌ ඔබේ කරගැනීම නිසාමය. මේ හේතුවෙන් පිංවත් ඔබ සෑම නිමේශයකදීම අනාගත භවය සඳහා සංස්‌කාරයන් රැස්‌කරමිනුයි සිටින්නේ.