සිත දුරගමන් යන විට, සිහිය නමැති දොරටුවට සෙමෙන් තට්‌ටු කරන්න

චිත්තානුපස්‌සනාව

මීළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අනුව චිත්තානු පස්‌සනාවට අදාළව සිතේ අනිත්‍යභාවය දකින්නය කියලා. සිත කියලා ගත්තත්, විඤ්ඤාණය කියලා ගත්තත්, පංච උපාදානස්‌කන්ධය කියලා ගත්තත්, දුක කියලා ගත්තත්, එකම අර්ථයයි ධර්මය තුළදී අපි දකින්නේ. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත් කරලා, වේදනාව සකස්‌ කොටගත් සැණින්ම, පංච උපාදානස්‌කන්ධයට අදාළ ධර්මතාවන් සකස්‌ වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ඔබ බැඳුණොත් බැඳෙන්නේ රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණයන්ටමයි. ඔබ නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නෙත් පංච උපාදානස්‌කන්ධයෙන්මයි කියලා. එම නිසාම පංච උපාදානස්‌කන්ධයන්ගේ අනිත්‍යභාවය දැකීම නිවීමේ මාර්ගයේ තීරණාත්මක කමටහන වෙනවා.

චිත්තානුපස්‌සනාවෙන් ආවරණය නොවූ සිත, නිරතුරුවම කුසල් සහ අකුසල් මූලයන් සකස්‌කොට දෙමින්, භවයේ දුගතිය සහ සුගතිය අතර ඔබව මංමුළා කරවනවා. ආහාරය නිසා හටගන්නා වූ රූපය, රූපය කෙරෙහි හටගන්නා වූ තෘෂ්ණාව, තෘෂ්ණාව නිසා හටගන්නා වූ හඳුනාගැනීම, හඳුනාගැනීම නිසා හටගන්නා වූ සංස්‌ඛාර, සංස්‌ඛාර නිසා හටගන්නා වූ විඤ්ඤාණයේ අනිත්‍යභාවය දැකීම චිත්තානුපස්‌සනාවේදී සිදුවෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පංච උපාදානස්‌කන්ධය කියන්නේ මාරයාය කියලා. පංච උපාදානස්‌කන්ධය නමැති හිත, මාරයා හැටියට හඳුනානොගත් නිසාම, කල්ප සියක්‌කෝටි, ප්‍රකෝටි ගණනක්‌ දුර භව ගමනක්‌ පසුකොට අපි පැමිණ සිටිනවා. මේ උතුම් ජීවිතයේදී ඔබ අවම වශයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය හෝ දකින්නට අදක්‍ෂ වුණොත් තවත් එවැනිම දුරක්‌ අනාගතයට යන්නත් තිබෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පංච කල්‍යාණියෙන් හෙබි ජනපද කල්‍යාණිය, නගරයක්‌ මැද්දේ රැඟුම් දක්‌වනවා. දහස්‌ ගණනක්‌ සෙනඟ උමතුවෙන් වගේ ජනපද කල්‍යාණියගේ නැටුම නරඹනවා. කට ළඟටම තෙල් පිර වූ කලයක්‌ හිස මත තබාගත් රාජ උදහසට ලක්‌ වූ මනුෂ්‍යයෙක්‌ ජනපද කල්‍යාණිය නටන තැනින් ගමන් කරනවා. මේ මනුෂ්‍යයා පසුපස, තියුණු මුවහත් ඇති කඩුවක්‌ අතින්ගත්, වධකයෙක්‌ පැමිණෙනවා. කඩුව අතැති වධකයා, කට ළඟට තෙල් පිර වූ කළය හිස මත තබාගෙන යන මනුෂ්‍යයාට කියනවා ‘තෙල් කළයෙන් එක බිංදුවක්‌ හෝ හැලුනොත් පසුපස සිට මම ඔබේ හිස ගසා දමනවා’ කියලා. බුදුරජාණන්වහන්සේ ප්‍රශ්න කරනවා ‘මහණෙනි, තෙල් කළය හිස තබාගත් මනුෂ්‍යයා තෙල් කළයෙන් හිස ඉවත් කරලා ජනපද කල්‍යාණිය දෙස බලයිද?’ කියලා. ඔහු තෙල් කළයෙන් හිස ඉවත් කරලා ජනපද කල්‍යාණිය දෙස බැලූවොත් ක්‍ෂණයෙන් තෙල් හැලෙනවා. ඒ ක්‍ෂණයේදීම වධකයා ඔහුගේ හිස ගසා දමනවා. පංච උපාදානස්‌කන්ධය නමැති වධකයා, තවමත් ඔබ නිවැරදිව හඳුනා නොගත් නිසාම ඔබ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් සකස්‌ වෙන ආශ්වාදයන් දකිමින්, විඳිමින්, නටමින්, ගයමින්, සතුටු වෙමින් නිරතුරුවම වධකයාගෙන් හිස්‌ ගැසුම් කමින් භවයෙන් භවයට ගමන් කරනවා.

සිත ගොඩක්‌ කැමැතියි දුර ගමන් යන්න. සමහර විට පිංවත් ඔබ ඔතැන වාඩිවී සිටින්න පුළුවන්. නමුත් ඔබේ සිත තිබෙන්නේ විදේශීය රටක. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක කාලයක්‌, යොදුන් ලක්‍ෂ ගණනක දුරක්‌, ගෙවාගෙන කාම රූපී, අරූපී භවාත්‍රය තරණය කොට පැමිණි ඉව, ඇති වෙමින් නැතිවෙන සිතට තිබෙනවා. සිත දුරගමන් විශේෂඥයෙක්‌. ඔබේ සිත දුර ගමන් යන වෙලාවට පිංවත් ඔබ සිහිය නමැති දොරටුවට සෙමින් තට්‌ටු කරන්න. එවිට එම දොර ඇරේවි. දැන් ඔබට පුළුවන් ඔබේ සිත ඔබේ කිට්‌ටුවට ගන්න. කිට්‌ටුවට ගත් සිත ඵස්‌සය අසල නවත්වා ගන්න. දැන් ඔබ වර්තමානයේ සකස්‌ වන සිත තුළින් ගෙවී ගිය අතීත සිත් දෙස බලන්න. එවිට ඔබට හිස්‌ දෙයක්‌ මිස වටිනා කියන කිසි දෙයක්‌ එහි හමු නොවනු ඇත. නොවටිනා කෙටි හෝ දුර ගමන් යන සිත, වටිනා අරමුණක්‌ උදෙසා යොමු කිරීමයි චිත්තානුපස්‌සනාවෙන් සිද්ධ වෙන්නේ.

අද උදෑසන නින්දෙන් පිබිදුණු මොහොතේ පටන්, මේ මොහොත දක්‌වා, ඔබ තුළ මොන තරම් සිතිවිලි සකස්‌ වෙන්න ඇතිද. උදෑසන නැඟිටින්න කියලා සිතක්‌ සකස්‌ වුණා. ඔබ නැඟිට්‌ටා. මුහුණ සෝදන්න, කෑම කන්න කියලා සිතක්‌ සකස්‌ වුණා. ඔබ මුහුණ සේදුවා. කෑම කෑවා. මේ සකස්‌ වුණා වූ සෑම සිතක්‌ම, ඔබව ක්‍රියාත්මක භාවයට පත් කරලා අනිත්‍ය වී ගියා. සිත අනිත්‍යව ගියත්, ඔබ ක්‍රියාත්මක භාවයට පත්වීම නිසා කුසල් හෝ අකුසල් සංස්‌කාරයක්‌ රැස්‌කොට ගත්තා. පිංවත් ඔබ තුළ මීට මොහොතකට පෙරාතුව සිතක්‌ සකස්‌ වුණා, පත්තරය කියවන්න ඕනෑ කියලා. ඒ සිත අනිත්‍ය වී ගියා. දැන් ඔබ මේ සටහන කියවනවා. ඒ නිසාම ඔබ තුළ කුසල් සංස්‌කාරයක්‌ රැස්‌ වෙනවා. ඒ කියන්නේ සකස්‌ වෙන සෑම සිතක්‌ම, අනිත්‍ය භාවයට පත්වෙනවා. අනිත්‍ය භාවයෙන් යුතු වූ සිත ඔබව ක්‍රියාත්මක භාවයට පත්කරලා, එම ක්‍රියාත්මක භාවයට පත්වීම නිසාම ඔබ කුසල් අකුසල් චේතනාවන් සකස්‌ කොට ගන්නවා. කුසල් අකුසල් ඔබව නැවත භවය කරා රැගෙන යනවා. ඒ කියන්නේ ඔබ සකස්‌ කොට ගන්නා සෑම සිතක්‌ පාසාම, භවයට යන්නා වූ සංස්‌ඛාරයක්‌ ඔබ රැස්‌කොට ගන්නවා. එම නිසා පිංවත් ඔබ විවේකීව සිත දෙස බලා සිටින්න. සකස්‌ වෙන සෑම සිතිවිල්ලක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න. පිංවත් ඔබ පැයක්‌ තුළ සකස්‌ වෙන සෑම සිතිවිල්ලක්‌ම අනිත්‍යභාවයෙන් දැක්‌කොත්, එම පැයක කාලය තුළ ඔබ භවයට ගලාගෙන යන සංස්‌ඛාරයක්‌ රැස්‌ කරන්නේ නැහැ.

ඇසෙන් රූපයක්‌ දකින මොහොතේම, එම රූපය අනිත්‍යයි කියලා දකිමින් ඉන්න. ඇසෙන් මනුෂ්‍ය රූපයක්‌ දැක්‌කොත්, අනිත්‍යයි කියලා දකිමින් රූපය නිසා විතර්ක කරා යන්න එපා. ඇසෙන් පරිසරය දැක්‌කත්, අනිත්‍යයි කියලා දකින්න. කනෙන් ශබ්දයක්‌ ඇසුණොත් එම ශබ්දය අනිත්‍යයි කියලා දකින්න. ශබ්දය ඔස්‌සේ විතර්ක සකස්‌ කරමින් යන්න එපා. ආයතන හයටම හානිකර රූපයක්‌ ඵස්‌සය වන මොහොතේම අනිත්‍ය වශයෙන් දකින්න. ඇයි අනිත්‍ය වෙන්නේ? කොහොමද අනිත්‍ය වෙන්නේ? මෙවැනි විතර්ක සකස්‌ වෙන මොහොතේම අනිත්‍ය වශයෙන් දකින්න.

අනිත්‍ය සංඥාව වැඩීම නිසාම, සකස්‌ වෙන සියුම් ආශ්වාදජනක සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වෙන්න. එසේ නොවුණහොත් මාරයා අනිත්‍ය දැකීම තුළත් ආශ්වාදයක්‌ මතුකොට ඔබ මාර බන්ධනයට කොටු කරනු ඇත.