පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ තවත් ආගමක් නොවේ. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ ස්වභාව ධර්මයේ දහමමයි. පින්වත, තෘෂ්ණාව යම් ජීවිතයක තිබේ ද, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක තිබෙනවා. පින්වත, ඉහත අර්ථය මේ ලෝක ධාතුවේ සෑම සත්ත්වයෙකුටම පොදු, ආගම් භේදයකින් තොර ස්වභාව ධර්මයේ දහමක්. පින්වත, තෘෂ්ණාව නිරෝධය කළ තැන දුක නිරෝධය වෙලා යනවා. පින්වත, ඉහත ධර්මය ආගම් භේදයකින් තොරව අපි හැමෝටම පොදු දහමක්. පින්වත, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ආජීව අට්ඨමක සීලය අපි නිවැරදිව ජීවිතයට පුහුණු කළොත්, අපිට සම්මා සමාධිමත් සිතක් ලැබෙනවා. පින්වත, සම්මා සමාධිමත් සිතක් අපිට ලැබුණොත්, පංච නීවරණයෝ තාවකාලිකව යටපත් වී උතුම් සප්ත බොජ්ඣංග ධර්මයෝ ජීවිතවලට එකතු වෙනවා. පින්වත, මේ උතුම් ධර්මතාවයන්ට ආගම් භේදයක් නැහැ. සියලුම පින්වත් මනුෂ්‍යයන්ට පොදු හේතුඵල ධර්මතාවයන්.
පින්වත, උතුම් සම්මා සමාධිමත් සිතක් අපිට තිබුණොත් පමණක්මයි, ලෝකවාසී ජනතාව ආගම් වශයෙන් බෙදී වෙන් වී සිටින්නේ, අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවය නිසාමයි කියන ස්වභාව ධර්මයේ හේතුඵල ධර්මය අපි නුවණින් තේරුම් කොට ගන්නේ. පින්වත, මනුෂ්‍ය ලෝකය තුළ තිබෙන්නේ ආගම් භේදයක් නොවේ. ආගම් භේදයන් හැටියට අපි ධර්මානුකූලව දකින්නේ අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ ධර්මයන් තුළින් මතු කොට දෙන ස්වභාව ධර්මයේම හේතුඵල ධර්මයන්ගේ භේදයයි.
පින්වත, අරූපී අවිද්‍යාව හේතුවෙන් සකස් වන ලෝකයේ සියලු ආගම් සිහිපත් කොට ගෙන ‘සුවපත් වේවා’ යැයි ආගම් භේදයකින් තොරව හැමෝම සිතන්න. එවිට ලෝකයේ ආගම් අතර බෙදී වෙන් වීමත්, මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක් අපේ ජීවිතවලට එකතු කොට දෙනවා. පින්වත, ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි ආත්මීය දෘෂ්ටියෙන් තිරිහන් වූ ලෝකයක, තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ යැයි, ආගම් භේදයන් පුද්ගල ඉලක්ක කිරීම්වලින් මුදවා ස්වභාව ධර්මය, ස්වභාව ධර්මය සේ ම දකින්න උගන්වන දහමක් තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය. මේ උතුම් සද්ධර්මයේ අර්ථයන් බෞද්ධ සහ අබෞද්ධ අපි හැමෝගේම පොදු ජීවිත දහමයි. පින්වත, මේ සියලු හේතුඵල ධර්මයෝ බුදුරජාණන් වහන්සේට අයිති ධර්මයන් නොවේ. බුදුරජාණන් වහන්සේයි සියලු ලෝක සත්ත්වයාට පොදු මේ ස්වභාව ධර්මයේ දහම සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට ගෙන, මහා කරුණාවෙන් ලෝක සත්ත්වයාට දේශනා කොට වදාළේ, නමුත් මේ ස්වභාව ධර්මයේ දහම පිළිගැනීම හෝ නොපිළිගැනීම අතර තිබෙන්නේ පුද්ගල වරදක් හෝ දුර්වලභාවයක් නොව, අවිද්‍යා පච්චයා සංඛාරා යැයි කියන අරූපී ධර්මතාවයේ හේතුඵල ධර්මයෝ පමණක්මය. පින්වත, බුදු දහම ලෝකයා සමග ගැටෙන දහමක් නොවේ. ගැටෙන සිතත් අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ විඳීමක් යැයි අවබෝධ කොට ගන්නා දහමක්. පින්වත, මේ උතුම් ස්වභාව ධර්මයේ දහම ආගම් භේදයන්ගෙන් තොරව අපි හැමෝම සියලු ආගම්වල ගුණාත්මකභාවය උදෙසා ආරක්ෂා කොට ගත යුතු වෙනවා.
පින්වත, වර්තමානයේ අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ යුද බිය පැතිරෙන ලෝකයක් තුළ නේද? උතුම් මනුෂ්‍ය ධර්මයෝ අවලංගු කාසියක් බවට පත් වූ ලෝකයක් තුළ නේද? පින්වත, මෛත්‍රියයෙන්, සීලයෙන්, ත්‍යාගයෙන් පිරි ලෝකයක් උදෙසා, යුද බිය පාලනයකට යටත් කොට ගත් ලෝකයක් උදෙසා සමස්ත ලෝක සත්ත්වයාටම ලෞකික සැපයට මාර්ගය කියලා දෙන මේ උතුම් ස්වභාව ධර්මයේ දහම අනාගත ලෝකයා උදෙසා ආරක්ෂා කොට තැබීම අපි හැමෝගේම ආගම් භේදයෙන් තොර යුතුකමක් වෙනවා. පින්වත, අපි කාටවත්ම පෞද්ගලික අයිතියක් නොමැති, සමස්ත සත්ත්ව ප්‍රජාවේම ස්වභාව ධර්මයේ දහම අනාගත ලෝකයා උදෙසා ආරක්ෂා කොට තැබීමට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍ය ම සාධකයක් වෙනවා. මේ උතුම් ස්වභාව ධර්මයේ සැබෑ දහමට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණොත් විකෘති ධර්මයන්ගෙන්, දුශ්ශීලභාවයන්ගෙන් මේ උතුම් ස්වභාව ධර්මයේ දහම ‘අධර්මයෝ, අධර්මයන් ම වඩත්’ යැයි කියන දහම විසින්ම ගොදුරු කොට ගනීවි. පින්වත, එම ශාසනික අපරාධයට අපි කවුරුවත්ම මුල් ගල තියන්න හොඳ නැහැ.
පින්වත, සියලුම ප්‍රණීත වේවා, අප්‍රණීත වේවා සියලුම සංස්කාරයෝ අනිත්‍යයි. පින්වත, රජ, සිටු, ඇමැති සහ පීඩිත, අසරණ සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සංස්කාරයන්ගේ වෙනස් වීම ධර්මයක් මිස, උදම් අනන්ත හේතුවක් නොවේ. මේ උතුම් ඒහිපස්සික විවෘත දහම සක්සුදක් සේ අවබෝධ ඥානයෙන් දේශනා කොට වදාළ, එකම උත්තරීතර ශාස්තෘන් වහන්සේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. පින්වත, අතීතයට එකතු වුණ මහ මැතිවරණයේ දී එක් පක්ෂයක් ලබා ගත් අති බහුතරය සහ විපක්ෂයක් ලැබූ අන්ත පරාජය ඉහත මායාකාරී සංස්කාර විජ්ජාවේ ඒහිපස්සික කැඩපතක්මයි, නමුත් මේ ජයගත් ප්‍රණීත සංස්කාරයෝත් වෙනස් වී යන බව සිහිනුවණින් තේරුම් ගැනීමමයි, සැබෑම ජයග්‍රහණය වන්නේ. පින්වත, ජනතාවගේ පින්වත් සංස්කාරයෝ විසින් පාර්ලිමේන්තුවට ඔසවා තබන ලද ජනතා නියෝජිතයන් එකසිය පනස් නව දෙනාගේ විජයග්‍රහණය සිහිපත් වෙද්දී, පරාජිත විපක්ෂයේ හැමෝටම වඩා මෙය සටහන් තබන භික්ෂුවට ධර්මානුකූල බියක් ඇති වුණා. පින්වත, අහිංසක ගිහි පින්වතුන්ලා සතුටු සිතින් අපිට සිවුපසය පූජා කළත්, පැවිදි අපිට නොකියන, නමුත් ගිහි පින්වතුන්ලා තුළ වැඩෙන නිහඬ අකැමැත්තක්, පැවිදි අපේ චර්යාවන් හේතුවෙනුත් තිබෙන්නට පුළුවන් නේ දෝ යැයි කියලා. පින්වත පැවිදි අපිත් අප්රමාදී වෙමු.
පින්වත, බාහිර ලෝකයට දුවන්නන් වාලේ දුවන්න දෙන්න. ඔබ දුවන ලෝකය ඉදිරියේ නැවතී සිටින්න. ලෝකයේ ජන්ම ගතිය කුසල් සහ අකුසල් සංස්කාරයෝ මතින් කාම, රූපී, අරූපී භවාත්‍රයන් දිශාවට පටිච්චසමුප්පන්නව දිවීමයි. බලන්නකෝ, දිනමින්, පරදිමින්, හඬමින්, සිනාසෙමින් ලෝකය දිව යන අපූරුව. හයක් හතරක් නොතේරෙන කිරි දරුවන් වගේ උගත්, බුද්ධිමත්, දැනුමැති, පළපුරුදු ලොකු ඇත්තෝ සිතෙත්, කයෙත්, වචනයෙත් සුදු හුණු ගා ගෙන, සංස්කාර ලෝකය මත රඟන මායාකාරී ලෝකයේ අපූරුව. පින්වත, බුදුරජාණන් වහන්සේ දෙපයින් වඩින ගමන් අංගුලිමාලට දේශනා කරනවා, “අංගුලිමාල, බුදුරජාණන් වහන්සේ නැවතිලා සිටින්නේ. කරුණාකර, ඔබ නොදුවා නවතින්න” ය කියලා. පින්වත, දුවන මිනිසුන් අතර ඔබ නොදුවන මිනිසෙක් වෙන්න. දිවීම අයිති ලෝකයට, දිවීම අයිති අවිද්‍යාවට, දිවීම අයිති දුකට. පින්වත, ලෝකයට, අවිද්‍යාවට, දුකට අයිති දේවල් ඔබ මගේ කොට ගන්න එපා. ඔබත් ලෝකයේම කොටසක් වේවි. පින්වත, ඇසේ ඵස්සය ළඟ නවතින්න. ඵස්සයේ දොර කවුළු තෘෂ්ණාවට විවෘත කරන්න එපා. පින්වත, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ ඵස්සය ළඟ නවතින්න. සළායතනයන්ගේ ඵස්සය තෘෂ්ණාවට විවෘත කරන්න එපා. පින්වත, සළායතනයන්ගේ ඵස්සය මතින් දෝරේ ගලා යන තෘෂ්ණාවේ සැඩ පහරට ගොදුරු වුණොත්, පෙරළා පටිච්චසමුප්පන්නව සළායතනයන්මයි උපද්දවා දෙන්නේ. පින්වත, ඇසක් තවත් පටිච්චසමුප්පන්න ඇසක් උපද්දවා දෙන සංස්කාර ලෝකයකයි අපි ජීවත් වන්නේ. පින්වත, ලෝකය වැරදි නැහැ. ලෝකය කිරි ගහට ඇන්නා වගේ නිවැරදියි. පින්වත, ලෝකය තිබෙන්නේ සිතන්න නොවේ, ලෝකය තිබෙන්නේ සිතුවිලිවලට අයිති දුකෙන් පිරි ලෝකයටමයි කියලා අවබෝධ කොට ගන්නයි. ලෝකය ගැන සිතන මොහොතක් පාසා, අපි පෙරළා ලෝකයමයි පෝෂණය කරන්නේ. පින්වත, ඔබේ ලෝකයට ඉඩ දෙන්න, මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයෙන් නිදහස් වෙලා යන්න. ලෝකය හදන්න යන අයට වෙච්ච දේවල්, වර්තමානයේ වෙන දේවල්, අනාගතය ගැන දකින සිහින මාලිගාවන්. පින්වත, කරුණාකර සිනාසෙන්න එපා, මේකයි සංස්කාර ලෝකයේ ඇත්ත. පින්වත, අතීතය ගැන පසුතැවෙමින්, වර්තමානය ගැන කලකිරෙමින්, අනාගතය ගැන සිහින දකිමින් කැමති නම් ඉදිරියට යන්න. ඉදිරියේ දී ඔබට නොවරදවාම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ කිරි ඉතිරේවි. ඔබගේ භව වගකීම වෙලා තිබෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් ලෝකය කිරි ඉතිරවීමයි. පින්වත, මේ නිමේෂයේදීත් ඔබේ කිරි මුට්ටිය ඇලීම්, ගැටීම්, උපේක්ෂා ලිප් ගල් තුන මත නේද? කරුණාකර ලිපේ ගින්දර අඩු සහ වැඩි කිරීමෙන් පමණක් සෑහීමට පත් වෙන්න එපා. මෙතෙක් තෘෂ්ණාවට රැවටුණා හොඳටෝම ඇති. කරුණාකර තෘෂ්ණාව යම් තැනක ද, එතැන උරුමය දුකම බව සිහිනුවණින් තේරුම් ගන්න.
පින්වත් වැඩිහිටි පාසල් දරුවන් දෙදෙනෙක් සහ පින්වත් ගුරුවරයෙක් තම පාසලේ අධ්‍යාපන චාරිකාවක් යෑම සඳහා බස් රථයක් කුලියට ගැනීමට බස් රථ මුදලාලි කෙනෙක් හමු වෙන්න ඇවිල්ලා. පින්වත් ගුරුතුමා මුදලාලිගෙන් ඇසුවා ලු, “අධ්‍යාපන චාරිකාවක් සඳහා බස් රථයක් ලබා ගන්න පුළුවන් ද?” කියලා. මුදලාලි කිව්වා ලු, “පුළුවන්” ය කියලා. එවිට පාසල් දරුවන් දෙදෙනාගේ මුල්ම විමසීම වෙලා තිබෙන්නේ, “මුදලාලි, බස් රථයේ ඩී ජේ සංගීතය තිබෙනවා ද?” කියන කාරණයයි. එවිට මුදලාලි කිව්වා ලු, “මගේ බස් රථවල ඔය ජාතියේ සංගීතය නම් නැහැ”ය කියලා. පින්වත, ඩී ජේ සංගීතය නැති නිසාම බස් රථය එපා ය කියලා ගුරුතුමා සහ සිසු දරු දෙදෙනා වෙනත් බස් රථයක් බලන්න ගිහිල්ලා. පින්වත, දරුවන් සමග චාරිකාවක් යද්දී, වැඩිහිටියන් සහ ගුරුවරුන් මුලින්ම සොයා බැලිය යුත්තේ තමන් තෝරා ගත්ත බස් රථයේ සහ රියදුරු මහත්මයාගේ ගුණාත්මකභාවය සහ පළපුරුද්දයි, නමුත් වර්තමානයේ පාසල් දරුවන් සහ තරුණ දරුවන් චාරිකා සඳහා බස් රථයක් තෝරා ගැනීමේ දී මුල්ම සුදුසුකම බවට පත් වන්නේ බස් රථයේ ඩී ජේ සංගීතය තිබෙනවා ද කියන කාරණයයි. පින්වත ඔබ මහ පාරවල දැකලා තිබෙනවා ද, සංගීත සංදර්ශනයක් වගේ මහා ශබ්දයෙන් සින්දු දමාගෙන, සංගීතයේ රිද්මයටම නැටවෙන විදුලි බුබුළුවලින් බස් රථය තොරණක වගේ ආලෝකමත් කර ගෙන, චාරිකා යන අලුත් අධ්‍යාපන සහ විනෝද චාරිකා සංස්කෘතිය. පින්වත, කාමයේ ආස්වාදයෝ හුඟාක් කෙටියි. කාමයේ ආදීනවයෝ සිතා ගන්නවත් බැරි තරමට දීර්ඝයි. පින්වත, චාරිකාවේ යන බස් රථයේ සංගීතය වේගවත් වෙද්දී, බස් රථය තුළ අත්පොළසන්, දඟර නැටුම් වැඩි වෙද්දී, බස් රථයේ සිටින ලොකු පොඩි හැමෝගේම සිහිය විනෝදය කෙරෙහිමයි පිහිටන්නේ. බස් රථයේ රියදුරුත් සංගීතයේ වේගයටම බස් රථයේ වේගයත් වැඩි කරනවා. බස් රථයේ හැමෝම ආස්වාදයෙන් මත් වෙලා, තමන් ගමන් කරන බස් රථයේ වේගය ගැන, රියදුරුගේ හැසිරීම්, ඉරියව් ගැන කවුරුවත්ම තැකීමක් නැහැ. පින්වත, වැඩිහිටියන් සහ ගුරුවරුන් ආස්වාදයන් ඉදිරියේ දරුවන් සේ හැසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකය තුළ, අවසාන බියකරු ඉරණම මාරක රිය අනතුරක් වෙන්න පුළුවන්. පින්වත, කරුණාකර අධ්‍යාපන හෝ විනෝද චාරිකාවක් යද්දී, සියල්ලෝම මෙහෙයවන නඩේ ගුරා, අන් හැමෝටම වඩා දැනුමෙන්, අත්දැකීමෙන්, සිහිනුවණින් වැඩි කෙනෙක් තෝරා ගන්න දක්ෂ වෙන්න.