සංස්කාර නම් මැජික්කාරයා දැකගන්න

භික්ෂුව පිණ්ඩපාතයේ වඩින කැලෑ මාර්ගයේ අඩිපාර, කොළ අතු වැටිලා අපවිත්‍ර වෙලයි තිබුණේ. ගමේ පිංවත් මහත්මයෙක් ඊයේ සවස එම අඩිපාර හොඳින් අතුගාලා පිරිසිදු කරලා තිබුණා. මහා සංඝරත්නය අරමුණුකොට, මංමාවත් පිරිසිදු කිරීමේ පිනෙන්, මහත්මයාට සුවපහසු, මටසිලිටු බුමුතුරුණු, පලස්, ඇතිරිලි, සැපවත් යානවාහන සහිත මහේෂාදී සැපසම්පත් ලැබේවා කියලා භික්ෂුව එම මහත්මයාට පිං අනුමෝදන් කළා. යම් පිංවතෙක් මහා සංඝරත්නය අරමුණු කොට මංමාවත් පිරිසිදු කරනවා නම් ඉහත ආනිශංසයන් ලැබෙනවා ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසා ම ශ්‍රාවකයින් වන අපිත් එම සම්පත් ලැබේවා කියලා ගිහි පිංවතුන්ලාට ආශිර්වාද කරනවා. මෙවැනි ආශිර්වාද කිරීම් හේතුවෙන් ගිහි පිංවතුන්ලා තුළ කුසලය කෙරෙහි තවතවත් ඡන්දය ඇතිවෙනවා. අපි පිංවතුන්ලාට එවැනි සශ්‍රීක ජීවිත ප්‍රාර්ථනා කළත්, වර්තමාන සමාජයේ, පෙර පින නිසා ම මේ ජීවිතයේ දී සශ්‍රීක මහේශාඛ්‍ය ජීවිත ගතකරන, ආයුෂ, වර්ණ, සැපය, බලය සහිත ජීවිත ගතකරන පිංවතුන්ගේ සැපයන් කෙරෙහි ද්වේෂයෙන්, වෛරයෙන් කටයුතු කරන පිරිස් සිටින බව සමාජයේ සිදුවන ක්‍රියාකාරකම් තුළින් විද්‍යමාන වෙනවා. මෙය පිනට කරන අභියෝගයක් වෙනවා.

සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් නුවර ශාක්‍ය වංශයේ උපත ලබන්නේ, රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගාවල කුමාර සැපසම්පත් වින්දේ කුසල් සංස්කාරයන්ගේ ඵලයක් නිසා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගිහි කුමාර අවධියේ තම සිටු මන්දිරයේ සිට ඇල්සහල් අනුභව කරනවා. නමුත් මේ ඇල්සහල් ලැබෙන්නේ කොහොමද කියලා අනුරුද්ධ කුමාරයා දැනගෙන සිටියේ නැහැ. මෙවන් මහේශාඛ්‍ය ජීවිත මේ අය ලැබුවේ, අතීත කුසල් සංස්කාරයන්ගේ විපාකයන් නිසා. විශාඛා සිටු දියණියට ලක්ෂ ගණනක් වටිනා මහාමේලපළඳනාව තෑගි ලැබෙන්නේ, අතීත කුසල් සංස්කාරයන්ගේ විපාකයන් නිසා. අනේපිඩු සිටුතුමාට ජේත උයන රන්කාසිවලින් අහුරන්න තරම් ධනයක් ලැබුණේ, අතීත කුසල් සංස්කාරයන්ගේ ඵලයන් නිසා. මේවා සමාජ අසාධාරණයන් නිසා සිදුවෙච්ච දේවල් නො වේ. නමුත් සම්මා දිට්ඨියේ අර්ථයන් නො දන්නා මිථ්‍යා දෘෂ්ඨික පිංවතුන්. මේ උතුම් කුසල් ශක්තිය නොවැදගත්, මිථ්‍යා දෘෂ්ඨික මතවාද තුළින් විවේචනයට ලක්කරනවා; අනුන්ගේ සැපය, සශ්‍රීකභාවය, වත්පොහොසත්කම් දකිනකොට ද්වේෂය ඇතිකොට ගන්නවා. ඇයි ඔහුට ලැබුණේ, ඇයි මට නො ලැබුණේ කියලා ධර්මානුකූලව ගළපා දකින්න දක්ෂ නැහැ. දුප්පත්කම, දරිද්‍රතාවය ආණ්ඩු පෙරළිවලින් ජය ගන්න උත්සාහ ගන්න පිංවතුන්, පන්සලකට, පිංකම්පොළකට නො යා, පෙළපාළියට යනවා. පෙළපාළි ගිය මනුෂ්‍යයෝ පසුකලක රටේ ප්‍රභූන් බවට පත්වෙන්නේ, අතීත කුසල් සංස්කාරයන්ගේ ඵලයන් නිසා ම යි. මෙතනදි පින ඔබට විසඳලා දෙන්නේ හේතුඵල ධර්මයකුයි. එම පිංවතාට පන්සලට, පිංකම්පොළට යන්න සිත දෙන්නේ නැතුව, ඔහුට පෙළපාළියට යන්න කැමැත්ත ඇතිවෙන්නේ, ඔහු තුළ සැඟවී ඇති, එහෙත් ඔහු නො දන්නා අතීත කුසල් සංස්කාරයන්ට විපාක දීමට මාර්ගය මතුකොට දීමට යි.

පෙර ජීවිතයේ ඔහු සිල්පද ආරක්ෂා කොටගෙන, මහා සංඝරත්නය අරමුණු කොටගෙන හවුලේ දන් පූජාකරගෙන ශක්තිමත් පිංකම් කරගෙන තිබුණත්, ඔහු ගිය ජීවිතයේ මැරෙන වේලාවේ සකස්වුණ අවසාන චුතිසිතට, අරමුණු වෙන්නේ දුර්වල කුසල් සිතක්. අවසාන චුතිසිතට අරමුණු වුණු දුර්වල කුසල් චිත්තය හේතුවෙන්, ඔහු මේ ජීවිතයේ දී එම දුර්වල කුසල් චිත්තයට අදාළව සාමාන්‍ය පවුලක, ගොවි පවුලක උපත ලබනවා. නමුත් ඔහු සතුව යටපත් වී ගිය බලවත් කුසල් ශක්තියක් ඇති නිසා, ඔහුගේ කැමැත්ත, පන්සලට, පිංකමට නො ව, පෙළපාළි යන්නට යොමුවෙනවා.

මෙතනදී යොමුවීම කියන කාරණය, විඥානය වශයෙන් පිංවත් ඔබ ගතයුතු යි. අවසානයේ සාමාන්‍ය පවුලක ඉපදී, පන්සලට, පිංකමට වඩා පෙළපාළි යන්න යොමු වුණා; මහේශාඛ්‍ය ජීවිතයකට පත්වෙනවා. දැන් මෙයින් ඔබට තේරෙනවා ඇති, විඤ්ඤාණය නමැති මැජික්කරුවා, ඔබේ අතීත කුසලය, අකුසලයට අදාළව කැමැත්ත, අකමැත්ත මෙහෙයවන හේතුඵල ධර්මයන්ගේ යථා ස්වභාවය බව. සමාජය තුළ සිදුවන සෑම ජයග්‍රහණයක් ම, පරාජයක් ම සංස්කාරයන්ගේ නූල් සූත්තරය නිසා ම සිද්ධවෙන බව ඔබට වැටහෙනවා ඇති. ඉහත පිංවතාට පන්සලට, පිංකමට යන්න සිත නො දෙන්නේ, පෙර ජීවිතයේ කුසල් ශක්තිය නිසා. ඔහුට පෙළපාළි යන්න සිත යොමු වූයේ, අතීත කුසලය විපාක දීමට, මාර්ගය විවරකොට දීමට අවශ්‍ය නිසා. දැන් පිංවත් ඔබට වැටහෙනවාද, කුසලය සහ අකුසලය විපාකදීමේ දී මොන තරම් උපක්‍රමශීලී ස්වභාවයක් ගන්නවා ද කියලා.

පිංවත් ඔබට භික්ෂුව ඉහත කාරණය සටහන් තබන්නේ, ඔබට මේ ජීවිතයේ දී උතුම් සෝවාන් ඵලයට පත්වීමට නො හැකිවුණොත්, පින කියන ධර්මයේ ආශ්චර්යවත්භාවය කෙරෙහි ඔබ තුළ ඡන්දයක් ඇතිකොට දෙන්න; අවසාන චුතිසිතේ ඇති වූ යම් දුර්වලතාවයක් හේතුවෙන් ඔබ සාමාන්‍ය පවුලක ඉපදුණත්, මහේශාක්‍ය භාවය ඔබට අහිමි නැහැ කියන කාරණය මතුකොට පෙන්වන්න.

හැබැයි ඉතිං සංස්කාරයෝ අනිත්‍ය යි; වෙනස්වෙලා යනවා; අහිමිවෙලා යනවා; විකෘතිවෙලා යනවා; පරාජය වෙලා යනවා. ජය වේවා කියපු මනුෂ්‍යයෝ ම, අවසානයේ දී බන්ධනාගාරගත වේවා යැයි කියනවා. මුළාවක්, විජ්ජාවක්, මායාවක් ම යි ලෝකය පෙර ජීවිතයේ සුගතියක සිට මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා, මෝහය ජීවිතය කොටගන්නා නිසා ම මරණින් මතු සතර අපායන්ට වැටෙනවා. මනුෂ්‍යයාට පින විපාක දෙනකොට, හැමෝම ඔහුට ජයවේවා කියනවා. පින ගෙවී යනකොට, තවත් පිංවන්තයෙකුට ජයවේවා යැයි කියනවා. දක්ෂයා අකුසලයට යට නො වී, කුසලය තුළින් නැවත පින මතුකොට ගන්නවා. තට්ටුමාරු ක්‍රමයට මෝහබරිත සත්වයාට පින සහ පව මැජික් පෙන්වනවා. සංස්කාරයක් වූ පින සහ පව, මගේ කොටගැනීම නිසා, මැජික්කරුවාගේ මැජික් සාස්තරයට සත්වයා නිරතුරුව ම කොටුවෙනවා.