පින්වත, සියලු කුසල් සහ අකුසල් සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අපි අවට තිබෙන සුන්දර මනස්කාන්ත පරිසරයත්, අපි අවට තිබෙන විකෘති කළ අවලස්සන පරිසරයත් යැයි කියන්නේ, පින්වත් මනුෂ්‍යයාගේ ම සංස්කාරයන්ගේ ඵලයක්. පින්වත, අපේ පිනට වර්තමානයේ සුන්දර මනස්කාන්ත පාරිසරික අත්දැකීම් වින්දත්, අපේ ම පවට අනාගතයේ දී වියළි, ශුෂ්ක, අවලස්සන පාරිසරික අත්දැකීම් අපිට අත්දකින්න සිද්ධ වෙන්න පුළුවන්. පින්වත, මේ වැසි සහිත ශීතල රාත්‍රියේ, කුටිය අසලින් ගලාගෙන යන දොළ පාර හරිම වේගවත්. පින්වත, ශීතල රාත්‍රියේ ඇසෙන නිසසල ඝෝෂාවක්. පින්වත, ඝෝෂාව තුළත් නිහඬ බවක් තිබෙනවා. පින්වත, ඒ නිහඬභාවය අයිති ඝෝෂාවට නොවේ. ඒ නිහඬභාවය අයිති පින්වත් ඔබේ සම්මා සමාධිමත් සිතටයි.
පින්වත, සිතුවිලි යටපත් වූ මේ යෞවන රාත්‍රියේ අවිවේකී දොළ පාරේ රිද්මය භික්ෂුවට ඇසෙන්නේ පිරිත් සජ්ඣායනය කරන හඬක් වගේ මයි. පින්වත, ඒ පරිසරය හෝ දොළ පාර පිරිත් කියනවා නොවේ. ඒ පිරිත් සජ්ඣායනය කරන හඬක් සේ ඇසෙන්නේ, ශ්‍රෝත විඤ්ඤාණයේ මායාවයි. පින්වත, ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම්, කනේ ඵස්සය හේතුවෙන් සකස් වන විඤ්ඤාණයේ මායාවයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සංස්කාරයෝ හේතුවන් සකස් වන විඤ්ඤාණය මායාවක්” ය කියලා. පින්වත, සම්මා සමාධිමත් සිතකට මේ මායාව පිරිත් හඬක් සේ ඇසුණත්, කාමච්ඡන්දයන් බහුල සිතකට මේ හඬ, සංගීත හඬක් සේ ඇසෙන්න පුළුවන්. පින්වත, බියෙන් තැතිගත් පින්වතෙකුට මේ හඬ අමනුෂ්‍යයකු හෝ නපුරු තිරිසන් සතෙකුගේ අඳෝනාවක් සේත් ඇසෙන්නට පුළුවන්. පින්වත, ශ්‍රෝත විඤ්ඤාණයේ මායාවෙන් මිදෙන්න කරුණාකර, කනේ ඵස්සය ඉදිරියේ විදර්ශනාවේ තිත තබන්න. පින්වත, විඤ්ඤාණයේ මායාව පාරිසරික රිද්මයන්ට මෝහයෙන් පණ දෙනවා.
පින්වත, පසුගිය දවසක පින්වත් දරුවෙක් භික්ෂුවට පුංචි බඳුනක සිටවූ මල් සහිත පුංචි මල් ගසක් පූජා කළා. භික්ෂුව ඇත්තට ම සිතුවේ එය ස්වාභාවික මල් ගසක්ය කියලා. පින්වත, ඇසේ ඵස්සය තුළ බැසගත්ත විඤ්ඤාණයේ මායාව, සංස්කාරයන්ට අදාළවයි හඳුනා ගැනීම්, චේතනා, දැනීම් සකස් කොට දෙන්නේ. පින්වත, සළායතයන් තුළ පටිච්චසමුප්පන්නව බැසගත් විඤ්ඤාණ මායාව ඉදිරියේ අපි ස්වාභාවිකත්වය යැයි සිතා කෘත්‍රිම දෙයටත් රැවටෙන්න පුළුවන්. පින්වත, වර්තමාන බාහිර පංච උපාදානස්කන්ධ ලෝකය අපේ පින නිසා ම ලස්සන, සුන්දර රූපයන් බහුල ලෝකයක්. පින්වත, වටාපිටාවේ කොහේ බැලුවත් ලස්සන, සුන්දර දේවල් වැඩියි. පින්වත, ඔබේ ම පටිච්චසමුප්පන්න පින සතුටින් පිළිගන්නවා වගේ ම, ආජීව අට්ඨමක සීලයේ ආරක්ෂාවෙන් පින භුක්ති විඳින්න.
පින්වත, ඔබේ සළායතනයන්ගේ ඵස්සය තුළ බැසගත්ත විඤ්ඤාණයේ මායාවට රැවටී ස්වාභාවිකත්වයේ වේශයෙන් ම මතු වන, කෘත්‍රිම ලෝකය ඉදිරියේ සිහිනුවණ ඇති කොට ගන්න දක්ෂ වෙන්න. පින්වත, රූපය යැයි කියන්නේ අනිත්‍ය වී යන සතර මහා ධාතුවක්. පින්වත, ඔබේ ආධ්‍යාත්මික රූපය තුළ පටිච්චසමුප්පන්නව බැසගත්ත විඤ්ඤාණය යැයි කියන්නේ, සංස්කාරයන්ගේ මායාවක්. පින්වත, විවේකී රාත්‍රියේ භික්ෂුවගේ ජීවිතය දෙස නුවණින් විමසා බලද්දී, මේ සංස්කාර මායාව හරිම අපූරුවට භික්ෂුවට පෙනෙනවා. පින්වත, භික්ෂුව මෙතෙක් අත්වින්ද දුක, සැප, නින්දා, අපහාස, කීර්ති, ප්‍රශංසා, ලාභ, අලාභයෝ අතීත සංස්කාර මායාවේ පුරාවස්තු හැටියට මයි භික්ෂුවට පෙනෙන්නේ. පින්වත, මේ අතීත සංස්කාර පුරාවස්තු “මම” යැයි දකින්න එපා. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා. පින්වත, මායාවේ ලෝකය උතුම් ධම්මානුපස්සනාවෙන් ම දකින්න.
පින්වත, මේ උදා වුණේ පුණ්‍යවන්ත වස්සානයේ හතර වෙනි සතිය. පින්වත, පැවිදි අපි ඇතිකොට ගත් වස් අධිෂ්ඨානය අපේම විඳීම්වලට අපවිත්‍ර වෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ තෘෂ්ණාවේ පාරාදීසයට. මේ තෘෂ්ණාවේ පාරාදීසයේ බහුලව ම තිබෙන්නේ අපි කැමති ඇලීම් සහ අපි අකමැති ගැටීම්වලින් ගහණ පාරිසරික රූප චේතනාවන්මයි. පින්වත, විඤ්ඤාණයේ මායාව පංච උපාදානස්කන්ධ ලෝකයේ පස් පොළේ ම පටිච්චසමුප්පන්නව බැසගෙනයි සිටින්නේ. පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ඇත්තට, පංච උපාදානස්කන්ධ ලෝකයේ කොතැනකවත් තැනක් නැහැ. පින්වත, තෘෂ්ණාවේ ආධිපත්‍යය පංච උපාදානස්කන්ධ ලෝකයේ මහා බලවතා වෙනවා.
පින්වත, මායාකාරී සංස්කාර ලෝකයක් තුළ ජීවත් වන නිසා ම, භික්ෂුව අදත් උදෑසන, “මා විසින් අධිෂ්ඨානය කළ වස් අධිෂ්ඨානය යළි ආවර්ජනය කරමි” යි වස් අධිෂ්ඨානය නැවුම් කොට ගත්තා. පින්වත, ගිහි පින්වතුන්ලාට පැවිදි අපි අයිති කොට දෙන “නොකැඩෙන” කඨින පිනකට පැවිදි අපි අපේ ප්රාතිමෝක්ෂ සීලයන්ගේ ශක්තිය සමථ සහ විදර්ශනාවේ ඝන යදමක් බවට පත් කොට ගන්න ඕනේ. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය තවමත් උපන්දා වගේ ම නැවුම්. පින්වත, ඒ නැවුම් ශාසනයේ ළදරු කිරි සුවඳ භික්ෂුවට මේ නිමේෂයේදීත් දැනෙනවා. පින්වත, ඒ නැවුම් ශාසනයේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මව්කිරි, අපේ ළදරු භික්ෂු ජීවිත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ණය, සැපය, බලයෙන් ලොකු මහත් කරනවා. පින්වත, තෘෂ්ණාව හිඟ ලෝකය උතුම් සද්ධර්මයක් මයි. පින්වත, එහි සද්ධර්මයේ ඕපනයික ගුණයේ පටන් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා ඕපනයිකව වැඩෙනවා.
පින්වත, උදේ සහ දවල් කියලා වෙනසක් නැහැ, මේ ප්‍රදේශයට නිරතුරුව ම වහිනවා. ඒත් ඉතින් වැස්ස ගැන නොතකා ගමේ පින්වතුන් උදෑසන ම පිණ්ඩපාත ශාලාවට පිණ්ඩපාත දානය බෙදන්න එනවා. පින්වත, ගිහි සහ පැවිදි අපේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යන සළායතනයන්ගේ ඵස්සයෙන් කඩා හැලෙන මහා කෙලෙස් වැසි සමග ගනිද්දී, මේ පරිසරයට වහින වැස්ස මොන පුංචි වැස්සක් ද? පින්වත, මේ පරිසරයට වහින වැසි ජලය ගලාගෙන යන්නේ මහවැලි, කැලණි, කළු ගඟට. එහෙත් අපේ සළායතනයන්ගේ ඵස්සයෙන් කඩා හැලෙන කෙලෙස් වැසි භවාත්රයේ කාම ලෝකය පුරාවට පටිච්චසමුප්පන්නව ගලාගෙන යනවා.
පින්වත, අපේ විවේකී මනසට, විවේකී අදහස් ගලාගෙන එනවා. එම විවේකී අදහස් කාමච්ඡන්දයෝ සෝදා, පෙරා පංච නීවරණ මණ්ඩි රහිතවයි ගලාගෙන එන්නේ. පින්වත, මේ රාත්‍රිය ආදරයක් නැති ආදරණීය රාත්‍රියක්. පින්වත, මේ විවේකී රාත්‍රියේ පස්සද්ධිය අයිති වෙන්නේ කාමච්ඡන්දයෝ යටපත් කළ, සප්ත බොජ්ඣංගයෝ වැඩෙන ජීවිතවලට පමණක් මයි. පින්වත, බාහිර ලෝකයේ ලස්සන, සුන්දර, මනස්කාන්ත තැන් සොය, සොයා ඉන්නේ නැතිව, ඔබේ ම ආධ්‍යාත්මික රූපයෙන්, ලස්සන, සුන්දර, මනස්කාන්ත ස්වභාව ධර්මයන් මතු කොට ගන්න. පින්වත, එවිට ඔබට ඒහිපස්සිකව ඔබ තුළින් ම පෙනේවි මේ ලෝකයේ ලස්සන ම, සුන්දර ම, විචිත්‍ර ම තැන් තිබෙන්නේ ඔබේ ම සප්ත බොජ්ඣංගයෝ වැඩෙන ජීවිතය තුළයි කියලා. පින්වත, තමා තුළින් ම ලෝකයේ සැබෑ ම සුන්දරත්වය දකින්නා, බාහිර ලෝකයේ සහ පරිසරයේ සුන්දරත්වය සහ ලස්සන බලන්න රට වටේ, ලෝකේ වටේ සවාරි යන්නේ නැහැ. පින්වත, ඔහුට, ඔහුගේ ම ජීවිතය අතිවිචිත්‍ර සමථ සහ විදර්ශනාවේ පාරිසරික රඟහලක් පමණක් මයි.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යැයි කියන්නේ ගොඩාක් පැරණි පරණ බඩු කඩයක්. පින්වත, පටිච්චසමුප්පන්න අතීත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පුරාවස්තු එහි ගොඩ ගහලා තිබෙනවා. පින්වත, වර්තමාන ඵස්සය තුළ බැසගත්ත අවිද්‍යාවේ මායාව අතීත පංච උපාදානස්කන්ධ පරණ බඩු කඩයේ ගොඩ ගැසී ඇති අතීත පුරාවස්තු අපිට පෙන්වන්නේ නැහැ. පින්වත, අවිද්‍යාවේ ලෝක වගකීම අතීත පුරාවස්තු අමතක කොට, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධයෝ තෘෂ්ණාවෙන් සුරතල් කිරීම පමණක් මයි. පින්වත, වර්තමානයේත්, අනාගතයේත් එකම සාඩම්බර අවසන් හිමිකරු අතීතය බව, අපි හැමෝට ම අමතක වෙලා යන්නේ, අවිද්‍යාවේ මව්කිරෙන් පෝෂණය වන තෘෂ්ණාවේ උපාදානයෝ නිසා මයි.
පින්වත, අතීතයට එකතු වන පුරාවස්තු “ලෝකය” කුසල් සහ අකුසල් සංස්කාරයෝ විසින් නැවත නැවත අලුත් කොට දෙනවා. පින්වත, අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වුණා. අනාගතයේ ආයෙමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පින්වත, වර්තමානයේ අපි ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක. අනාගතයේ අයෙමත් අබුද්ධෝත්පාද කාලයක් ඇති වෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය නමැති පරණ බඩු කඩය, කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් නැවත නැවත නැවුම් වෙනවා. අවිද්‍යාව නිසා ම, අපි හැමෝම සිතන්නේ අපි අලුත් ම අලුත් මනුෂ්‍යයෝ කියලා. පින්වත, පටිච්චසමුප්පන්නව අතීතයේ අපි ගොඩ ගැසුව අතීත මළ කඳන් ගොඩ අපි දකින්නේ නැහැ. පින්වත, අතීත මළ කඳන් වෙනුවට අපි දකින්නේ ආස්වාදනීය අනාගත උපත් මයි.
පින්වත, අනාගත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව නිවා දමන්න නම්, වර්තමාන පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත කෙරෙහි හොඳින් සතිය සිහිය ඇති කොට ගන්න ඕනේ. පින්වත, වර්තමාන පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි ඇත්ත ඇති සැටියෙන් දකිද්දී, අනිත්‍ය වී ගිය අතීත පංච උපාදානස්කන්ධයන්ගේ මායාවට, ඔබේ චිත්ත විශුද්ධිය තුළින් පෝෂණය වෙන දිට්ඨි විශුද්ධිය විදර්ශනාවට ආරම්භයක් ඇති කොට දෙනවා. පින්වත, රූපය කායානුපස්සනාවෙන් විනිවිද දකින්නා ලෝකය දෙසට ඉගිලෙන්න ඔහුගේ ඵස්සයට තෘෂ්ණාවේ අත්තටු දෙන්නේ නැහැ.
පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ තමා තුළ සකස් වන ඵස්සයට ලෝකය පුරා රවුම් යන්න තෘෂ්ණාවේ අත්තටු දෙන්නේ නැහැ. උන්වහන්සේලා අවබෝධයෙන් ම දන්නවා, ඵස්සයට අත්තටු දුන්නොත්, අවිද්‍යාව, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයේ සිත් සේ රස්තියාදුවේ යනවාය කියලා. පින්වත, ලෝක රස්තියාදුවේ ඵලය වන්නේ භව දුකට හේතු වන සංස්කාරයන්ගේ වෙහෙසයි. පින්වත, අපි හැමෝම සංස්කාරයන්ගෙන් වෙහෙසට පත් වුණ මනුෂ්‍යයෝ. පින්වත, අපේ ම පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණයෝ හෙවත් දැනීම්, කෙටි ආස්වාදයෝ තුළින් සහ දීර්ඝ ආදීනවයෝ තුළින් පෙරළා සංස්කාර වෙහෙස මයි අපේ ලෝක උරුමය බවට පත් කොට දෙන්නේ. පින්වත, ලෝක උරුමයක් යැයි ‘යුනෙස්කෝ සංවිධානය’ නම් කොට ඇති ගොඩාක් ස්ථාන ලෝකය තුළ තිබෙනවා නේද? පින්වත, ඔය වර්තමාන ලෝක උරුමයන් යනු මොනතරම් නම් සුන්දර මෝහයේ ඇස්බැන්දුම් ද?
පින්වත, ඔබට ඔබේ පටිච්චසමුප්පන්න ලෝක උරුමයන් දකින්න අවශ්‍ය නම්, කරුණාකර සම්මා සමාධිමත් සිතින් දෑස් පියාගෙන අතීතයේ ඔබ ගොඩ ගැසූ මහා මළ කඳන් ගොඩ නුවණින් දකින්න. පින්වත, අතීතයේ සතර අපායන්ට වැටුණ වෙලාවේ අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමිපුරුෂයා, දරු මුනුපුරන් අහිමි වෙච්ච වෙලාවේ, දෑසින් හෙළුෑ කඳුළු සාගරය, මහා සාගරයේ ජල කඳට වැඩි බව සිහිනුවණින් දකින්න. පින්වත, අතීතයේ යුද්ධවලට, අනතුරුවලට මැදි වෙලා, රණ්ඩු සරුවල් වෙලා, රජවරුන්ගෙන් දඬුවම් ලබලා, තිරිසන් ලෝකවල තවත් තිරිසන් සතෙකුගේ ගොදුරක් වෙලා ගලා ගිය රුධිර සාගරය නුවණින් දකින්න. පින්වත, අවිද්‍යාව අපිට උරුම කොට දී ඇති පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාර රාජකීය ලෝක උරුමයෝ මොනතරම් නම් සාහසික ද?
පින්වත, සංස්කෘතියක්, ඉතිහාසයක්, සදාචාරයක් ගැන නොසිතා, අපි හම්බ කරලා, කාලා, බීලා, විනෝද වෙලා, මැරිලා මරණින් පසුව සියල්ල ඉවරයි කියලා සිතන්න මොනතරම් නම් ලේසි ද? පින්වත, හරිම ජොලි ජීවිතයක්. පින්වත, ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය බින්දුවට දමලා, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට නිරාගමිකභාවයේ හෙළුවැලි දුහුල් ඇන්දවීමට ධර්මානුකූලව කියන්නේ මිථ්යාදෘෂ්ටිකභාවය යැයි කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීත් නිරුවතින් ජීවත් වුණ නිගණ්ඨයන්, ආජීවකයන් කොතෙක් නම් සිටියා ද? පින්වත, මේ අයට රාජ්‍ය අනුග්රහයන් පවා ලැබුණා.
පින්වත, ලෝකය යන්නේ සංස්කාරයන්ගේ ඉරණම් ගමනක්. පින්වත, වර්තමානයේ අපි ජීවත් වන සමාජය යන්නේත් සංස්කාරයන්ගේ ඉරණම් ගමනක්. පින්වත් ඔබ සමාජය ගමන් කරන මේ මිථ්‍යාදෘෂ්ටික ගමනට අකැමැති නම්, ඔබ මුලින් ම වෙනස් කළ යුත්තේ සමාජය නොව, පින්වත් ඔබේ ම අකුසල් මූලයන්ගේ බරයි. පින්වත, ඊට එකම මාර්ගය තවත් මැතිවරණයක් නොව, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය මතු කොට නොගෙන තවත් මැතිවරණ දහයකට ගියත්, අපි යන්නේ අඳුරු අතීතයට මයි. පින්වත, යමෙක් ඉතිහාසය සඟවන්න උත්සාහ ගන්නේ ඒ අඳුරු අතීතයේ පාඩම් පොත් වසා දමන්න ම යි.