සම්බන්ධතාවයන් පුපුරා ඉරි තලා ගිය සමාජය

පින්වත මේ ලෝක ධාතුවේ එකම පරම සත්‍යයයි තිබෙන්නේ. එම පරම සත්‍යය තමයි තෘෂ්ණාව තිබෙනවා නම්, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ තිබෙනවා ය කියන පරම සත්‍යය. යම් පින්වතෙක් තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කරයි ද, ඔහු ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ නිරෝධය කරනවා ය කියන පරම සත්‍යය. පින්වත මේ පරම සත්‍යය අපේ ජීවිතවලට ගොඩාක් ඈතින් නේද තිබෙන්නේ? පින්වත තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන ජාති, ජරා, ව්‍යාධි, මරණයෝත් අපි පෙරළා තෘෂ්ණාවෙන්ම ගන්නවා. මිල අධික පෞද්ගලික රෝහලක පින්වත් දරු උපතක් සිද්ධ වෙද්දී ලක්‍ෂ ගණන් මුදල් වැය කරන අපි, අපේම කෙනෙක් මිය ගියහම මළගම උදෙසා ලක්‍ෂ ගණන් මුදල් වැය කරනවා. පින්වත අපි දුක සතුටින්ම විඳිනවා. අපේ දරු උපතින් සහ අපේ මළගමින් තෘෂ්ණාව යළි යළිත් ධනවත් වෙනවා. පින්වත ඵස්ස පච්චයා වේදනා සහ වේදනා පච්චයා තණ්හා කියන ධර්මයන් තුළ, සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මායාකාරී මහ මොළකරුවා හොල්මන් කරන නිසාම, තෘෂ්ණාව අපිට හඳුනා ගන්න බැහැ. පින්වත වේදනාවේ තුන් නිවුන් දරුවෝ වන ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාවෝ, තෘෂ්ණාවේ මහ ගෙදර සංස්කාර දුක් සහ සතුටු කඳුළුවලින් උණුසුම් කරද්දී, උපාදානයන්ගෙන් මංමුළා වන අපි, භවයේ ආස්වාදයට පෙරළා බැඳී යන්නේ මේ ලෝක ධාතුවේ පරම සත්‍යය, අසත්‍යයට ආහාරයක් කොට දීලාමයි.

පින්වත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් පෝෂණය වෙලා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය මොනතරම් නම් ආශ්චර්යයක් ද? නිත්‍ය, සැප, සුභ, ආත්මීය දෘෂ්ටියේ සුරංගනා අර්ථයන්ට උණු උණුවේම අභියෝග කරන, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයේ සැබෑ ඇත්ත, ලෝකය ඉදිරියේ මොනතරම් නම් යථාර්ථයක් ද? පින්වත හොඳින් සහ නරකින් මහා කැපවීම් ගොඩක් සිදු කරලා අපි ප්‍රශ්නවලට උත්තරයක් සොයා ගත්තත්, සොයා ගත් උත්තරයත් යළි ප්‍රශ්නයක් බවටම පත් වෙන්නේ, සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මානුකූල අර්ථයට මොනතරම් නම් සාධාරණයක් ඉටු කරලා ද? පින්වත දෑස් පනාපිට ඒහිපස්සිකව සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී, පෙරළා අපේ ගැලවුම්කරුවා ලෙස අපි දකින්නේ සංස්කාරයන්ගේ මුදුන් මුල වන අවිද්‍යාවමයි. පින්වත නිමාවක් නොපෙනෙන සංස්කාර ලෝකයක, ඇති වීමක් නොමැති රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ අපිව යළි යළිත් දුකෙන්ම හෙම්බත් කරනවා. පින්වත දුක සතුටින්ම පිළිගන්න අපි, තෘෂ්ණාවේ ගොදුරක් වෙනවා මිසක් කවදාක නම් දුක අවබෝධ කොට ගන්න ද? පින්වත දුකට මොනවාට ගැළපෙන තවත් වචනයක් කියන්න කිව්වොත්, ‘මමත්වයේ දැඩිභාවය’ කියන වචනය තරම් තවත් ඊට ගැළපෙන වචනයක් නැහැ. පින්වත පංච නීවරණයෝ අධිබල වෙලා, අසත්පුරුෂ ආශ්‍රයෝ ඉහවහා ගිය තැන, උතුම් සම්මා දිට්ඨිය ජීවිතවලින් වාෂ්ප වෙලාම යනවා. පින්වත කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන මිථ්‍යා දෘෂ්ටිය, නිත්‍ය, සැප, සුභ, ආත්මීය තොටිල්ලේ දවල් සිහින දකිමින් නැළවෙන්නේ, සියල්ල දත් මහදැනමුත්තෝ වගේමයි. ශ්‍රද්ධාව ගැන, මෛත්‍රිය, සීලය, ත්‍යාගය ගැන ධර්මානුකූලව අල්පමාත්‍රයක්වත් නොහඳුනන මෙවන් පින්වත් මනුෂ්‍යයෝ, අතීත පින භුක්ති විඳිනවා මිසක්, ගෙවී යන පින පෙරළා පින්කම් තුළින් ජීවිතවලට එකතු කොට ගන්න දක්‍ෂ නැහැ. පින්වත පිනට අවඥාවෙන් සිනාසෙන මෙවැනි පින්වතුන්, පෙර පිනෙන් වර්තමානයේ ජීවත් වන බව දන්නේ නැහැ. මෙවැනි අය පිනේ ණයකාරයන් වෙලා, අනාගතයේ දී පවෙන්ම ණය සහ පොලී ගෙවනවා.

පින්වත ඔබට අතීතයේ කවදාක හරි සියදිවි නසා ගන්න සිතිලා තිබෙනවා ද? දැන් නම් ජීවත් වුණා ඇති, ඇයි මම තවත් ජීවත් වෙන්නේ, ඇයි මම ඉපදුණේ වැනි සිතුවිලි ඔබට ඇති වෙලා තිබෙනවා ද? පින්වත අතීතයේ කවදාකවත්ම පින්වත් ඔබට එවැනි සිතුවිල්ලක් ඇති වෙලා නැතිනම්, ඇත්තටම ඔබ හරිම පුණ්‍යවන්තයි. මෙය සටහන් තබන භික්ෂුවට තම තරුණ ගිහි ජීවිතයේ දී, ජීවිතය ඉදිරියට බාධා පැමිණෙද්දී, ඇයි මම ඉපදුණේ කියලා සිතුණ අවස්ථාවන් නම් කිහිපයක්ම තිබුණා. මගේ අතීත ගිහි ජීවිතයේ දී කර්මය කර්මඵල විශ්වාසය අමතක වී, ආත්මීය දෘෂ්ටියේ මතකය තිරිහන් වී මෙවැනි සිතුවිලි ඇති වුණා ය කියන කාරණය භික්ෂුව වර්තමානයේ හොඳාකාරවම දන්නවා. පින්වත අවිද්‍යාවෙන් පටන් ගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් අවසන් වන අපේ ජීවිතවලට, එසේත් නැති නම් අනාගතයේ යම් දවසක අවිද්‍යාවේ නිරෝධය මතු කොට ගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිදහස ලබන අපේ ජීවිතවලට කාටවත්ම වග කියන්න බැහැ. පින්වත ජීවත් වීම වේවා, මිය යාම වේවා, බැඳී යාම වේවා, නිදහස් වීම වේවා, මේ සියලු ධර්මතාවයෝ අයිති අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණ ධර්මයන්ටමයි. පින්වත අපි සියල්ලෝම අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩයෝමයි. පින්වත මේ දවස්වල රට තුළ සියදිවි නසා ගැනීම් වැඩි වෙලා නේද? විශේෂයෙන් තරුණ පාසල් දරුවෝ සියදිවි නසා ගන්න පෙළඹිලා තිබෙනවා නේද? සමාජය තුළ දෙමාපියන් සහ දූදරුවන්ගේ සම්බන්ධතාවය ගිලිහී යද්දී, සමාජය තුළ ගුරුවරුන්, ශිෂ්‍යයන් අතර සම්බන්ධතාවයන් ගිලිහී යද්දී, එතුළින් ගිලිහී යන්නේ සමාජ සම්බන්ධතාවයන් පමණක්ම නොවේ. පින්වත් දරුවන්ගේ ජීවිතවලට දෙමාපියන් සහ ගුරුවරුන් තුළින් එකතු විය යුතු මහා කුසල් සම්භාරයක් ද දරුවන්ගේ ජීවිතවලට අහිමි වෙලා යනවා. පින්වත් දරුවන්ට තම පින්වත් දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ලැබිය යුතු ආදරය, කරුණාව, සමානාත්මතාවය නොලැබී යද්දී, පින්වත් දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් කෙරෙහි ගැටෙන සිත් ඇති කොට ගෙන බලවත් අකුසල් ළමා, තරුණ ජීවිතවලට එකතු කොට ගන්නවා.

පින්වත ආර්ථිකයම, බලයම මුල් කොට ගත් ජීවන සූදුවක කරවටක් ගිලුණු සමාජයක, සමාජ සම්බන්ධතාවයන් ගැන කතා කරලා තේරුමක් නැහැ. රටේ දේශපාලනඥයා සහ ජනතාව අතර මනුෂ්‍යත්වයේ සම්බන්ධතාවයන් පුපුරා ඉරි තලා ගිය සමාජයක, දෙමාපිය, දූදරුවන්, ගුරුවරුන්, ශිෂ්‍යයන් අතර මනුෂ්‍යත්වයේ සම්බන්ධතාවයන් පුපුරා ඉරි තලා යාම ධර්මතාවයක්ම වෙනවා. පින්වත ළමා සහ තරුණ දිවිනසා ගැනීම් මොහොතකට පැත්තකින් තියන්න. දිනකට මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ නොමනා ලිංගික දූෂණයන්ගෙන් විනාශ වී යන තරුණ, ළමා ජීවිත කොතෙක් ද? එය අදට වඩා හෙට වැඩි වන සමාජ ක්‍රමයක් තුළම නේද වර්තමානයේ අපි ජීවත් වන්නේ? පින්වත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම මනුෂ්‍යත්වයේ උත්තරීතර නායකයෙක් වුණා. එම උත්තරීතර මනුෂ්‍යත්වයේ නායකත්වය නිසාම, ධනවත්, දුප්පත්, කුලවත්, කුලහීන, ප්‍රචණ්ඩ, සන්සුන් හැමෝම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඉදිරියේ නිවනෙන්මයි සැනසුණේ. පින්වත වර්තමානයේ අපිට මනුෂ්‍යත්වයේ නායකයන් සිටිනවා ද? අතීතයේ අපිට මනුෂ්‍යත්වයේ නායකයන් සිටියා ද? පින්වත අපේ නායකයෝ මනුෂ්‍යත්වයේ නායකයෝ නොවේ. අපේ නායකයෝ පක්‍ෂ නායකයෝ. පින්වත තමන්ට පක්‍ෂ ජනතාවට ජය වේවා, තමන්ට විපක්‍ෂ ජනතාවට ද්වේශය, වෛරය, පළිගැනීම සමාජගත කරන නායකයෝ, ජනතාවගේ නායකයෝ වෙන්නේ නැහැ. පින්වත් නායකයනේ, ඔබලාගේ පක්‍ෂ දේශපාලනය, කරුණාකර බලය ලබා ගන්නා තෙක් පමණක් ප්‍රයෝජනයට ගන්න. පින්වත් ඔබලා බලය ලබා ගත්තාට පසුව පක්‍ෂ සහ විපක්‍ෂ ජනතාව එක මිටකට ගන්න දක්‍ෂ වෙන්න. ජාති, ආගම්, කුල, පක්‍ෂ භේදයන්ගෙන් තොරව සමස්ත ජනතාවම ‘අපේ දරුවෝ’ යැයි දකින්න දක්‍ෂ වෙන්න.

තම තමන්ගේ දේශපාලන හැකියාවන් ක්‍රියාත්මකභාවයට පත් කොට ජනප්‍රිය වෙන්න, ලැබූ බලය ශක්තිමත් කොට ගන්න දක්‍ෂ වෙන්න. මෛත්‍රිය, සීලය, ත්‍යාගයේ ශක්තියෙන් ජනප්‍රිය වෙන්න උත්සාහ ගන්න. කසය පෙන්වා වහලාගෙන් වැඩ ගන්නවා වගේ, ෆයිල් පෙන්වා විරුද්ධවාදීන් දමනය කිරීම අනාගත දේශපාලන අසමගියට, වෛරයට ආහාරයන්මයි වෙන්නේ. කවුරුන් හෝ වැරදි කොට ඇති නම්, පක්‍ෂ භේදයකින් තොරව නීත්‍යනුකූලව දඬුවම් දෙන්න. වර්තමාන දේශපාලනය ජාතියේ අනාගත සමගිය උදෙසාම විය යුතුයි. මැතිවරණයක් ආසන්නයේ දූෂණ මතු කොට පෙන්වා, බලය ලබා ගත් පසුව සියල්ල අමතක කොට දමන, මෙතෙක් පැවැති ඡන්ද සූදුවට නැවතීමක් තබන්න. වර්තමානයේ මාතෘභූමියට අවශ්‍ය තවත් ආණ්ඩුවක් නොවේ. වර්තමානයේ මාතෘභූමියට අවශ්‍ය දේශපාලන මනුෂ්‍යත්වයයි, උතුම් මධ්‍යම ප්‍රතිපදාවට යටත් දේශපාලන සංස්කෘතියකුයි. එය එසේ නොවී වර්තමානයේ අපි තරුණ, ළමා, වැඩිහිටි සියදිවි නසා ගැනීම් ගැන කතා කරලා තේරුමක් නැහැ. දේශපාලන නායකත්වයෙන් සමාජයට මෛත්‍රිය, කරුණාව, දයාව ගලාගෙන ආ යුතුයි. ‘මම යි නිවැරදි’, ‘අපිමයි නිවැරදි’ යැයි දකින මමත්වයේ දැඩිභාවය, නිහතමානීභාවයෙන් පිරිසිදු කොට ගත යුතුයි. දේශපාලන නායක පින්වතුන් කරුණාකර ජනතාවට මෛත්‍රියයෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්‍ෂාවෙන් පූර්වාදර්ශ දෙන්න. දේශපාලනය මිථ්‍යාදෘෂ්ටික වුණොත්, දේශපාලනය අසමගියෙන් ඔද්දල් වුණොත්, එහි ලොකුම අලාභය අත්වන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටයි, ජාතික, ආගමික සමගියටයි. භික්ෂුව මේ තබන සටහන් දේශපාලනය උදෙසා නොව සම්මා සම්බුද්ධ ශාසනයේ ශක්තිය උදෙසාමයි.

පින්වත මහ පාරේ තාප්පයක අලවා තිබෙන දේශපාලන පෝස්ටරයක මෙසේ සටහන් වී තිබුණා, ‘පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය’ කියලා. පින්වත සත්‍යකින්ම පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතුමයි. ඒ පිළිබඳව රටවාසී කාටවත්ම තර්කයක් නැහැ, නමුත් පාර්ලිමේන්තුව මහා ශ්‍රමදානයකින් පිරිසිදු කරලා, පෙරළා අපි සිටුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට මුල් නොඅදින, හයිබි්‍රඩ් පැළ නම්, එම පිරිසිදු කිරීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට නම් සෙතක් වෙන්නේ නැහැ. පින්වත සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරන හැමෝටම ‘ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තා නසී’ යැයි වර්තමානයේ සිතන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ සියල්ලටම වගකිව යුත්තේ අතීතයේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ දෙපා තබා ගෙන සොරකම්, වංචා, දූෂණ, කොමිස් ගැසූ අතීත සියලු පක්‍ෂ, විපක්‍ෂ දේශපාලනඥයෝමයි. ඒ අය කරපු වැරදිවලට එරෙහිව, වර්තමානයේ ජනතාව ලබා දෙන තීන්දුවලට අපි ගරු කළ යුතුයි. අපි සියල්ලෝම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු, “සොරකම්, වංචා, දූෂණ නැති ජාතික දේශපාලනයක් වගේම, සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරන, සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතරභාවය හඳුනන, ජාතික දේශපාලනයක් බිහි වේවා!” යැයි කියලා. පින්වත සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. ලෝකය නිවැරදි කරන්න බැහැ. පින්වත ඒ නිසාමයි “තම හිස ගිනි ගත්තෙක් එම ගින්න නිවා ගන්න යම් වෙහෙසක් ද ගන්නේ, ඊට වැඩි වීර්යයක් ඇති කොට ගෙන මේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් ගිනි ගන්නා සංස්කාර ලෝකයෙන් නිදහස් වෙන්න” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ.