පින්වත, තවත් ලස්සන දවසකට හිරු උදා වෙලා. කැලෑ පරිසරයේ කුරුල්ලෝ තරගයට සින්දු කියනවා. පින්වත, ගොරහැඬි සංගීතය, ගොරහැඬි කට හඬවල්, අරුත් සුන් ගී පද කුරුලු සංගීතය තුළ නැහැ. පරිසරයේ ස්වභාවික රිද්මයට තාලය අල්ලමින් ඒගොල්ලෝ සින්දු කියනවා. කුරුල්ලන්ගේ සින්දු ඇහෙද්දී, භික්ෂුවගේ ජීවිතයත් පරිසරයේ ම කොටසක් බවට පත් වෙලා. උදෑසන හිරු අවදි වෙන පරිසරයේ රිද්මයට, ස්වභාව ධර්මය ළයාන්විතව සින්දු කියද්දී, භික්ෂුවගේ සිතත්, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින සිතුවිලි ඔස්සේ ම සමාධිමත් භාවයට පත් වෙනවා. පින්වත, එම සමාධිමත් සිත ඔස්සේ භික්ෂුවට ඇසෙනවා, භික්ෂුවගේ හෘද ස්පන්දනය පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ රිද්මයට, විනයානුකූල හඬින් සින්දු කියන අපූරුව. පින්වත, ඒ හදවතෙන් ගැයෙන ස්වභාව ධර්මයේ සින්දුව හරිම මිහිරියි; හරිම සන්සුන්; හරිම නිවුණ හදවතේ ගීතයක්. පින්වත, ස්වභාව ධර්මයේ රිද්මයට, අපේ හදවතින් ගැයෙන හදවතේ ගීතය, අපි කාටවත් ම ඇසෙන්නේ නැහැ. අපේ ජීවිතවල පංචනීවරණ බෙලෙක් ඝෝෂාව හුඟාක් වැඩියි. ස්වභාව ධර්මයේ සියලු කෙලෙස් හිඟ ධර්මයෝ අපිට මඟ හැරිලා. අපේ ම පංචනීවරණයෝ ස්වභාව ධර්මයේ සන්සුන් රිද්මයන් අපෙන් උදුරාගෙන. පින්වත, අපි ස්වභාව ධර්මයේ ආගන්තුකයෝ. පින්වත, අපි තෘෂ්ණාවේ වේග රිද්මයට කැමැති කෘත්‍රිම මනුෂ්‍යයෝ. පින්වත, සම්මා සමාධිමත් සිත ළඟ නැවතී අසන්න, ඔබේ ම හදවතින් නැඟෙන ස්වභාව ධර්මයේ හදවතේ ගීතය. එහි කාමච්ඡන්දයෝ නැහැ. එහි තිබෙන්නේ අනිත්‍ය වූ කාය සංස්කාරයන්ගේ නිවුණ අර්ථයෝ පමණක්මයි.
පින්වත, අපේ රටේ ජනතාව නිෂ්පාදනය කරන දස අකුසල් ධර්මයන්ගේ ප්‍රමාණය හුඟාක් ඉහළ ගිහිල්ලා. මේ දස අකුසල් සංස්කාරයන්ගේ බර ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතුවට දරා ගන්න බැරි නිසා ම, මනුෂ්‍ය ජීවිත නැමැති ආධ්‍යාත්මික සතර මහා ධාතුව ගිලන් වීමේ ස්වභාවයන් හුඟාක් වැඩියි. බාහිර සතර මහා ධාතුවට ගැනෙන අව්ව, වැස්ස, සුළඟ, උෂ්ණය, ශීතල හැසිරෙන්නෙත් හරියට උමතුවෙන් වගේමයි. පින්වත, මෙතෙක් සම්මත දේශගුණික කාලසටහන්, වර්තමානයේ ස්වභාව ධර්මය ශත පහකටවත් ගණන් ගන්නේ නැහැ. පින්වත, අනිත්‍ය යැයි කියන ලෝක ධර්මතාවය හැර, දීර්ඝ ආස්වාදයක සලකුණක්වත් පෙනෙන්නට නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පින්වත, පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවෙන් හැදුණ කය ලෙඩ වුණදෙන්, සිත ලෙඩ කරගන්න එපාය කියලා. භික්ෂුව මේ සටහන ලියන මොහොතෙත් ශරීරයේ නොයෙක් වේදනාවෝ තිබෙනවා. ආධ්‍යාත්මික සතර මහා ධාතුවේ කිපීම් වයෝවෘද්ධ වෙන කොට වැඩි වෙනවා. පටිච්චසමුප්පන්න සාංසාරික අකුසල් සංස්කාරයෝ ජීවිතයට දඬුවම් දෙනවා. සතුටු වෙන්න තැනක් සංස්කාර ලෝකය තුළ නැහැ. සතුට පෙරළෙනකම්, දුකේ කණපිට පුල පුලා බලා සිටිනවා. පින්වත, පටිච්චසමුප්පන්න පෙර ජීවිතයේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය ලියූ අපේ සංස්කාර ඉරණම් ගමන, අපි තවමත් යනවා. අපි තාමත් දන්නේ නැහැ, පටිච්චසමුප්පන්නව අපිව නිෂ්පාදනය කළේ තෘෂ්ණාවයි කියලා. අපේ ම විඳීම් තුළ බැස ගත්ත විඤ්ඤාණයේ මායාව, “මම” ඇතුළේ තෘෂ්ණාව සඟවලා.
පින්වත, ආර්ය විවේකය සහ අනාර්ය අවිවේකය යැයි කියලා අර්ථයන් දෙකක් තිබෙනවා. ආර්ය විවේකය අයිති උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට. ආනාර්ය අවිවේකය අයිති අවිද්‍යාවේ පෝෂක ධර්මයන් වන මාර පාක්‍ෂික පංචනීවරණයන්ට. පින්වත, ආර්ය විවේකය සද්ධර්මයේ ඇසෙන් ලෝකය දකින විවේකයක්. පින්වත, ආර්ය විවේකයට පුළුවන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන අර්ථයන් පහට ලෝකය විග්‍රහ කොට ගන්න. පින්වත, ඔබට සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන්, පංචඋපාදානස්කන්ධ ලෝකය විදර්ශනාවෙන් කිරා, මැන, කෙලෙස් බැහැර, උතුම් සම්මා ඥානයන්ට පණ දෙන්නේ ආර්ය විවේකයයි. පින්වත, අනාර්ය අවිවේකය තුළ ජීවත් වන පින්වතා ලෝකය දකින්නේ, පංචනීවරණයන් සරු කොට, කෙලෙස් බර කරට ගෙන, ආත්මීය දෘෂ්ටියේ දැඩිභාවයෙන්මයි. පින්වත, ඔබ අහලා තිබෙනවා ද සමහර පින්වතුන් කියනවා, මට දවසේ පැය විසිහතර මදිය කියලා. මෙය ආනාර්ය අවිවේකයේ ආදරණීය ලක්‍ෂණයක්. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ වැඩි වෙන කොට, භවයේ දිග, පළලත් වැඩි වෙනවා. පින්වත, පටිච්චසමුප්පන්න අපේ අවිද්‍යාවට දැන් ගොඩක් වයසයි. ඒත් අවිද්‍යාව වයස කියන්න කැමැති නැහැ. පින්වත, රූපය වයසට ගියත්, සංස්කාර රූපලාවණ්‍යයෝ, අවිද්‍යාව නවයොවුන් කරවනවා. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ හඹාගෙන දුවන ලෝකය තුළ ඔබ නවතින්න. දෑස් පියාගෙන ආශ්වාස ප්‍රශ්වාසය හෙවත් කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. පින්වත, සංසිඳෙන ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රීතියක්, සැපයක්, උපේක්‍ෂාවේ ආස්වාදයක් බවට නොව, ධම්මානුපස්සනාවක් බවට ම පත් කොට ගන්න.
පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දඹදිව ජීවමානව වැඩ සිටියදීත්, දඹදිව මොනතරම් නම් විනාශකාරී සිදු වීම් සිදු වුණාද? පින්වත, බුදුරජාණන් වහන්සේ උපත ලැබුව ශාක්‍ය වංශය ම අමු අමුවේ ම මරා දැම්මේ, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීමයි. උතුම් තෙරුවන් සරණ පිහිටි සාමාවතිය ඇතුළු කුල කතුන් පන්සියයක් මාලිගාව තුළදී ම ගින්බත් කොට දැමුවේ, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී මයි. පින්වත, අජාසත්ත රජතුමා සහ කොසොල් රජතුමාගේ රාජ්‍යයන් අතර බලය උදෙසා රජවරුන් දෙදෙනා යුද වැදුණ අවස්ථාවන් කීයක් නම් සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා ද? මේ යුද වැදීම් සිද්ධ වුණෙත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීමයි. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දීමයි විශාලා මහනුවර මහා දුර්භික්‍ෂයකින් විනාශ වී ගියේ, පෙරළා බුදුරජාණන් වහන්සේමයි විශාලාවට මහ වැසි වැස්ස වීමේ කුසල් මාර්ගය මතු කොට දුන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත්, පින්වත් ජනතාව අකුසලයට බියක් නැති නම්, දසකුසල් ධර්මයන් තුළ ජීවත් නොවෙනවා නම්, පින්වත් ජනතාවගේ අතීත අකුසල් විපාකයට පැමිණීම වළක්වන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නැහැ. එය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ වරදක් නොවේ, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන්ට පින්වත් ජනතාව අකීකරු වීමේ විපාක සහ ජනතාවගේ පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයයි. පින්වත, බුදුරජාණන් වහන්සේට අදාළව නොවේ, අපි ලෝකය දකින්න ඕනේ, සංස්කාරයන්ට අදාළවයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නෙත්, දසපාරමී අයෝමය පුණ්‍ය සංස්කාර ශක්තියේ ඵල යයි, නමුත් මේ සියලු උත්තරීතර සංස්කාරයෝ වෙනස් වෙලා ගියේ, පූජනීය ධාතූන් වහන්සේලා සහ උතුම් ධර්ම විනය පමණක් ලෝක සත්ත්වයාට ඉතිරි කොට තබලයි. පින්වත, අපේ රටෙත් පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ සූදානමක් ගැන භික්ෂුවට දැන ගන්නට ලැබුණා. එය සමාජයට යහපත් පණිවිඩයක්. හැමෝට ම පුණ්‍ය ගංගාවක්.
පින්වත, අපි ජීවත් වෙන්නේ උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව බොහෝම වේගයෙන් දුර්වල වෙන සමාජයක; උතුම් සද්ධර්මයේ අරටුව වන චතුරාර්ය සත්‍යය ධර්මයෝ වෙනුවට ලෞකික සැපයන් පසුපස හඹා යන සමාජයක; දුශ්ශීලභාවය සහ අකුසල් මූලයෝ මනුෂ්‍ය ගුණධර්මයන්ට ඔච්චම් කරන සමාජයක. පින්වත, මෙවැනි සමාජයක පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සිදු කළාය කියලා, සමාජගත සියලු දුක් දොම්නස් දුරුවේ යැයි අධර්මානුකූලව නම් සිතන්න එපා. උතුම් දන්ත ධාතූන් වහන්සේට තෘෂ්ණාව අරටු බැසගත් සමාජය ආශ්චර්යයක් සේ සුවපත් කරන්න බැහැ. භික්ෂුව මෙම සටහන තබන්නේ නිර්ආගමිකභාවය, වෙස් මුහුණු බැඳගෙන හොල්මන් කරන සමාජයක, අවසානයේ පූජනීය දන්ත ධාතූන් වහන්සේටත් චෝදනා කරන්න පුළුවන්, බලාපොරොත්තු වූ සහනයන් නොලැබුණාය කියලා. පින්වත් උතුම් තෙරුවන්ට අවංකව ගරු කරන හෝ නොකරන ඔබ සැම දක්‍ෂ වෙන්න, පූජනීය දන්ත ධාතූන් වහන්සේ උපයෝගී කොටගෙන ඔබේ කුසල් සිත් ශක්තිමත් කොට ගන්න. උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කොට ගන්න. පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කරන කාලය පුරාවට, ඔබට පුළුවන් පූජනීය දන්ත ධාතූන් වහන්සේ තුළින් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන දැක්ම ඇති කොට ගන්න. දස පාරමී පුණ්‍ය ශක්තියෙන් උපන් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන්ගේ අනිත්‍යභාවය නුවණින් මතු කොට දකින්න, එවිටයි පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයෙන් සමාජයට, පින්වත් ජනතාවට අකුසල් යටපත් වී කුසල් ධර්මයෝ මතු වෙන්නේ. මනුෂ්‍ය ජීවිත පිනෙන්, විදර්ශනාවෙන් සුවපත් වෙන්නේ. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ, කර්මය කර්මඵල විශ්වාසයෙන් පමණක් මෙවන් උත්තරීතර පූජනීය පින්කම් සිදු කරන්න. පින්වත, අධර්මයේ නොමනා අරමුණු මෙවන් උත්තරීතර පින්කම් තුළ සැඟවී තිබුණොත්, ඒවායේ විපාකයෝ අදට වඩා ගොඩාක් නීරස වේවි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීත් දඹදිව සමාජය අකුසලයෙන් බැට කෑවා. බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවය නිසා ම, දඹදිව සමාජය කුසලයෙන් සහ විදර්ශනාවෙනුත් සැනසුණා. පින්වත, යහපත හෝ අයහපත මතු කොට දීමට පූජනීය දන්ත ධාතූන් වහන්සේට බැහැ. එය කළ හැක්කේ පූජනීය දන්ත ධාතූන් වහන්සේ උපයෝගී කොට ගෙන අපි ඇති කොට ගන්නා, අවංක කුසල් සිතට හෝ ව්‍යාජ අකුසල් සිතටයි. පූජනීය දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කරන සතිය තුළදිවත්, අපි දක්‍ෂ වෙමු, අපේ ලෝභ, ද්වේශ, මෝහයෝ ප්‍රදර්ශනය නොකර සිටින්නට.
පින්වත, තෘෂ්ණාව ඔඩු දුවනා සමාජයකයි අපි ජීවත් වෙන්නේ. තෘෂ්ණාව ඔඩු දුවද්දී, උපාදානයෝ හෙවත් බැඳී යෑම් මොනවාට සක්‍රීය වෙනවා. පින්වත, අපි ජීවිතය ලිහා බලන්න කැමැති නැහැ. අපි ජීවිතය පොදි බඳින්නමයි කැමැති වෙන්නේ. පින්වත, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ පොදිය ඔසවාගෙන යන්න අපි හරිම කැමැතියි. අපි පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව දෙවුර මත තබා ගෙන, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ බර වැඩියි කියලා පසු තැවෙනවා. පින්වත, උතුම් සෝවාන් ඵල අවබෝධය තරුණ වියේදී ම සාක්ෂාත් කොට ගත්, අසූ වියැති නකුල පියා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා, “භාග්‍යවතුන් වහන්ස, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදීත් නකුල මාතාව මගේ ම බිරිඳ කර ගැනීමට මාර්ගය කියලා දෙන්නය කියලා. පින්වත, සක්කාය දිට්ඨිය සිදුණු, කාමරාග, පටිඝයෝත් පටිච්චසමුප්පන්න ආදරයේ ආස්වාදයට ඉව අල්ලන සංස්කාර ලෝකයක, සක්කාය දිට්ඨිය නොසිදුණු අපේ ආදරණීය බැඳීම් ගැන කිනම් කතාවක් ද?
පින්වත, ඔබ ලබන වර්ණය, සැපය, බලය ඉදිරියේ නිහතමානී වෙන්න. වර්ණය, සැපය, බලය යැයි කියන්නේ සදාකාලික දෙයක් නොවේ. අනිත්‍ය වූ කුසල් සංස්කාරයන්ගේ ඵලයක්. පින්වත් කුසල් සංස්කාරයන්ගේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, කෙටි ආස්වාදයෝ දීර්ඝ ආදීනවයන්ට පාර කියනවා. පින්වත, අපි හැමෝම පටිච්චසමුප්පන්න තෘෂ්ණාවෙන් උපන් මනුෂ්‍යයෝ. අපි හැමෝම ඇලීම් හෝ ගැටීම්වල ඵලයක්. පින්වත, අපේම කුසල් සංස්කාර, මල් නොතලා රොන් ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, අපිව පරාද කරන්නේ අනුන් නොවේ, අපේ ම මමත්වයේ දැඩිභාවය හෙවත් සක්කාය දිට්ඨියයි. පින්වත, ලෝකයත් සමග බොරු කරන්න එපා. ලෝකය යනු ඔබමයි. ලෝකයත් සමග බොරු කළොත් පෙරළා රැවටෙන්නේ ඔබමයි. පින්වත, ජීවිතය චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් විවෘත කොට බලන්න. කටුක අතීත භව ගමනක අතෘප්තිමත් වෙහෙස වෙනුවට නිර්ව්‍යාජ සැපය උදෙසා අලුත් බලාපොරොත්තුවේ බීජයන්, එවිට ඔබ තුළ උපදීවි. පින්වත, ඔබේ ජීවිතයට ඉඩ දෙන්න, සත්පුරුෂ මනුෂ්‍යයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට දැක සතුටු වෙන, නිරංහකාර සද්ධර්මයේ සුවඳැති ලස්සන මලක් වෙන්න.