ඔබේ ජීවිතය උතුම් සද්ධර්මයට විවෘත කරන්න

පින්වත, අවිද්‍යාව අපේ ජීවිතවල තිබෙන තාක් කල්, කුසල් සහ අකුසල් සංස්කාරයෝ අපේ උරුමය වෙනවා. පින්වත, අවිද්‍යාව තිබෙන තාක් කල් දුක, වේදනාව, විරහව, කඳුළ ජය ගන්න අපිට බැහැ. පින්වත, අවිද්‍යාවට සංස්කාර ආහාර දෙමින්, අපි මේ කරන්නේ නිෂ්ඵල සටනක්. පින්වත, අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක් ගෙවී ගියත්, අපිට පටිච්චසමුප්පන්න අවිද්‍යාව පුරුදු පුහුණු කළ භව පුරුදු වර්තමානයේදීත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ ජාන තුළ නිදන්ගත වෙලයි තිබෙන්නේ. පින්වත, ඔබ මේ මොහොතේ තීරණයක් ගත්තොත්, ඔබ පැවිදි වෙනවා ය කියලා, සත්‍යකින්ම ඔබේ පංච උපාදානස්කන්ධ ලෝකය කාර්යබහුල අධිකරණයක් වගේ වෙනවා නේද? පැමිණිල්ල ‘පැවිදි විය යුතුයි’ කියලා කරුණු දක්වද්දී, ඔබ තුළින්ම සකස් වන විත්තිය කොතෙක් නම් ඊට විරුද්ධව කරුණු දක්වයි ද? පින්වත, පැමිණිල්ලත්, විත්තියත් අවිද්‍යාවම වූ කල්හි, අපි කෙසේ නම් ලෝකය හඳුනා ගන්න ද? පින්වත, තවදුරටත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ ජානවලින් පෝෂණය වුණ භව ඉතිහාසයට බැඳී යන්න එපා. පින්වත, තෘෂ්ණාව යම් තැනක ද, එතැන සැප තිබෙනවා ය කියන පරණ පාඩම් පොත් ඉවත දමා, අලුත් විදියට සිතන්න. පරණ ලෝකය තුළ නැවුම් මිනිසෙක් වෙන්න. දුකට ගැටී, සැපයට ලොබ බැඳී, ගතානුගතිකත්වයට විශ්‍රාම දී, සැපත්, දුකත් යනු අවිද්‍යාව මුල්කොට ගෙන සකස් වන අනිත්‍ය වූ සංස්කාරයෝමයි දකින, රැඩිකල්භාවයට ජීවිතය පුහුණු කරන්න. රුපියල් ශත වන්දනාවෝ මැද, කරුණාකර දුක සහ තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිවා දමන, ආර්ය ධනය ගැනත් සිහිනුවණින් මෙනෙහි කරන්න.

පින්වත, අපි උතුම් තෙරුවන්ට කෘතවේදී වෙන්න ඕනේ. අපි උතුම් තෙරුවන්ට කෘතවේදී වුණොත් පමණක්මයි, අපිට සම්මා ඥාන, සම්මා විමුක්තියේ ඵලයන් ලැබෙන්නේ. පින්වත, කෘතවේදීභාවය යැයි කියන්නේ මොනතරම් නම් දුර්ලභ කාරණයක් ද? කෘතවේදීභාවය සමාජයෙන් අතුරුදන් වූ දවසට, සම්මා සම්බුද්ධ ශාසනයත් අතුරුදන් වෙලා යනවා. පින්වත, ඔබ ඔබට කෘතවේදී වෙන්න. ඔබ ඔබට කෘතවේදී වුණා යැයි කියන්නේ, අවම වශයෙන් ඔබ සතර අපායෙන් මිදුණොත් පමණක්මයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපිලා, අවසාන අවවාදය අපිට දෙන්නේ, “මහණෙනි, සියලුම සංස්කාරයෝ අනිත්‍යයි” කියලා. පින්වත, මොහොතක් දෑස් පියාගෙන සියලුම සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින්න. සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිද්දී, ලෝකය හිස් වෙනවා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ තාවකාලිකව මැකිලා යනවා. පින්වත, සැබෑ කෘතවේදීභාවය තුළ වටිනාකම්වලට අදාළ ඉලක්කම් නැහැ, එහි තිබෙන්නේ වටිනාකමක් නැති බින්දු පමණක්මයි. සැබෑ කෘතවේදීභාවය අපේ කෙලෙස්වලින් ගොරහැඩි ජීවිත, තෘෂ්ණාවෙන් හිස් කරනවා. අපේ ජීවිතවලින් තෘෂ්ණාව හිස් වෙද්දී, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ට ලංසු තියන ඉලක්කම්, වටිනාකම් නැති බින්දු බවට පත් වෙද්දී, මිල කළ නොහැකි විදර්ශනාත්මක ආර්ය ධනයෝ අපි තුළින් ඒහිපස්සිකව උපදිනවා. ආර්ය ධනවත්භාවය තුළ බරක් නැහැ, බියක් නැහැ, මිලක් නැහැ. අපි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ පංච උපාදානස්කන්ධ මල් වට්ටි දුක් වෙන්දේසිය අවසන් කළා වෙනවා.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අනුන් කෙරෙහි බලාපොරොත්තු ඇති කොට ගන්නේ නැහැ. උන්වහන්සේලා තමා කෙරෙහි බලාපොරොත්තුත් හිස් කොට ගෙනයි ජීවත් වන්නේ. ඒ නිසා ම, උන්වහන්සේලාට ජය හෝ පරාජය අයිති නැහැ. එම උතුම් ජීවිත අයිති පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයට. මෙය සටහන් තබන භික්ෂුවගේ, භික්ෂු ජීවිතයේ මූලාරම්භය අමිහිරි, කටුක, විවේචන, ප්‍රතික්ෂේප කිරීම්වල නීරස සිත් සේ ලබමින්, පින්වත් අනුනගේ කෙලෙස් අඳුරට අභියෝග නොකොට, ආලෝකය සොයා පැමිණි ගමනක්. පින්වත, කෙනෙක් භික්ෂුව සද්ධර්මය විකෘති කරන්නෙක් යැයි චෝදනා කරද්දී, භික්ෂුව ඒවාට පිළිතුරු දෙන්න ගියේ නැහැ. භික්ෂුව චෝදනාවන් ඉදිරියේ තව තවත් නිවැරදි වූවා පමණක්මයි. පින්වත, පහත් තැනින් ජලය ගලාගෙන යනවා කියලා භික්ෂුව දන්නවා. ඒ නිසා ම, භික්ෂුව අභියෝගයන් ඉදිරියේ හිස පාත් කරගෙන ජීවත් වුණේ නැහැ. අභියෝගයන් ඉදිරියේ හිස කෙළින් තබාගෙන, භික්ෂුවගේ සිතුවිලි නම්‍යශීලී කර ගනිමින් පැමිණි ගමනක් භික්ෂුවට තිබෙන්නේ. භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ මූලාරම්භය මතුකොට දුන් අමිහිරි, නීරස අත්දැකීම් භික්ෂුවගේම පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයන්ගේ ගොරහැඩි අඳෝනාවන් ම මිස, අපි ජීවත් වන සමාජයේ වරදක් නම් නොවේ. පින්වත, අවිද්‍යාවෙන් උපදින අකුසලයේ තරම, අකුසලයේ වියරුව, අකුසලයේ නීරස, අකුසලයේ සැබැ හැඩරුව ලෝකයාට සක්සුදක් සේ කියලා දෙන්න, විපාකයට පැමිණි භික්ෂුවගේ අතීත අකුසල් තුළ සැඟවී තිබුණ “අයෝමය කුසලය” භික්ෂුවට ලබා දුන් ප්‍රතිලාභයක් වශයෙන්මයි භික්ෂුව දකින්නේ. පින්වත, භික්ෂුව ඔබට නැවත නැවතත් කියනවා, වර්තමානයේ ඔබේ ජීවිතය තුළින් විපාකයට පැමිණෙන කිනම් හෝ නීරස, අමිහිරි අකුසලයකට යට වෙන්න එපා. ඔය විපාකයට පැමිණෙන අමිහිරි අකුසලය යට මහා කුසලයක් සැඟවී තිබෙනවාමයි. කරුණාකර ලෝකයාට, සමාජයට, අනුනට චෝදනා නොකර, ඔබේ වරද ඔබම නිවැරදි කොට ගන්න. අකුසලය ඉදිරියේ පරාජිතයෙක් නොවී, අභියෝගයන් ඉදිරියේ මෛත්‍රියයෙන් නම්‍යශීලී වෙන්න. එතැනයි අකුසලය වියළී, කුසලය පණ ලබන්නේ. පින්වත, ඔබ යම් දවසක අකුසලය පරදා කුසලයෙන් නැගී සිටියොත්, එම කුසලයේ ආස්වාදයට ගොදුරක් වී, ඔබ ලෝකය නිවැරදි කිරීමට පහළ වූ දෙවියන් එවූ ශුද්ධවන්තයෙක් යැයි සිතන්න නම් එපා. එම සිතුවිල්ලම යළි ඔබට මහා අකුසලයේ බරක්ම වේවි. පින්වත, ඔබේ ජීවිතය උතුම් සද්ධර්මයෙන් විවෘත කරන්න. ජීවිතය සද්ධර්මයට සඟවන්න එපා. ඔබ දන්නවා ද කුසල්, අකුසල්, දුක, සැප ඉදිරියේ ජීවිතය සද්ධර්මයට විවෘත කර ගන්නේ කොහොම ද කියලා? අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං. පින්වත, කරුණාකර ඔබේ ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයන් තුළින් විවෘත කොට දකින්න. එවිට ඔබට සක්සුදක් සේ පෙනේවි, අපි හැමෝගේම ජීවිතවල අවසාන ප්‍රතිලාභය ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ පමණක්මයි කියලා. පින්වත, සම්මා ඥානයන් සකස් කොට නොගත් අපි හැමෝම මමත්වයේ දැඩිභාවයේ සිරකරුවෝමයි.

පින්වත, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය හරියට පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ කෙළිබිමක් වගේමයි. විඤ්ඤාණයේ ආධිපත්‍යය තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ මොනවාට බැසගෙනයි තිබෙන්නේ. පින්වත, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය විඤ්ඤාණය නමැති මැජික්කරුවෙක්ගේ කෙළි බිමක් වෙද්දී, තෘෂ්ණාව හේතුවෙන් සකස් වන අපේ බැඳීයාම් ගැන අපි හොඳ සිහිනුවණින් ඉන්න ඕනේ. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, ස්වාමීන් වහන්ස, පැවිදි ගෝලයෙක් හදා ගන්න එහෙම බලාපොරොත්තුවක් නැති ද කියලා, වයසට යද්දී සොයා බලන්න කෙනෙක් ඉන්න ඕනේ නේද කියලා. බලන්නකෝ ඉහත අදහස භික්ෂුව ගැන සිතලා කරන මොනතරම් නම් සානුකම්පිත යෝජනාවක් ද? මෙවැනි යෝජනාවන් තුළ විඤ්ඤාණය නමැති මැජික්කරුවා මොනතරම් නම් උපක්‍රමශීලී ද? සද්ධර්මයේ ඇත්ත වසන් කොට මායාවට ඇස් දෙන, විඤ්ඤාණය නමැති පටිච්චසමුප්පන්න මැජික්කරුවා, අනුකම්පාවේ වේශයෙන් මේ උත්සාහ ගන්නේ අපිව වධයට පත් කරන්නම නේද? මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන නුවණින් දකිනවා, පැවිදි ශිෂ්‍යයන් සියයක් සිටියත්, වයෝවෘද්ධ භික්ෂුව කෙසේ නම් බලා ගන්න ද? පින්වත, පැවිදි ශිෂ්‍යයන් අප්‍රමාණව සිටියත්, රෝගී අවසාන කාලයේ දී උපස්ථානයට තම ශිෂ්‍යයෙක් නැතුව අසරණව දෑස් පියා ගන්ත වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා කොතෙක් නම් ඇති ද? පින්වත, වයෝවෘද්ධ කාලයේ දී අපිව බලා ගන්නේ අපේ ශිෂ්‍යයෝ නොවේ. පැවිදි අපිම අපේ ජීවිතවලට එකතු කොට ගත් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ශක්තියයි. ගෞරවණීය පින්වත, අමනාප වෙන්න එපා, මේ ප්‍රකාශයේ වරදක් ඇතොත් සමාවෙන්න. යම් භික්ෂුවක් දිවි හිමියෙන් සුරකින සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලය, පැවිදි ශිෂ්‍යයන් දහස් ගණනකට වඩා භික්ෂුවට විශ්වාසයි. පින්වත, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මායාව බැසගෙන ඇති නිසා ම, අපි අනාගත බියට විවෘතවයි ජීවත් වන්නේ. උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලයේ ශක්තියෙන් අපි තුළ වැඩෙන සතර සතිපට්ඨාන ධර්මයෝ, අනාගත බිය විතරක් නොවේ, අනාගතය පිළිබඳ විශ්වාසයන් සහමුලින්ම උදුරා දමනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට හෙටක්, අනාගතයක්, වයෝවෘද්ධභාවයක්, රෝගීභාවයක්,නිරෝගීභාවයක් හෝ අනාගතය ගැන බියක් තිබෙන්නට පුළුවන් ද? පින්වත, භික්ෂුවක් තුළ වැඩෙන චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව ඉහත සියලුම විතර්කයෝ උපන් ගෙදරදීම මරා දමනවා. පින්වත, භික්ෂුවකට අතීතය හෝ අනාගතය අයිති නැහැ. භික්ෂුවක් ජීවත් විය යුත්තේ වර්තමානය තුළයි. ඒ වර්තමානයත් භික්ෂුවකට අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් පමණක්මයි. මේ මොහොතේ නාසයෙන් ඉහළට ගන්නා ආශ්වාසයත්, නාසයෙන් පිට කරනා ප්‍රශ්වාසයත් ජීවිතයත්, මරණයත් අතර පරතරයයි. එවිටයි භික්ෂුවකගේ ධර්මානුකූල සීමාව වන අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ කියන නිකෙලෙස් සීමාව තුළ එම භික්ෂුවගේ ජීවිතය ස්ථානගත වෙන්නේ.

පින්වත, අනාගත වයෝවෘද්ධභාවයට බිය වෙන්න එපා. අනාගතයේ ඔබට සලකන්න කෙනෙක් නැති වෙතැයි බිය වෙන්න එපා. සැකයකින් තොරව මෙලොව, පරලොව ලෞකික සැප ලබා දෙන එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශ්වාසයට එන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබේ ජීවිතය කොට ගන්න. සම්මා සමාධිමත් සිතින්, සතර සතිපට්ඨානයෝ මතුකොට ගන්න, එවිට පින්වත් වයෝවෘද්ධ ඔබ ළඟ උපස්ථායකයෙක් නොවේ, ජීවමාන ශාස්තෘන් වහන්සේ වන උතුම් ධර්ම විනයම වැඩ සිටිනවා. පින්වත, ජීවමාන ශාස්තෘන් වහන්සේ ඔබට සරණක් මිසක්, අසරණ නම් කරන්නේ නැහැ. පින්වත, ලෝකයේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය නිධිය උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝමයි. වයෝවෘද්ධ ඔබේ ජීවිතයේ සැබෑ උපස්ථායකයා සතර සතිපට්ඨාන ධර්මයෝමයි. පින්වත, අතීත අකුසල් යටපත් කොට, ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ ඔබේ සිතුවිලි අකම්පිත කරන සිතුවිලිවලට යට නොවී, සිතුවිලි විනිවිද දකින, ඔබේ සැබෑම උපස්ථායකයා සතර සතිපට්ඨාන ධර්මයෝමයි. පින්වත, ඔබ ධර්ම මාර්ගය තුළ නම්, අනාගත වයෝවෘද්ධභාවයන් ගැන බිය වෙන්න එපා. කවුරු නැති වුණත් උතුම් ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේ ඔබේ රෝගී ඇඳ අසල නොවේ, ඔබේ ඵස්සය ළඟම හෙවත් සිත ළඟම නොසැලී විදර්ශනාත්මකව සිටීවි.