පින්වත, දුරුත්තේ ශීතල නම් හරිම අකීකරුයි. උදෑසන කුටියේ දොර විවෘත කොට ගෙන මිදුලට බසිද්දී, පරිසරය ම වායුසමීකරණය කරලා වගේ මයි. එක ම මිම්මකට, එක ම රිද්මයකට පරිසරය පුරා ම ශීතල පැතිරිලා. පින්වත, පරිසරය තුළ මොනතරම් නම් නිසල සහ සසල සතර මහා ධාතුවේ ශක්තියක් තිබෙනවා ද? පින්වත, පරිසරය තුළ ක්‍රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට නම් දකින්න එපා. පරිසරය තුළ ක්‍රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට ඔබ දැක්කොත්, අනිවාර්යයෙන් ම ඔබ සක්කාය දිට්ඨියේ, එසේත් නැතිනම් ආත්මීය දෘෂ්ටියේ පැටලෙනවා. පින්වත, පරිසරය තුළ අපි දකින සෑම ශක්තියක් ම අනිත්‍ය වූ ධර්ම නියාමයක් මයි. පරිසරය තුළ අපි දකින හිරුඑළිය වේවා, වැස්ස වේවා, ශීතල වේවා, ලැව් ගිනි වේවා, භූමිකම්පා වේවා මේ සෑම ධර්මතාවයක් ම අනිත්‍ය වී යන සතර මහා ධාතුව හේතුවෙන් සකස් වන ධම්මානුපස්සනාවක් මයි. මේ උදෑසන ආශ්වාදයෙන් නළියන ශීතල, තවත් මොහොතකින් හිරු අවදි වෙලා කලඑළි බසිද්දී, වෙනස් වෙලා යාවි. පින්වත, අපි කිනම් දෙයකට බැඳුණත්, එම බැඳුණ දෙය වෙනස් වෙලා යද්දී, අපි ළඟ ඉතිරි වන්නේ දුකමයි. දුක අපි ළඟ ඉතිරි කරලා, චතුරාර්ය සත්‍යය ධර්මයෝ අපෙන් ඈත් වෙලා යනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයාට මුළු ලෝකය ම තමාගෙන් දුරස් වුවත් දුකක් නැහැ. ඒත් චතුරාර්ය සත්‍යයෝ තමන්ගේ ජීවිතවලින් දුරස් වුණොත්, එම ජීවිතය දුකට බැඳුණු හිස් ජීවිතයක් හැටියට මයි උන්වහන්සේලා දකින්නේ. හිස් ජීවිතයක් තුළ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ පිරිලයි තිබෙන්නේ. මේ පිරුණු ජීවිත හුස්ම ගත්නෙත් තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් හුස්ම අරගෙන දුක පටිච්චසමුප්පන්න භවයට මුදා හරිනවා.
පින්වත, ඔබට ප්‍රීතිය, ඵස්සද්ධිය අවශ්‍ය ද? ප්‍රීතිය යැයි කියන්නේ ප්‍රීති වෙසක්, ප්‍රීති නත්තල් යැයි අපි දකින ආශ්වාදයේ ප්‍රීතියක් නම් නොවේ. සති සම්බොජ්ඣංගයෙන් උපදින, ධම්ම විචය බොජ්ඣංගයෙන් පෝෂණය වන, වීර්යය බොජ්ඣංගයෙන් පණ ලබන උතුම් ධර්මතාවයකටයි ප්‍රීතිය සහ ඵස්සද්ධිය යැයි කියන්නේ. පින්වත, ප්‍රීතිය, ඵස්සද්ධියෙන් උපදින සමාධියේ සහ උපේක්‍ෂාවේ දුකෙන් අකම්පිත ධර්මතාවයෝ, උතුම් නිවනට මයි පක්‍ෂ වන්නේ. පින්වත, නිවනේ විපක්‍ෂය තමයි භවය. අතීත පටිච්චසමුප්පන්න සංසාරයක් පුරාවට විපක්‍ෂය මයි ජය අරගෙන තිබෙන්නේ. නිවනට හැමදාමත් හිමි වෙලා තිබෙන්නේ කඩවුණ පොරොන්දු පමණක් මයි. මේ ජීවිතයේ දී අපි පින්කම් සිදු කරලා, චතුරාර්ය සත්‍යය දකින්න ලැබේවා! යැයි කියලා මොනතරම් නම් ප්‍රාර්ථනා කරන්නට ඇති ද? එම ප්‍රාර්ථනාව තුළත් භවයට හේතු වන නිවන කෙරෙහි තෘෂ්ණාව ම නේද සක්‍රීයව තිබෙන්නේ. පින්වත, උතුම් නිවන උදෙසා තවදුරටත් කඩවුණ පොරොන්දු දෙන්න එපා. මරණාසන්න අවසාන මොහොතේ ආයෙමත් විපක්‍ෂය වන භවයම ජය ගනීවි. පින්වත, මේ ලෝක ධර්මයෝ නුවණින් දකින්න නම්, සම්මා දිට්ඨියෙන් උපදින සම්මා සමාධියක් තිබෙන්නට ම ඕනේ. එතෙක් අපි අනුවණින් ලෝකය දකිනවා; ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ඥාන දර්ශනයෝ සහ විමුක්තිය සොයනවා. නිවන උදෙසා භවයෙන් භවය පටිච්චසමුප්පන්නව තමා තමාට ම කඩවුණ පොරොන්දු දෙනවා. සැබෑම සොර සතුරන් වන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ තමාගේ ම අවිද්‍යාව තුළ සැඟවී සිටිය දී, අපි ලෝකය තුළ සොර සතුරන් සොයනවා. පින්වත, සොරෙක් නොවන කෙනෙක් මේ ලෝකය තුළ නැහැ. සොරෙක් නොවන්නා ජීවත් වන්නේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය තුළ පමණක් මයි. එහෙත් අපි අවිද්‍යාවට අයිති සළායතනයෝ සහ සළායතනයෝ හේතුවෙන් සකස් වන පංච උපාදානස්කන්ධයෝ, ‘මම ය’, ‘මගේ ම’ යැයි සොර සිතින් අයිති කොට ගෙන ජීවත් වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන හිස් ගෙවල් හයකට අපි තෘෂ්ණාවෙන් මුර දමනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ඔබේ සළායතනයෝ යැයි කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවෙන් සැදුණ සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙන් කම්පිත වන හිස් ගෙවල් හයක්” ය කියලා. පින්වත, ඇත්තට ම ඇස කියන්නේ හිස් ගෙදරක් නේද? ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ මායාව නොවන්නට, ඇස කුණු වීමට අයිති මළ ඇසක් නේද?
පින්වත, අවිද්‍යාව යැයි කියන්නේ මොනතරම් නම් විකෘතියක් ද? සළායතනයෝ නමැති හිස් ගෙවල් හයක් රනින්, මැණිකෙන්, දියමන්තියෙන් සරසනවා. තනතුරු, නිලතල, නම්බුනාමවලින් රසවත් කරනවා. ඒ විතරක් නොවේ අවිද්‍යාවට පුළුවන් මිච්ඡා විමුක්තිය, සම්මා විමුක්තියක් යැයි කියලා ලෝකයට විහිළු සපයන්නත්. පින්වත, හිස් ගෙවල් හයක් තෘෂ්ණාවට බදු දීලා, අපි බදු කුලී වශයෙන් ඇතෙක් බරට ගන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක මයි. පින්වත, ඔබට දැනෙන්නේ නැති ද මේ සද්ධර්මයේ ඇත්ත. පින්වත, දෑස් පියාගෙන ඔබේ ඇස, කන… ආදී වූ හිස් ගෙවල් හය නුවණින් දකින්න. අනාගතයේ යම් දවසක ඔය හිස් ගෙවල් හය කැඩී, බිඳී, විසිරී පවුලේ සුසාන භූමියේ පසට මුහු වන හැටි, ධම්මානුපස්සනාවෙන් දකින්න. පින්වත, ‘
මම ය’, ‘මගේ ය’ කියන ආත්මීය දෘෂ්ටියට ආහාර අහිමි කරන්න. වර්ණය, සැපය, බලය ආත්මීය දෘෂ්ටියට නොව, උතුම් ධම්මානුපස්සනාවට ම ආහාරයක් කොට දෙන්න. පින්වත, ඔබ ‘මම’ යැයි දකින්නේ තෘෂ්ණාවේ මුරකරුවා රකින හිස් ගෙවල් හයක් පමණක් මයි. පින්වත, ඇස සහ ඇසේ ඵස්සය ඉදිරියේ සති සම්බොජ්ඣංගය නමැති මුරකරුවා රාජකාරියේ යොදවන්න. එවිටයි හිස් ගෙදරක් වන ඔබේ ඇස තුළින් ඔබ ඕපනයිකව ධර්මයක් දකින්නේ. පින්වත, ඇසෙන් රූප දකිනවාය කියන කාරණය බොහෝම සරල දෙයක්. නමුත් ඇස සහ ඇසෙන් දැක්ක රූපය කෙරෙහි දැක්ම, ධර්මානුකූලව පිරිසිදු කොට ගන්නවා කියන කාරණයට නම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා සමාධිය උපදින්න ම ඕනේ. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් උපදින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවර අටක් පසු කොට උපදින සම්මා ඥාන සහ සම්මා විමුක්තිය දශවෙනි පියවරේ දී, ඔබ ලෝකය ජීවත් නොකර, ඔබ ජීවත් වන කෙනෙක් බවට පත්කරනවා. පින්වත, ලෝකය ජීවත් නොකර, තමා ජීවත් වනවාය කියන දුර්ලභ පුද්ගලයා ජීවත් වන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණක් මයි. එම දුර්ලභ පුද්ගලයා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ හෙවත් ලෝකය කෙරෙහි තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට වැඩ සිටින නිසා, ඔහු ලෝකය තවදුරටත් ජීවත් කරවන්නේ නැහැ, නමුත් ඔහු උපාදානයන් නිරෝධය කළා වූ පංචස්කන්ධ ලෝකය තුළ තවදුරටත් අතීත සංස්කාරයන්ට අදාළව නෙළුම් පතක් මත රැඳි දිය බිඳුවක් සේ, ලෝකයේ නොතැවරී ජීවත් වනවා. මේ උතුම් මනුෂ්‍යයායි ලෝකය ජීවත් නොකර, ජීවත් වන මනුෂ්‍යයා වන්නේ.
පින්වත, මාරයා යැයි ධර්මයේ සඳහන් වන්නේ රූපය සහ රූපය ඇසුරෙන් සකස් වන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ට. පින්වත, මාරයාගේ ශබ්දකෝෂයේ සෑහීම කියන වචනය නැහැ. නොසෑහීම කියන වචනය නම් හැම පිටුවක ම මුලට ම තිබෙනවා. පින්වත, සමාජය දෙස හොඳින් බලන්න. ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා සෑම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ පිටුවක් ම පෙරළ පෙරළා බලන්න. සෑම පිටුවක ම මුලට තිබෙන්නේ නොසෑහීම නේද? පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා සෑහීම සහ නොසෑහීම කියන වචන දෙක ම තම ආර්ය ශබ්දකෝෂයෙන් මකා දමා වැඩ සිටින්නෙක්. උන්වහන්සේලාගේ ඵස්සය ධම්මානුපස්සනාවෙන් විනිවිද දකිද්දී, උපාදානයන් මළ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ මළ දරු උපත් බවට මයි පත්වන්නේ. පින්වත, සෑහීම සහ නොසෑහීම අයිති වන්නේ විඳීමට. ඇලීම්, ගැටීම් හෝ උපේක්‍ෂාවෝ විඳීම තුළ තිබෙනවා. පින්වත, ඔබට සිතෙනවා ද අනාගතයේ යම් දවසක ඉහත මාර ධර්මයන් කෙරෙහි ඔබට සෑහීමක් ඇතිවේය කියලා. පින්වත, ඔබෙත්, භික්ෂුවගේත් පටිච්චසමුප්පන්න අතීත වයස කල්ප විනාශයෝ දසදහස් ගණනක් ඈතට දීර්ඝයි. එම අතිදීර්ඝභාවය ඉදිරියේ අපි තැබිය යුත්තේ අනිත්‍ය වූ ධම්මානුපස්සනාවේ නැවතීමක් පමණක් මයි. පින්වත, කල්ප විනාශයෝ දසදහස් ගණනක් ඈතට පටිච්චසමුප්පන්නව දිව යන අතීතයක් එවිට ධම්මානුපස්සනාවෙන් මැකී යනවා. එවිට අපි ජීවත් වන්නේ වර්තමානය තුළයි. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “වර්තමානය තුළ සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිනුවණින් ජීවත් වෙන්න” ය කියලා.
පින්වත, මේ දවස්වල පරිසරයේ සතර මහා ධාතුව හරිම ඉක්මනට කිපෙනවා. අද උදෑසන නිසල ශීතලෙන් පිරී ගිය පරිසරය මේ සවස් යාමයේ පරිසරය ම සසල කරමින්, මහා හයියෙන් වහිනවා. කාලගුණයට දැන් වෙලාවක්, කලාවක් නැහැ. පංච නීවරණයන්ගෙන් සිතුවිලි අවුල් කොට ගෙන, ඇලීම් සහ ගැටීම් හඹා ගෙන යන මනුෂ්‍යයෙක් වගේ මයි පරිසරයත්. මේ සවස් යාමයේ වහින අවාරයේ මහා වැස්ස, අකලට වැටෙන වැස්සක් නම් නොවේ, හේතුඵල ධර්මයක් මයි. කාලගුණය, දේශගුණය අජීවී දහම් බව ඇත්ත. වැස්ස වලාහක දෙවියන්, ශීත වලාහක දෙවියන්, උෂ්ණ වලාහක දෙවියන්, සුළං වලාහක දෙවියන් වැනි අපිට නොපෙනෙන සජීවී ධර්මතාවයන් පරිසරයත් සමග බැඳිලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් මනුෂ්‍යයාගේ පිරිහීමට සාපේක්‍ෂව මේ දෙවියොත් පිරිහෙනවාය කියලා. පින්වත් මනුෂ්‍යයා කාමච්ඡන්දයන්ට, දුශ්ශීලභාවයට ලොල් වෙද්දී, රජවරුන් අරක්කු, සිගරැට් බදුවලින් භාණ්ඩාගාරය පුරවා ගනිද්දී, දෙවියොත් දුශ්ශීලභාවයට පත් වී පාරිසරික, දේශගුණික විකෘතීන් ඇති කරනවාය කියලා. පින්වත, මනුෂ්‍යයාගේ අලාභය දිශාවට ම දෝලනය වන දේශගුණික විකෘතීන් තුළින්, සද්ධර්මයේ උතුම් අර්ථයක් මයි අපිට කියලා දෙන්නේ. මේ ලිපිය සටහන් තබන මොහොතේ ඇමෙරිකාවේ යම් ප්‍රදේශයක පැතිරී යන මහා ලැව් ගින්න, මොනතරම් සද්ධර්මයේ පාඩම් අපිට කියලා දෙනවා ද? පින්වත, රත් පැහැ ගිනි පුපුරු අතරින් අට්ඨික සංඥාවක් සේ මතු වී පෙනෙන “හොලිවුඩ්” නමැති ඉංග්‍රීසි නාම පුවරුව සක්සුදක් සේ කියන දෙය නාහන අපිට වේවැලක් අරගෙන උගන්වන්නේ, ‘පායාස නිරයේ’ ගිනි රස්නය පිළිබඳව පූර්ව දැනුම් දීමක් නේද? පින්වත, අප්‍රමාදීව පරිසරයෙන් ඉගෙන ගන්න, එසේ නොවුණොත් පරිසරය ඔබට ප්‍රමාදීභාවයේ පාඩම උගන්වාවි.
පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති පුද්ගලයා, මට අහවලාගෙන් යමක් ලැබේවි, මට අහවලාගෙන් යහපතක්, ජයග්‍රහණයක් වේවි යැයි කියලා, හැමෝගේ ම මුහුණු බලමින් යනවාය කියලා. ඔහුට තමා කෙරෙහි පෞරුෂත්වයක්, විශ්වාසයක් නැහැ. අනුන් තුළින් සැපය, සතුට සොයනවා. පින්වත, ගෙවී ගිය මැතිවරණවල දී පින්වත් ඔබත් මට අහවලාගෙන් සැපය, සතුට, සෞභාග්‍යය ලැබේවි යැයි විශ්වාසයෙන්, අනුනගේ මුහුණු බල බලා ගියා ද? ඔබේ විශ්වාසවන්තයාට කැමැත්ත ප්‍රකාශ කළා ද? පින්වත, අනුන් තුළින් ඔබ බලාපොරොත්තු වුණ දෙය ඔබට ලැබුණා ද? පින්වත් ඔබ ඡන්දදායකයෙක් වේවා, ඔබ ජයග්‍රාහී මහජන නියෝජිතයෙක් වේවා, ඔබ අනුනගෙන් ලැබුව දෙය හොඳින් සිහිනුවණින් විවෘත කොට බලන්න. එහි තිබෙන්නේ කාමච්ඡන්දයන් ගොඩක් නේද? එහි තිබෙන්නේ විසිරුණු සිතුවිලි ගොඩක් නේද? එහි තිබෙන්නේ අනුනගෙන් ලැබුණ දෙය අහිමිවේ යැයි සැකය සහ විචිකිච්ඡාව නේද? එහි තිබෙන්නේ අවිවේකය, ගැටෙන සහ ඇලෙන සිතුවිලි ම නේද? පින්වත් ඔබලා අනුනගෙන් ලබා තිබෙන්නේ පංච නීවරණ කසළ ගොඩක් ම නේද? අවම වශයෙන් නිදි පෙත්තකින් තොරව ඔබට නින්දවත් යනවා නම්, එයත් ඔබේ පෙර පිනක් මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මුහුණ බැලුවේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපයත් දැක්කාය, දැනුණාය, ඇසුණාය කියන තැනින් සතර සතිපට්ඨානයෝ මයි මතුකොට ගත්තේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව තමන් මතුකොට ගත් සතර සතිපට්ඨාන ධර්මයන්ගේවත් මුහුණ බැලුවේ නැහැ. පින්වත, සතර සතිපට්ඨානයෝ තුළිනුත් භික්ෂුව ධම්මානුපස්සනාව මයි මතුකොට ගත්තේ. පින්වත, සියල්ල අවසානයේ දී සියලු පංච උපාදානස්කන්ධයෝ අනිත්‍ය යැයි අවබෝධයෙන් ම දකින “ධම්මානුපස්සනාවේ” බලන්න මුහුණක් තිබුණෙත් නැහැ. එතැන තිබෙන්නේ ආයුෂ, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ පිහිටෙන් පණ රැකුණ, තෘෂ්ණාව මළ, පංචස්කන්ධයක් පමණක් ම යැයි භික්ෂුවටත් සිතෙනවා. එම සිතත් ධම්මානුපස්සනාවට ම ආහාරයක් වේවා..!