පින්වත, උතුම් සම්මා දිට්ඨිය හඳුනන මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ, මොනතරම් නම් වටිනා දෙයක් ද? එවන් මනුෂ්‍ය ජීවිතයකට පුළුවන් පටිච්චසමුප්පන්නව දෙවියෙක්, බ්‍රහ්මයෙක් වන්න. ඒ වගේමයි, සම්මා දිට්ඨිය දන්න මනුෂ්‍යයෙකුට පුළුවන් උතුම් අරිහත්ඵල අවබෝධය සාක්ෂාත් කොට ගන්න. පින්වත, මනුෂ්‍ය අපි මොන තරම් නම් පුණ්‍යවන්ත ද? පින්වත, මෙවන් පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයකට සිය දිවි නසා ගන්න සිතුවිල්ලක් ඇති වුණොත්, එය මොනතරම් නම් අභාග්‍යයක් ද? තම පුණ්‍යවන්ත ජීවිත ඉදිරියේ ඇති වන ප්‍රශ්නවලට චතුරාර්ය සත්‍යය ධර්මයන් මඟහැර, පංච නීවරණ තුළින් විසඳුම් සොයන්න යෑම නිසාම, අපි අපේ ම අතීත අකුසල් සංස්කාරයන්ගෙන් පළිගැනීමයි, සිය දිවි නසා ගැනීමක් යැයි කියන්නේ. පින්වත, අපි පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල මනුෂ්‍ය ඝාතන සහ ගබ්සාවන් වැනි බරපතළ වූ අකුසල් සිදු කොට තිබේ නම්, සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන ධර්මතාවය තුළ යමෙකුට සිය දිවි නසා ගැනීමේ දැනීම් සකස් වන්න පුළුවන්. පින්වත, සියලු මාර ධර්මයන් ඉදිරියේ, අපරාජිත කල්‍යාණ මිත්‍රයෙක් අපිට සිටිනවා. ඒ කල්‍යාණ මිත්‍රයා තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මරණීය අකුසල් පවා යටපත් කොට, ජීවිත අපේක්‍ෂාවන් ඇති කොට දෙන මාර්ගය. පින්වත, වර්තමාන සමාජය තුළ සිදුවන අතොරක් නැති මිනී මැරුම් සහ ගබ්සාවන් ඉදිරියේ අපේ ළමා සහ තරුණ පරපුරේ හෙට දවස කුමක් වේවි ද? පින්වත, දුර්ලභ මනුෂ්‍ය ජීවිත කුසල් සිතුවිලිවලින් ආරක්‍ෂා කොට ගෙන, විපාකයට පැමිණෙන අතීත අකුසල් සිතුවිලි, වර්තමාන කුසල් සිතුවිලිවලින් මරා දමන්න අපි දක්‍ෂ වන්න ඕනේ. එවිට පින්වත් ඔබ නොව, ඔබේ අකුසලයයි සිය දිවි නසා ගත්තා වන්නේ.
පින්වත, අපි අනුනගේ ජීවිත ඝාතනය කළොත්, ඒවායේ විපාකයෝ තමා තමාගේම දිවි නසා ගැනීමට දැනීම් සකස් කොට දෙන්න පුළුවන්. පින්වත, තෘෂ්ණාවේ තරගකාරීත්වය නිසා ම, අසාධාරණයෙන් පිරුණ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ, සංස්කාර අධිකරණය නම් හරිම සාධාරණයි. පින්වත, සංස්කාර අධිකරණයේ සර්ව සාධාරණත්වය දකින්න නම්, අපිට පුබ්බේනිවාසානුස්සති ඥාණය සහ චුතූපපාත ඥානය තිබෙන්න ම ඕනේ. එම ඥාණයන් නොමැති අපි, උතුම් ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මයි, මේ උතුම් ධර්මයන් කෙරෙහි විශ්වාසය ඇති කොට ගත යුත්තේ. පින්වත, අපි තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල වෙලා යද්දී, අපේ දැනීම් හෙවත් විඤ්ඤාණය අයාලේ යනවා. යම් පින්වතෙකුට සිය දිවි නසා ගන්න දැනීම් සකස් වුණොත්, ඔහු එම දැනීම හෙවත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ කොට ම දකිනවා. දිවි නසා ගැනීමට තමා තුළ සකස් වූ සිතුවිල්ල තුළ, ‘තමා සිටිනවා’ ය කියලා දකිනවා. ‘තමා තුළ එම සිතුවිල්ල තිබෙනවා’ ය කියලා දකිනවා. සංස්කාරයන්ගේ පදයට අයාලේ යන විඤ්ඤාණය පටිච්චසමුප්පන්න ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකේ මායාවක් ම වනවා. පින්වත, සිය දිවි නසා ගැනීමට යම් පින්වතෙක් තුළ සකස් වන දැනීම හෙවත් විඤ්ඤාණය, අතීත පටිච්චසමුප්පන්න අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් හැටියට දකින්නේ නැහැ. අතීත අකුසල් සංස්කාරයෝ අවිද්‍යාවේ හේතුඵලයක් හැටියට දකින්නේ නැහැ. අවිද්‍යාවත්, සංස්කාරත්, විඤ්ඤාණයත් ‘මම ය’, ‘මගේ මයි’ කියලා ආත්මීය දෘෂ්ටියෙන් ම ගන්නවා. අතීත අකුසලය යටපත් කොට ගෙන කුසල් සිතකින් නැඟී සිටීමට අපේ ම පටිච්චසමුප්පන්න අකුසල් අපිට බාධා කරනවා.
පින්වත, මනුෂ්‍ය ලෝකයේ අපි ලැබූ උපතේ පටිච්චසමුප්පන්න කසකරුවා, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයයි. සතර අපාය මහ මෙරක් වගේ විශාල වූ පංච උපාදානස්කන්ධ ලෝකයක, මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්න අපි පෙර ජීවිතයේ දී මොනතරම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රැකවරණය ලබන්නට ඇති ද? මෙම අතීත කුසල් ධර්මයෝ පසුපස මොන තරම් නම් අකුසල් යටපත් වී තිබෙන්නට පුළුවන් ද? මෙය සටහන් තබන භික්ෂුව පාසල් වයසේ දී උස ගොඩනැඟිල්ලක සිට බිම බලන්නට හරිම බයයි. මගේ ළමා මනසට දැනුණේ බිම වැටෙයිදෝ කියලා බියක්. එම බිය තුළ තිබුණේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳව කැමැත්තක්. වර්තමානයේ පාසල් දරුවන් උස නිවාස සංකීර්ණවල සිට බිමට පැන සිය දිවි නසා ගනිද්දී, අතීත පාප කර්ම හේතුවෙන් සකස් වන වර්තමාන දැනීම් බාධාවකින් තොරව ම, අසිහියෙන් ක්‍රියාත්මකභාවයට පත් වනවා. පෙර පටිච්චසමුප්පන්න ජීවිතවල අපි සිදු කොට ඇති, මනුෂ්‍ය ඝාතන සහ ගබ්සා අකුසල් වර්තමානයේ අපිට ජීවිත් වීමට ඇති අයිතිය උදුරා ගන්නවා. පින්වත, ඔබට ජීවත් වීමට අකමැති පුංචි හෝ සිතුවිල්ලක් සකස් වන්නේ නම්, මනෝ වෛද්‍යවරයෙක් මුණගැසීමෙන් සහ ඖෂධවලින් පමණක් සෑහීමට පත් වන්න එපා. මෙවැනි බලවත් මරණීය අකුසල් වෛද්‍ය ප්‍රතිකාරවලින් පමණක් යටපත් කරන්න බැහැ. සුදුසුකම් ලත් වෛද්‍ය ප්‍රතිකාර සමග අල්පායුෂ යටපත් කොට ඔබට දීර්ඝායුෂ මතු කොට දෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති කල්‍යාණ මිත්‍රයාගේ රැකවරණය ලබා ගන්න දක්‍ෂ වන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජීවත් වීම කෙරෙහි ඔබට විශ්වාසය ඇති කොට දෙනවා. මෛත්‍රී චිත්තය ඔබට ඔබේ ජීවිතය ප්‍රිය වනවා. ඔබ සුරකින සීලය, ඔබේ පරම ආරක්‍ෂකයා වනවා. පින්වත, ජීවිතය ජය ගන්න, කලකිරීම අකුසලයට ම භාර කරන්න.
පින්වත, ඔබව වධයට පත් කරන විඤ්ඤාණය නමැති වධකයාව බල ධර්මයන්ගෙන් කූඩු කොට තබා ගන්න. වධකයාට ජාති, ජරා, ව්‍යාධි, මරණ පාරවල් දිගේ අයාලේ යන්න දෙන්න එපා. උතුම් සම්මා සමාධිමත් සිතෙන් ඔබම තනා ගන්නා විදර්ශනාත්මක බල ධර්මයන්, විඤ්ඤාණය නමැති වධකයාගේ සිර කූඩුව බවට පත් කොට ගන්න. ඔබ ලබන උතුම් සෝවාන්ඵල අවබෝධයේ දී වධකයාව බල ධර්මයන් තුළ කූඩු කොට තැබුවත්, වධකයාගේ කැමැත්ත තවත් පටිච්චසමුප්පන්න ආත්මභාව හතක්, සක්කාය දිට්ඨි, අන්‍යශීලවෘත, විචිකිච්ඡාවන්ගෙන් තොර විදර්ශනාත්මක භව සිර බත්වල රස බලන්නමයි. වධකයා කැමති භව රස්තියාදුවට වැට බැඳීම, බල ධර්මයන්ගේ ක්‍රියාන්විතයයි. පින්වත, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත, නැවත පුහුණු කොට අපි ලබන උතුම් අනාගාමී ඵල අවබෝධයේ දී වධකයාට සිද්ධ වන්නේ, කාමරාග, පටිඝයන්ගෙනුත් තොර බල ධර්මයන්ගේ සිර බත්වල රස, වධකයාට රස නොබලාම ආහාරයට ගන්නයි. පින්වත, විඤ්ඤාණය නමැති වධකයාගේ අවසාන ඉරණම වන්නේ, නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම තුළින් තෘෂ්ණාවේ ආහාර අහිමි වී බල ධර්මයන්ගේ සිර කුටිය තුළදී ම, සංස්කාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ කියන ධර්මතාවයට යටත්ව නිවී යෑම පමණක්මයි. අවසානයේ සිර කූඩුවත් සතර මහා ධාතුවට ම එකතු වේවි. පින්වත, අලුත් ඉඩමක්, අලුත් නිවසක්, වාහනයක්, දරුවන්ට උපාධි අධ්‍යාපනයක් ලබා ගන්න වෙහෙසෙනවා වගේම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති ඔබේම වධකයාව කූඩු කරන්න, විදර්ශනාත්මක බල ධර්මයන්ගේ කූඩුවක් හදා ගන්නත් අප්‍රමාදී වන්න.
පින්වත, වෘත්තීයවේදී මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, අනුනගේ වරදක් දකිද්දී, තමන්ට ගොඩාක් කේන්ති යනවා” ය කියලා. තමන් මහ පාරේ වාහනය පදවද්දී, තවත් කෙනෙක් මාර්ග නීති නොසලකා කටයුතු කළොත්, තමන් විනාඩි පහක් පමණ සිතෙන් ඔහුට බණිනවාය කියලා. පින්වත, මේ ප්‍රශ්නය ඔබටත් තිබෙන්න පුළුවන්. මහ පාරේ ගමන් කරන කොට භික්ෂුව දැකලා තිබෙනවා, වැරදි කරපු වාහනය පසුපස අධිවේගයෙන් හඹාගෙන ගොස් රියැදුරුට බණින අවස්ථාවන්. පින්වත, ලෝකය හදන්න අපිට බැහැ. ලෝකය හදන්න පුළුවන් නම්, භික්ෂුවත් මීට වඩා වැඩි දෙයක් සමාජයට කරනවා. පින්වත, නොහැදෙන ලෝකය දෙස බලලා, ඔබ හැදෙන්න. එවිට වැරදි කරන ලෝකය ඔබට ලොකු පාඩම් පොත් පෙළක් වේවි. පින්වත, ඔබට අනුනගේ වරද ඉදිරියේ කේන්ති යනවා නම්, ඔබ නිවැරදි කොට ගත යුත්තේ අදාළ වරදකරු නොවේ, ඔබේ ලෝකයයි. පින්වත, කරුණාකර මමත්වයේ දැඩිභාවයේ රුව ගුණ හොඳින් තේරුම් ගන්න. ‘මම යි හරි’, ‘මම මයි නිවැරදි’ යැයි දකින සක්කාය දිට්ඨිය, මම වගේම අන් අයත් හැසිරිය යුතු යැයි දකින සක්කාය දිට්ඨිය, අනුනගේ පුංචි වරදත්, මහා වරදක් සේ දකින්න පුළුවන්. පින්වත, වැරදි වැඩි සමාජයක ඉපදීම ගැන භික්ෂුව, භික්ෂුවගේ අතීත පටිච්චසමුප්පන්න සංස්කාරයන්ට මෙත් සිතින් ම පින් දෙනවා. පින්වත, භික්ෂුව සියයට සියයක් නිවැරදි සමාජයක ඉපදුණා නම්, භික්ෂුව නිවැරදිභාවයේ ආශ්වාදයේ හුරතලෙක් ම වනවා. පින්වත, ලෝකය අහම්බයක් නොවේ, සංස්කාරයන්ගේ ම ඵලයක්. විනය සහ අවිනය යන දෙකම ලෝකයේ තිබෙනවා. පින්වත, දෑස් පියාගෙන ප්‍රාර්ථනා කරන්න, හෙට දවසේ මම අකමැති දේවල් ම, මට දකින්න ලැබේවා! යැයි කියලා. භික්ෂුවට නම් මෙවැනි කමටහන් අතිසාර්ථක වුණා. පින්වත, පංච උපාදානස්කන්ධයෝ දුකට අධිපති මාර ධර්මයෝ මයි. පින්වත, සළායතනයන්ගේ ඵස්සය මාරයා ගොදුරු සොයන ගොදුරු බිමයි. පින්වත, මාරයා ගොදුරු සොයන ගොදුරු බිම් ඉදිරියේ උපක්‍රමශීලී වන්න. පින්වත, හෙට දවසේ ඔබ දකින්න අකමැති දේවල් ම දකින්න ලැවේවා යැයි අද දවසේ ඔබ ප්‍රාර්ථනා කළොත්, හෙට දවසේ ඔබට ගැටෙන්න තැනක් නැහැ. මාරයාට ඔබ ගොදුරු අහිමි කළා වෙනවා. මාරයාව කුසගින්නේ තබා ඔබ සප්ත බොජ්ඣංගයන් ආහාරයට ගත්තා වෙනවා. පින්වත, ලෝකය ඔබට හොඳ වුව ද, නරක වුව ද, ලෝකය අයිති ජාති, ජරා, ව්‍යාධි, මරණවලට මයි. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ මැද්දේ නිත්‍ය වූ නිරෝගීභාවයක් සොයන්න එපා. පින්වත, ශෝක, පරිදේවයෝ සහ අප්‍රියයන් හා එක්වීමේ ලෝක අර්ථයන් මැද්දේ, නිත්‍ය වූ සතුටක් සොයන්න එපා, නිදහස ම මතු කොට ගන්න දක්‍ෂ වන්න. පින්වත් ඔබට සැපය අවශ්‍ය නම්, ඇලෙන සහ ගැටෙන සිත් මාරයාට ම භාර දී, මුල් අදියරේ දී සප්ත බොජ්ඣංගයන්ගෙන් මාර ධර්මයන්ට ආහාර අවම කොට ගන්න.
පින්වත, ඔබට, ඔබේ ආධ්‍යාත්මික රූපය වේවා, ඔබට අරමුණු වන බාහිර රූප වේවා සිහිපත් වෙද්දී, ‘සුවපත් වේවා!’ යැයි දකින මෙත් සිතක් ම ඇති කොට ගන්න. එම මෙත් සිත සතර සතිපට්ඨාන ධර්මයන්ට කමටහනක් කොට ගන්න. අපි සද්භාවයෙන් ලෝකයේ, සමාජයේ වැරදි දැක්කත්, වැරදි සෙව්වත් ලෝකයේ කාටවත් ම අබ මල් රේණුවක තරම් වත් වරදක් නම් වෙලා නැහැ. පටිච්චසමුප්පන්න අතීත සංස්කාරයන්ගේ ඉරණම් ගමනක් අපි යන්නේ. අපේ ජීවිතවල අඩුපාඩු අයිති අපේ ම දුර්වල සංස්කාරයන්ට. පින්වත, නාමරූපයෝ යම් තැනක ද, එතැන සළායතනයෝ උපදිනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට සළායතනයෝ තෝතැන්නක් වනවා. නාමරූපයෝ විනිවිද දකින්න නම්, සම්මා සමාධිමත් සිතක් තිබෙන්න ම ඕනේ. පින්වත, අපි පතපොතින්, දැනුමෙන් අපේ ජීවිත පුරවා ගෙන තිබුණත්, ලෝකය සහ දැනුම විනිවිද දකින උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය ජීවිතවලට මුහු කොට ගන්නේ නැහැ. පින්වත, තෘෂ්ණාව මධ්‍යම ප්‍රතිපදාවට කැමති නැහැ. තෘෂ්ණාව දන්නවා, මධ්‍යස්ථ වුණොත් සිත සම්මා සමාධියට කොටු වනවාය කියලා. පින්වත, අපේ සමාජය ඇතුළු සමස්ත ලෝකයම විනාශ කළේ මනුෂ්‍යයා නොවේ. ලෝකය විනාශ කළේ මනුෂ්‍යයාගේ තෘෂ්ණාවයි. පින්වත, අපි හැමෝම නිවැරදිභාවයන් උදෙසා ඉලක්ක කරන්නේ තෘෂ්ණාව නමැති අරූපී සතුරා නොව, සතුරා සැඟවී සිටින රූපය නමැති බංකරයයි. පින්වත, අපි සතුරා වෙනුවෙන් ගන්නා ඉලක්කය තුළත් සතුරාම සැඟවී සිටින්නේ නම්, අපි සිහින දකින යහපත් අනාගත ලෝකය මිරිඟුවකටත් වඩා මිරිඟුවක් මයි. පින්වත, හරිම උෂ්ණාධික දහවලක්. මෙතෙක් පැවති වැස්ස ඉවරයි වගේ, දැන් ඉතින් මෙත් සිතින් ඉඩෝරයට සූදානම් වන්න. පින්වත, ඉඩෝරයට සූදානම් වන්නේ, පායනවා, හරිම රස්නෙයි කියලා, අහිංසක හිරුට බැණලා නම් නොවේ. අපි හැමෝගේ ම සිත, කය, වචනය සංවර කොට ගැනීමෙන් මයි. පින්වත, ඔබ තෘෂ්ණාවෙන් නිසල වන්න, එවිට සසල හිරුත් නිසල වේවි. අපි අසංවර වුණොත්, පරිසරයත් ඒ වගේම වේවි.
පින්වත, අපි තුළ තිබිය යුත්තේ නොමැකෙන, ඝන තීන්තෙන් සිතුවම් කළ අනාගත බලාපොරොත්තු නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉහළට ගන්න ආශ්වාසය, පෙරළා ප්‍රශ්වාසයක් වන තැන, තම ජීවිතයේ සීමාව කොට දකිනවා. උන්වහන්සේලාගේ තෘෂ්ණාව මළ චේතනාවෝ, මැකෙන තීන්තෙන් සිතුවම් වන, ඇඳී මැකී යන චේතනාවෝ මයි. පින්වත, මහ පොළොවට සහ පරිසරයට බරක් වන්න එපා. ඔබ කිලෝ සියයක් බර වුවත්, එම බර මහ පොළොවට සහ පරිසරයට බරක් නොවේ, නමුත් ඔබේ කෙළ හැලෙන තෘෂ්ණාව මහ පොළොවට සහ පරිසරයට මහමෙරකටත් වඩා බරක් මයි. පින්වත, මේ මහා තෘෂ්ණාවේ බර, වර්තමානයේ මහ පොළොවට සහ පරිසරයට දරා ගන්න බැහැ. පින්වත, විකෘති වැස්සෙන්, නියඟයෙන්, සුළි සුළඟින්, ලැව් ගින්නෙන්, ශීතලෙන්, හිමෙන්, විෂ බවට පත් වූ මහ පොළොවේ පස සහ ජලයෙන් අපිව කම්පා කරවමින් කියන්නේ, මහ පොළොවට සහ පරිසරයට මනුෂ්‍යයාගේ වියරු තෘෂ්ණාවේ බර තවත් දරා සිටින්නට බැහැ කියලයි. ඒත් පරිසරය කම්පා වෙමින් කියන මේ අවනඩුව අහන්න අධිකරණයක් නැහැ. අපි සියල්ලෝ ම අවිද්‍යාවෙන් වැටුප් ලබන තෘෂ්ණාවේ සේවකයෝ වෙලා.