පාරිසරික විකෘතීන් හේතුඵල ධර්මයන්ට ගළපා දකින්න

පින්වත, උපත යම් තැනක ද එතැන මරණය තිබෙනවා. උපත සතුටින් පිළිගන්න අපි, මරණය ඉදිරියේ දුකට, ශෝකයට පත් වෙනවා. ඉපදුණේ ඇයි, මැරෙන්නේ ඇයි කියලා හිතන්නට අපිට තවම චිත්ත විශුද්ධියක් නැහැ. චිත්ත විශුද්ධිය තවමත් අපේ දුර්වල වන්නේ සීල විශුද්ධියක් ගැන අපි තවමත් සිතලා නැති නිසාමයි. පින්වත, මේ කොයි දෙය ගැන සිතන්නත් අපිට සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ ගැන නිවැරදි සිහිනුවණ තිබෙන්නට ඕනේ. උතුම් සම්මා දිට්ඨිය වඳ බැහැපු පින්වතා සිතන්නේ, මේ ඔහුගේ පළමුවැනි උපතයි කියලා. ඔහු මරණය ගැන සිතන්නේ නැහැ. ඔහුගේ දෘෂ්ටිය, මළොත් යළි ඉපදීමක් නැහැය කියලා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් ඔබ පටිච්චසමුප්පන්නව මියගිය මොහොතේ ගොඩ ගැසුවා වූ අතීත මළ කඳන් ගොඩ, ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාලයි කියලා. රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම මළ කඳන්, දිව්‍ය, මනුෂ්‍ය, සතර අපා සත්ත්ව මළ කඳන්, පින්වත, මෙම මහා අතීත මළ කඳන් ගොඩට වගකිව යුත්තේ ඉපදීම ම නේද? අපි තවමත් ඉපදීමට ආදරය කරනවා, අපි තවමත් ඉපදීමට ආශීර්වාද කරනවා. පින්වත, අතීත සංස්කාර හේතුවෙන් සකස් වන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මැජික්කරුවා අති දක්‍ෂයි උපන් දිනයට කපන කේක් ගෙඩියක් තුළින්, ලෙන්ගතුකමින් කෙරෙන සුභ පැතුමක් තුළින් වර්තමාන උපත උපයෝගී කොට ගෙන පටිච්චසමුප්පන්න තවත් උපතකට ඇතෙක් බරට උපාදානයෝ පොදි බැඳ දෙන්නට. පින්වත, උපන් දිනය දවසේ සංස්කාර මායාවට තව තවත් පණ දෙන්න එපා. උපත සිහිපත් කොට ප්‍රඥාවෙන් ජීවිතයට සුබ පතන්න. පින්වත, භව නිරෝධා, ජාති නිරෝධෝ. උපත ඉදිරියේ උපතට හේතු වන භවය කෙරෙහි තෘෂ්ණාවයි, ඔබේ ධර්මානුකූල ඉලක්කය විය යුත්තේ.

පින්වත, අද දවස පුරාවට අව්වත් නැහැ; වැස්සත් නැහැ; සුළඟත් නැහැ. පරිසරය මළානිකව නැවතිලා තිබෙනවා. ආකාශයේ වලාකුළක් පේන්නවත් නැහැ. සුදු පැහැ ආකාශයත් ගල් වෙලා වගේ බලා සිටිනවා. සතර මහා ධාතුවේ මන්දගාමීබවකින් පරිසරයට විවේකයක් ලැබිලා. පින්වත, අව්වත්, වැස්සත්, සුළඟත් නැති මේ විවේකී පරිසරය ස්වභාව ධර්මය ගැන නිහඬව බණක් කියනවා. මේ නිහඬ සන්ධ්‍යාවේ මෙය සටහන් තබන භික්ෂුවට පරිසරය කියන බණ ඇසෙනවා. පරිසරය නිහඬ බසින් අපිට කියන්නේ, මනුෂ්‍ය ඔබලාට ජීවත් වීමට අවශ්‍ය නම්, කරුණාකර අපිව ජීවත් කරවන්නය කියලා. පින්වත, මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික හැදියාව පරිසරය ජීවත් කරවීමේ ජීව රුධිරය වෙනවා. පින්වත, අපි සිතන මෛත්‍රී චිත්තයක් පරිසරයට දැනෙනවා. අපි කතා කරන සත්‍ය වචනයක්, ප්‍රිය වචනයක් පරිසරයට දැනෙනවා. අපි රකින සීලයේ ශක්තිය පරිසරයට ජීවයක් වෙනවා. භික්ෂුව මේ මොහොතේ වැඩ සිටින ස්ථානයේ වසර පහකින්වත් කවුරුවත් ම ඉඳලා නැහැ. භික්ෂුව මේ ස්ථානයට වැඩිය දවසේ මෙහි තිබුණේ පාළු, ගඳ විතරක්මයි. ඒත් අද පරිසරය ආලෝකවත් වෙලා. ඒ ආලෝකවත් පරිසරය භික්ෂුවටත් බණ කියලා දෙනවා. පින්වත, අපි අවට තිබෙන පරිසරය උතුම් තෙරුවන්ගේ ගුණ හඬින්, මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ, ප්‍රඥාවේ, විමුක්තියේ හඬින් පෝෂණය වූ පරිසරයක්. ඒත් වර්තමානයේ පරිසරයට ඇසෙන්නේ අශ්‍රද්ධාවේ, ද්වේශයේ, දුශ්ශීලභාවයේ, මෝහයේ, මිච්චා වාචාවන්ගේ අමිහිරි වදන් ම නේද? වරින් වර අපි ඉදිරියේ මතු වන ගංවතුර, නායයෑම්, අධික සුළං වැනි පාරිසරික විකෘතීන් අපිට සිහිපත් කොට දෙන්නේ අපේ ආධ්‍යාත්මික හැදියාවේ පිරිහීමේ පාඩමක් නේද? පින්වත, සතර මහා ධාතුවේ කිපීම් ගැන නොදන්න, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදන්න, ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ ආනිශංස ගැන නොදන්නා කෙනෙක් පාරිසරික විකෘතීන් හේතුඵල ධර්මයන්ට අදාළව ගළපා දකින්න දක්‍ෂ නැහැ. පින්වත, අධික වැසි හෝ නියඟය තිබෙන්නේ මේවායින් පීඩාවට පත් වී අකුසල් සිද්ධ කොට ගන්න නොවේ. වැස්සත්, නියඟයත් අපේ අවශ්‍යතාවන් උදෙසා නිවැරදිව කළමනාකරණය කොට ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි. එහෙත් මනුෂ්‍ය ජීවිත උදුරා ගත්ත කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ එහි ආදීනවයන් සිහිපත් කොට දෙන්නේ මහා විනාශයකින් පසුවයි. පින්වත, උතුම් තෙරුවන්ගේ ගුණ හඬ, මෛත්‍රියේ, සීලයේ, ත්‍යාගයේ, ප්‍රඥාවේ හඬ පරිසරයට ඇහෙන්නට ඕනේ. එවිටයි අජීවී පරිසරයත් සන්සුන් වන්නේ. වියරු සුළඟක් ඇති වුණ මොහොතක, අපිට පරිසරය හේතුවෙන් දැනෙන්නේ බියක්, නමුත් සන්සුන් පරිසරය අපිට අභය, මෛත්‍රිය ගැන කියලා දෙනවා. පින්වත, පරිසරයට ‘සුවපත් වේවා!’ යැයි සිතන්න. එවිට පරිසරයත් ඔබට දයාබරිත වේවි. පරිසරයට පීඩා කරලා, පරිසරයෙන් පමණක් හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඉපදුණේ පරිසරයේ මිසක්, අපි නිසා පරිසරය ඉපදුණේ නැහැ. වැඩිහිටිකමටවත් අපි පරිසරයට කෘතවේදී වෙන්න ඕනේ.

පින්වත, භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයේ හේන් ගොවීන් පැණි කොමඩු, වට්ටක්කා, මුං ඇට වැනි මාස දෙකෙන් අස්වනු දෙන බෝග වගා කරලා. නොවැම්බර් මාසයේ මහා වැසි ඇද හැලුණත්, මේ ලිපිය ලියන මොහොතේ තම හේන් වගාවන්ට අවශ්‍ය වැසි නැතුව ගොවීන් අහස දෙස බලාගෙන සිටිනවා. පාරිසරික සතර මහා ධාතුවේ කිපීම් වැඩියි. පාරිසරික සතර මහා ධාතුවේ කිපීම් වැඩි වෙන කොට, මේවායින් පීඩා විඳින අහිංසක ජනතාවගේ මානසික කිපීම් වැඩි වෙනවා. කායික රෝගාබාධයන් උත්සන්න වෙනවා. සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහයෝ ඉහ වහා ගොස් අධර්මයෝ අධර්මයන් ම සමාජගත කරනවා. පින්වත් ගොවි ජනතාවගේ වගාවන්ට හානි කරන සතුන්ට තම ගොවි බිම තුළදී ම ප්‍රතික්‍රියා දැක්වීමේ නිදහසක් ගොවි මහත්වරුන්ට ලබා දීලා තිබෙනවා යැයි දැන ගන්නට ලැබුණා. පින්වත, තිබෙන අකුසල් මදිවාට සහ වරින් වර වගා හානි තුළින් විපාකයට පැමිණෙන අකුසල් මදිවාට, අහිංසක ගොවි ජනතාවට සත්ත්ව හිංසන අකුසලයේ බරත් පැටවීම ප්‍රශ්නයට විසඳුමක් නම් වෙන්නේ නැහැ. පින්වත් ගොවි මහත්වරුන් සතුන්ට හිංසා කරලා, සත්ත්ව ඝාතන කරලා තම ගොවිතැන් ආරක්‍ෂා කොට ගන්න නම් යන්න එපා. රූපය කියන්නේ මාරයා යැයි ධර්මයේ සඳහන් වනවා. අලියා, රිළවා, මොනරා කියන්නේත් පින්වත් ගොවි මහත්වරුන්ට අකුසල් කඳු ගොඩ ගසා දෙන මාරයා හැටියටමයි දකින්න ඕනේ. වර්තමානයේ තිරිසන් සතා කියන රූපය හෙවත් මාරයා, ඇතෙක් බරට ගොවි පින්වතුන්ලාට අකුසල් ගොඩ ගසා දෙනවා. පින්වත් ගොවි ජනතාව තම වගාවන්ට හානි කරන තිරිසන් සතුන්ව හිංසනයට හෝ ඝාතනයට ලක් කළොත්, පින්වත් ජනතාවගේ සත්ත්ව හිංසන අකුසල් වැඩි වී, ගංවතුර, නියඟය වැනි පාරිසරික විකෘතීන් තව තවත් ප්‍රචණ්ඩ වේවි. ඒ වගේ ම සමාජගත වන තිරිසන් සතුන්ගේ වගා හානි පාලනය නොකළොත්, දෙපාර්ශ්වයේ ම අකුසල්වල ඵලයෙන් සාගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රජයකට කිසිම අයිතියක් නැහැ, ගොවි ජනතාව සත්ත්ව හිංසන අකුසලයේ යොදවන්න. වගා හානි කරන සතුන්ගේ ප්‍රශ්නය විසඳා දීම රජයයි බාරගත යුත්තේ. භික්ෂුව මීට පෙරත් සටහන් තබලා තිබෙනවා, අපායට යන්න බැරි නම්, රජකම් බාර ගන්න එපාය කියලා. රජයක යුතුකම රජයත්, ජනතාවත් චේතනාන්විතව අකුසලයෙන් උපක්‍රමශීලීව මුදා ගැනීමයි.

පින්වත, සිතන්න දේවල් නම් ගොඩාක් තිබෙනවා. මේ ආසනය මත වාඩි වෙලා රට, ජාතිය, සම්මා සම්බුද්ධ ශාසනය ගැන එළි වෙනකම් සිතන්න පුළුවන්. අතීතයේ එහෙම සිතපු අය කොච්චර නම් ඉන්න ඇති ද? ඒ අය වර්තමාන භවාත්‍රයේ කොහේ ඇති ද? පින්වත, සිතලා තේරුමක් නැහැ, සිතුවිලි අයිති අවිද්‍යාවට, දුකට, භවයට. සිතුවිලි ඉදිරියේ චිත්තානුපස්සනාවේ නැවතීම තබන්න. එවිට ඔබ තුළ ඉහත සියලුම ධර්මතාවයෝ වගේ ම, සිතුවිල්ලකට හේතු වන ඵස්සය ද අනිත්‍ය යැයි දකින උතුම් ධම්මානුපස්සනාව උපදීවි. පින්වත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජවයෙන් උපදින ධම්මානුපස්සනාව අවිද්‍යාවෙන් උපදින සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින කැඩපතයි. පින්වත, කායානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, වේදනානුපස්සනාවත් අනිත්‍ය වූ ධර්මතාවයෝ යැයි භව නිරෝධය උදෙසා තබන අවසාන නික්ලේශී පියවරත් ධම්මානුපස්සනාවමයි. පින්වත, තියුණු කටු තිබෙන ගස්වල ලස්සන මල් පිපෙනවා. ගසේ තිබෙන තියුණු කටු, මලේ ලස්සනට බාධාවක් වෙන්නේ නැහැ. තියුණු කටු තිබෙන ගස්වල ලස්සන මල් දැකලා, අපි කොච්චර නම් සතුටු වෙනවා ද? පින්වත, උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන විදර්ශනාමය ලස්සන මල් පූදින්නේත්, ජරා, ව්‍යාධි, මරණ දෙතිස් කුණපයෙන් යුත් ජීවිතවලට නේද? රූපය දෙතිස් කුණපයක් වුවත්, රූපය ඇසුරෙහි උපදින විදර්ශනාමය ලස්සන මල් දැකලා, අපි කොච්චර නම් සතුටු වෙනවා ද? කොච්චර නම් පින් සිදු කොට ගන්නවා ද? දෙතිස් කුණපයකින් තොර ලස්සන විදර්ශනාමය මලක් අපි කෙසේ නම් දකින්න ද? පින්වත, සළායතනයෝ විකසිතව තිබුණත්, අවිද්‍යාව නිරෝධය වූ, භවය සුනු විසුනු කොට දැමූ, ලස්සන විදර්ශනාවේ මල් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය ම නේද?

පින්වත, තවත් දින දහයකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඒ අතරතුර සුන්දර නත්තලක සීනු හඬත් අපිට ඇසේවි. පින්වත, උදාවන නව වසර ගැන භික්ෂුවට නම් මුකුත්ම සිතෙන්නේ නැහැ. සිතා ගන්නවත් බැරි වේගයකින් සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී, හේතුඵල ධර්මයන් ගැළපීමට අපි ඉක්මන් විය යුතු නැහැ. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ අපි සියල්ලෝ ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියලා ධර්මයේ සඳහන් වනවා. අසීමිත තෘෂ්ණාවේ ජවයෙන් උපදින මමත්වයේ දැඩිභාවයේ විෂබීජ මෙම මානසික ව්‍යාධියේ රෝග නිධානය වෙනවා. මෙම මානසික ව්‍යාධිය බෝවෙන රෝගයක්. මෙම මානසික ව්‍යාධිය දැකීමෙන් බෝ වෙනවා; ඇසීමෙන් බෝ වෙනවා; දැනීමෙන් බෝ වෙනවා. එම නිසා ම මෙම මානසික ව්‍යාධියේ පැතිරීම සමාජය තුළ වේගවත් වෙලා තිබෙනවා. පින්වත් අපේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩ පහර මහ පාරවල්, ගම් බිම් පමණක් නොවේ, අපේ හෙට දවසේ බලාපොරොත්තුත් යට කරගෙන ගලා බසිනවා. මේ නිමේෂයේදීත් අපේ සළායතනයන්ගේ ඵස්සයෙන් තෘෂ්ණාව දෙගොඩතලා යන ඇලීම් සහ ගැටීමේ මහ වැසි ඇද හැලෙද්දී, කෙසේ නම් උදාවන නව වසර ගැන ස්ථිර අදහසක් සටහන් තබන්න ද? පින්වත, සමාජය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය අවංකව හැසිරෙනවා නම්, හේතුඵල ධර්මයෝ විග්‍රහ කොට දීමට පසුබට විය යුතු නැහැ. මේ සියලු යහපත් ධර්මයන්ට වටිනාකම් අඩු සමාජයක, භික්ෂුවගේ ජීවිතයත් සංස්කාරයන්ටම බාර දීලා, විවේකීව සිහිනුවණින් සිටීම යහපත්ය කියලා භික්ෂුවට සිතෙනවා. මේ දිනවල කුටියේ දායක මහත්මයා වෙළඳ පොළේ හැසිරීම් හේතුවෙන් ගැටෙන සිතින් පසු වන්නේ. වෙළඳ පොළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි ලු. පින්වත් බලධාරීන් සංසිඳුණු සිතුවිලිවලින් ජනතාවට 2025 නව වසර පිළිගැනීමට පහසුකම් ලබාදීම පින්කමක් ම වෙනවා.

පින්වත, වර්තමානයේ රජයේ නායක පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, දානය, ප්‍රඥාව ගැන කතා කරන්නේ ම නැහැ නේද? එම පින්වතුන්ලා බලය ලබා ගැනීමට පෙරාතුව, විවෘතව ජනතාවට ප්‍රකාශ කළා, තම දේශපාලනයට ආගම සම්බන්ධ කොට ගන්නේ නැහැය කියලා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය, ප්‍රඥාව අයිති ආගමකට නොවේ. මේ උතුම් ධර්මයෝ පින්වත් මනුෂ්‍යයාගේ මෙලොව සහ පරලොව දියුණුවට හේතු වන, ආනිශංස සහිත ලෝක ධර්මයෝයි. මේ උතුම් ආනිශංස සහිත ලෝක ධර්මයෝ බැහැර කොට, කෙසේ නම් සමාජයක්, රටක්, රජයක් අකුසල් අභියෝගයන් මැඩගෙන ඉදිරියට යන්න ද? පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව කෙසේ නම් බියෙන්, තැති ගැනීමෙන් තොරව රජයක් කරන්න ද? පින්වත, මෛත්‍රියට වටිනාකමක් නොදී, කෙසේ නම් ලබා ගත්ත ජනප්‍රියභාවය රැක ගන්න ද? පින්වත, සීලයට වටිනාකමක් නොදී, කෙසේ නම් අභියෝගයන්, බව බෝග සම්පත් ආරක්‍ෂා කොට ගන්න ද? පින්වත, දානයට වටිනාකමක් නොදී, කෙසේ නම් ගෙවී යන වර්ණය, සැපය, බලය පෙරළා ජීවිතවලට එකතු කොට ගන්න ද? පින්වත, ප්‍රඥාවෙන් තොරව කෙසේ නම් ඉහත ධර්මයෝ තේරුම් ගන්න ද? පින්වත, ඉහත ධර්මයෝමයි නොබිඳෙන වර්ණය, සැපය, බලයක් ම වන්නේ. පින්වත, මේ උතුම් ධර්මයන්ට ගරු නොකළොත් එය ජාතියේ ම පිරිහීමේ ලක්‍ෂණයක් වෙන්න පුළුවන්.