පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකය තුළ නිත්‍ය වූ සැපයක් කොයින්ද? පින්වත, ලෝකයට අයිති නැති, ලෝකයට බරක් නැති, සම්මා විමුක්තියේ ආර්ය උපතකට ඡන්දය ඇති කොට ගන්න. පින්වත, අවිද්‍යාවෙන් වැසුණ ලෝකයක, දිට්ඨි විශුද්ධියෙන් විවෘත කොට දෙන සම්මා දැක්මයි, ආර්ය උපතකට තිඹිරි ගෙය සූදානම් කොට දෙන්නේ. පින්වත, පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය නමැති වින්නඹුව ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා බල ධර්මයන්ගේ විදර්ශනාමය සැත්කම් පිහි සහ කතුරු උපයෝගී කොට ගෙනයි සම්මා විමුක්තියේ උපතකට උපකාරක ධර්මයන් සකස් කොට දෙන්නේ. පින්වත, මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධියේ ශක්තියෙන් උපදින ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධියත්, ඉන් ඉක්බිති උපදින ඥාන දර්ශන විශුද්ධියත්, සම්මා විමුක්තියේ ආර්ය හැඩරුව වෙනවා. පින්වත, මේ ආර්ය හැඩරුව තුළ තිබෙන්නේ තෘෂ්ණාවේ උපාදානයෝ නොවේ, උපාදානයන්ගේ නිවී යාම මයි. පින්වත, නිවී ගිය උපාදානයෝ, නිවුණ ලෝකය දෙස බලන්නේ සද්ධර්මයේ ඇසෙන් මයි. පින්වත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස බලද්දී, සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේ පටන් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා තමා තුළින් තමා දකිනවා. පින්වත, ඔහු අවබෝධ ඥානයෙන් ම සද්ධර්මයේ කොටසක් වෙලා. පින්වත, ඔහු අයිති ලෝකයට නොවේ, ලෝකයෙන් නිදහස් වීමට. ඔහු තමා තුළ ජීවත් වන නිරෝධය වූ පටිච්චසමුප්පාද මිනිසා, තමා තුළින් දකිනවා. පින්වත, ඔහුට සිය ජීවිතය සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි අවබෝධ ඥානයෙන් ම දකිනා, උතුම් ධම්මානුපස්සනාවක් ම වෙනවා. පින්වත, ඔහු ලබන අවිද්‍යාවේ නිදහස ඔහුට ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යැයි දකින, ධර්මයක් ම වෙනවා.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, සත්ත්වයා කර්මය මගේ කොට ගෙන; ඥාතියා කොට ගෙන උපදිනවාය කියලා. පින්වත, අපි ජීවිතය තුළින් ලබන රෝගීභාවය සහ නීරෝගීභාවය යනු පටිච්චසමුප්පන්න අපේම සංස්කාරයන්ගේ හැඩරුවයි. පින්වත, වර්තමානයේ ඔබ ගත කරන නීරෝගී ජීවිතය සිල්වත්භාවයේත්, ඔබ ගත කරන රෝගී ජීවිතය දුර්වල සීලයේත් අතීත හේතුඵල ධර්මයෝ වෙන්න පුළුවන්. පින්වත, තම පවුලේ කෙනෙක් දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වෙද්දී, එම අසනීප පින්වතාගේ ඥාතීන් සංඝයා වන අපගෙන් අහනවා, “ස්වාමීන් වහන්ස, මෙවැනි අසනීප තත්ත්වයන්ට මොන වගේ පින්කම් ද අපි කළ යුත්තේ?” කියලා. සමහර විට එම රෝගී පින්වතා ලෙඩ ඇඳේ එක්තැන්වයි සිටින්නේ. තවත් සමහර විටක එම රෝගී පින්වතා සිහිකල්පනාවේ දුර්වලභාවයෙනුයි සිටින්නේ. මෙවැනි අවස්ථාවක අදාළ රෝගී පින්වතාට අකුසලයෙන් නැගී සිටීම උදෙසා තමන්ට කළ හැකි දෙයක් නැහැ. පින්වත, මෙවැනි අවස්ථාවක නීරෝගී ඔබ දක්ෂ වෙන්න, ඔබේ රෝගී ඥාතියා වෙනුවෙන් ඔබ සත්‍යක්‍රියා කරන්න. පින්වත් ඔබ දස දිශාවට මෙත් සිත පතුරුවමින්, මාගේ මේ මෛත්‍රියේ ශක්තියෙන් රෝගී පින්වතාට නීරෝගීභාවය ලැබේවා! යැයි සත්‍යක්‍රියා කරන්න. පින්වත් ඔබ ආජීව අට්ඨමක සීලය තුළ ශක්තිමත් වෙමින්, ඔබේ සීලයේ සත්‍යානුභාවයෙන් රෝගී පින්වතාට නීරෝගීභාවය ලැබේවා! යැයි සත්‍යක්‍රියා කරන්න. පින්වත, රෝගීභාවය සහ නීරෝගීභාවය යනු අනිත්‍ය වූ සංස්කාරයෝ යැයි ධම්මානුපස්සනාව මතු කොට ගෙන, ධම්මානුපස්සනාවේ සත්‍යානුභාවයෙන් රෝගී පින්වතාට නීරෝගීභාවය ලැබේවා! යැයි සත්‍යක්‍රියා කරන්න. පින්වත, ඔබේ ඥාති රෝගියා වෙනුවෙන්, ඔබ පුහුණු කරන්නා වූ මේ සම්මා ව්‍යායාමය, ඔබේ පින්වත් රෝගී ඥාතියා වෙනුවෙන් ඔබට කළ හැකි සත්පුරුෂ සහ කෘතවේදී ම පින්කම වෙනවා වගේ ම, නීරෝගී ඔබේ අකුසල් යටපත් කොට ගෙන කුසලයෙන් සහ විදර්ශනාවෙන් නැගී සිටීමේ මාර්ගය ද වෙනවා.
පින්වත, රෝගී පින්වතුන් හේතුවෙන් ගැටෙන සිත් ඇති කොට ගන්න එපා. පින්වත, ගැටෙන සිතක් යැයි කියන්නේ, රෝගී පින්වතා වෙනුවෙන් කළ යුතු වගකීම් පැහැර හරින සිතක්ය යැයි කියන්නේ, ඔබේ ම අකුසල් ඔබට පෙරළා පහර දීමක් මයි. පින්වත, ඔබ ඔබේ ඥාති රෝගියා හේතුවෙන් ගැටෙන සිතක් ඇති කොට ගන්නා මොහොතක් පාසා, ඔබ අධර්මය තුළයි ජීවත් වෙන්නේ. පින්වත, ඔබේ රෝගියා තුළින් ධර්මය දකින්න දක්ෂ වෙන්න. පින්වත, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. පින්වත, රෝගී ජීවිතයක් තුළින් සද්ධර්මයේ කැඩපතයි ඔබ ඒ දකින්නේ. පින්වත, ඔබේ ඥාති රෝගියා, ඔබේ නිවන් මඟට, දස කුසල් ධර්මයන්ගේ සහ විදර්ශනාවේ ඉල්ලමක් කොට ගන්න. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දරු මුනුපුරන්ගේ, සැමියන්ගේ, බිරින්දෑවරුන්ගේ නැවතීමක් නැහැ. පින්වත, පටිච්චසමුප්පන්න දම්වැලක පුරුක් වගේ දුක සමග අපි බැඳිලා යනවා. පින්වත, අම්මා, තාත්තා, බිරිඳ, ස්වාමිපුරුෂයා, දුව, පුතා, සහෝදරයා, සහෝදරිය කියන බැඳීම් කියන්නේ මහා දුකක්. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක් වීම, පංච උපාදානස්කන්ධ දුක් ගොඩම, මේ බැඳීම් සමග සිරවෙලයි තිබෙන්නේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ දුක් ගොඩ සිත් සේ අත්දැකලා තිබෙනවා. භික්ෂුවගේ පින්වත් අම්මා වසර අටක් අසනීපව පසුවෙලයි මිය පරලොව ගියේ. එම පින්වත් අම්මාගේ රෝගීභාවය නිසා ම, එම රෝගීභාවයෙන් එදා ගිහි මම ලැබූ අත්දැකීම් නිසා ම, භික්ෂුවට පුළුවන් වුණා අධිෂ්ඨානයකට එන්න, මිය ගිය පින්වත් අම්මාගෙන් පසුව නැවත මොනම බැඳීමක්වත් එපාය කියලා. වර්තමානයේ භික්ෂුව ගත කරන්නේ බැඳීම්වලින් තොර ජීවිතයක්. පින්වත, මේ බැඳීම්වලින් තොර භික්ෂු ජීවිතයට මූලාරම්භය වුණේ විදර්ශනාවේ ඉල්ලමක් බවට පත් කොටගත් පින්වත් අම්මාගේ රෝගීභාවයයි. පින්වත, රෝගී පින්වතෙක් යැයි කියන්නේ දක්ෂයාට නිවනට පාර පෙන්වන දේව දූතයෙක් මයි. පින්වත, භික්ෂුවගේ පින්වත් රෝගී අම්මා භික්ෂුවට දේව දූතයෙක් වුණා, බැඳීම් හළ භික්ෂු ජීවිතයකට කමටහනක් වෙන්න. පින්වත, ආදරණීය දෙමාපියන් කියන අර්ථයට දරුවකුට දිය හැකි මීට වඩා කෘතවේදීභාවයක් මේ ලෝක ධාතුව තුළ නැහැ.
පින්වත, ලෝකය කවදත් ලෝකයේ ස්වභාවයෙන් පවතින්නේ. ලෝකයේ ස්වභාවය තමයි ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ යැයි කියන්නේ. මේ කාරණා තුනෙන් තොරව පංච උපාදානස්කන්ධ ලෝකයක් නැහැ. පින්වත, ඇලීම් සහ ගැටීම් බහුල ලෝකය තුළ උපේක්ෂාවට තිබෙන්නේ බොහෝම පුංචි තැනක්. පින්වත, වර්තමාන සමාජය ඇලීම් සහ ගැටීම්වලින් ගිනි ගන්නවා. අවිද්‍යාව අපිට කියලා දෙන්නේ නැහැ, අපි භුක්ති විඳින සංස්කාරයෝ වෙනස් වෙලා යනවාය කියලා. පින්වත, අපි ඇලෙමින් සහ ගැටෙමින් සංස්කාරයෝ නොකැඩෙන කළු ගල් සේ ම තබා ගන්නට හදනවා. පින්වත, උතුම් ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් අපි අපේ අවංකභාවය මහා ඉහළින් පෙන්වුවත්, සමාජය තුළ සිදු වන සිදුවීම් හඬ නඟා කියනවා, අපි සද්ධර්මයේ අර්ථයන් වෙනුවෙන් අවංක නැහැය කියලා. පින්වත, බොරුව මුලට එද්දී, සම්මා සතිය, මිච්ඡා සතියක් බවට පත් වන්නේ, පංච නීවරණයෝ බලවත් කරමින් මයි. පින්වත, ගෙදරක දෙමාපියන් ලජ්ජාව සහ බිය නැති කොට ගනිද්දී, දරුවනුත් ලජ්ජාව සහ බිය නැති කොට ගන්නවා. පින්වත, මේ ගමනේ අවසානය කුමක් වෙයි ද? පින්වත, අතීතයේ භික්ෂුව වැඩ සිටිය කැලෑබද ගම්මානයක, මස් සඳහා එළුවන් ඇති කරන මනුෂ්‍යයෙක් සිටියා. ඔහු සිංහල බෞද්ධයෙක්. එක දවසක් දඩාවතේ යන බල්ලෙක් ඇවිල්ලා එළු පැටියෙක් මරාගෙන කෑවා. පසුවදා මෙම එළුවන් අයිතිකරුවා කුටියේ කැපකරුට කියලා තිබෙනවා, “මාමේ, බල්ලෙක් එළු පැටියෙක් මරාගෙන කෑවා. මම බල්ලාව කැත්තෙන් කෑලි හතකට කැපුවා” ය කියලා. පින්වත, බල්ලාව පණපිටින් කෑලි හතකට ම කපලා. පින්වත, වෙළඳ පොළේ එළු මස් කිලෝවක් කීයද කියන්න භික්ෂුව දන්නේ නැහැ. ඒත් මේ මනුෂ්‍යයා එළු පැටියෙක් වෙනුවෙන් සිදු කොට ගත් අකුසලයේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක කල්ප කොතෙක් පටිච්චසමුප්පන්නව ගෙවන්න වේවි ද? පින්වත, දුශ්ශීලභාවය රජ කරමින්, ආයුෂය හීන කොට ගනිමින්, අපි මේ පියවර තබන්නේ අනාගත මෘග සංඥා ලෝකයට නේද? පින්වත, අපි පසු කරමින් සිටින්නේ අනාගත මෘග සංඥාව උදෙසා පුහුණු කාලයයි. මනුෂ්‍යයෝ එළව එළවා මිනී මරනවා. පියවරුන් තම දියණියන් දූෂණය කරනවා. ගුරුවරුන් තම ගෝලයන් දූෂණය කරනවා. පින්වත, මනුෂ්‍ය සමාජය තුළ තවදුරටත් මෛත්‍රිය සහ සීලය දුර්වල වුණොත් සහ කර්මය කර්මඵල විශ්වාසය නොතකා හැරියොත්, පින්වත් මනුෂ්‍ය සහ තිරිසන් ලෝකයේ චර්යාවන් එකම හැඩරුවක් ගනීවි නේද?
පින්වත, බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ශ්‍රවණය කිරීමට ලැබීම, උතුම් අධිගමයන් සාක්ෂාත් කොට ගැනීම සහ කෘතවේදීභාවය මෙම ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් හතර වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, කෘතවේදීභාවය නමැති දුර්ලභ අර්ථය ලෝකයෙන් අතුරුදන් වූ දවසට, උතුම් තෙරුවන් ද ලෝකයෙන් අතුරුදන් වෙලා යනවා. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සහ සිංහල බෞද්ධ සංස්කෘතිය ජීවත් කරවන කෘතවේදීභාවය අමතක කොට දමන්න එපා. පින්වත, නිරාගමිකභාවය කෘතවේදීභාවයට කැමති නැහැ. එම පින්වතුන් දන්නවා කෘතවේදීභාවය ශාසනයේ ජීවයයි කියලා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා, රටේ ආරක්ෂාව තීරණාත්මක සාධකයක් වෙනවා. ඊට හොඳම උදාහරණය තමයි, ‘ආරක්ෂක හමුදාවලින් නීත්‍යනුකූලව ඉවත් නොවූ පිංවතෙක්ව උතුම් පැවිදි උපසම්පදාවන්ට පත් කරන්න එපා’ යැයි, බුදුරජාණන් වහන්සේ පනවා තිබෙන විනය ශික්ෂා පදය. පින්වත, රට අනාරක්ෂිත වුණොත් සම්මා සම්බුද්ධ ශාසනයට පවතින්න බැහැ. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ නිසා ම, පින්වත් ඔබ පරම්පරාවෙන්, පරම්පරාවට මේ උතුම් ශාසන අර්ථයන්ගේ ආරක්ෂාව උදෙසා කළ යුතු කෘතවේදී යුතුකමක් තිබෙනවා. පින්වත, එම කෘතවේදී යුතුකම තමයි මේ ඒකීය පුණ්‍යවන්ත මාතෘ භූමිය බෙදා වෙන් කිරීමට සටන් වැදුණු වියරු කොටි ත්රස්තවාදයට එරෙහිව රටේ ඒකීයභාවය උදෙසා සහ සාමකාමී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදෙසා දිවි පිදූ සහ ආබාධිතභාවයට පත් වූ සියලුම ආරක්ෂක හමුදා විරුවන්ව කෘතවේදීව සිහිපත් කිරීම සහ දිවි පිදූ සියලුම ආරක්ෂක හමුදා විරුවන්ට මේ උතුම් ධර්ම දානමය පිනත් පරලොව ජීවිතයේ වර්ණය, සැපය, බලය පිණිසම හේතු වේවා! යැයි පින් පැමිණ වීම කෘතවේදී ජාතියක, කෘතවේදී ජාතික යුතුකමක් වෙනවා. පින්වත, කෘතවේදීභාවයට බිය වන්න එපා. පින්වත, කෘතවේදීභාවයට බිය වුණොත්, අසත්පුරුෂ ධර්මයෝ, ආත්මාර්ථකාමී ධර්මයෝ විසින් සමාජය යළි ගිල ගනීවි. පින්වත, පැවිදි අපේ යුද්ධය කෙලෙස් යුද්ධයයි. පින්වත් දිවි පිදූ ආරක්ෂක හමුදා විරුවනි, වර්තමානයේ මාතෘ භූමිය ආරක්ෂා කොට දෙන ආරක්ෂක හමුදා විරුවනි, ඔබලා බිහි කොට දුන් සහ බිහි කොට දෙන නිදහස් සාමකාමී භූමියේ පැවිදි අපි ලබන කෙලෙස් යුද්ධයේ ජය, ඔබලාගේ මෙලොව සහ පරලොව සැපයට පුණ්‍ය නිධානයක් ම වේවා! යැයි, අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.