නොලද දෙය ලබා ගැනීමට වීර්යය වැඩීම

පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා විතරක් හරි යන්නේ නැහැ. ඔබේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කොට ගන්න අවශ්‍ය පිනත් ඔබට තිබෙන්නට ඕනේ. පින්වත, ඔබේ පින දුර්වල නම්, සෑමවිටම ඔබේ කැමැත්ත බලාපොරොත්තු කඩවීමක් ම වෙනවා. පින්වත, දේවදත්ත හාමුදුරුවන්ටත් උතුම් බුද්ධත්වයට පත් වීමේ බලාපොරොත්තුව තිබුණ නේ. පින්වත, එම මිච්ඡා බලාපොරොත්තුව අවසන් වුණේ අවිචී මහා නිරයෙන්. පින්වත, අපි ලද දෙයින් සතුටු වෙනවා වගේ ම, නොලද දෙය ලබා ගැනීමට ධර්මානුකූලව වීර්යය වැඩිය යුතුයි. පින්වත, ඔබ නොලද දෙයට වගකිවයුත්තා සමාජය නොවේ, ඔබේ ම පිනේ දුර්වලභාවයයි. පින්වත, ඔබ නොලද දෙය ගැන ඔබ ගැටෙනවා නම්, ඒ ඔබ ගැටෙන්නේ ඔබේ ම දුර්වල පින සමගයි. පින්වත, ඔබේ ම දුර්වල පින සමග ඔබ ගැටුණොත් තව තවත් පව මයි ඔබ තුළින් ශක්තිමත් වෙන්නේ. පින්වත, ඔබ තුළින් කර්මය කර්මඵල විශ්වාසය වියෝ වෙද්දී, ඔබ තුළින් ආත්ම දෘෂ්ටිය පණ ලබන්නේ ලජ්ජාව සහ බිය නමැති මනුෂ්‍ය ධර්මයන් අවිද්‍යාවේ කුණු කූඩයට දමමින් මයි. පින්වත, ඵස්සය ඉදිරියේ තෘෂ්ණාව කලබල කරන බව ඇත්ත. තෘෂ්ණාවේ කලබල සිහිනුවණින් මැඩගෙන තම යහපත් ඉලක්කයන් දිනා ගන්නා මාර්ගයයි, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයාට අනාගත බලාපොරොත්තු නැහැ. උන්වහන්සේලා ලද දෙයිනුයි සතුටු වෙන්නේ. නොලද දෙය උන්වහන්සේලාට ධම්මානුපස්සනාවට කමටහනක් මයි.

පින්වත, අපේ රටේ පින්කම් නම්, ඕනෑවටත් වඩා තිබෙනවා. පින්වත, අපේ රට පින්කම් පාරාදීසයක්. පින්වත, මහා උද්‍යෝගයෙන් පින්කම් සිදු කරලා විතරක් හරි යන්නේ නැහැ. පින්වත් ඔබ කරන පින්කම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන, උතුම් සම්මා වායාමයක් බවට පත් කොට ගන්න ඕනේ. පින්වත, අපි ජීවත් වන සමාජයෙන් බොහෝම වේගයෙන් සම්මා සතිය සහ සම්මා සමාධිය දුර්වල වෙන්නේ, අපේ පින්කම් පාරාදීසයේ සම්මා වායාමයෝ දුර්වල නිසා මයි. පින්වත, සම්මා වායාමයෝ යැයි කියන්නේ හේතුඵල ධර්මයක්. පින්වත, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සහ ආජීව අට්ඨමක සීලයේ ශක්තිය හේතුවෙනුයි සම්මා වායාමයෝ උපදින්නේ. පින්වත, ඔබේ ජීවිතය තුළින් සම්මා වායාමයන්ගේ අර්ථවත් උපතක් උදෙසා, පින්කම් සිදු කරන්න. පින්වත, උතුම් අනාගාමීඵල අවබෝධයෙන් සැනසුණ උග්ග ගෘහපතිතුමා, වේළුකණ්ඨකී නන්ද මාතාව පවා අතීතයේ මහා පින්කම් සිදු කළා. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්මෙන් පෝෂණය වූ, බල ධර්මයන් පෝෂණය කළ, එවැනි විදර්ශනාමය පින්කම්, පූර්වාදර්ශීව අපිට කියලා දෙන්නේ, පින්කම් තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පින්කමත්, භව නිරෝධය දිශාවට උපකාරක ධර්මයන් සකස් කොට දෙන සම්මා වායාමයන්ගේ විදර්ශනාත්මක හේතුඵල ධර්මයෝ මයි. පින්වත, නෙක්ඛම්ම සංකප්පයේ මළගම මත අපි පින්කම් සිදු කරන්න සුදුසු නැහැ. පින්වත, සංස්කාරයෝ කෙරෙහි ලෝභ සිතුවිලි සහ භව සැපය පිළිබඳව ලෝභ සිතුවිලි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අංගයට අයත් නෙක්ඛම්ම සංකප්පයන්ට බලවත් හානියක් සිදු කරනවා.

පින්වත, ලෝකයට වරදින්නේ නැහැ. පින්වත, ලෝකය අවිද්‍යාවෙන් දකින අපිටයි වැරදිලා තිබෙන්නේ. පින්වත, කැමති කෙනෙක් දුශ්ශීලව, තාවකාලික සතුටු සිනා ආස්වාදයෝ මැද ජීවත් වෙන්න. හැබැයි අනාගතයේ පින පිරිහී, පව විපාකයට පැමිණෙද්දී, “අනේ අපොයි!” කියලා හඬන්න නම් එපා. පින්වත, වසවර්ති මාරයා, ජීවමාන බුදුරජාණන් වහන්සේට, මහ රහතන් වහන්සේලාට තර්ජන, ගර්ජන සිද්ධ කළත්, වසවර්ති මාරයාගේ අතීත පිනේ බලවත්භාවය නිසා ම, අකුසල් විපාකයට පැමිණියේ නැහැ. පින්වත, අනාගතයේ දී වසවර්ති මාරයාගේ පින දුර්වල වී, පව බලවත් වෙද්දී, වසවර්ති මාරයාට පොලියත් සමග සතුටින් කළ පව් ගෙවන්න වෙනවා. පින්වත, වර්තමානයේ අපේ අධිකරණයෙන් දඬුවම් ලබන ප්‍රභූ පින්වතුන් අතීතයේ තම පින බලවත්ව තිබිය දී සිහිනෙන්වත් සිතුවා ද, තමන්ට අනාගතයේ සිරදඬුවම් ලබන්න සිද්ධ වේවි කියලා. පින්වත, පිනේ කෙටි ආස්වාදයෙන් උපදින වර්ණය, සැපය, බලය ආදීනවයෝ විහිළුවක් කොටයි දකින්නේ. පින්වත, වැරදි කරපු සිය දෙනෙක් සිටියොත්, ඒ හැමෝට ම නඩු පවරලා දඬුවම් ලැබෙන්නේ නැහැ. පින්වත, නඩුවලින් මඟ හැරිලා යන්න හේතුව වෙන්නේත්, තවමත් එම පින්වතුන්ලාගේ අතීත පිනේ ශක්තිමත්භාවය මයි. පින්වත, සංස්කාර ලෝකය තුළ, පින සහ පව අපිට නිදහස සහ දඬුවම ගැන ධර්මානුකූල පාඩම් කියලා දෙනවා. පින්වත, කරුණාකර මෙම සංස්කාර පාඩම් ඔබ ඉගෙන ගන්න. පින්වත, වැරදිකරු හෝ නිවැරදිකරු හැටියට මනුෂ්‍යයාව දකින්නේ නැතුව, හේතුඵල ධර්මයන් තුළින් වැරදිකරු සහ නිවැරදිකරුව දකින්න. ලෝකය තිබෙන්නේ ඇලෙන්න හෝ ගැටෙන්න නොවේ, සිහිනුවණින් අවබෝධ කොට ගන්න.

පින්වත, අපි හැමෝම අවිද්‍යා සිරගෙදර සිරකරුවෝ. පින්වත, සංස්කාර සිර බත්වල රස සහ නීරස විඳිමින් අපි සිර දඬුවම් විඳිනවා. පින්වත, නිදහස කියන්නේ අපිට මායාවක්. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ අපේ නිදහසට මාංචු දමලා. පින්වත, තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ පටිච්චසමුප්පන්නව අපිව සිර ගෙදරින් සිර ගෙදරට මාරු කරනවා. පින්වත, වර්තමානයේ අපි හැමෝම සිර දඬුවම් විඳින්නේ කාම ලෝකය නමැති සිර ගෙදර. පින්වත, රූපවචර සහ අරූපාවචර සිර ගෙවල්වල වේදනාවේ ආස්වාදය වැඩි නිසා ම, බරපතළ වැඩ සහිත දුක ප්‍රකට වෙනවා අඩුයි. පින්වත, පංච නීවරණයන්ගෙන් පණ ලබන අවිද්‍යාව, අපිව සිර ගෙවල්වල ගාල් කරලා, අපිට වැලිකඩ සිර ගෙදර පෙන්වලා, අපි විඳින ගෙදර නිදහස ගැන ආස්වාදයේ කතා කියනවා. පින්වත, භික්ෂුව දෑස් පියාගෙන මොහොතක් නුවණින් දකිනවා, පටිච්චසමුප්පන්නව භික්ෂුව අත්වින්ද සහ අත්විඳින බරපතළ වැඩ සහිත භව අවිද්‍ය සිර ගෙදර කල්ප සියක් කෝටි ගණනක දිග සහ පළල. පින්වත, වර්තමානයේ අධිකරණයකින් යමෙක් ලබන වසර විස්සක සිර දඬුවමක් යැයි කියන්නේ ඵස්සයේ තෘෂ්ණාව තුළ බැස ගත්ත විඳීමේ මැජික් සන්දර්ශනයෝ මයි. පින්වත, අවිද්‍යාවට තවදුරටත් රැවටෙන්න එපා. අවිද්‍යාව තෘෂ්ණාව උපයෝගී කොට ගෙන පුංචි දුකක් පෙන්වලා, අපෙන් මහා දුකක් සඟවලයි තිබෙන්නේ. පින්වත, පුංචි දුක වැලිකඩ සිර ගෙදර දුකයි. පින්වත, අවිද්‍යාව අපිට සඟවන මහා දුක, අපි හැමෝම අත්විඳින ජාති, ජරා, ව්‍යාධි, මරණ බරපතළ විපාකයෝ සහිත අසීමාන්තික භව සිර ගෙදර දුකයි.

පින්වත, සප්ත බොජ්ඣංගයන්ගේ මුල් ම ධර්මතාවය තමයි සති සම්බොජ්ඣංගය. පින්වත, සති සම්බොජ්ඣංගය යැයි කියන්නේ බිම බලාගෙන ඇවිදීමවත්, කතා නොකර සිටීමවත්, හොඳ සිහියෙන් කටයුතු කිරීමවත් නොවේ. පින්වත, සති සම්බොජ්ඣංගයෝ උපදින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග හතක ශක්තියෙන් උපදින සම්මා සමාධිය තුළයි. පින්වත, පංච නීවරණ ධර්මයෝ යටපත් කොට ගෙනයි සති සම්බොජ්ඣංගයෝ උපදින්නේ. පින්වත, “ධර්මයෝ, ධර්මයෝ ම වඩත්” කියන ධර්මතාවයට, සති සම්බොජ්ඣංගය ආශීර්වාදයක් ම වෙනවා. පින්වත, සති සම්බොජ්ඣංගයෝ අධර්මය ප්‍රතික්ෂේප කොට, ධර්මයක් මයි වඩවලා දෙන්නේ. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් තොරව, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා ධර්මතාවයෝ ගැන කතා කරන්න බැහැ. පින්වත, සම්මා සමාධියෙන් උපදින සති සම්බොජ්ඣංගයෝ පෙරළා විදර්ශනාමය සම්මා සමාධිය පෝෂණය කොට දෙනවා. පින්වත, පංච නීවරණ ධර්මයෝ රූපය දකින්නේ ඇලීම් හෝ ගැටීම් තුළින් මයි. පින්වත, සති සම්බොජ්ඣංගයෝ රූපය දකින්නේ කායානුපස්සනාව තුළින් මයි. පින්වත, පංච නීවරණයෝ වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ දකින්නේ, ඇලීම් හෝ ගැටීම් තුළින් මයි. පින්වත, සති සම්බොජ්ඣංගයෝ ඉහත ධර්මතාවයෝ දකින්නේ ධම්මානුපස්සනාව තුළින් මයි. පින්වත, සති සම්බොජ්ඣංගයේ ලේ උරුමය වන චිත්ත විශුද්ධිය පංච උපාදානස්කන්ධ ලෝකය පිළිබඳව වැරදි දැක්ම, දිට්ඨි විශුද්ධියෙන් පිරිසිදු කොට දෙනවා. පින්වත, මෙතෙක් අපි ආත්මීය දෘෂ්ටියෙන් සහ පංච නීවරණ ඥාතීත්වයෙන් ගත්ත පංච උපාදානස්කන්ධ ලෝකය තුළින් අපි මෙතෙක් නොදැක්ක කුළුඳුල් විදර්ශනාත්මක දැක්මක්, විදර්ශනාත්මක දහමක් දකිනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ කැඩෙන, බිඳෙන, විසිරෙන හිස්භාවය, ඔහු ජීවිතයෙන් දකින, මෙතෙක් නොදැක්ක අලුත් දහමක් වෙනවා. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් උපදින මේ අලුත් විදර්ශනාත්මක දහමයි, “ධර්මයෝ ධර්මයන් ම වඩත්” ය කියන ධර්මතාවය ඔස්සේ, වීර්යය බොජ්ඣංගයට ශක්තිමත් ම ජවය වෙන්නේ. පින්වත, දැන් ඔහු ලෝකය විඳින්නෙක් නොව, ලෝකය විනිවිද දකින විදර්ශනාත්මක ගවේෂකයෙක් වෙනවා. පින්වත, මේ සටහන කියවන ඔබ ලෝකය සිත් සේ විඳින්නෙක් ද? එසේත් නැති නම්, ලෝකය විනිවිද දකින විදර්ශනාත්මක ගවේෂකයෙක් ද?

පින්වත, ලෝකය අයිති ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවේ විඳීම්වලට, අපි යම් දවසක ඵස්සයේ අවිද්‍යාව හිස් කොට විඳීම් නිරෝධය කරයි ද, එදාට අපි පංච උපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා. පින්වත, සම්මුති ලෝකය තුළ තවදුරටත් ජීවත් වන, පංච උපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වූ, “නිදහසේ” අර්ථයට පරමාදර්ශී වූ, නිදහස් මිනිසා ජීවත් වෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක් මයි. පින්වත, මනුෂ්‍ය සමාජය තුළ අවිද්‍යාවේ බර වැඩි වෙන කොට, පරමාදර්ශී නිදහසේ අර්ථය විඳීම් විසින් කෙලෙසා දමනවා. පින්වත, මේ උතුම් චතුරාර්ය සත්‍යය ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් අවලස්සන ලෝකය තුළ, ගසක පිපී විකසිත වූ ලස්සන මලක් වගේ විවෘත, තෘෂ්ණාව නිවා දමන දහමක්. පින්වත, ගසක පිපුණ මලක් මොනතරම් නම් විවෘත ද? සඟවා ගන්න දෙයක් නැහැ, සැඟවුණු දෙයකුත් නැහැ, නමුත් සියලු ධර්මතාවයෝ වෙනස් වෙලා යනවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටත් ඉහත ධර්මතාවය පොදුයි. පින්වත, මලක් වගේ විවෘත වෙන්න. ලෝභ, ද්වේශ, මෝහයෝ සහ අලෝභ, අද්වේශ, අමෝහයේ සඟවාගෙන ජීවත් වෙන්න එපා. පින්වත, එය ඔබට ඇලීම් හෝ ගැටීම්වලින් බරක් ම වේවි. පින්වත, ඵස්ස පච්චයා වේදනා, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ධම්මානුපස්සනාවෙන් පණ ලබන වේදනානුපස්සනාව, සැඟවුණ කෙලෙස් ලෝකය අප්‍රමාදීභාවයට විවෘත කොට දෙනවා.

පින්වත, ඔබේ ජීවිතය වයසට යන්න දෙන්න එපා. ඔබේ ජීවිතය තාරුණ්‍යයෙන් ම තබා ගන්න. වර්තමානයේ වයෝවෘද්ධ පින්වත් දෙමාපියන්ට අතීතය අමතක වීමේ රෝගී තත්ත්වය හැදෙනවා වැඩියි නේද? පින්වත ජීවිතය වයසට ගියොත් ලෙඩ රෝග වැඩියි. හැබැයි ඉතින් වයසක පින්වතුන් තාරුණ්‍යයෙන් සිටින්න කොට කලිසම්, ටීෂර්ට් අඳින්න යන්න එපා. දැන් කාලයේ බබාලා හම්බ වෙන්න සිටින පින්වත් අම්මලාත් කොට කලිසම්, ටීෂර්ට් අඳිනවා නේ. පින්වත, මේවාට වගකිවයුත්තේ පින්වත් ඔබ නොවේ, දෝරේ ගලන අවිද්‍යාවයි. පිනවත් වැඩිහිටි පින්වතුනි, ඔබේ රූපය වයසට ගියාදෙන්, ඔබේ සිතුවිලි තාරුණ්‍යයෙන් තබා ගන්න. ඔබේ සිතුවිලි තාරුණ්‍යයෙන් තබා ගන්නා එක ම මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත, අප්‍රමාදී වෙන්න. ඇලීම් සහ ගැටීම් වැඩි වයෝවෘද්ධ ජීවිතවල රූපයයි, සිතුවිලියි යන දෙකම වයසට යනවා. පින්වත, උතුම් මධ්‍යම ප්‍රතිපදාවයි රූපය වයසට ගියත්, ඔබේ රූපය ඇසුරෙන් සකස් වන ඔබේ සිතුවිලි, උපේක්‍ෂාවේ තාරුණ්‍යයෙන් විකසිත කොට දෙන්නේ.