පින්වත, අපේ ජීවිතවල පංච නීවරණ ධර්මයෝ වැඩි වෙන කොට, අපේ අසත්පුරුෂ යහළුවන් බවට පත් වන්නේ ලෝභ, ද්වේශ, මෝහයෝ මයි. පින්වත, මේ අසත්පුරුෂ යාළුවෝ මෛත්‍රියෙන්, ශීලයෙන්, දානයෙන් අපිව හොඳටෝම දුරස් කරනවා. පින්වත, මේ රෝගයට කියන්නේ මිථ්‍යා දෘෂ්ටියේ මුල් අවස්ථාවයි කියලා. පින්වත, මේ රෝගයේ ප්‍රධාන ම රෝග ලක්‍ෂණය වන්නේ
“මැරුණාට පස්සේ නැවත පටිච්චසමුප්පන්න උපතක් නැහැ” කියලා ඇති කොට ගත්නා වූ විශ්වාසයයි. පින්වත, “අපි පුහුණු කරන අධර්මයෝ අධර්මයන් ම වඩවලා දෙනවා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, උගත්, බුද්ධිමත් පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “තමන් නැවත උපතක් තිබෙනවාය කියලා විශ්වාස කරන්නේ නැහැ” ය කියලා. එම මහත්මයා විශ්වාස කරන්නේ මේ ජීවිතයේ මරණයෙන් පසුව සියල්ල ම ඉවරයි කියලා. පින්වත, මෙවැනි මිථ්‍යා අදහස් අවිද්‍යාවේ ආශ්වාදයෙන් උපදින සුන්දර හේතුඵල ධර්මයන් වෙනවා. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සුළඟවත් නොවැදුණ මෙවැනි ප්‍රශ්නවලට, භික්ෂුව කෙසේ නම් පිළිතුරු දෙන්න ද? අනේ සාධු! සාධු! ඔබතුමාගේ දැනුමට, උගත්කමට. ඔබතුමා වැරදි නැහැ, සැබෑ වැරදිකරු ඔබතුමාගේ අවිද්‍යාව තුළ බැස ගත්ත විඤ්ඤාණයේ මායාවයි.
පින්වත, මේ උතුම් දහම මොනතරම් නම් සුන්දර ද? පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල පින්වතා තුළිනුත්, අපිට ධර්මයක් මයි මතු කොට දෙන්නේ. අනේ සාධු! සාධු! බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයට. පින්වත, ‘නරකයි’ කියන ලෝකයට ගැටෙන්නත් එපා, පින්වත, ‘හොඳයි’ කියන ලෝකයට ඇලෙන්නත් එපා. මේවා සියල්ල ම තම තමන් පුහුණු කරන සංස්කාරයන්ගෙන් උපදින විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයෝයි. පින්වත, ලෝකයේ හොඳ සහ නරක දෙක කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරන්න. එවිට ඔබ අවිද්‍යාව ඉදිරියේ නිදහස් මනුෂ්‍යයෙක් වෙනවා.
පින්වත, ඔබට යහළු, යෙහෙළියෝ ගොඩාක් සිටිනවා නේද? පින්වත, ඔබ පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ දී හවුලේ පින්කම් සිදු කරලා තිබෙනවා. පින්වත, “හවුලේ පින්කම් කිරීමෙන් පිරිවර සම්පත් ලැබෙනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඔබ මොනතරම් යහළු, යෙහෙළියන් හඳුනා ගෙන සිටියත්, ඔබ අවිද්‍යාවේ අර්ථය නොහඳුනන්නේ නම්, ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙලා නම් නැහැ. පින්වත, ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. එවිට ඔබ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය ම හොඳින් හඳුනා ගත්ත කෙනෙක් වෙනවා. පින්වත, මීට වඩා යහළුකමක්, යහළුවෝ, යෙහෙළියෝ කොයින් ද? පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා සතර අපා, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සෑම සත්ත්වයෙක්ගේ ම කල්‍යාණමිත්‍ර යහළුවෙක්. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයාට භවාත්‍රයේ සෑම සත්ත්වයෙක් ම සිහිපත් වෙද්දී, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින ධම්මානුපස්සනාව මයි උපදින්නේ. පින්වත, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ නිවන ධම්මානුපස්සනාව, භවාත්‍රයේ සමස්ත සත්ත්ව වර්ගයා ම ඔබට විදර්ශනාමය කමටහනක් කොට දෙනවා. පින්වත, කාම, රූපී, අරූපී භවාත්‍රයේ සෑම සත්ත්වයෙක් ම සිහිපත් කොට ගෙන සාධු! සාධු! කියලා මෙත් වඩන්න. පින්වත් ඔබ අනාගතයේ කවදාක හෝ රූපය අනිත්‍යයි කියලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ගනිද්දී, භවාත්‍රයේ සෑම බාහිර රූපයක් ම ඔබේ අවබෝධ ඥානයට සක්සුදක් සේ උපකාරක ධර්මයක් ම වෙනවා. පින්වත, අප්‍රමාදීව ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. පින්වත, එවිට කාම, රූපී, අරූපී භවාත්‍රයේ සෑම සත්ත්වයෙක් ම ඔබට ඔබේ භව දුක නිවන සත්පුරුෂ යහළු, යෙහෙළියක් ම වේවි.
පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පන්නව බෝධිසත්ත්වයන් හැටියට පුහුණු කළ උත්තරීතර දස පාරමී පුණ්‍ය ශක්තියේ ඵලයයි. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ මුදුන් මුලෙන් හටගෙන, සද්ධර්ම ශ්‍රවණය සහ නුවණින් මෙනෙහි කිරීමේ ජලයෙන්, පොහොරින් පෝෂණය වුණ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අට, කඳ, පොතු, අතු, කොළ, රිකිලි, ඵල බවට පත් වූ මේ සියල්ලෙන් මොනවට පෝෂණය වූ සම්මා ඥානයන් සහ සම්මා විමුක්තියේ අරටුවටයි උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ. පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අඩු ලංසුවෙන් ගන්න එපා. භවාත්‍රයේ අඩුම ලංසුව වන සතර අපාය ඔබේ අනාගත උරුමය වේවි. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයක්, සද්ධර්ම ශ්‍රවණයක් නොමැති, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්, මෛත්‍රියක්, ශීලයක්, දානයක් නොහඳුනන, මුදුන් මුලක්, කඳක්, අරටුවක් නොමැති ඕපපාතික ශාසනයක් බවට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පත් කොට ගන්න හොඳ නැහැ. පින්වත, රටේ ප්‍රශ්න ඉදිරියේ පින්වත් ජනතාවගේ ඇස් රවට්ටන ඇස්බැන්දුමක් බවට සම්මා සම්බුද්ධ ශාසනය “පත් නොකොට” ගැනීමට අපි හැමෝම සිහිනුවණ ඇති කොට ගන්න ඕනේ. පින්වත, වර්තමානයේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය විවෘත කිරීම්වලට, උත්සවවලට, පෙරහැරවලට පමණක් සීමා වන පූර්වාදර්ශයන් උපක්‍රමශීලීව ළමා සහ තරුණ පරපුරට සමාජගත කරන බවක් පෙනෙන්නට තිබෙනවා. පින්වත, මේ සමාජගත වෙන්නේ අවිද්‍යාවේ සුන්දර හේතුඵල ධර්මයන්. මේවාට නොඇලී, නොගැටී ධර්මයේ උපේක්‍ෂාවෙන් ම දකින්න. අතීතයේ තිබුණ ‘දූෂිත’ යැයි කියන දේශපාලනයත්, වර්තමානයේ තිබෙනවා යැයි කියන ‘දූෂිත නොවන’ දේශපාලනයත් යනු අවිද්‍යාවේ ම ඇස්බැන්දුම් මයි. පින්වත, තට්ටු මාරු සංස්කාර ලෝකයට තවදුරටත් රැවටෙන්න එපා. පින්වත, ලෝකය, ලෝකයට ම විඳ ගන්න හැරලා, ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පින්වත, එතෙක් ශෝක, පරිදේවයෝ ඔබව ලුහුබඳීවි.
පින්වත, දෙවියන් කියන අර්ථය සමාජය තුළ මොනතරම් නම් අවභාවිත වෙනවා ද? පින්වත, බුදුරජාණන් වහන්සේ දෙවියන් කියන පිරිස ගැන දේශනා කොට තිබෙන්නේ දෙවියන්ගෙන් ආධාර ඉල්ලන්න නොවේ, දෙවියන්ට අපේ දුක කියන්නත් නොවේ, පින්වත, සශ්‍රීක දිව්‍ය තලවල දෙවියන්, දිව්‍යාංගනාවන්ව කමටහනක් කොට ගෙන පින්වත් ඔබට දෙවියෙක්, දිව්‍යාංගනාවක් වෙන්නයි. පින්වත, අවිද්‍යාව හරිම කැමතියි කොයි ඇඳුමෙත් කණපිට අපිට අන්දවන්නට. පින්වත, පිනෙන් පිරුණ දෙවියන්ව, අපේ ප්‍රේතානුස්සතිය උදෙසා උපයෝගී කොට ගන්න එපා. පින්වත, දෙවියාව දේවතානුස්සතිය උදෙසා උපයෝගී කොට ගන්න. පින්වත, දේවතානුස්සතිය යැයි කියන්නේ හරිම කාමයේ සහ රූපයේ ආශ්වාදනීය දහමක්. පින්වත, දේවතානුස්සතිය තුළ විසිතුරුභාවය, ප්‍රණීතභාවය, ප්‍රභාෂ්වරභාවය, වර්ණය, සැපය, බලය හරි අගේට මුහු වෙලා තිබෙනවා. පින්වත, ඔබේ ඔය සුන්දර දෑස් දෙක මොහොතක් පියාගෙන දේවතානුස්සතියට සම වදින්න. පින්වත, මනුෂ්‍ය ඔබ මොහොතක් පිනෙන් පිරුණ දෙවියෙක්, දිව්‍යාංගනාවක් වෙන්න. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍යයි, එම නිසා ම, ධම්මානුපස්සනාවේ ආරක්‍ෂක බඳ පටි හොඳින් පැලඳගෙනයි දිව්‍ය සැපයට එබිකම් කළ යුත්තේ. පින්වත, දිව්‍ය තල නැහැ සහ දෙවියන් නැහැය කියන පින්වතුන් මොනතරම් නම් සමාජය තුළ සිටිනවා ද? පින්වත, එම පින්වතුන්ලා එම දෘෂ්ටීන් තුළ ම සුව සේ ජීවත් වුණ දෙන්. පින්වත, අවිද්‍යාවේ උස් සහ මිටිකම්වලට අදාළව පින්වත් මනුෂ්‍ය ස්වභාවයන් හරිම විවිධයි. පින්වත, මේ විවිධත්වය “මම” හෝ “ඔහු” කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්න එපා, සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයක් හැටියට ම දකින්න. පින්වත, එවිට පින්වත් මනුෂ්‍ය ජීවිතවල සිතුම් පැතුම්වල විවිධත්වය හරිම සුන්දර ධර්මයක් ම වෙනවා. පින්වත, අදහස්වල විවිධත්වය හේතුවෙන් රණ්ඩු කරන්න, යුද්ධ කරන්න, විවේචනය කරන්න අවශ්‍ය නැහැ. පින්වත් ඔබේ මෛත්‍රියට අනුනගේ විවිධත්වය පාවඩයක් කොට ගන්න. පින්වත, මෛත්‍රී සමාධිය තුළින් විදර්ශනාවට ගොඩ වෙන්න. පින්වත, සංස්කාර මායාවෝ ඇලීමෙන් හෝ ගැටීමෙන් නොව, ධර්මයේ උපේක්‍ෂාවෙන් ම පිළි ගන්න.
පින්වත, අවිද්‍යාව කරලා තිබෙන විනාශයක් බලන්නකෝ, කොහේ බැලුවත් පිරිහීම පමණක් මයි. පින්වත, පිරී ඉතිරී යන්නේ බන්ධනාගාර, සිර ගෙවල් පමණක් මයි. පින්වත, පසළොස්වක පොහොය දවසට ලොකු ලොකු පන්සල්, වෙහෙර විහාරත් සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී යනවා. පින්වත, අපි දුකට හේතු වන තෘෂ්ණාවට, පිනේ ආරක්‍ෂකයන් සොයනවා. පින්වත, අවිද්‍යාව අපේ ජීවිතවලට තෘෂ්ණාව පොම්ප කරන ගමන්, තෘෂ්ණාවේ ආරක්‍ෂාවට පිනේ ආරක්‍ෂකයනුත් සොයා දෙනවා. පින්වත, මෙසේ සටහන් තබද්දී, භික්ෂුවගේ මුවගට සිනහවක් ද නැගෙනවා. එම සිනහව වේදනානුපස්සනාවට යොමු කළහම ආයෙමත් ජීවිතය ධර්මයේ උපේක්‍ෂාවට එනවා. පින්වත, අද දවස පුරාවට භික්ෂුව කැමති දේවල් ගොඩාක් සිද්ධ වුණා. පින්වත, භික්ෂුව අකැමැති දේවල් ද ගොඩාක් සිද්ධ වුණා. පින්වත, භික්ෂුව මේ ගොඩවල් දෙකම භාර දුන්නේ වේදනානුපස්සනාවට. පින්වත, වේදනානුපස්සනාව තුළින් බොහෝම සියුම්ව කායානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් කියන ධර්මයන් තුනම දකින්න පුළුවන්. පින්වත, උතුම් සතර සතිපට්ඨානයෝ යැයි කියන්නේ, අකුසල් ව්‍යාධියෝ සනීප කොට ගන්න තිබෙන බොහෝම දුර්ලභ බෙහෙතක් වෙනවා. පින්වත, සතර සතිපට්ඨාන ධර්මයෝ තුළින් සතර ඍද්ධිපාදයෝ වැඩෙන නිසා ම, අකල් මරණීය අනතුරු වළක්වලා ඔබට දීර්ඝායුෂ ලබා දෙනවා.
පින්වත, මනුෂ්‍ය ජීවිත තුළින් සතර සතිපට්ඨාන ධර්මයෝ හීන වෙන කොට, පින්වත් මනුෂ්‍යයාගේ ආයුෂය පිරිහීමට පත් වෙනවා. පින්වත, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන්නේ, පින්වත් ජනතාව තුළ රෝගීභාවය හේතුවෙන් මරණ බිය වැඩි වෙන්නේ, හදිසි අනතුරුවලින් වාහන අනතුරු වැඩි වෙලා මනුෂ්‍ය ජීවිත අකාලයේ මිය යන්නේ සහ ආබාධිත තත්ත්වයන්ට පත් වෙන්නේ, වස විෂ, මත් වතුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිත අකාලයේ පරවෙලා යන්නේ, සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ප්‍රතිජීවක ඖෂධය, පින්වත් මනුෂ්‍යයා පාවිච්චි නොකරන නිසා මයි. පින්වත, භික්ෂුව ගමන් කරන පොදු වාහනයක් අධික වේගයෙන් ගමන් කරද්දී, අනතුරුදායක ලෙස රිය පදවද්දී, භික්ෂුව අදාළ රථය පදවන රියදුරු මහත්මයාට බණින්න යන්නේ නැහැ. භික්ෂුව සතර සතිපට්ඨාන ධර්මයන් තුළ සිත පිහිටුවා ගැනීමයි සිද්ධ කරන්නේ. පින්වත, අපිට පාලනය කරන්න බැරි දේවල් හේතුවෙන් සිත කලබල කොට ගන්න එපා. පින්වත, ආවේගශීලී සෑම සිතුවිල්ලක් ම චිත්තානුපස්සනාවට භාර දෙන්න. පින්වත, මාර්ග නීති පිළිනොපදින රියදුරු මහත්මයා හෝ රථවාහන පොලිසිය ගැන විශ්වාසය නොතබා, ඔබේ විදර්ශනාමය කුසලය කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. පින්වත, අනතුරක සේයාවක් ඉදිරියේ ඔබ දෙවියන්ට කන්නලව් කිරීම නොවේ කළ යුත්තේ, බියෙන් දෙවියන්ට කන්නලව් කිරීම යනු පංච නීවරණයෝ මයි. පින්වත, මරණීය අනතුරක සේයාවක් ඉදිරියේ ඔබේ එකම ආරක්‍ෂකයා බවට සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් මතු කොට ගන්නා විදර්ශනාමය කුසල් ධර්මයෝ කෙරෙහි ම විශ්වාසය තබන්න දක්‍ෂ වෙන්න. පින්වත, මරණීය අකුසල්, විදර්ශනාමය කුසලයෙන් යටපත් කොට දමන මහ මඟ ආරක්‍ෂකයා සතර සතිපට්ඨාන ධර්මයෝ මයි.
පින්වත, පුණ්‍යවන්ත වස්සානයේ පස්වෙනි සතියයි ගෙවී ගියේ. අදත් උදෑසන භික්ෂුව වස් අධිෂ්ඨානය නැවුම්ව සිහිපත් කොට ගත්තා. පින්වත, පිනි වැටෙන ශීතල උදෑසන පිණ්ඩපාත ශාලාව සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් උණුසුම් කරන කොට, ප්‍රශ්න, දුක් කම්කටොලුවලින් විසිරුණ සිත් සංසිඳිලා පංච නීවරණයන්ගෙන් පරණ වෙන ජීවිත, විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගෙන් අලුත් වෙනවා. පින්වත, අපි සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් වගේ ම, සම්මා සමාධියෙන් මතු කොට ගන්නා සතර සතිපට්ඨාන ධර්මයන්ගෙනුත් ආලෝකවත් කරන්න ඕනේ. පින්වත, ආමිසයේ තරු මොනතරම් දිලුණත්, එම තරු එළිය විනිවිද මතු වෙන ප්‍රඥාවේ පසළොස්වක සඳ මොනතරම් නම් සංස්කාර අඳුරු ලෝකයට විමුක්තියේ ආලෝකයේ තරම කියලා දෙනවා ද?.