පින්වත, දෙසැම්බර් මාසයේ හරිම ශීතල උදෑසනක්. අවට පරිසරය ශීතල මීදුමින් වැහිලා. ශීතල මීදුම මැදින් ගමේ ගොවි බිම් පෙනෙන්නේ මැකී යන සිතුවමක් වගේමයි. උදෑසන හිරු තව ටිකකින් නැඟෙනහිරින් අවදි වෙද්දී, මීදුම මැකිලා යාවි. සතර මහා ධාතුවේ තේජෝ ධාතුව දුර්වල වෙලා යද්දී, පරිසරයේ ආපෝ ධාතුව ආස්වාදයෙන් නළියනවා. එහි ඵලයයි මේ උදෑසන ශීතල මීදුම. පින්වත, සතර මහා ධාතුවේ වෙනස් වීම් අපි අව්ව, වැස්ස, ශීතල, මීදුම හැටියට දකිද්දී, අවිද්‍යාව අපිට අත්පොළසන් දෙනවා. අවිද්‍යාවේ අත්පොළසන් මැද්දේ පාරිසරික වෙනස් වීම් හේතුවෙන් අපි ඇති කොට ගන්නා ඇලීම් සහ ගැටීම් අපිටත් හොරා සංස්කාර ජය කණුව පසු කරන්නේ භවයට ආශීර්වාද කරමින්මයි. පින්වත, ශීතල මීදුම යැයි කියන්නේ ශීත වලාහක දිව්‍ය, දිව්‍යාංගනාවන්ගේ ආස්වාදයේ වාසස්ථානයයි. අපේ මස් ඇසට නොපෙනුණාට මේ ශීතල මීදුමේ දැවටි, දැවටී මොනතරම් නම් ශීත වලාහක දිව්‍ය, දිව්‍යාංගනාවන් කාමයේ ආස්වාදයන් ලබනවා ඇති ද? පින්වත, ඔබත් විනෝදයට, විවේකයට නුවරඑළිය, බණ්ඩාරවෙල ශීතල මීදුම උපාදානය කොට ගත් පින්වතෙක් ද? පින්වත, තෘෂ්ණාවේ අනුවණ උපාදානයෝ ගැන පරිස්සමින්. තෘෂ්ණාවේ උපාදානයෝ භවයේ සංකීර්ණ අපූරු වාසස්ථාන පටිච්චසමුප්පන්නව අපිට සකස් කොට දෙන්න පුළුවන්. අපේ මස් ඇසට පෙනෙන පුංචි ලෝකය වගේ නොවේ, චුතූපපාත ඥාන, පුබ්බේනිවාසානුස්සති ඥානයෝ භවාත්රයේ සංකීර්ණ වූ සත්ත්ව වාසස්ථාන ගැන අකුරක් නෑරම අපිට කියලා දෙනවා.
පින්වත, සම්මා දිට්ඨියේ අර්ථයන් නොමනා වේගයකින් දුර්වල වන සමාජයක රූපයේ ආස්වාදය අසීමාන්තික පිස්සුවක්ම වෙනවා. රූපයේ ආස්වාදය යැයි ධර්මයේ සඳහන් වෙන්නේ නව යොවුන් තරුණයකුගේ හෝ නව යොවුන් තරුණියකගේ තාරුණ්‍යයේ රූපය. එම තාරුණ්‍යයේ රූපයේ වර්ණය, හැඩය, ලාලිත්‍යය, රිද්මය රූපයේ ආස්වාදය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපයේ ආස්වාදයක් තිබෙන බව ඇත්ත. රූපයේ ආස්වාදය, ආස්වාදනීය බවත් ඇත්ත, නමුත් පින්වතුනි, තාරුණ්‍යයේ රූපයේ ආස්වාදය බොහෝම කෙටි කාලයකටයි සීමා වන්නේ. තාරුණ්‍යය ඉක්ම යද්දී, රූපයේ දීර්ඝකාලීන ආදීනවයෝ වන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ පමණක් නොවේ, ප්‍රියයන්ගෙන් වෙන් වීමත්, පංච උපාදානස්කන්ධ දුකත් අපේ ජීවිතවල සිත් රිදවන කොටස්කරුවන් වෙනවාය කියලා. පින්වත, අවිද්‍යාවේ අතිජාත පුත්‍රරත්නය වන මිථ්‍යා දෘෂ්ටියේ චපල හැඩ රුව තමයි උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතවලින් මකා දැමීම.
රූපයේ සහ කාමයේ ආස්වාදයේ මකන කැබැල්ල උපයෝගී කොටගෙන කර්මය කර්මඵල විශ්වාසය, පටිච්චසමුප්පන්න නැවත උපදිනවාය කියන විශ්වාසය, දෙමාපියන්ගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, සතර අපායක් තිබෙනවාය කියන විශ්වාසය, දානයේ, සීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය ජීවිතවලින් මකා දමනවා. එවිට අපි මැරෙනවාය කියන කාරණය පමණක් නොවේ, මේ රූපය ලෙඩ වෙනවා ය, වයසට යනවා ය කියන කාරණය ගැනවත් සිතන්නේ නැති අසම්මතයේ මනුෂ්‍යයෝ වෙනවා. පින්වත, මෙවැනි චරිත වර්තමානයේ කැපී පෙනෙන අවිද්‍යාවේ විප්ලවීය සටන්කරුවෝ වෙලා තිබෙනවා. පංච නීවරණ අවිවලින් මොනවාට සන්නද්ධ මෙම අවිද්‍යාවේ විප්ලවීය සටන්කරුවෝ සමාජයට පූර්වාදර්ශ දෙන්නේ රූපය දේවත්වයෙන් දකින්න, රූපය දිව්‍ය ඕජාවක් සේ තලු මර මරා රස විඳින්න. ඒ විතරක් නොවේ, පංචඋපාදානස්කන්ධ ලෝකයේ අවිද්‍යාවේ ඝනත්වය වැඩි කොට මිථ්‍යා දෘෂ්ටියට පිරිස් බලය වැඩි කොට දෙන්න. පින්වත, මේ ඔබ දකින්නේ අහම්බයක් නොවේ, මනුෂ්‍ය ජීවිතවලින් සම්මා දිට්ඨිය දිය කොට හැරීමේ දිට්ඨධම්මවේදනීය විපාකයෝමයි. පින්වත, සත්‍යකින්ම කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ වහල්භාවයට පත් වූ අපිට, අපේ ම හැසිරීම්, අපේ අනාගතය උදෙසා ඉතිරි කොට දෙන්න යන්නේ ජීවත් වීමත්, මරණින් පසුව සතර අපායත් පමණක් ම ද?
පින්වත, අපේ රටේ අතීත සහ වර්තමාන දේශපාලනය තුළ ප්‍රභූ ආරක්ෂාව සහ වරප්‍රසාද සීමාවන් ඉක්මවා ගත්තා ය, වර්තමානයේ අපි මේවා ප්‍රතික්ෂේප කරනවා ය කියන අදහස් සමාජයෙන් ඇසෙනවා නේද? පින්වත, මෙම අදහස්වලට ඔබලා ඇලීම් සහ ගැටීම් ඇති කොට ගන්න එපා. පින්වත, රාජ්‍ය වරප්‍රසාද අසීමිත ලෙස ගත්තා යැයි කියන්නේ එක් අන්තයක්. පින්වත, රාජ්‍ය වරප්‍රසාද එපා යැයි කියන්නේ තවත් අන්තයක්. පින්වත, වරප්‍රසාද වැඩියි කියන අන්තයත්, වරප්‍රසාද එපා කියන අන්තයත් යන දෙඅන්තය ම අධර්මයට, පිරිහීමට, විනාශයට, අනතුරට හේතු වන අන්ත දෙකක්. අපි දක්ෂ විය යුතුයි, මේ අන්ත දෙකෙන් බැහැරව මධ්‍යස්ථභාවය අපේ ජීවිත තුළට එකතු කොටගැනීමට. පින්වත, අන්තයන්ට නොවරදින බෙහෙත් දෙන උතුම් මධ්‍යම ප්‍රතිපදාවකුත් අපි ඉදිරියේ තිබෙනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාව තමයි ලෞකික සැපයේ සහ දේශපාලන සැපයේ එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට වර්තමානයේ කිනම් වටිනාකමක් ලැබේවි ද කියන කාරණය ඉදිරියේ භික්ෂුවට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක් පමණක්මයි. පින්වත, ජයග්‍රහණයක් යැයි කියන්නේ රූපයේ සහ කාමයේ ආස්වාදයන්ගේ වර්ණය, සැපය, බලයේ මල්, ජයග්‍රාහී ජීවිතවල පූදින පිනේ ඵලයක්මයි. පින්වත, පින කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයක්. පින්වත, සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් හෙවත් විඤ්ඤාණය නමැති මැජික්කරුවා, එසේත් නැතිනම් මායාකරුවා සංස්කාර විජයග්රහණයන් ඉදිරියේ ආකර්ෂණීය, නැවුම්, අලුත් මැජික් සංදර්ශන පෙන්වන්න හරිම රුසියෙක් බව අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. එසේ නොවුණොත් පින්වත, ඔබත් ඇලීම් හෝ ගැටීම් හේතුවෙන් විඤ්ඤාණයේ ගොදුරක් බවටම පත් වෙනවා.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ ධර්මයකින් තොර අර්ථයක් දකින්න නැහැ. ආධ්‍යාත්මික වේවා, බාහිර වේවා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මේ සියලු අර්ථයෝ ම ධර්මයක්මයි. පින්වත, අසීමිත දේශපාලන වරප්‍රසාද සහ අසීමිත ආරක්ෂාව මැද ප්‍රභූ දේශපාලනය කිරීමත්, අපිට ආරක්ෂාව එපා, අපිට වරප්‍රසාද එපා, අපිට වාහන එපා යැයි නැඟෙන හඬත්, සංස්කාර ආස්වාදයෙන් උපදින මායාකාරී විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයෝමයි. පින්වත, සමස්ත ජාතියට තවදුරටත් අවශ්‍ය තාවකාලිකව වසර පහෙන් පහට අවසන් වන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයන් නොවේ. විඤ්ඤාණයේ මායාවන් තමා තුළින් පාලනය කොට දමන, ඇලීම් සහ ගැටීම් ඉදිරියේ ඇති කොට ගන්නා මධ්‍යස්ථභාවයයි. පින්වත, කුඩු පැකට් එකකට මිනී මරන සමාජයක, බස් රථයකට ගොඩවුණොත් සාක්කුව කපලා මුදල් පසුම්බිය සොරකම් කරන සමාජයක වගකීම් භාරගත් පින්වතුන්ලා වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. එසේ නොවුණොත් ඔබලා ප්රශ්නය තේරුම් නොගෙන ප්‍රශ්නයට විසඳුම් සොයන අය බවට පත් වෙනවා. පින්වත, තෘෂ්ණාව තිබෙන්නේ, පිරිහීම තිබෙන්නේ ආරක්ෂාව හෝ වරප්‍රසාද තුළ නොවේ, ඒවා කෙරෙහි අපි ඇති කොට ගන්නා අසීමිත ඇලීම් සහ ගැටීම් තුළිනුයි පිරිහීමේ විනාශය කලඑළිබහින්නේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවටත් පුළුවන්, තමන් දෙපයට දමන රබර් සෙරෙප්පු දෙකත් බැහැර කරලා, අණ්ඩ දමපු පරණ සිවුරකුත් පොරවාගෙන, පරණ පාත්රයකුත් උරයේ එල්ලාගෙන බස්වල වඩින්නේ නැතුව දුරබැහැර පයින් වඩිමින් අවශ්‍ය නම් සමාජයට පොඩි විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයක් පෙන්වන්න. පින්වත, විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ සන්දර්ශන වේදිකාව යනු පස්සය හේතුවෙන් සකස් වන විඳීමයි. පින්වත, සතර සතිපට්ඨාන ධර්මයෝ උපයෝගී කොට ගෙන විඳීමේ සන්දර්ශන වේදිකාව කඩා බිඳ දමන්න. එවිට මායාකාරී විඤ්ඤාණයේ රඟපෑම් අවසන් වේවි. පින්වත, තෘෂ්ණාවෙන් වියරු පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ දී උපක්‍රමශීලී වෙන්න. ඔබව වධයට පත් කරන, ඔබට ජය සහ පරාජය උරුම කොටදෙන පටිච්චසමුප්පන්න වධකයා වන විඤ්ඤාණයේ මැජික්කරුවා ඔබ විසින්මයි, ඔබ තුළින්මයි ලොකු මහත් වෙන්නේ.
පින්වත, වරප්රසාදයන් අඩු සහ වැඩි කියන අන්ත දෙකම විඤ්ඤාණය නමැති වධකයාගේ රස නහර පිනවන ප්‍රණීත ආහාරයෝමයි. පින්වත, සමාජයෙන් ලැබෙන ප්රතිචාරයන් දෙස නොබලා, අසීමිත ප්රතිචාරයන් ඉදිරියේ ඔබගේ ඇලෙන සහ ගැටෙන සිතුවිලි දෙස බලන්න. එවිට ඔබේ සිත උපේක්ෂා සහගත වේවි. මේ උපේක්ෂා සහගත සිතයි, පින්වත් ඔබට කියලා දෙන්නේ වර්තමානයේ ජාතිය ඉදිරියේ තිබෙන්නේ දේශපාලන පින්වතුන්ගේ වරප්‍රසාද පිළිබඳව ප්‍රශ්නයක් නොව, තම තමන්ගේ දේශපාලන වගකීම් සහ යුතුකම් රටට, ජනතාවට ඉටු නොකර රාජ්‍ය වරප්‍රසාද භුක්ති විඳීමේ ප්‍රශ්නයක්ය කියලා. පින්වත, අපිව වධයට පත් කරන පටිච්චසමුප්පන්න සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය නමැති වධකයා ඇලීම් සහ ගැටීම් තුළින් අපේ ප්‍රශ්න, අපේ දැක්ම අවුල් කරනවා. ඊට එකම හේතුව පෙරළා ඇලීම් සහ ගැටීම් තුළින් සංස්කාරයන්ට පණ දී, විඤ්ඤාණයේ අනාගත පටිච්චසමුප්පන්න පෝෂණය සහතික කොට ගැනීමයි. පින්වත, අපි ජාති, ආගම්, පක්ෂ භේදයන්ගෙන් තොරව ඇලීම් සහ ගැටීම් සන්දර්ශන වේදිකාවේ ආස්වාදයේ සන්දර්ශන පෙන්වද්දී, අපිට හොරා පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සංස්කාරයෝ පොදි බඳිමින් පටිච්චසමුප්පන්න භවයේ සතර අපායන්ට අපිව නෑගම් කැන්දාගෙන යනවා. පින්වත, සියල්ල අවසානයේ දී අපේ ඥාතීන්, අපේ හිතමිතුරන්, අපේ පාක්ෂිකයන්, අපේ පාඨකයන් සියල්ලෝම එකතු වෙලා අපේ මළ ගෙදර ඉදිරිපිට තාප්පයේ සුදු රෙදි බැනර් එකක් එල්ලාවි, අරියඥාන හිමිට නිවන් සුව අත්වේවා යැයි කියලා. පින්වත, ඉහත සිදුවීම් සියල්ලත් විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ ම ඇලීම් සහ ගැටීම් සන්දර්ශන වේදිකාවේ මායාකාරී රංගනයන් බව ඔබ නුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, අපේම අතීත සංස්කාරයෝ අපිව ‘බාගෙට පිස්සෝ’ කරන සංස්කාර ලෝකයකයි අපි ජීවත් වන්නේ. පින්වත, අපි බාගෙට පිස්සෝ යැයි භික්ෂුව සටහන් තබද්දී, ඔබ තුළ එම වචනය කෙරෙහි ගැටෙන සිතක් ඇති වුණා ද? පින්වත, භික්ෂුවට සමාවෙලා එම ගැටුණ සිතුවිල්ල තුළින්, විඤ්ඤාණයේ මැජික්කරුවා ඔබ තුළින් හඳුනාගැනීම උදෙසාමයි භික්ෂුව එම වචනය සටහන් තැබුවේ.