පින්වත, පරිසරයේ තෙතමනය, අව්කාෂ්ටකයෙන් වියළී ගිය උණුසුම් පෙබරවාරියේ ආදරය ගැන කතා කරනවා හුඟාක් වැඩියි. පින්වත, වියළි කාෂ්ටක පරිසරය ආදරයට වඩා කැමැත්ත දක්වන්නේ රාගයට සහ ද්වේශයටයි. පින්වත, පරිසරයේ කාෂ්ටක වියළිභාවය යැයි කියන්නේ සතර මහා ධාතුවේ කුපිතභාවයක්. පරිසරයේ ආපෝ ධාතුව විපක්‍ෂයට දමලා, මේ දවස්වල තේජෝ ධාතුව රජ වෙලා. පින්වත, ආපෝ ධාතුව ගංවතුරෙන් ජනතාවට පහර දෙද්දී, තේජෝ ධාතුව කාෂ්ටක වියළිභාවයෙන් ජනතාවට පහර දෙනවා. පින්වත, හදවත් තිබෙන පින්වත් මනුෂ්‍යයෝ ළඟ ආදරය හිඟ වෙද්දී, අජීවී සතර මහා ධාතුවෙන් අපි මොන ආදරයක් බලාපොරොත්තු වෙන්න ද? පින්වත, නොපරවිය යුතු ආදරයේ නාමයෙන්, පරවෙන රෝස කුසුම් හුවමාරු වන ආදරණීය පෙබරවාරියේ, ස්වභාව ධර්මය කැමැත්තෙන් ම, තිළිණ කළ කාෂ්ටක උණුසුමේ දඬුවම පාඩමට ගෙන, මනුෂ්‍ය ජීවිතවල ආදරය ‘ක්ලීන්’ කිරීමේ සම්මා වායාමයක් පටන් ගන්න. ආදරයට, ඇලීම් සහ ගැටීම් ලෝකයේ තවදුරටත් අතරමං වෙන්න දෙන්න එපා. පින්වත, ආදරණීය ආදරයට මෛත්‍රියෙන්, සීලයෙන් පෝෂණය වූ මනුෂ්‍යත්වය දෙන්න. ආදරයට පංච නීවරණ කැළිකසළ දමන්න එපා. පින්වත, ආදරයට පෙරළා අවංකව ආදරය කරන්න. ආදරයට බොරු කරන්න එපා. ආදරයට බොරු කළොත් ආදරය මරාගෙන රාගයයි උපදින්නේ. පින්වත, රාගයේ බරට ආදරය තැලී පොඩි වී යද්දී, ආදරය අතුරුදන් වූ, අනාගත ක්‍රෝධයේ මෘග සංඥා ලෝකයට මයි අපි ආස්වාදයෙන් හැඩවැඩ වන්නේ. එදාට අපි රස බලන්නේ රත් පැහැ රෝස කුසුම් නොවේ, රත් පැහැ උණුසුම් රුධිරයයි. පින්වත, රාග ගින්නෙන් උණුසුමක් බවට පත් වූ, ආදරණීය පෙබරවාරියට තවදුරටත් බොරු නම් කරන්න එපා.
පින්වත, ඔබේ සතුරා වෙන කවුරුවත් ම නොවේ, ඔබේ ම තෘෂ්ණාවයි. කුමක් කෙරෙහි තෘෂ්ණාව ද? රූප, වේදනා, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් කෙරෙහි තෘෂ්ණාවයි. පින්වත, තෘෂ්ණාවේ හැඩරුව වන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් පෝෂණය වන, මිථ්‍යා සංකප්පයන්ගෙන් සිනාසෙන, මිථ්‍යා සීලයෙන් කතා කරන, මිථ්‍යා සතියෙන් හැසිරෙන, මිථ්‍යා සමාධියෙන් ජීවත් වන, මිථ්‍යා විමුක්තියෙන් ජීවිතය මනින, මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත, අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කොට ගන්නා තෙක් ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත්, සම්මා දිට්ඨියේ නිවැරදි අර්ථයන්ගෙන් බැඳුණ තෘෂ්ණාව, අපේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය විඳීම්වලින්, රස සහ නීරසභාවයන්ට පත් කොට දෙනවා. පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “මම ධනයෙන්, බලයෙන් ජීවිතය දිනා ගත්තා, ඒත් මට තාම උතුම් සෝවාන්ඵලය දිනා ගන්න බැරි වුණා” ය කියලා. පින්වත, ඔබේ ජීවිතය ධනයෙන් සහ බලයෙන් ජය ගත්තා යැයි කියන්නේ ඔබේ අකුසල් යටපත් කොට කුසල් ධර්මයෝ මතු කොට ගත්තාය කියන කාරණයයි, නමුත් උතුම් සෝවාන්ඵල අවබෝධය යැයි කියන්නේ දිනා ගන්නා වූ ධර්මතාවයක් නොවේ. දිනුමත්, පැරදුමත් වගේ ම කුසලයත්, අකුසලයත් යන දෙකම අනිත්‍ය වී යන ධර්මතාවයන් බව, සම්මා සමාධිමත් සිතින්, ඥාන දර්ශනයන්ගේ දැකීමෙන්, දකින ධර්මතාවයක්.
පින්වත, රූපයේ සහ කාමයේ ආස්වාදයෝ හඹාගෙන මීටර් සියය දුවන අපිට, බැඳීයෑම් හෙවත් උපාදානයෝ මිස, නිදහස් වීම හෙවත් විමුක්තියක් පෙනෙන්නේ නැහැ. පටිච්චසමුප්පන්නව අපි පැමිණි දුර අතිදීර්ඝ නිසා ම, ගොරහැඩි වූ සාංසාරික භව පුරුදු හෙවත්, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය, අපිට නවතින්න දැනීම් සකස් කොට දෙන්නේ නැහැ. භික්ෂුව අතීතයේ පටිච්චසමුප්පන්නව වැළඳූ භව කුසල් සහ අකුසල් ආහාර වට්ටෝරුව භික්ෂුවට සමාධිමත් සිත ඔස්සේ මැවිලා පෙනෙනවා. සංස්කාර සූපවේදියා අතින් පිළියෙල වූ එම ආහාර වට්ටෝරුව රාජකීය මඟුල් මේසයක්. එහි දිව්‍ය ඕජාව සහිත දිව්‍ය භෝජන, තරු පහේ රාජ භෝජන වගේ ම, පුන්නක්කු, තණකොළ, සෙම්, සොටු සහ ගින්දර, ගිනි වතුරත් අපි කැමති සහ අකමැති වුවත් රස සහ නීරසභාවයෙන් ම බුක්ති වින්දා. පින්වත, රූපාවචර සහ අරූපාවචර භවයන්හි දී, අපි වේදනාවේ ආස්වාදයත් ප්‍රණීත ආහාරයක් කොට ගත්තා. අපි නිරයේ ගින්දර වළඳද්දී, ගිනි වතුර වළඳද්දී දිව, උගුර පිච්චීමේ දුකෙන් විලාප තබද්දී, රාජ භෝජන වළඳද්දී හැන්දෙන්, ගෑරුප්පුවෙන් රසයේ රිද්මයන් විඳිමින් මයි වැළඳුවේ. පින්වත, අවිද්‍යාවෙන් උපන් සංස්කාර ලෝකය නොනවතින මායාවක්, ඇස් බැන්දුමක්, ප්‍රෝඩාවක්. පින්වත, සැපය නමැති මායාවේ ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරුවත දැකලා කරුණාකර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දොරටුවට තට්ටු කොට, අවිද්‍යා නින්දෙන් අවදි වන්න. පංච නීවරණයන්ගේ සුද සම්මා සමාධියෙන් කපා හැර, සම්මා ඥානයන්ට ඉඩ දෙන්න, විමුක්තියේ විද්‍යාවට පූදින්න.
පින්වත, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ මහා බ්‍රහ්ම ගුණයන්. පින්වත් ඔබට මහා බ්‍රහ්මයා සතු ඉහත ගුණයන් අත්දැකීමෙන් ම දකින්න අවශ්‍ය නම්, ඔබේ අම්මා සහ තාත්තා දෙස බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඔබේ දෙමාපියන්ට මහා බ්‍රහ්ම ගුණයන් තිබුණත්, ධර්මානුකූලව මහා බ්‍රහ්මයාට වඩා ශ්‍රේෂ්ඨ තැනකයි ඔබේ දෙමාපියන් සිටින්නේ. පින්වත, දෙමාපියන් මැරීමත්, රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමත් ආනන්තරීය පාප කර්මයක් වනවා. පින්වත, අනාගාමී උත්තමයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ තැනක්, ඔබේ දෙමාපියන්ට බුදුරජාණන් වහන්සේ ලබා දී තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළ ධර්මයෝ මේ ලෝක ධාතුවේ පරම සත්‍යය වුවත්, එම පරම සත්‍යය ලෝකයා පිළිගන්නේ, ලෝකයා තුළ උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන තාක් පමණක් මයි. උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වන සමාජයක, දෙමාපියන් සතු මහා බ්‍රහ්ම ගුණයන්, තෘෂ්ණාව විසින් දූෂණය කිරීම හේතුඵල ධර්මයක් ම වනවා. පින්වත, තෘෂ්ණාවේ වියරුවට පුළුවන් දෙමාපියන් සතු මහා බ්‍රහ්ම ගුණයන්, මහා මාර ගුණයන් හැටියට දකින්න. අනාගත මෘග සංඥා ලෝකයේ දී දෙමාපියන් තම දරුවන් මරා ගෙන කන තැනට ලෝකය පත් වනවා. බුදුරජාණන් වහන්සේගේ සහ මාර ධර්මයන් අතර පරතරය මොනතරම් නම් දුරස් ද? කුසලය සහ අකුසලය අතර පරතරය, සම්මා දිට්ඨිය සහ මිථ්‍යා දෘෂ්ටිය අතර පරතරය මොනතරම් නම් දුරස් ද?
දෙමාපියන් මහා බ්‍රහ්මයා කියන තැනින්, දෙමාපියන් මිනීමරුවන් කියන තැනට අවිද්‍යා ලෝකය පෙරළෙනවා. සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය නමැති මැජික්කරුවා සිහිනුවණින් නොහඳුනන තාක් කල්, අපි හැමෝම මෙම අනතුරේ කොටස්කරුවන් වනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට මේ මාතෘ භූමිය ලෝකයෙන් ම ‘පොහොසත් රට’ බවට පත් වුවත්, මාතෘ භූමිය පොහොසත් බවට පත් වන්නේ සම්මා දිට්ඨිය හෙවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මරා ගෙන නම්, සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් කෙලෙසා ගෙන නම්, නිර්ආගමික මිථ්‍යා දෘෂ්ටියේ කාන්තාරයක් මත නම්, භික්ෂුවට මාතෘ භූමිය ලබන්නා වූ පොහොසත්භාවය ශත පහක්වත් වටින්නේ නැහැ. පින්වත, අපිට අවශ්‍ය වන්නේ ලෝකයෙන් ම පොහොසත් රට යැයි කියන මායාව පසුපස හඹාගෙන යන්න නොවේ. මහා ණය කන්දකින් යට වෙච්ච මේ පිනැති මාතෘ භූමිය ලෝකයෙන් ම “මධ්‍යස්ථ රට” යැයි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය, මාර්ගය කොට ගත් මනුෂ්‍යත්වයේ පූර්වාදර්ශී හෙට දවසකට පියවර තැබීමයි. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අකැමැති නම් මෛත්‍රියෙන්, සීලයෙන්, ත්‍යාගයෙන් මේ ගමන යන්න පුළුවන්. මාතෘ භූමියට අවශ්‍ය දෘෂ්ටි, මතවාද තුළ සිර වීම නොවේ, දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකින නිදහස් විවෘත දහමයි. ඊට ජාති, ආගම්, දේශපාලන භේදයක් නැහැ. ලෝකයටම විවෘත දහමක්.
පින්වත, සමාජගත සොරකම, බොරු කීම, මනුෂ්‍ය හිංසනය, කාමයේ වරදවා හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතයන් වැඩි නම්, මෙම වැරදි සිදු කරන්න එපා යැයි කියලා, හන්දියක් ගාණේ ජනතාවට උපකාරක පන්ති දැමීමෙන් තේරුමක් නැහැ. අපි ජනතාවට කියලා දෙන්න ඕනේ, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයයි. වර්තමානයේ ජනතාව සද්ධර්මය ශ්‍රවණය කරනවා අඩුයි, කාමයන් ශ්‍රවණය කරනවා වැඩියි. තෘෂ්ණාවේ අසිහිය නිසා ම, කර්මය කර්මඵල විශ්වාසය ජනතාවගෙන් ගිලිහිලා. වර්තමාන ජීවිතය ප්‍රශ්න ගොඩක් වෙද්දී, පටිච්චසමුප්පන්න නැවත උපත ගැන මොනවා නම් සිතන්න ද? පින්වත් ජනතාවගේ විවේකය කාමයෝ විසින් උදුරාගෙන. පින්වත් මනුෂ්‍යයෝ ඊළඟ ජීවිතය අමතක කරලා, මේ ජීවිතය විඳිනවා. වර්ණය සහ සැපය කෙරෙහි තෘෂ්ණාව නැහැයි කියන පින්වත් මනුෂ්‍යයෝ, බලය කෙරෙහි තෘෂ්ණාව හිස මත තබා ගෙන සිටිනවා. පින්වත, වරදකරුවන් සොයන්න එපා, වෛරය, පළිගැනීම, ද්වේශය උපදීවි. වරදට හේතුව වන අවිද්‍යාව විනිවිද දකින්න. එවිට ඔබට පෙනේවි, නිවැරදිභාවය වෙනුවෙන් පෙනී සිටින ඔබත්, වරදකරුවෙක්ය කියලා. පින්වත, සැබෑ නිවැරදි මිනිසා බිහි වන්නේ ඔය පාඩම ඉගෙන ගත්තොත් පමණක් මයි.
පින්වත, සමාජය දෙස හේතුඵල ධර්මයන් තුළින් දකිද්දී, අනාගතයේ දේශපාලන වෛරීභාවයන් සමාජගත වන බවක් පෙනෙනවා. දේශපාලනය කරන්නට පෙරාතුව ඉවසීම පුහුණු වන්න ඕනේ. ඉවසීමෙන් තොර දේශපාලනය තම විරුද්ධ පාක්‍ෂිකයන්ට ආයුධ දුන්නා වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනුෂ්‍යයා උපදින කොට ම තියුණු කෙටේරියක් බඳු දිවක් අරගෙනයි උපදින්නේ කියලා. අපේ වචන මුවහත තිබෙන තියුණු ආයුධයකට වඩා, අපිට අනතුරු කරන්නට පුළුවන්. පින්වත, අතීතයට සාධාරණය ඉටු කළ යුත්තේ, අනාගත අසමගියට පාර හදා ගෙන නොවේ. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොදන්නා පින්වතා, විපාකයන් නොදැන වචන පිට කරනවා. පින්වත, අපි හැමෝටම එක විදියට හිතන්න බැහැ. අපි එකිනෙකාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ සහ බල ධර්මයන්ගේ ස්වභාවයන් එකිනෙකට වෙනස් වනවා. විවිධත්වයෙන් යුතු මනුෂ්‍ය සමාජයට අපි පහර දෙන්නෙක් නොවී, ඔරොත්තු දෙන්නෙක් විය යුතුයි. එවිටයි අපි සැබෑ නායකයෝ වන්නේ.
පින්වත, වැරදි තිබෙන්නේ විකුණන්න නොවේ, වැරදි තිබෙන්නේ නිවැරදි වන්න. අපේ රටේ අලුත් ආණ්ඩුවක් පත් වුණහම, මහා ඉහළින් පරාජිතයන්ගේ වැරදි විකුණනවා. මෙම අලුත් වෙළෙන්දන් කවදත් ලාභය හැටියට සොයන්නේ ජනප්‍රියභාවයයි. වර්තමානයේදීත් සොරකම්, වංචා, දූෂණ ගැන මාතෘකා මොනතරම් උණුසුම් වුවත්, මෙම උණුසුම් මාතෘකා රස තෘෂ්ණාවෙන් කඩිමුඩියේ ගිල දමන්න නම් එපා. රස තෘෂ්ණාවේ කෙටි ආස්වාදයට පින්වත් ඔබට සිංහල බෞද්ධ සංස්කෘතියත් අමතක වේවි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොසලකා හැරීම නිසා මයි, දූෂිත දේශපාලන සංස්කෘතියක් කවදත් බිහි වුණේ. නිවැරදි දේශපාලන සංස්කෘතියක් ඇති කොට ගන්න නම්, නඩුහබ ගැන වගේ ම, කිනම් පාර්ශ්වයක වේවා නඩුහබවලට එකම හේතුව වන පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි කෙළ හැලෙන තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ජාතියේ හැමෝගේ ම ඉලක්කය විය යුත්තේ. සම්මා සම්බුද්ධ ශාසනය නමැති ප්‍රණීත ගොදුරට ඉව අල්ලන නිර්ආගමික සෙවණැලි, මිච්ඡා මෛත්‍රියෙන් සහ මිච්ඡා සීලයෙන් හැසිරෙන මොහොතක සමාජගත වන කෙටි ආස්වාදයන්ට ගොදුරු නොවී මිච්ඡා ධර්මයන්ගේ ආදීනවය මයි සිහිනුවණින් අපි දැකිය යුත්තේ. පින්වත, යම් පින්වතෙක් කුසගින්නේ මළත්, මැරෙන මොහොතේ ඔහුට සිහිපත් වුණේ උතුම් තෙරුවන් නම්, ඔහු පටිච්චසමුප්පන්නව ලබන්නේ සුගතියේ උපතක් මයි. පින්වත, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි කියන්නේ, කුසගින්න මුල්කොට ගෙන ආණ්ඩු පෙරළන දහමක් නොව, කුසගින්න මුල්කොට ගෙන සුගතිය සහ නිවන මතු කොට ගන්නා උත්තරීතර දහමක්.
පින්වත ප්‍රශ්න, අවුල්, ගැටුම්, කලකිරීම්, මොහොතක් ඒවා අයිති අවිද්‍යාවට ම භාර දීලා, මේ විවේකී මොහොතේ, මොහොතක් ඔබේ දෑස් පියා ගන්න. ඔබේ ඵස්සයෙන් ඔබේ ඇලෙන සහ ගැටෙන ලෝකය ගලවා දමන්න. පින්වත, සංසිඳුණ සිතින් මේ මොහොතේ සමස්ත ලෝකයේ ම මනුෂ්‍යයෝ සිදු කොට ගන්නා වූ සිල් පද බිඳීම් සහ ලෝභ, ද්වේශ, මෝහයේ සිහියට නඟා ගෙන එම සෑම අකුසල් සංස්කාරයක් ම අනිත්‍ය යැයි දකින්න. අනුනගේ වැරදි තුළින් පින්වත් ඔබේ විදර්ශනාවට පණ දෙන්න. දෙවනුව දැන් ඔබ දෑස් පියාගෙන මේ මොහොතේ සමස්ත ලෝකයේ ම, ජනතාව සිදු කොට ගන්නා සිල්වත්භාවයන් සහ අලෝභ, අද්වේශ, අමෝහ ධර්මයෝ සිහිපත් කොට ගෙන, එම සෑම කුසල් සංස්කාරයක් මත් අනිත්‍ය බව නුවණින් දකින්න. පින්වත, නිවැරදි ලෝකයා තුළින් ඔබ ඔබගේ විදර්ශනා නුවණට, ධම්මානුපස්සනාවට පණ දෙන්න. පින්වත, කුසලයට සහ අකුසලයට ඇලෙන සහ ගැටෙන සියලු සත්ත්වයෝ උපයෝගි කොට ගෙන, ඔබ ඔබව ධර්මානුකූලව පාලනය කොට ගන්නා මනුෂ්‍ය ප්‍රජාවේ සැබෑම පාලකයා වන්න.