පින්වත, මේ දවස්වල පාතාලයේ මහ මොළකරුවන් සෙවීමේ මෙහෙයුම් ආරක්‍ෂක හමුදා විසින් සිදු කරනවා නේද? පින්වත, ඔබලා මොන මෙහෙයුම් සිදු කළත්, පාතාලයේ මහ මොළකරුවා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ නැහැ. අපිව දුකට පත් කරන, අපිව වධයට පත් කරන, අපගේ සැපය මංකොල්ල කන සැබෑ පාතාලය මෙහෙය වන මහ මොළකරුවා වෙන කවුරුවත් නොව, සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි දකිනා අවිද්‍යාවම යි. පින්වත, අසත්පුරුෂ ආශ්‍රයෙන්, අසද්ධර්මය ශ්‍රවණයෙන්, අනුවණින් මෙනෙහි කිරීමෙන්, අවිද්‍යාවේ මිනීමරු පාතාලය බලවත් වනවා. පින්වත, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, අන්‍යශීලවෘතයන් කෙරෙහි විශ්වාසය, අවිද්‍යා පාතාලයේ අවි ආයුධ වනවා. පින්වත, උතුම් සෝවාන්ඵලයට පත් නොවූ අපි හැමෝම, අවිද්‍යා පාතාලයේ අවි ආයුධ අපේ ජීවිතවල සඟවාගෙනයි ජීවත් වන්නේ. අවිද්‍යා පාතාලයේ අවි නිකුත් කරන සංස්කාර වෙඩි උණ්ඩ, අපි හැමෝවම පෙරළා පටිච්චසමුප්පන්නව වධයට පත් කරන පාතාල වධකයා වනවා. මොහු අරූපී වෘත්තීය මිනීමරුවෙක්. මේ අරූපී වෘත්තීය මිනීමරුවා මනුෂ්‍ය ජීවිත පමණක් නොවේ, මරා දමා තිබෙන්නේ. පටිච්චසමුප්පන්නව සතර අපා, දිව්‍ය, රූපී සහ අරූපී බ්‍රහ්ම ජීවිතත් මරා දමා තිබෙනවා. පින්වත, අපි රට තුළ ක්‍රියාත්මක වන මිනී මරන, මත්ද්‍රව්‍ය ගනුදෙනු කරන, ළදරු පාතාලය ගැන මහා පරිමාණයෙන් අවධානය යොමු කරද්දී, අපි හැමෝම තුළ ජීවත් වන අතිභයානක පටිච්චසමුප්පන්න භව පාතාලයේ මහ මොළකරුවා වන අවිද්‍යාව ගැන නොදැක්කා සේ සිටින්නේ, පාතාලයට ඇති බිය නිසා නොව, පාතාලයට ඇති කැමැත්ත නිසා මයි.
පින්වත, කෙලෙස්වලින් නොගැඹුරු ලෝකය හරිම සරලයි. පින්වත, කෙලෙස්වලින් ගැඹුරු ලෝකය හරිම සංකීර්ණයි. පින්වත, අන්ධ බාල පෘථග්ජනභාවය ලෝකය ගෙවා දමන්නේ, ලෝකය ඉදිකරමින් මයි. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා ලෝකය දකින්නේ, ලෝකයේ නිරෝධය දිශාවට මයි. පින්වත, කෙලෙස් නිවෙන දිශාවට ලෝකය දකින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, අපි හරිම ගොරහැඩියි. කර්මය කර්මඵල විශ්වාසයේ තරාදියෙන් හොරට කිරන අපි, ඇලීම් සහ ගැටීම් ලාභ සොයන කෙලෙස් කඩ මුදලාලිලා. අපිට ඕනේ සංස්කාර ලෝකයේ ධනපතියන් වෙන්න. අපේ ව්‍යායාමය වන්නේ පින් සොයමින් සහ භව රස්තියාදුවේ යමින්, සංස්කාර ලෝකයේ ලස්සන, පොහොසත් සත්ත්වයෙක් වෙන්න. පින්වත, අපි භව රස්තියාදුවේ පැමිණි ගමන හුඟාක් දුරයි. පින්වත, අපිට පටිච්චසමුප්පන්නව භව රස්තියාදුවේ යන්න තිබෙන දුර ඊටත් වඩා දුරයි. පින්වත, භව පාතාලයේ මහ මොළකරුවා වන අවිද්‍යාව, රූපයේ සහ කාමයේ ආස්වාදය නමැති ඇලීම් සහ ගැටීම් කැරට් අල දෙක පෙන්වා, මේ නිමේෂයේදීත් සංස්කාර ධාවන පථයේ හති දමමින් දුවන්න අපිට තෘෂ්ණාවේ ජවය දෙනවා. පින්වත, අපේ විඳීම් තුළ ක්‍රියාත්මක වන දොළොස්මහේ එක සීරුවට පූජා කරන තෘෂ්ණාවේ දන්සල, පාතාලයේ මහ මොළකරු වන අවිද්‍යාවට අපි කැමැත්තෙන් ම ලබා දෙන භව කප්පම් වනවා. පින්වත, මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකයේ හට ගැනීමත්, ලෝකයේ පැවැත්මත්, ලෝකයේ නිරෝධයත් ධම්මානුපස්සනාවෙන් මේ නිමේෂයේදී ම දකින, අවිද්‍යාවේ අතිබිහිසුණු පාතාලය යළි හට නොගන්න ම සුනු විසුනු කොට දැමූ උත්තරීතර උත්තමයන්, අයිති මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටයි. පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අතීත මහ රහතන් වහන්සේලා, තමන් අවබෝධ කළා වූ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝත්, තමන් වහන්සේලා අවබෝධ කළා වූ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධයත්, තමන් වහන්සේලා අවබෝධ කොට වදාළා වූ පංච උපාදානස්කන්ධ ධර්මයෝත් උතුම් ධම්මානුපස්සනාවට මයි ආහාරයක් කොට දෙනවා ඇත්තේ. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව නිරෝධය කළ උන්වහන්සේලාගේ නිවුණ ඵස්සය, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලය ම උතුම් ධම්මානුපස්සනාවෙන් ම මැකී යනවා. උන්වහන්සේලා නැවතිලා නැහැ. උන්වහන්සේලා දුවන්නෙත් නැහැ. පුද්ගල සංඥාවන්ගෙන් මිදුණ තම ජීවිතය අවිද්‍යා නිරෝධා, ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ යැයි ධම්මානුපස්සනාව ම පණ ලබද්දී, එම උතුම් ජීවිතවල එකම ඉතිරිය වන්නේ, පංචස්කන්ධය ඇසුරේ සකස් වන පටිච්චසමුප්පන්න ආයුෂය, උණුසුම සහ තෘෂ්ණාව නිවුණ විඤ්ඤාණය පමණක් ම වනු ඇත.
පින්වත, සමාජය දෙස සිහිනුවණින් බලන්න. එක ප්‍රශ්නයක් ඉවර වෙන කොට තවත් ප්‍රශ්නයක් කරළියට එනවා. ප්‍රශ්නවල ඉවරයක් නැහැ. ජයග්‍රහණයන්ට වඩා පරාජයන් ඉදිරියෙන් සිටිනවා. පින්වත, කවුරුන් හෝ වේවා තුනෙන් දෙකේ බලයක් ලැබුවත්, එම බලය දිග හැරෙන්නේ අභියෝගයන් ගොඩකට මැදි වෙලයි. පින්වත, බලය ලැබූ බලවතුන් කියනවා, “කඩාකප්පල්කාරීන් බාධා කරනවා” ය කියලා. බලය අහිමි පින්වතුන් කියනවා, “පළිගැනීම් කරනවා” ය කියලා. පින්වත, ඉතිහාසයක් පුරාවට මේ අධර්මයේ අඳෝනාවන් අහලා පින්වත් ජනතාවට දැන් නම් හොඳටෝ ම එපා වෙලා. පින්වත, අපි හැමෝගේ ම අතීත කුසල් පක්‍ෂයේ යම් දුර්වලතාවයන් නිසා මයි, එසේත් නැතිනම් අපේ අතීත කුසල් පක්‍ෂයේ යම් හිඩැස් සහිතභාවය නිසා මයි, ඇත්ත පෙනි පෙනී අපි හැමෝට ම බලාපොරොත්තු කඩවීම් විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ. පින්වත, ලෞකික වර්ණය, සැපය, බලය ඉදිරියේ අභියෝගයන්ට ඔරොත්තු දෙන මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, අපි මේ ජීවිතයේ දී ලබන සුන්දර ජයග්‍රහණයන් ඉදිරියේ අභියෝගයන් මතු වන්නේ, අපේ විරුද්ධවාදීන්ගේ වැරදි නිසා නම් නොවේ. පින්වත, අතීත සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය නමැති මැජික්කරුවා ලෝකයේ ඇත්ත විනිවිද නොපෙනෙන සේ අපිව පටලවනවා. පින්වත, මේ මායාකාරී පැටලීම ඉදිරියේ, අපේ ම කුසල් සංස්කාර කළ ගෙඩියේ ඇති සිදුරු නොදකින අපි, සිදුරුවලට පිළියම් නොකර ගනිමින් අනුනට ම ඇඟිල්ල දිගු කරනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත සංස්කාර කළගෙඩියෙත් ගොඩාක් සිදුරු තිබුණා. භික්ෂුවට ලැබුණ විවේචන, චෝදනා, නොසලකා හැරීම් භික්ෂුවගේ ම පටිච්චසමුප්පන්න සංස්කාර කළගෙඩියේ සිදුරුවලින් වෑහුණ හේතුඵල ධර්මයෝ මයි. භික්ෂුවට ලෝකය තුළ වැරදිකරුවෝ කවුරුවත් ම නැහැ. නිවැරදිකරුවෝත් කවුරුවත් ම නැහැ. අපි ඉදිරියේ දිග හැරෙන හොඳ සහ නරක ලෝක ධර්මයෝ සියල්ල ම පටිච්චසමුප්පන්න අපේ ම සංස්කාරයෝ ය.
පින්වත, පින්කම් සිදු කරන කොට, එම පින්කම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ සහ ආජීව අට්ඨමක සීලයේ ආරක්‍ෂාව තුළ ඔබේ පින්කම් සැබෑ සම්මා වායාමයක් කොට ගන්න. ඔබ සිදු කොට ගන්නා සෑම පින්කමක් ම සම්මා වායාමයක් බවට පත් වෙද්දී, එම පින්කම් තුළ උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සකසා පූජා කිරීම සහ ප්‍රණීතභාවයෙන් පින්කම් සිදු කිරීම කියන අර්ථයන් පහ ඔබ තුළ ශක්තිමත්ව වැඩෙනවා. ඉහත කාරණා පහ ශක්තිමත් ආකාරයෙන් වැඩුණොත් පමණක් මයි, එම පින්කම්වල අනාගත යහපත් විපාකයන්, අභියෝගයන් ඉදිරියේ නොසැලී පවතින්නේ. පින්වත, ඉහත අර්ථයන් පහ දුර්වලව අපි පින්කම් සිදු කළොත්, එම පිනේ අනාගත විපාකයන් ඉදිරියේ එදිනෙදා බාධා සහ අභියෝග මතු වීම හේතුඵල ධර්මයක් ම වනවා. පින්වත, අපේ රටේ දේශපාලන ලෝකය ඓතිහාසික බලයන් ඉදිරියේදීත්, අභියෝගයන්, විවේචන, චෝදනා මැදින් ම ඉදිරියට යන්නට සිදු වී තිබෙන්නේ, දේශපාලනයට සම්බන්ධ පින්වතුන්ලාගේ වර්තමාන වර්ණය, සැපය, බලයට අදාළ අතීත පින්කම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, සියතින් සකසා පූජා කිරීමෙන්, ප්‍රණීතභාවයෙන් කියන වර්ණය, සැපය, බලයේ ශක්තිමත්භාවයට අවශ්‍ය ආකාරයෙන් සිදු කොට නැහැ. පින්වත, අපි වැරදි විදියට පින්කම් සිදු කළොත් අපේ ම දුර්වල පින්කම්, අපිට පෙරළා පහර දීමට අවස්ථාව සලසලා දෙනවා. පින්වත, අපි මහත් බලාපොරොත්තු තබන අපේ වර්ණය, සැපය, බලය ඉදිරියේ අභියෝගයන් මතු වෙද්දී, පෙරළා අපි දුර්වල කොට ගන්නේ, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සහ ආජීව අට්ඨමක සීලයේ ශක්තිය මයි. මේ සියල්ලේ අවසාන ඵලය පංච නීවරණ තොටිල්ලේ තම තමන්ගේ සැලෙන වර්ණය, සැපය, බලය නැළවීම පමණක් මයි. පින්වත, සමාජය දෙස සිහිනුවණින් බලන්න, අපි හැමෝගේ ම වර්ණය, සැපය, බලය නැළවෙන්නේ පංච නීවරණ තොටිල්ලේ ම නේද? ආස්වාදයෝ නැළවිලි ගීත ගයද්දී, මිල කළ නොහැකි ජාතියේ ආධ්‍යාත්මය, සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කොට ගන්න.
පින්වත, දක්‍ෂභාවයට වඩා කපටිභාවය ගොඩාක් භයානකයි. කපටිභාවයට පුළුවන්, සිනහ වෙලා අනුනගේ දක්‍ෂභාවයන් විනාශ කොට දමන්න. පින්වත, දූෂිතභාවයටත් වඩා කපටිභාවය භයානකයි. පින්වත, දූෂිතභාවය ආර්ථිකය විනාශ කෙරුවත්, කපටිභාවයට පුළුවන් ආර්ථිකය විනාශ නොකර, සියලු මිල කළ නොහැකි ජාතික වටිනාකම් විනාශ කොට දමන්න. පින්වත, ජාතිය ඉදිරියේ සුදු පැහැයට මුවා වී, කළු පැහැයක් සැඟවී තිබෙනවා. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ, අතීත පිනට අදාළ සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය නමැති මැජික්කරුවා, සිනාමුසු මුහුණෙන්, කේන්ති ගිය මුහුණෙන්, අධිෂ්ඨානශීලී මුහුණෙන් පෙන්වන මැජික් සෙල්ලම් සිහිනුවණින් නරඹන්න ඕනේ. පින්වත, රඟපෑම් කවදත් ලෝකයේ තිබුණා. සිදුහත් බෝධිසත්ත්වයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට ගත් මොහොතේ, බලයට සහ කාමයන්ට අධිපති වසවර්ති මාරයා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ලෝක ධාතුවේ සම්මානනීය ම රඟපෑම ඉදිරිපත් කළා. තණ්හා, රතී, රඟා කියන කාම ලෝකයේ සම්මානනීය සහය නිළියන් තිදෙනා වසවර්ති මාරයාගේ රංගනය කාමයන්ගෙන් සහ රාගයෙන් විචිත්‍රවත් කළා. පින්වත, වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අධිෂ්ඨානශීලීව ප්‍රකාශ කළ වංචනික දෙබස් පෙළ භික්ෂුවගේ මතකයට පැමිණෙනවා. “සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කළේ බුදු වෙන්න නේ, දැන් ඉතින් නොමැරී බුදු වුණා නේ. දැන් ඔබේ අරමුණ ඉටු වුණා, දැන් ඉතින් පිරිනිවන්පාන්න.” පින්වත, භාග්‍යවතුන් වහන්සේලාගේ උත්තරීතර සම්මා සම්බුද්ධ විෂය ගැන, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන් ගැන, අබ මල් රේණුවක තරම්වත් අර්ථයක් නොදත් වසවර්ති මාරයාට සිංහ සෙයියාවෙන් පිළිතුරු දෙනවා, “මාරය, ඔබගේ පවිටු කැමැත්තට ඉඩ දී, පිරිනිවන්පාන්න බුදුරජාණන් වහන්සේ සූදානම් නැහැ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරලා, උතුම් සංඝ සමාජය ධර්ම විනයෙන් ශක්තිමත් කරලා, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අනාගත ලෝකයාට දායාද කොට තබලයි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්නේ” යැයි කියලා.
පින්වත, සිංහ නාදයන් අයිති උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කොට ගත් මොහොතේ, වසවර්ති මාරයාට කරන අධිෂ්ඨානශීලී අවවාදයේ, වර්තමාන අයිතිය දරාගත් ලේ උරුමය පින්වත් ඔබයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිය ලෝකයක, උතුම් ධර්ම විනය ජීවමාන ශාස්තෘන් වහන්සේ ලෙසින් ගෞරවනීයව වැඩ සිටින ලෝකයක, පින්වත් ඔබ ඔබගේ හෘද සාක්‍ෂියට ඇසෙන සේ සිංහ නාද කරන්න. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කර වීම උදෙසා වසවර්ති මාරයා ඉදිරියේ කරන ලද සිංහ නාදය, පින්වත් ඔබගේ ජීවිතය තුළින් ජීවත් කරවනවාය කියලා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළ නොසැලී ජීවත් වන්න, එවිට මාරයා ඔබටත් පරදීවි, හැබැයි ඉතින් මෝහයට පෙම් බැන්දොත් මනුෂ්‍ය වේශයෙන් සිටින මාරයන්ටත් අපි පරදීවි.