පින්වත, මිථ්‍යා දෘෂ්ටික පෙරහැරේ කසකරුවන්ට තමයි නිර්ආගමිකභාවය යැයි කියන්නේ. මේ අයගේ මිච්ඡා දැක්ම තමයි මැරුණාට පස්සේ, සියල්ල ඉවරයි කියන දෘෂ්ඨිය. මෙම පින්වතුන් කර්මය සහ කර්මඵල විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානයේ, සීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, සතර අපායක් හා සුගතියක් තිබෙනවාය කියන විශ්වාසය, මෙම අයට නැහැ. එම නිසා ම, ඇත්තයි, බොරුවයි අතර තිබෙන කුසලයේ සහ අකුසලයේ වෙනස හඳුනා ගැනීමේ හැකියාව මෙම පින්වතුන්ලාට නැහැ. පින්වත, සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලැබුව මොහොතක, මීටත් වඩා අසරණභාවයක් තිබෙන්නට පුළුවන් ද? පින්වත, මේ ජීවිතයේ දී අපි දැන දැනම ප්‍රකාශ කරන බොරුවක්, ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතයක දී, අපිව ජාති ගොළු මනුෂ්‍යයෙක් බවට පත් කරන්න පුළුවන්. අපි මේ ජීවිතයේ දී, දැන දැනම බොරු කියනවා නම්, බොරුවේ විපාකයෝ හේතුවෙන් මේ ජීවිතයේදී ම, තම මුහුණේ විකෘති ස්වභාවයන් සහ අනුනට දැකීමට ප්‍රිය නොඋපදවන ස්වභාවයට මුහුණ පත් වන්න පුළුවන්. පින්වත, මේවා සුන්දර හේතුඵල ධර්මයන්. අධර්මයන් වගා කළොත් අපිට අධර්මය මයි අස්වැන්න හැටියට ලැබෙන්නේ. පින්වත, ඔබ කෙරෙහි කරුණාවෙන්, සමාජය දෙස බලන්න. දුක සහ සැප, ලස්සන සහ අවලස්සන, උගත් සහ නූගත්, විවේචන සහ පැසසුම්, ජය සහ පරාජයන්, මේ සියල්ල ම පිනේ සහ පවේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, අපි ජීවත් වන්නේ ධර්ම පාරාදීසයකයි. පින්වත, කරුණාකර, ඔබ ඔබට කල්‍යාණ මිත්‍රයෙක් වන්න. එවිට ඔබ තුළ ජීවත් වන ඔබට සත්‍යය සඟවන, ඔබේම පටිච්චසමුප්පන්න සතුරා ඔබට හමුවේවි.
පින්වත, අතීතයේ වැඩ සිටියා වූ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් දිනක් උදෑසන තමන් සමඟ වැඩසිටින ස්වාමීන් වහන්සේලාට අවවාද කරනවා, “අද දවසේ මාරයා මේ ගමේ මනුෂ්‍යයන්ට ආවේශවෙලා ද්වේශ සිත් ජනතාව තුළ ඇති කරනවා, එම නිසා අද දවසේ මෛත්‍රී සංඥාවෙන් ම පිණ්ඩපාතයට ගමට වැඩම කරන්න” ය කියලා. ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩිද්දී, දානය පූජා කරද්දී, වෙනදාට වඩා ආවේගශීලීවම මයි ජනතාව හැසිරුණේ. ස්වාමීන් වහන්සේලාගේ මෛත්‍රී සංඥාවන් ඉදිරියේ ආවේගශීලී ජනතාවගේ කේන්තියට, ද්වේශයට ආහාර ලැබුණේ නැහැ. එම නිසා ම, ස්වාමීන් වහන්සේලා සුව සේ පෙරළා පිණ්ඩපාතය නිමවා ආරාමයට වැඩියා. ආයෙමත් දවසක උදෑසන බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අවවාද කරනවා, “අද දවසේ මාරයා මේ ගමේ මනුෂ්‍යයන්ට ආවේශවෙලා, රාග සිත් ඇති කරවනවා, එම නිසා අද දවසේ විරාගී සිතින් ම පිණ්ඩපාතයේ වඩින්න” ය කියලා. පින්වත, ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතයේ වඩිද්දී, ගමේ කාන්තා පක්‍ෂය කතාවෙන්, හැසිරීමෙන්, ඇඳුමෙන් පැලඳුමෙන් රාග සිත් ඇති වන ආකාරයෙන් මයි හැසිරුණේ. බුදුරජාණන් වහන්සේගේ පූර්ව අවවාදය නිසා ම, විරාගී සිතින් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය සිදු කොට ගෙන, අනතුරකින් තොරව පෙරළා ආරාමයට වැඩියා. බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ මිත්‍රභාවය, ස්වාමීන් වහන්සේලාව මාර ග්‍රහණයෙන් මුදා ගත්තා. පින්වත, මෙතන දී මාරයා යැයි කියන්නේ, අකුසල් සංස්කාර මාරයා හේතුවෙන් සකස් වන තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, වර්තමානයේ අපිට අවවාද කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව නැහැ, නමුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය අපිට කල්‍යාණමිත්‍රභාවයෙන් කියලා දෙනවා, පිණ්ඩපාතයට ගමට වඩින කොට, ආරාධනා දානයකට නිවසකට වඩින කොට විරාගී සිතින් පෝෂණය වූ, මෛත්‍රී සංඥාවෙන් ම වඩින්නය කියලා. විරාගී සිත අමතක කරලා, මෛත්‍රී සංඥාවෙන් පමණක් අපි ඉහත කටයුතුවල යෙදුණොත්, රාග සිත් අපිට අනතුරු කරන්න පුළුවන්. විදර්ශනාවෙන් තොර මෛත්‍රිය, රාග සිතුවිලිවලට හොර රහසේ ම ඉව අල්ලනවා නේද කියලා ඔබේ ම හෘද සාක්‍ෂියෙන් අසා දැන ගන්න පුළුවන්.
පින්වත, විසිහතර පැයේ ම, ද්වේශය, රාගය ඔඩු දුවන සමාජයක, ද්වේශයට සහ රාගයට වටිනා මිලක් නියම කොට ඇති සමාජයක, වර්තමානයේ ගිහි සහ පැවිදි අපි හැමෝටම සිද්ධ වනවා, විරාගී සිතින් පෝෂණය වූ මෛත්‍රිය තුළ ජීවත් වන්න. එසේ නොවුණොත්, අපි විසිහතර පැයේ ම මාර ග්‍රහණයන් තුළයි ජීවත් වුණා වන්නේ. පින්වත, ඔබ ජීවත් වන සමාජය දෙස සිහිනුවණින් බලන්න. රාගයෙන් සහ ද්වේශයෙන් මාරාවේශ වූ සමාජයක නේද අපි ජීවත් වන්නේ? මෝහය අපේ හැඟීම් කිති කවමින්, අපිව මේ රාග, ද්වේශ වෙළඳ පොළේ පාරිභෝගික භාණ්ඩ බවට පත් කරලා. අපි නොදැනුවත්භාවයෙන් ම මාරයාට විකිණෙනවා. අපිව මාරයාට විකිණෙත්දී අපිට ලැබෙන පරම ලාභය, අකුසල් සංස්කාර මාර ධර්මයෝ යැයි අපි නුවණින් දකින්නේ නැහැ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට, මේ මොහොතේත් උතුම් ධර්ම විනය සිහිනුවණ දෙනවා, “මහණ, ඔබ ජීවත් වන සමාජය ද්වේශයෙන්, රාගයෙන්, මෝහයෙන් මාරාවේශ වෙලයි තිබෙන්නේ, සිහිනුවණින් වැඩ සිටින්න” ය කියලා. පින්වත, සමාජය මාරාවේශයක් වෙද්දී, උතුම් ශ්‍රී සද්ධර්මයන් ඉහළ ආදායම් ලබන අසත්පුරුෂ ධන ඉල්ලමක් වනවා. සමාජය තුළ රාගය, ද්වේශය විකිණෙනවා වගේ ම, උතුම් ශ්‍රී සද්ධර්මයත් හරි අගේට විකිණෙනවා. පින්වත, භික්ෂුව ඔබට සටහන් ලියපු පරණ බෝල්පොයින්ට් පෑනේ තීන්ත ඊයේ අහවර වුණා. අද උදෑසන දානේ ගෙනාපු මහත්මයාට කියලයි මේ පෑන පූජා කරවා ගත්තේ. මේ සටහන් තබන පෑනත් අනුනගේ නිසා මයි, මෙම සටහන් සරල, බරක් නැති, සැහැල්ලු මතකයක් පමණක් ම වන්නේ. පින්වත, ජීවිතය හරිම සරලයි. ජීවිතය ගැඹුරු නැහැ. ජීවිතය හරිම නිදහස්. ජීවිතය තෘෂ්ණාවෙන් උදුරා ගන්න. එවිට ඔබේ ජීවිතය තුළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේ පටන් පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා ම, නොපරවෙන මලක් සේ විකසිතව තිබෙනවා. හැබැයි ඉතින් ඒ මල බඹරුන්ට නම් අයිති නැහැ.
පින්වත, සිහින අයිති විඤ්ඤාණයේ මායාවට වුවත්, සිහින අපිව ජීවත් කරවනවා. පින්වත, ජීවත් වීමේ දී, අපි මොනතරම් නම් බැඳීම් ඇති කොට ගන්නවා ද? එම බැඳීම් මොනතරම් ආදරණීය වුවත්, පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයන්ගේ අඩුපාඩු හේතුවෙන්, එම බැඳීම් දුර්වල වෙලා, එම බැඳීම් ලෙහිලා යනවා. පින්වත, බලාපොරොත්තු මියැදෙද්දී, සිහින උපදිනවා. සංස්කාර මායාව හේතුවෙන් සකස් වන මායාකාරී විඤ්ඤාණය, මියැදෙන බලාපොරොත්තු තුළත්, ආස්වාදයෙන් උපදින සිහින තුළත් සක්‍රීය දායකත්වය දරනවා. පින්වත, අපිව මරා දමපු ධර්මතාවයෙන් ම, අපි යළිත් ජීවිතය බලාපොරොත්තු වනවා. පින්වත, වරෙක සංස්කාර මායාව හේතුවෙන් සකස් වන මායාකාරී විඤ්ඤාණය, අපේ අළුගෝසුවා වෙද්දී, තවත් වරෙක අපේ වින්නඹු අම්මා ද වනවා. පින්වත, ජීවන ප්‍රශ්න ධර්මානුකූලව වමාරා ගන්න බැරිව සියදිවි නසා ගන්න උත්සාහ කළ කොතෙක් නම් අසරණ මනුෂ්‍යයෝ වර්තමානයේ සිහින විසින් ජීවත් කරවනවා ඇති ද? පින්වත, අකලට කේඬෑරි වෙලා ගිය තරුණයෙක් මෙහෙම කියනවා, මම කරන්න තිබෙන හැම දෙයක් ම කෙරුවා, එකක්වත් හරි ගියේ නැහැ, අද මම කැලේ ඈත තිබෙන ගංජා හේනක් මුර කරනවා. උගුලක් අටවලා සතෙක් මරා ගත්ත දවස්වලට මස් සමඟ බත් කනවා, අනෙක් දවස්වලට ලූනු ගෙඩියක් කපාගෙන බත් ටික කනවා. කැලේ ඇතුළට මෙවර වැස්ස අඩුයි. ගංජා පැළත් හුඟාක් මැරුණා. මේ පාරත් ආදායම අඩු වේවි. මම ගංජා හේනේ තිබෙන පැලට වෙලා සිටිද්දී, ඉහළ අහසේ ගුවන් යානා යනවා මට පෙනෙනවා. මම හැම වේලාවේ ම හිතනවා, සල්ලි පුරවා ගෙන යන ගුවන් යානාවක්, මේ ඉසව්වට කඩා වැටෙන්නය කියලා. මම එතකොට කෝටිපතියෙක් වෙනවා. පින්වත, මේ ගංජා බීලා කියන කතාවක් නොවේ. මේ කතා කරන්නේ අතීත පටිච්චසමුප්පන්න භවයන්හි අනුනගේ ඇතෙක් බරට බලාපොරොත්තු කඩා බිඳ දැමීම හේතුවෙන් වර්තමානයේ සකස් වන සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයයි. පින්වත, ගංජා හේන මුර කරන මේ අහිංසකයාගේ කතාව ඇසෙද්දී, භික්ෂුවගේ මතකයට පැමිණියේ, විදේශ රැකියා ලබාදෙනවා යැයි බොරු කියා, අහිංසක මනුෂ්‍යයන්ගෙන් රුපියල් කෝටි ගණන් වංචා කොට, මනුෂ්‍යයන් අසරණ කරන විදේශ රැකියා ඒජන්තවරුන්ට, මනුෂ්‍යයන්ගේ බලාපොරොත්තු අමු අමුවේ ම මරා දැමීම හේතුවෙන්, අනාගත භව ගමනේ අත් වන සන්තෑසියයි. ගංජා හේනේ අහිංසක පින්වත, ඔබත් සමහර විට පෙර ජීවිතයේ වංචාකාරී රැකියා ඒජන්තවරයෙක් ම වන්න පුළුවන්. අද ඔබ සල්ලි පුරවා ගත්ත ගුවන් යානාවක් දෙපා අබියසට කඩා වැටෙන තෙක් ගංජා හේනේ බලා සිටිනවා. පින්වත, අනුනට ඉගැන්වීමට පෙර, ඔබ ඉගෙන ගන්න. එවිට හැමෝම ඔබෙන් ඉගෙන ගනීවි.
පින්වත, තෘෂ්ණාව හරිම කෑදරයි. තෘෂ්ණාවට ඕනේ විසිහතර පැයේම ප්‍රණීත ඇලීමේ සහ ගැටීමේ ආහාරයෝ මයි. තෘෂ්ණාව උපේක්‍ෂාවේ ආහාරයන් ඉදිරියේ හරිම අකීකරුයි. තෘෂ්ණාවට උපේක්‍ෂාවේ ආහාරයක් කවා ගන්න නම්, සතිය නමැති වේවැල අතට ගන්න ම ඕනේ. සතිය නමැති වේවැල ඉදිරියේ තෘෂ්ණාව, උපේක්‍ෂාවේ ආහාර ගත්තත්, එයා උපේක්‍ෂාවේ ආහාර ගන්නේ, ඇලීම් සහ ගැටීම් ආහාර පිඟන් දෙස හොර ඇසින් බලමින් මයි. පින්වත, පේනවා නේද, ‘මම’ යැයි කියන ආත්ම දෘෂ්ටියට සැඟවී තිබෙන, පංච උපාදානස්කන්ධයේ මායාව. පින්වත, වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩාක් පින්වතුන් උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරනවා. දානයන් අතරින් අග්‍ර ම දානය ධර්ම දානය නේ. පින්වත, ධර්ම දානය ලෝකයෙන් අතුරුදන්ව ගිය පසුව, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව පූජා කරන, “දානය” කියන අර්ථයත් ලෝකයෙන් අතුරුදන්වෙලා යනවා. පින්වත, අපි ධර්ම දානය පූජා කොට ගනිද්දී, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන්ට නෑදෑකමක් ඇති කොට ගන්නවා මයි. මේ කාරණා පහෙන් නිදහස්ව ධර්ම දානය ලෝකයාට පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා පමණක් මයි. පින්වත, තාක්‍ෂණය කියන මාර ධර්මයට, පංච නීවරණ යැයි කීවත් වරදක් නැහැ. පින්වත, සම්මා දිට්ඨියෙන් තොර සමාධියත්, උපේක්‍ෂාවට පෙම් බඳින මාර ධර්මයක් වෙද්දී, තාක්‍ෂණය ගැන අපි පුදුම විය යුතු නැහැ. අපි පුදුම විය යුත්තේ, මනුෂ්‍යයාගේ පෙර පිනෙන් දිග හැරෙන තාක්‍ෂණය ඉදිරියේ, මනුෂ්‍යා ම අත් කොට ගන්නා ප්‍රමාදීභාවයයි. යම් පින්වතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ධර්ම වීඩියෝවක්, වැඩි පිරිසක් නැරඹුවොත්, කවුරුන් හෝ එම ධර්ම වීඩියෝව ගැන අදාළ ආයතනයන්ට පැමිණිලි කොට, එම වීඩියෝව නැරඹීම සීමා කිරීම් ගැන භික්ෂුව ඕනෑ තරම් අසා තිබෙනවා, නමුත් මේ පැමිණිලි කිරීම සිදු කරන්නේ සමාජ මාධ්‍ය තුළම සිටින තවත් ධර්ම දානපතියෙක් මයි. පින්වත, තෘෂ්ණාවෙන් අන්ධ තරගකාරීත්වය උතුම් තෙරුවනුත් ගොදුරු කොට ගෙන තිබෙනවා. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවට පණ දෙනවා හැර, අපි මේ විකෘතීන් කාට නම් කියන්න ද? පින්වත, නවීන තාක්‍ෂණය යැයි කියන්නේ ඔබේ ම පෙර පිනේ ඵලයක්. තාක්‍ෂණය හේතුවෙන් ඔබ ඇති කොට ගන්නා තෘෂ්ණාව යැයි කියන්නේ ඔබේ ම පෙර පිනට, ඔබට පොවන්නා වූ වස කෝප්පයක්. කරුණාකර තෘෂ්ණාව අවම කොට ගෙන පින පරිහරණය කරන්න.
පින්වත, වෛරයෙන් වෛරය ජය ගන්න බැහැ. අවෛරයෙන් මයි වෛරය ජය ගත යුත්තේ. පින්වත වැරදි කළ හෝ නොකළ හැමෝට ම ආත්ම ගරුත්වයක් තියෙනවා. පින්වත, දියවන්නාවෙන් වෛරයට පියාපත් දුන්නොත්, වෛරය පෙරළා නගරයට, ගමට පියාඹන්න පුළුවන්. එවිට බිහි කළා යැයි උදම් අනන විනයගරුක සංස්කෘතිය පුස්සක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, අපේ ම අතීත අකුසල් හැසිරීම් හේතුවෙන් විපාකයට පැමිණෙන විවේචන සහ චෝදනා දත්මිටි කාගෙන ඉවසන්නය කියලා. ඉවසීමෙන් පමණක් මයි, සිහිනුවණින් තීරණ ගැනීමේ හැකියාව ඇති වන්නේ. අපි හැමෝගේ ම ආවේගශීලීභාවයන් ජාතියට උරුම කොට දී තිබෙන්නේ, සෑම පුරවැසියෙක් ම රුපියල් ලක්‍ෂ ගණනක ජාත්‍යන්තර ණයකරුවෙක් බවට පත් කිරීම පමණක් මයි.