මනුෂ්‍යත්වය මහ පොළොව මත රෝපණය කරන්න

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇසට බැඳිලා නැහැ. උන්වහන්සේලා ඇස නිසා සකස් වන පස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට බැඳිලා නැහැ. ඒ නිසා ම, උන්වහන්සේලා ඇස හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩසිටින්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කන, නාසය, දිව, ශරීරය, මනසට බැඳිලා නැහැ. උන්වහන්සේලා සළායතනයෝ හේතුවෙන් සකස් වන දුකෙන් නිදහස්වයි වැඩසිටින්නේ. පින්වත, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකෙන් නිදහස්ව, “නිදහස” කියන වචනයට සැබෑම අරුතක් දෙන්න. පින්වත, එතෙක් අපි පංචඋපාදානස්කන්ධ මාරයාගේ යටත් විජිතවාසීන්මයි. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඒහිපස්සිකව තිබුණත්, අපිට තවමත් තිබෙන්නේ අවිද්‍යා යටත් විජිතවාදී මානසිකත්වයයි. සළායතන හේතුවෙන් සකස් වන පංචඋපාදානස්කන්ධයෝ

‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි ආත්මීය දෘෂ්ටියෙන් ගැනීම, අවිද්‍යා යටත් විජිත මානසිකත්වයේ හැඩරුවයි. පින්වත් මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික දියුණුවට වටිනාකමක් නොදෙන, තමන් උපන් රට, ජාතිය, ආගම ගැන හැඟීම් මොට කරන, කාමච්ඡන්දයෝ බහුල, සීලයේ මළගම මත ඉදිවන සන්දර්ශනවාදී නව සමාජ ලක්‍ෂණ අවිද්‍යා යටත් විජිතවාදයේ හැඩරුවයි. පින්වත, සම්මා දිට්ඨිය දුර්වල පාලක පින්වතුන්ලා හේතුවෙන් කවදත් කලඑළි බැස්ස, අවිද්‍යා නව යටත් විජිතවාදයේ අඳුරු සෙවණැලි මුලින් ම අභියෝග කරන්නේ, සැබෑ භව නිදහස උදෙසා විමුක්තියේ ධජය ඔසවන, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුදුන් මල්කඩ වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි.

පින්වත, අපේ ජාතික, ආගමික සමගිය හැමදාමත් මනුෂ්‍යත්වයෙන් පෝෂණය වූ සමගියක්. වර්තමානයේ ජාතික සමගිය ගැන, ආගමික සමගිය ගැන සමාජය තුළ “මිච්ඡා” අදහස් ඇති වෙලා තිබෙන බවක් පෙනෙනවා. පින්වත, යහපත් හෙටක් උදෙසා මාතෘ භූමියට ජාතික, ආගමික සමගිය අත්‍යවශ්‍ය කාරණයක් වනවා, නමුත් ආගන්තුකව සමාජගත වීමට විලිලන ජාතික, ආගමික සමගිය, සිංහල බෞද්ධකම කෙලෙසා ගෙන උපදින නිර්ආගමික සමගියක් නම්, සන්දර්ශනවාදී සමගියේ නාමයෙන් එහි තිබෙන්නේ අපි සියල්ලන්ගේ ම විනාශය බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, සිංහල බෞද්ධකම කියන්නේ, කාලා, බීලා, ජොලි කරලා, අසරණව, හිස් අතින් මැරිලා සතර අපායන්ට වැටෙන ධර්මතාවයක් නොවේ. එතැන තිබෙන්නේ මිථ්‍යා දෘෂ්ටියේ විකෘතියක්. පින්වත, සිංහල බෞද්ධයා යැයි කියන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන්නාය කියන අර්ථයයි. ඔහු මිච්ඡා දෘෂ්ටි, මිච්ඡා සංකප්ප, මිච්ඡා සීලය, මිච්ඡා සමාධිය ඔස්සේ මිච්ඡා විමුක්තියක් පසුපස කාමච්ඡන්ද ආදි වූ පංචනීවරණ මානසිකත්වයෙන් හඹා යන්නෙක් නොවේ. මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සද්ධර්මයේ ලෙයින් උපන් සිංහල බෞද්ධයාගේ ආර්ය උරුමය, ආර්ය හැඩරුව සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ මෛත්‍රියේ, සීලයේ, සතියේ, සමාධියේ, ඥාන දර්ශනයන්ගේ, විමුක්තියේ හැඩරුවයි. සිංහල බෞද්ධයා ආර්ය වංශයේ පටිච්චසමුප්පන්න සංස්කාර ලේ උරුමයට නෑදෑකම් කියන්නෙක් වනවා. පින්වත, ආර්ය පරපුරකට නෑදෑකම් කියන ඉතිහාසය කාලා, බීලා, ජොලි කරලා, සන්දර්ශන අසිරියෙන් ඉදි කෙරෙන නිර්ආගමික මිථ්‍යා දෘෂ්ටියේ ගොදුරක් බවට අනාගතයේ දී පත්කොට දෙන්න එපා.

පින්වත, අපි මේ ජීවත් වන්නේ මිථ්‍යා දෘෂ්ටික රටක නොවේ. අපි මේ ජීවත් වන්නේ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය වන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කොට වදාළ උත්තම පුණ්‍ය භූමියකයි. පින්වත, අපි මේ ජීවත් වන්නේ මේ ලෝක ධාතුවේ දෙවැනි දුර්ලභ අර්ථය වන උතුම් චතුරාර්ය සත්‍යය ජීවමානව වැඩ සිටින පුණ්‍ය භූමියකයි. පින්වත, මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථය වන උතුම් ආර්ය මහා සංඝ රත්නය මේ පුණ්‍ය භූමියේ වැඩ සිටිනවා. පින්වත, ඔබ දෙපා තබා ගෙන සිටින පුණ්‍ය භූමියේ පූජනීය, වන්දනීය වටිනාකම තේරුම් ගන්න. පින්වත, සම්‍යක් දෘෂ්ටික දෙවියන්, බ්‍රහ්මයන්ගෙනුත් වැඳුම් ලබන රුවන්වැලි මහා සෑ සමිඳුන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රී පාද පද්ම වහන්සේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම රත්නය විකසිත කරමින් වැඩසිටිනවා. පින්වත, වර්තමාන නිර්ආගමික අඳුරු සෙවණැලි තිස්තුන් කෝටියක් දෙවියන් හාස්‍යයට ලක් කළත්, පිනැති සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ සමූහයා තවමත් මේ උතුම් මාතෘ භූමිය, දුසිල්වත් පාලක පින්වතුන්ලාගෙන් සහ මිථ්‍යා දෘෂ්ටික පාලක පින්වතුන්ලාගෙන් සිදු වන විපත්වලින් ආරක්‍ෂා කොට දෙනවා. පින්වත, මේ පුණ්‍යවන්ත මාතෘ භූමිය මේ දක්වා කිනම් බංකොලොත්භාවයන් මැද්දේ වුව ද, ආත්මාභිමානයෙන් නැවත, නැවත නැඟී සිටින්නේ, පින්වත් ඔබේවත්, භික්ෂුවගේවත් හපන්කම් නිසා නොව, ආගම දහමට ගරු කරන, ශ්‍රද්ධාවට, මෛත්‍රියට, සීලයට,ත්‍යාගයට, කර්මය කර්මඵල විශ්වාසයෙන් ගරු කරන, ජාති, ආගම් භේදයෙන් තොර සත්පුරුෂ ගිහි සහ පැවිදි සියල්ලන්ගේ ම පුණ්‍ය චේතනාවෝ නිසාමයි.

පින්වත, ඔබ කිනම් ආගමක වේවා, කිනම් ජාතියක වේවා ඔබට කල් පවතින ජයග්‍රහණ අවශ්‍ය නම්, ජයග්‍රහණයේ බීජ සීලයේ, මෛත්‍රියේ, දානයේ ඕජාවෙන් මනුෂ්‍යත්වයට නොවිෂ, මහ පොළොව මත රෝපණය කරන්න. පින්වත් ඔබ ජයග්‍රහණයේ බීජ රෝපණය කිරීමට උත්සාහ ගන්නේ නිර්ආගමික, කර්මය කර්මඵල විශ්වාසය මළ, පිනේ කාන්තාරයක් වූ නිසරු බිමක නම්, ජයග්‍රහණයේ නාමයෙන් කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ ඔබව ගොදුරක් බවට පත්කොට ගන්න පුළුවන්. පින්වත, පරාජය අයිති මාරයාට වගේම, ජයග්‍රහණය අයිතිත් මාරයාටයි. ජය සහ පරාජය යන දෙකෙන් ම නිදහස් වීමයි, නිදහසේ ආර්ය විමුක්තිය කියන්නේ. පින්වත, පරාජිතයා ශෝකයට පත්වෙනවා වගේ ම, ජයග්‍රාහකයා සතුරන් ඇතිකොට ගන්නවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් මිදුණ බුදුරජාණන් වහන්සේට සහ අතීත අරිහත් උත්තමයන්ට සතුරන් නැහැ. සතුරන් සහ සතුරුකම් අයිති වන්නේ අනාර්ය ලෝකයට. අනාර්ය ලෝකයේ සතුරන් සහ සතුරුකම් තිබුණත්, ආර්ය ජීවිත අවබෝධ ඥානයෙන් ම විනිවිද දකින පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යභාවය, සතුරන් සහ සතුරුකම් ධම්මානු පස්සනාවෙන් ම මකා දමනවා. පින්වත, මෙම සටහන කියවන පින්වත් ඔබට සතුරන් සිටිනවාද? ඔබට සතුරුකම් කරන අය සිටිනවාද? සතුරන් කියන වචනය ටිකක් සැර වැඩි නම්, විරුද්ධවාදීන් කියලා ගන්නකෝ. මේ දවස්වල එහෙම අය හුඟාක් වැඩියි නේද? පින්වත, මේ පුණ්‍යවන්ත භූමියේ අපි ඉපදුණේ ලෝකය දිනන්න මිස, ලෝකයට පරදින්න නොවේ. පින්වත, ලෝකය දිනන්න පෙරාතුව දිනුම සහ පැරදුම යනු කුමක් ද කියලා අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. ජයග්‍රහණයේ නාමයෙන් අපි ජීවිතවලට එකතුකොට ගන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ගේ මායාකාරී පරාජයන්මයි. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය නොවූ වර්ණය, සැපය, බලය හරිම අහංකාරයි. වර්ණය, සැපය, බලයට පුළුවන් ලස්සන මුහුණු මමත්වයේ දැඩිභාවයෙන් හරි අගේට රූපලාවණ්‍යය කරන්න. පින්වත, වර්ණය, සැපය, බලය ඉදිරියේ අපි මුහුණ බැලිය යුත්තේ චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ කැඩපතින්, එවිටයි දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි තමා තුළින් ම තමා දකින්නේ. අවිද්‍යාවේ කැඩපතින් ඔබ මුහුණ බැලුවොත්, ඔබට පෙනෙන්නේ සැපයට එකම හේතුව තෘෂ්ණාව යැයි කියන බොරුවේ මායවමයි. බොරුවේ මායාව අපේ මුහුණු රූපලාවණ්‍යයෙන් කහ පාටින්, රෝස පාටින් තාවකාලිකව බබළ වනවා.

පින්වත, ඔබ ලබන කිනම් ජයග්‍රහණයක් වේවා අනිත්‍ය වූ සංස්කාරයන් හැටියට දකින්න. එවිටයි ජයග්‍රහණයන් ඉදිරියේ නිහතමානීකම ඇති වන්නේ. පින්වත, අතීතයේ මහා ප්‍රබල ජයග්‍රහණයන් ලැබූ හැමෝම අවසානයේ දිනා ගත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ පමණක්මයි නේද? පින්වත, අතීත සංසාරයේ දී අපි ගොඩාක් සැපයට හේතුව තෘෂ්ණාව යැයි කියන බොරුව තුළ ජීවත් වෙලා තිබෙනවා. එම නිසා ම, වර්තමානයේ අපි දුකට හේතුව තෘෂ්ණාව යැයි කියන සත්‍යයට ගොඩාක් බයයි. ඉපදුණ දවසේ පටන් ම කාමයේ සහ රූපයේ ආස්වාදයේ උපකාරක පන්ති යන අපි, දීර්ඝ ආදීනවයන්ගේ සත්‍යය ඉදිරියේ අපේ පාඩම් පොත් වසා දමනවා. පින්වත, පංචඋපාදානස්කන්ධ දුකේ මූල බීජය වන අවිද්‍යාවෙන් උපන් සළායතනයෝ කියන්නේ මහා බොරුවක්. මේ බොරුව වසා ගන්න දිනකට කොතෙක් නම් ඔබේ සළායතනයන්ට ඔබ මෙහෙකාරකම් කරනවාද? දත් මදින්න, නාවන්න, කවන්න, පොවන්න, පින්වත, මේ බොරුව අවිද්‍යාවෙන් වසා ගන්න ඔබ දිනකට බෙහෙත් පෙති කීයක් ගිල දමනවාද? පින්වත, මෙම බොරුව සතුටු කරන්න දිනකට කොතෙක් නම් අකුසල් ඔබේ අනාගත සංස්කාර ගිණුමට බැර කොට ගන්නවාද? පින්වත, බොරුව විසින් අපිව ග්‍රහණයට ගනිද්දී, භවය විසින් අපිව ගිල ගන්නවා. පින්වත, සළායතනයෝ බොරුවක් වුවත්, සළායතනයන්ගේ පස්සය ළඟ සත්‍යයටත්, බොරුවටත් යන දෙකට ම අවස්ථාව තිබෙනවා. පින්වත, පංචනීවරණ විසින් බොරුව නැවත, නැවත විකුණද්දී, සප්ත බොජ්ඣංගයෝ සළායතනයන්ගේ බොරුව විවෘතකොට පෙන්වනවා. පින්වත, අපි පංචසීලය දිවි හිමියෙන් ආරක්‍ෂා කළත්, තවමත් අපි බොරුවේ උපත වන අවිද්‍යාවට දිවිහිමියෙන් ආදරය කරනවා.

පින්වත, මනුෂ්‍යයාගේ පස්සය නමැති මාර මළ පුඩුවේ ඇති වන තෘෂ්ණාවේ කැළඹිලි හේතුවෙන්ම, උපාදානයන්ගේ දේශපාලන සුළිකුණාටු සමාජය තුළ වරින් වර සක්‍රීය වනවා නේද? පින්වත, තෘෂ්ණාව යම් තැනක ද, පංචඋපාදානස්කන්ධ දුක එතැන තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නම් තෘෂ්ණාව යැයි කියන්නේ මළ සර්ප කුණක්මයි. ඒත් ඉතින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ, උපාදානයන්ගේ ප්‍රංශ සුවඳ විලවුන්වලින් වසා ගන්නා අපිට, සර්ප කුණේ දුර්ගන්ධය කෙසේ නම් දැනෙන්නද? පින්වත, ආර්ය විමුක්තියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අධිපති වුණාට, බලයට අධිපති වන්නේ මාරයා හෙවත් තෘෂ්ණාව බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, බලය මාරයා වූ කල්හි, අධිබලය යැයි කියන්නේ, පිරිවර සහිත මාර බලයයි. පින්වත, නිදහස නමැති අර්ථය ජාත්‍යන්තර බලවතුන්ගේ තෙලෙන් තෙම්පරාදු වන මෙවන් වර්තමානයක, පංචකාමයන්ගේ මාර රස තෘෂ්ණාවට, අපේ නිදහස ආහාරයක් වෙන්න පුළුවන්. පින්වත, ඉදිරි සතියේ ජාතියේ නිදහස් දිනය උදා වනවා. උදා වන නිදහස් දිනයට පණ දෙන්න අන්තවාදී ජාති භේද, ආගම් භේදවලින් තොර සැබෑ මනුෂ්‍යත්වය අපි තුළින් මතු කොට ගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ.

පින්වත, ජාති භේද සහ ආගම් භේද නැති ජාතික නිදහසක් ගැන කතා කිරීමට පටු පක්‍ෂ භේද කරපින්නා ගත් කිසිම නායක පින්වතකුට අවංකව හැකියාවක් නැහැ. පින්වත, පක්‍ෂ භේද කරපින්නා ගත් යම් පින්වත් නායකයන් ජාති භේද, ආගම් භේද ගැන කියමින් ජාතික නිදහසක් උදෙසා අලුත් මතවාදයන් ඉදිරිපත් කරනවා නම්, එම අලුත් මතවාදයන් තුළ සිංහල බෞද්ධකම කෙරෙහි සැඟවුණ අනතුරක් තිබෙන්නට පුළුවන්. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන සමාජවාදය වේවා, කොමියුනිස්ට්වාදය වේවා, පසුගිය ගෝල්ෆේස් අරගල භූමියේ කළු පැහැ වෙසක් සැරසිලිවලින් පුණ්‍යවන්ත වෙසක් උත්සවය සැමරූ ආගම්වාදය වේවා, උතුම් සිංහල බෞද්ධකමට උඩින් මිතුරු යටින් හතුරු ධර්මතාවයන් ම බව, අපි මෙත් සිතින් තේරුම් ගන්න ඕනේ. පින්වත, අපි දිනා ගත්ත නිදහස, නිදහසේ වැඩෙන්න නම්, සොරකම් නොකරන දේශපාලනයක් වගේම, උතුම් සම්මා දිට්ඨියට ගරු කරන දේශපාලනයක් ගැන සිතන්නත් හැමෝම දක්‍ෂ වෙන්න ඕනේ. එසේ නොවුණොත්, කාමච්ඡන්දයන් බහුල, අලස, හිඟන, වර්ණය, සැපය, බලය පිරිහුණ අපේ නිදහස, තවත් එළිමහන් සිර කඳවුරක තිබෙන නිදහසක් ම වේවි.