පිටි කොටන්න ගිය කාලය ඉතිරිවුණා. ඉතිරි කරපු කාලයේ කෝ පිං පිරුණා

නව වසරට ප්‍රවේශයක් – 7

නවීන තාක්‍ෂණික උපකරණ ගෙදරදොර පරිහරණයට පැමිණීම නිසා ම, එදිනෙදා ජීවිතයේ දී, පිංවත් ඔබට මොන තරම් කාලයේ ඉතිරියක් ලැබී තිබෙනවා ද.

භික්‍ෂුවට මතකයි, අපි පොඩි කාලයේ අවුරුදු ළංවෙනකොට කැවුම් හදන්න අම්මා සමඟ ගල්වංගෙඩියේ හාල් කොටනවා; පිටි හලනවා. හාල් කිලෝ දෙකක් දියේ දමලා පිටි කොටන්න එදා පැය තුන හතරක කාලයක් ගතවෙනවා. වර්තමානයේ එම කටයුත්ත, තාක්‍ෂණය විසින් පැය භාගයකින් කරගැනීමේ හැකියාව ලැබිලා තිබෙනවා.

ඔබගේ ම පෙර පින නිසා ම, මේ තාක්‍ෂණයේ භාවිතයෙන් ඔබට ලැබෙන කාලයේ ඉතිරිය ඔබ පෙරළා යොදාගන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් වර්ධනය කොටගැනීම උදෙසා ම යි. තාක්‍ෂණය නිසා මෙතරම් කාලයේ ඉතිරියක් පිංවත් ඔබට ලබාදී තිබියදීත්, අද උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණි අම්මා කෙනෙක් භික්‍ෂුවට කියනවා, ”මේ මාසයේ වැඩ වැඩි නිසා, සිල් සමාදන් වෙන්න යන්නේ නැහැ”ය කියලා. අතීත පින නිසා පිංවත් ඔබට කාලය ඉතිරිකොට දෙනකොට, පෙරළා ඔබ තවතවත් වගකීම් කර මතට ගන්නවා. අතීත පින විසින් වර්තමානයේ ඔබට ලබාදෙන කාලයේ ඉතිරිය පෙරළා පින්කිරීම උදෙසා යොමුකොට ගන්නේ නැහැ. පින කියන්නේ මොන තරම් උත්කෘෂ්ට දෙයක් ද. අතීත මනුෂ්‍යයාගේ පින විසින් සකස්කොට දුන් දැනුමේ ඵලයෙන් බිහිවෙන තාක්‍ෂණය විසින් ලෝකය සරලකොට, පහසුකොට තිබියදීත්, පිංවත් ඔබ ජීවිතය අකුසල් මූලයන්ගෙන්, කාමච්ඡන්දයන්ගෙන් බරකොට ගන්නවා. ඇයි පිංවත් ඔබ පිනට මේ තරම් අසාධාරණයක් කරන්නේ?

ඔබ ම කරගත්තා වූ අතීත පින විපාක දෙනකොට, පිනට මේ සා අසාධාරණයක් ඔබ කරනවා නම්, වර්තමානයේ නැවත පිං කරන එකේ අර්ථයක් නැහැ. පින විසින් ඔබට කාලය ඉතිරිකොට දෙනකොට, ඔබ එම කාලය නැවත නැවත අකුසල් මූලයන් වැඩීම උදෙසා යොමුකොට, පින කියන අර්ථයට බලවත් අසාධාරණයක් කරනවා.

පිංවත් ඔබට අතීත පින නිසා ම, මෙච්චර කාලය ඉතිරියක් කර දී තිබියදීත්, ඔබට බුදුන් වඳින්නට, පන්සල් යන්නට, සිල් සමාදන් වෙන්නට, අනුන්ට යහපතක් කරන්නට, පිරිත් ගෙදරක, බණ ගෙදරක යන්නට වේලාවක් නැහැ කියනවා. පින ඔබ දුක උදෙසා ම ආයෝජනය කරනවා.

ලබන්නා වූ නව වසරේ දී, පිංවත් ඔබගේ ගේදොර කටයුතු පිණිස තාක්‍ෂණය නිසා ලැබෙන කාලයේ ඉතිරියෙන් අවම වශයෙන් කුසල් මූලයන් වැඩෙන පිංකම් උදෙසා පැයක්වත් යොමුවීමට දක්‍ෂවෙන්න. එසේ නො වුණොත්, පින විපාකයට පැමිණෙද්දී අකුසලයට අතවනන අවාසනාවන්තයින් වීමේ අනතුරටයි සමාජය ගමන් කරන්නේ. මෙහි අනාගත ඵලය තවදුරටත් ආයුෂ හීනවීමත්, රෝගීභාවයත් පමණක් ම යි.