පින්වත, දැන් වෙලාව උදෑසන නවයට පමණ ඇති. අවට පරිසරයේ කොළ පැහැය තාවකාලිකව අතුරුදන් වෙලා. මුළු පරිසරය ම තද මීදුමින් වැහිලා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය වලාකුළු මැද්දේ ඉදිවෙලා තිබෙන කුටියක් වගේ මයි. පින්වත, තේජෝ ධාතුවේ ආධිපත්‍යය දරන හිරු අසරණ වෙලා, ආපෝ ධාතුව පරිසරයේ ආධිපත්‍යය තාවකාලිකව දරනවා. පින්වත, භික්ෂුව මේ දකින්නේ ආපෝ ධාතුවේ කෙටි ආස්වාදයයි. පින්වත, තද මීදුමින් වැසී ගිය පරිසරය දකිද්දී, භික්ෂුවට සිහිපත් වෙන්නේ වලාකුළු වාසස්ථානය කොට ගත් වැස්ස වලාහක දෙවියෝ.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “වැස්ස වලාහක දෙවියන්ට කෝකනදා සහ චුල්ල කෝකනදා යැයි කියලා හරිම ලස්සන දිව්‍ය දියණියන් දෙදෙනෙක් ඉන්නවා” ය කියලා. පින්වත, මේ දෙන්නා හරිම දඟකාරයි. පින්වත, මේ දිව්‍ය දියණියන් දෙදෙනා තම දිව්‍ය යහළු යෙහෙළියන් සමග එකතු වෙලා වලාකුළු අතර නිරතුරුව ම සෙල්ලම් කරනවා. පින්වත, ආපෝ ධාතුවේ ආස්වාදය මේ දිව්‍ය දරුවන්ට තරු පහේ ක්‍රීඩාංගනයක් වගේ මයි. පින්වත, අපේ පුංචි මනුෂ්‍ය දරුවෝ වැස්සේ සෙල්ලම් කරන්න, මීදුමේ දුව පැන ඇවිදින්න, ජල ක්‍රීඩා කරන්න ගොඩාක් කැමතියි නේද? පින්වත, මේ කැමැත්තට කියන්නේ ආපෝ ධාතුවේ ආස්වාදය යැයි කියලා. පින්වත, ආපෝ ධාතුවේ තෘෂ්ණාවට බැඳී ගියොත්, ඊළඟ අපේ පටිච්චසමුප්පන්න උපත දිව්‍ය කෝකනදාගේ යහළු සමාගම වෙන්න පුළුවන්. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ, භවයේ සංකීර්ණ උපත් නිර්මාණය කරනවා. පින්වත, මේ ශීතල මීදුම, ධාතු මනසිකාරය තුළ විසිරුවා දකින්න. පින්වත, එවිට ඔබේ ජීවිතය ධම්මානුපස්සනාවෙන් උණුසුම් වේවි. එවිටයි මීදුම උපාදානයක් නොවී, හේතුඵල දහමක් ම වෙන්නේ.
පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ හරිම පෙරේතයි. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ අල්ලා ගත්ත තැන “මම ය”, “මගේ මයි” කියලා එහි බැස ගන්නවා. පින්වත, ඔබේ අතීත මතකය මොහොතක් අවදි කරන්න. පින්වත, අතීතයට හැමදාමත් නිදා ගන්න දෙන්න එපා. පින්වත, අතීතය නිදි ගැන්වුවොත්, ඔබට අතීත පංච උපාදානස්කන්ධයෝ මඟ හැරේවි. පින්වත, ඔබ සුන්දර නිවසක ජීවත් වෙමින් මේ මොහොතේ කාමයන්ගේ අසිරිය ලැබුවත්, ඔබට මතක ද මේ ජීවිතයේ ඔබේ මුල්ම වාසස්ථානය කුමක් ද කියලා? පින්වත, මුල අමතක කරන්න එපා. පින්වත, මුල අමතක කළොත්, මැද සහ අගත් ඔබට අමතක වෙලා ම යාවි. පින්වත, “කාලය” අද සහ හෙට කියමින්, අපිව විකුණන්නේ අතීතයට මයි.
පින්වත, මොහොතක් දෑස් පියාගෙන මේ ජීවිතයේ ඔබේ මුල්ම වාසස්ථානය සිහියට නගා ගන්න. පින්වත, රුධිරය, සැරව, මළ මුත්‍ර, දිරවූ සහ නොදිරවූ ආහාර මැදි කොටගත්, පිළී ගඳැති ශ්‍රාවයන් වැගිරෙන, ඔබේ පින්වත් අම්මාගේ ගර්භාෂ කුටිය, ඔබේ මුල්ම නිවස නේද? පින්වත, ඔබ ගර්භාෂ කුටිය නිවසක් කොටගත් දස මාසයේ ඔබ, ඔබේ අත සහ පය දිග හැරලා සිටියේ නැහැ, වකුටු වෙලා සිටියේ. පින්වත, එදා ඔබේ ශරීරයේ සුවඳ විලවුන්, පවුඩර් තැවරුවේ නැහැ. පින්වත, බොහෝම කැමැත්තෙන් ළදරු ඔබ රුධිරය, සැරව තවරාගෙනයි සිටියේ. පින්වත, පිළී ගඳ ඔබේ සුවඳ වුණා. පින්වත, වර්තමානයේ ජිම් යන, ශරීරය ලස්සන කරන්න සැලූන් යන ඔබ, අතීත ගර්භාෂ කුටියේ ළදරු සිර ගෙදර අමතක කරන්න එපා. පින්වත, කක්කා දමාගෙන, චූ දමාගෙන නැළවුණ ගෙදර තොටිල්ල අමතක කරන්න එපා. පින්වත, භික්ෂුව මේ ඔබට මෙත් සිතින් මතක් කොට දෙන්නේ, ඔබේ අතීත පංච උපාදානස්කන්ධ ධර්මයෝයි. පින්වත, ඒ අතීත පංච උපාදානස්කන්ධයෝ සිහියට නගාගෙන, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්න. පින්වත, අතීතය තුළින් මතුකොට ගත්තා වූ ඒ විදර්ශනාමය දැක්ම, වර්තමාන ඔබේ ජීවිතයටත් ඒ ආකාරයෙන් ම විදර්ශනාත්මකව ගළපා ගන්න. පින්වත, අතීතයේ ඔබ තුළ ජීවත් වූ එම ළදරු දේව දූතයා, උතුම් සම්මා ඥානයන් උදෙසා විශ්වකර්මයෙක් බවට වර්තමානයේ පත් කොට ගන්න.
පින්වත, බුදුරජාණන් වහන්සේ අපි හැමෝගේ ම ළදරු වයසට කියන්නේ, “දේව දූතයෙක්” ය කියලා. පින්වත, අපි හැමෝට ම ළදරු වයසේ මව්කිරි සුවඳට මුසු වුණ දේවදූත චර්යාවන් තිබුණා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවගේ ළදරු දේවදූත චර්යාවන් නිරතුරුව නුවණින් දකිනවා. පින්වත අම්මා, තාත්තාගේ රැකවරණය නොලබන්න, ළදරු දේව දූතයා මොනතරම් නම් අසරණයෙක් ද? පින්වත, ළදරු දේව දූතයාගේ පටිච්චසමුප්පන්න අතීත පිනේ ශක්තිය සහ දෙමාපියන්ගේ පිනෙන් උපදින මහා බ්‍රහ්ම ගුණයන්ගේ ශක්තිය, කුල පරම්පරාවෝ ලෝකයට දිග්විජය කොට දෙනවා. පින්වත, ඔබේ ළදරු දේව දූතයා මව්කිරි සුවඳින් ගන්න එපා, විදර්ශනාවේ සුවඳින් ගන්න. පින්වත, ළදරු දේව දූතයා ආස්වාදයේ මව්කිරි සුවඳින් ම ගත්තොත්, ආස්වාදයේ මව්කිරි සුවඳින් උපදින්නේ විඳීමේ මාර දූතයෝ මයි. පින්වත, ළදරු දේව දූතයා අයිති දුක්ඛ සත්‍යයට. පින්වත, දුක්ඛ සත්‍යයට එකම හේතුව තෘෂ්ණාවයි.
පින්වත, බලන්නකෝ දුකයි, තෘෂ්ණාවයි අතර තිබෙන බැඳීම. පින්වත, දුක සහ තෘෂ්ණාව අත්වැල් බැඳ ගත්ත පින්වත් ඔබේ සියුමැලි, දඟකාර ළදරු දේවදූත චර්යාවන් ඔබට සිහිපත් වෙනවා ද? ඔබේ දුව, පුතාගේ දඟකාර ළදරු දේවදූත චර්යාවන් ඔබට සිහිපත් වෙනවා ද? පින්වත, අතීතයට ගිය ලස්සන මතකයන්, ලස්සන ධර්මයක් බවට පත් කොට ගන්න. පින්වත, ලස්සන අතීත මතක සටහන් තිබෙන්නේ, අතීතය ගැන සිතමින් පසුතැවෙන්න නොවේ. පින්වත, ගෙවී ගිය අතීත මතක සටහන් තුළින් ලස්සන විදර්ශනාමය වර්තමානයක් මතු කොට ගන්න. පින්වත, ඔබේ ළදරුවිය සහ ඔබේ දුවා දරුවන්ගේ ළදරු දේවදූත චර්යාවන්, සුරතල්, දඟකාර, සියුමැලි, මටසිලුටු ඉරියව් සිහියට නඟාගෙන, ඒ සෑම ඉරියව්වක් ම අනිත්‍ය වූ ඉරියව්වක් යැයි දකින ඉරියාපථ භාවනාව ඔබ තුළින් මතු කොට ගන්න දක්‍ෂ වෙන්න.
පින්වත, පුංචි දරුවෙක්ගේ ඉරියව් මොනතරම් නම් අහිංසක ද? එම අහිංසක ඉරියව්වලට වැඩිහිටි අපි මොනතරම් නම් බැඳී යනවා ද? චූටි පැටියාගේ හිනාව, චූටි පැටියාගේ දාංගලේ. පින්වත, අතීතය මායාවක්, පින්වත, අතීතය මිරිඟුවක්. පින්වත, අතීතයේ අපි බැඳී ගිය පුංචි දුවා දරුවන්ගේ එකම අහිංසක ඉරියව්වක්වත් වර්තමානයේ වැඩිහිටි අපිට හෝ අදාළ දුවා දරුවන්ට අයිති නැහැ. පින්වත, අපි හැමෝම තෘෂ්ණාවෙන් බැඳී ගිහින් තිබෙන්නේ චූටි පැටියන්ගේ අනිත්‍ය වී ගිය ඉරියව්වලට. පින්වත, අපි බැඳෙන තරමක් බැඳීම්වලට බැඳී යන්නේ අනුනගේ අනිත්‍ය වූ ඉරියව් කයට නේද? පින්වත, පිනට පුළුවන් කෙනෙකුගේ ඉරියව් පැවැත්ම ආකර්ෂණීය කොට දෙන්න. පින්වත, පෙර පින නිසා ම, ගැස්සෙන, පැද්දෙන, නැළවෙන ඉරියව් කයවල් ඔබ දැකලා තිබෙනවා නේද? පින්වත, රූපයේ ආකර්ෂණීය රිද්මය මාරයාට තරු පහේ ගොදුරු සොයා දෙන පිනේ මායාවක්. පින්වත, ඔබ රූපවාහිනිය ඉදිරියේ වාඩි වෙලා ටෙලි නාට්‍යයක් නරඹද්දී, සිනමා ශාලාවක චිත්‍රපටියක් නරඹද්දී ඔබ පින්වත් කලාකරුවන්ගේ අනිත්‍ය වූ ඉරියව් කයට මොනතරම් නම් බැඳී යනවා ද? ඒ එකම ඉරියව්වක්වත් අදාළ පින්වත් කලාකරුවාටවත් අයිති නැති අනිත්‍ය වී ගිය ඉරියව් කයක් නේද? පින්වත, පින්වත් කලාකරුවන්ගේ ඉරියව් අනිත්‍ය වෙලා යද්දී, ඒවාට බැඳුණ අපි ලෝභ, ද්වේශ, මෝහයෝ අයිති කොට ගන්නවා.
පින්වත, පින්වත් විජය කුමාරතුංග මහත්මයා, පින්වත් මාලිනී ෆොන්සේකා මහත්මිය සිහියට නගා ගන්න. එම පින්වත් දෙපළ සිනමා දිවියේ දී මොනතරම් අතිශය සුන්දර ඉරියව් පැවැත්වූවා ද? එම ආකර්ෂණීය ඉරියව් කයට අපි මොනතරම් බැඳී ගියා ද? පින්වත, ඒ එකම ඉරියව්වක්වත් නිත්‍ය නැහැ, වෙනස් වෙලා ගියා. එම පින්වත් කලාකරුවන්ටවත්, ප්‍රේක්‍ෂක ඔබටවත් ඒ එකම ඉරියව්වක්වත් වර්තමානයේ අයිති නැහැ. පින්වත, ප්‍රේක්‍ෂක ඔබ අනුනගේ අනිත්‍ය වූ ඉරියව් කයට බැඳී, අනාගතයට ඉතිරි කොට ගත්තේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ මයි. පින්වත, ඔබේ දෑස් පියාගෙන ඔබේ ආධ්‍යාත්මික ඉරියව් කයත්, ඔබට අරමුණු වෙන බාහිර ඉරියව් කයත් ඉරියාපථ භාවනාවෙන් විනිවිද දකින්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී ඉරියව් කයත් ඉරියාපථ භාවනාවෙන් මයි විනිවිද දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ උපත, සම්මා සම්බෝධිය අවබෝධ කොට ගත් මොහොත සහ පිරිනිවන් පෑ සෑම ඉරියව්වක් ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අනිත්‍ය වූ ඉරියව් කයක් පමණක් මයි.
පින්වත, සුන්දර වස්සානයෙන් මාසයක් ම ගෙවිලා ගියා. අදත් උදෑසන භික්ෂුව, පිණ්ඩපාත ශාලාවට වඩින්න පෙරාතුව, “මා විසින් සමාදන් වූ වස් අධිෂ්ඨානය මේ උදෑසන යළි ආවර්ජනය කරමි” යි සිහිනුවණ ඇති කොට ගත්තා. පින්වත, අපේ ඵස්සයේ තැවරුණ තෘෂ්ණාව අපේ සිහිනුවණ දුර්වල කරනවා. පින්වත, තෘෂ්ණාව ගොඩාක් කැමැති පංච නීවරණයන්ට. ඒ නිසා ම, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දේශනා කරනවා, “උතුරු දිශාව දෙස බලද්දී, මට ලෝභ සිතක්, ද්වේශ සිතක්, මෝහ සිතක් ඇති නොවේවා! යන සිහිනුවණින් උතුරු දිශාව දෙස බලන්න” ය කියලා. පින්වත, ඔබ ඊයේ දවස පුරාවට උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ආදි වූ දශ දිශාව දෙස කොතෙක් නම් වාර ගණනක් බලන්නට ඇති ද? පින්වත, ඒ සෑම වාරයක ම ඔබ තුළ කෙලෙස් සිතක් ඇති වුණා නේද? පින්වත, කෙලෙස් සිතක් යැයි භික්ෂුව සටහන් කළේ රූපය කෙරෙහි ඇලෙන හෝ ගැටෙන සිතකටයි. පින්වත, ඔබ මේ මොහොතේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ බලන්නේ, එසේත් නැතිනම් මේ ධර්ම සටහන කියවන්නේ යටි දිශාව බලාගෙන නේද? පින්වත, මොහොතක් යටි දිශාව දෙස බලාගෙන “දැක්කා” කියන තැන නවතින්න. පින්වත, දකින දෙය තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා. පින්වත, දකින දෙය තෘෂ්ණාවෙන් තෙත් කළොත්, විතර්කයන් ඔඩු දුවාවි. පින්වත, අපේ අසිහිය ලෝභ, ද්වේශ, මෝහයෝ ජීවත් කරවනවා. පින්වත, ඇස් දෙක අයිති ලෝකයට, ඇසට අරමුණු වෙන බාහිර රූපය අයිතිත් ලෝකයට, ඇසේ ඵස්සය අයිතිත් ලෝකයට. අපේ වීර්යය විය යුත්තේ ලෝකයේ නොතැවරී ලෝකය තුළ ජීවත් වීමයි.
පින්වත, පුණ්‍යවන්ත වස්සානය යැයි කියන්නේ මේ ලෝක ධාතුවේ පිනෙන් පිරී ගිය තුන් මාසයටයි. පින්වත, මේ තුන් මාසයේ අග්‍ර වූ නොකැඩෙන පිනේ ඵලයන් නෙළා ගන්නා චීවර මාසයත් ඊට එකතු වුණහම උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හඳුනන පින්වතුන්ලාගේ ජීවිත පිනේ පාරාදීසයක් ම වෙනවා. පින්වත, වස් අධිෂ්ඨානය කළ උපසම්පදා භික්ෂූන්, තම ශීලය වන උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයටත් එහා ගිය, තම සංචාරයන් සීමා කොට ගත් විවේකීභාවය තුළයි වස්සානයේ වැඩ සිටින්නේ. පින්වත, අදක්‍ෂයන් අතර පින්වත් ගිහි ඔබ දක්‍ෂයෙක් වෙන්න. පින්වත, එවිට ලෝකයේ හැලහැප්පීම් ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පින්වත, අපි ඉදිරියේ ජීවමානව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශිත දහමක්.
පින්වත, අද උදෑසන භික්ෂුව පිණ්ඩපාත ශාලාවේ දී මෙහෙමයි පින් අනුමෝදන් කළේ, “අතීතයේ වස් සමාදන්ව වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ, යශෝධරා උත්තමාවිය ආදි වූ මහා සංඝරත්නය සිහියට නගා ගන්න. උන්වහන්සේලාගේ අනන්ත ගුණයන්, ඥානයන් සිහියට නගා ගන්න. ඔබ පූජා කළා වූ කැඳ පූජාව, පිණ්ඩපාත දානමය පූජාව අතීතයේ වස් සමාදන්ව වැඩ සිටිය ආර්ය මහා සංඝරත්නයට පූජා වේවා! කියල සාධු කියන්න.” පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය පිරිහිලා නැහැ. එදා වගේ ම, වර්තමානයේදීත් ශාසනය නොකැලැල්ව ජීවමානයි. කරුණාකර අෂ්ට ලෝක ධර්මයන් ඉදිරියේ “ඔබ” අවුල් වෙන්න එපා. පින්වත, සමාජගත වන දුර්වලතාවයන් ඉදිරියේ ඔබ අවුල් වුණොත්, එය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට කරන අසාධාරණයක් මයි. පින්වත, අපේ ඇතුළත සහ පිටත අවුල් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අවුලක් කොට දකින්නත් එපා. චතුරාර්ය සත්‍යය ජීවමානව තිබෙන තාක් කල් ශාසනය අමරණීයයි.
පින්වත, බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට සත්පුරුෂ දානයන් අටක් දේශනා කොට තිබෙනවා. පින්වත, මේ පුණ්‍යවන්ත වස්සානයේ ඔබ ගමේ පන්සලට, ආරණ්‍යයට පූජා කරන වස් දානය සත්පුරුෂ දාන අංග අටෙන් පෝෂණය කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, සත්පුරුෂ දානයක් යනු, පිරිසිදු දෙයම දන් දෙනවා; ප්‍රණීත දෙයම දන් දෙනවා; සුදුසු කල්හි දන් දෙනවා; විනයෙන් කැප වූවක් ම දන් දෙනවා; අකැප දෙය දන් දෙන්නේ නැහැ; පරීක්‍ෂා කොට දන් දෙනවා; නිරතුරුව ම දන් දෙනවා; සිත සැහැල්ලුවෙන් දන් දෙනවා; සතුටු සිතින් දන් දෙනවා. පින්වත, දානය ඉලක්ක වෙන්න ඕනේ සම්මා සතියටයි, සම්මා සමාධියටයි. පින්වත, “මගේ මේ උදෑසන හෝ දහවල් සාංඝික දානය අතීතයේ වස් වසා වැඩ සිටියා වූ ආර්ය මහා සංඝරත්නයට පූජා කරමි, පූජා වේවා!” යැයි නොඇලෙන සහ නොගැටෙන උපේක්‍ෂා සහගත සිතින් ම දන් පූජා කරන්න. පින්වත, සද්ධර්මයට අදාළව ශාසනය දකිද්දී, ශාසනය හරිම නිරවුල්. පින්වත් ඔබ අවුල් වෙන්න එපා.