පින්වත වධකයා නමැති වචනය සිහිපත් වෙන කොට ඔබට බියක් ඇති වෙනවා නේද? පින්වත අපි හැමෝම වධකයා නමැති අර්ථයට බියක්, පිළිකුලක් ඇති කොට ගත්තත්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් ඔබව ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් වධයට පමුණුවන සැබෑම වධකයා සිටින්නේ පින්වත් ඔබ තුළමයි කියලා. පින්වත මේ වධකයා රතු ලේබල් ගැසූ ජාත්‍යන්තර වධකයෙක් නොව, ඊටත් වඩා අති භයානක කාම, රූපී, අරූපී පටිච්චසමුප්පන්න භව වධකයෙක් වෙනවා. පින්වත උදේ පාන්දරින්ම හෝ ප්‍රමාද වී ඔබව අවදි කිරීමේ පටන්, රාත්‍රී නින්ද දක්වාම මේ වධකයා ඔබ තුළ පටිච්චසමුප්පන්නව සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. පින්වත ඔබ රාත්‍රියට නිදා ගත්තා ය කියලා මේ වධකයා නිදා ගන්නේ නැහැ. පින්වත ඔබ පසුවෙන අඩ නින්දේදීත්, ඔබ පසුවෙන තද නින්දේදීත්, ඔබ දකින මිහිරි වේවා, අමිහිරි වේවා දිවා, රාත්‍රී සිහින තුළත් මේ වධකයා සක්‍රීයව සිටිනවා. පින්වත අපිව මෙහෙයවන, අපිට ආශ්වාදයේ පාඩම් උගන්වන අවිද්‍යාවේ ගුරුවරයා, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මළ පොතේ අකුරක්වත් දන්නේ නැහැ. ඒ නිසාම අවිද්‍යාවේ කීකරු ගෝලබාලයන් වන අපි, මේ වධකයාට කවලා, පොවලා, නාවලා, බෙහෙත් දීලා, වටිනා ඇඳුම් ආභරණ පළඳවලා ‘මම’ ය කියලා ම පෝෂණය කරනවා. පින්වත ආධ්‍යාත්මික රූපය තුළ පටිච්චසමුප්පන්නව බැසගෙන, රූපය ඇසුරෙන් සකස් වෙන ඵස්සයේ මොනවාට තැවරී, තමාගේම පටිච්චසමුප්පන්න පෝෂණයට සංස්කාර ආහාර සොයන මේ විඤ්ඤාණය නමැති වධකයාව කවදා ද ඔබ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ සතර සතිපට්ඨාන ධර්මයන් තුළින් විදර්ශනාත්මකව ඔබේ අත්අඩංගුවට ගන්නේ?
පින්වත අවිද්‍යාවෙන් උපදින සංස්කාරයන්ගේ හැඩරුවට අදාළව විඤ්ඤාණය වරෙක මැජික්කරුවෙක් වෙද්දී, තවත් වරෙක විඤ්ඤාණය මායාකරුවෙක් වෙද්දී, තවත් වරෙක විඤ්ඤාණය අපේ පටිච්චසමුප්පාද දැක්ම මරාගෙන, අපේ ආත්මීය දෘෂ්ටියේ මහා වධකයා වෙද්දී, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා,
“මහණෙනි, සංස්කාරයෝ යැයි කියන්නේ වංචාවක්, ප්‍රෝඩාවක්, ඇස්බැන්දුමක්මයි” කියලා. පින්වත සංස්කාරයන්ට රැවටෙන්න එපා. සංස්කාරයෝ නිත්‍ය, සැප, සුභ වශයෙන් ගන්න එපා. පින්වත සංස්කාරයෝ නිත්‍යයි, සැපයි, සුභයි යැයි දකින මොහොතක් පාසා, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති වධකයාට වර්ණය, සැපය, බලයමයි අපි ලබා දෙන්නේ. පින්වත මේ පටිච්චසමුප්පන්න වධකයාට සතර අපාය ද, සුගතිය ද, රූපී, අරූපී භවය ද කියන කාරණය අදාළ නැහැ. පින්වත ඔබ තුළ පටිච්චසමුප්පන්නව පෝෂණය වෙන විඤ්ඤාණය නමැති ඔබේ ම වධකයා අරූපී ධර්මතාවයක්. පින්වත නාමරූපයෝ හේතුවෙන් සකස් වෙන රූපී සළායතනයන් යනු, විඤ්ඤාණය නමැති අරූපී පටිච්චසමුප්පන්න වධකයා ගොදුරු සොයන ගොදුරු බිම් වෙනවා. පින්වත ඔබ ලබන සැප වේදනා සහ දුක් වේදනා තුළ පමණක් නොව, ඔබ ලබන මධ්‍යස්ථ විඳීම් තුළත් විඤ්ඤාණය නමැති වධකයාගේ දායකත්වය සක්‍රීයව තිබෙනවා. පින්වත පංච උපාදානස්කන්ධ ලෝකයේ ‘පස් පොළේම’ තැවරුණු පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති ඔබේම වධකයාගෙන් තොරව නාමරූප ලෝකය ගැන කතා කරන්න බැහැ. පංච උපාදානස්කන්ධ ලෝකයේ රජ කිරුලු පහක්ම දරා ගත් අරූපී විඤ්ඤාණය නමැති ඔබේ ම පටිච්චසමුප්පන්න වධකයා, තෘෂ්ණාවේ උපාදානයන්ගෙන් පටිච්චසමුප්පන්නව උපදින භව තෘෂ්ණාව තිබෙන තාක් කල් අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ අරූපී මහා වධකයාම වෙනවා. පින්වත ගොඩාක් පරිස්සම් වෙන්න, පින්වත් ඔබ විතරක් නොවේ අපේ රටේ මහා බලවතාත්, ජාත්‍යන්තරයේ මහා බලවතුනුත් මේ අරූපී විඤ්ඤාණය නමැති තමන් තුළම ක්‍රියාත්මක වන, තමනුත්, අනුන්වත් වධයට පමුණුවන මහා වධකයාගේ නූලෙන් නැටවෙන අවිද්‍යාවේ සංස්කාර රූකඩයෝමයි.
පින්වත උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් නවයොවුන් කරන, තවත් සුන්දර වස්සානයක් ගෙවී ගියා. විනයානුකූලව එකම කුටියක්, එකම ගමක් මුල්කොට ගෙන පුරා තුන් මාසයක්ම, එකම දායක පිරිසක් සමග වැඩ සිටීම නිසාම, පින්වත් ගම්වාසී පින්වතුන්ලා තුළ සංඝයා කෙරෙහි බැඳීම් හෙවත් උපාදානයෝ ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. එම හේතුව නිසා ම සංඝයා යනු ඥාතීන්, හිතවතුන් හෝ අයිතිකරුවෙක් නැති උතුම් සුපටිපන්න ගුණයේ ඒහිපස්සික හැඩරුව යැයි පින්වත් ගිහි පින්වතුන්ලාට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපි, අපිත් විනයානුකූලව ආරක්‍ෂා වෙලා, ගිහි පින්වතුන්ලාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියත් උපරිමයෙන් ආරක්‍ෂා කොට දීලා, අතීතයේ වැඩ සිටිය උතුම් ආර්ය මහා සංඝරත්නයේ ආත්මගරුත්වයත් ආරක්‍ෂා කොට තබලා, වස්සානයෙන් සමුගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. සංඝයා වන අපි වස්සානයෙන් ගමෙන් සමුගන්නේ යාළු, හිතමිත්‍රකම් යහමින් ගොඩනඟා ගෙන නම්, අපි වස්සානයෙන් සමුගෙන තිබෙන්නේ තෘෂ්ණාවේ උපාදානයෝ පොදි බැඳගෙනමයි. පින්වත බිත්තර දැමීමට බලාපොරොත්තු වෙන කිරිල්ලියක් ගොඩාක් කැපවීම් කරලා, කෝටු කැබලි එකතු කරලා, ගසක කූඩුවක් හදලා, එහි බිත්තර දමලා, එම බිත්තර දිවා රාත්‍රී නොබලා රැකලා, බිත්තර මෝරා පැටව් ඉපදිලා, එම පැටවුන්ව හොඳින් පෝෂණය කරලා, එම කුරුළු පැටව් යම් මොහොතක කූඩුවෙන් බැහැරට ඉගිලී ගිය පසුව, එම මවු කිරිල්ලිය පෙරළා කූඩුව දෙස නොබලාම කූඩුව හැර යයි ද, සංඝයා වන අපි වස්සානය තුළ අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් මොනවාට ශක්තිමත් කොට ගනිමින්, එම ශක්තිමත් වූ ගුණයන් තුළින් උපදින සාමීචිපටිපන්න ගුණයෙන් අපිට සිවුපසය පූජා කරන සහ නොකරන ගිහි සමාජයට චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් සංග්‍රහ කරලා, සමස්ත ලෝක සත්ත්වයාටම පුණ්‍ය නිධානයක් වෙලා, වස් පවාරණයෙන් අනතුරුව සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින්, දැක්ක, ඇසුණ, දැනුණ තෘෂ්ණාවේ සියලු උපාදානයෝ අවිද්‍යාවට ම භාර දී, පැටවුන් ලොකුමහත් කොට කූඩුව හැර යන කිරිල්ලියක් සේ වස්සානයෙන් සමුගෙන යන්න වනවාසී භික්ෂුවක් දක්‍ෂ වෙන්න ඕනේ. මෙය සටහන් තබන භික්ෂුවට ගෙවී ගිය වස් දහහත (17) සිහියට නැගෙද්දී, ඒ අතීත පංච උපාදානස්කන්ධයෝ උතුම් ධම්මානුපස්සනාවට කමටහනක් පමණක්මයි. පින්වත මේ අතීතයට එක්වූ පුණ්‍යවන්ත වස්සානය ගෞරවණීය මහා සංඝරත්නය සහ පින්වත් ගිහි පක්‍ෂය ජීවිතයට එකතු කොට ගත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය, අටමහා කුසල් ධර්මයෝ, උතුම් විදර්ශනාත්මක කුසල් ධර්මයෝ සත්පුරුෂ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසට ම සහ මේ පුණ්‍යවන්ත මාතෘභූමියේ ඒකීයභාවය උදෙසා සහ ආරක්‍ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවීම් සිදු කළ ආරක්‍ෂක හමුදාවන්හි සියලුම දේශමාමක පින්වතුන්ලාටත්, මහමෙරක්වන් වර්ණය, සැපය, බලය පිණිස ම හේතු වේවා! යැයි, “දිට්ඨෙන වා, සුතෙන වා…” යැයි ගාථාවන් සජ්ඣායනය කොට වස්සානයට සමුදුන් මේ පසළොස්වක පොහොය දින රාත්‍රියේ දී ගෞරවණීය සංඝ සමාජයේ අපි මෙත් සිතින් ආශිර්වාද කරමු.
පින්වත සමස්ත ශිෂ්ටසම්පන්න සමාජය ම පිළිකුල් කරපු වියරු මිනීමරු පාස්කු බෝම්බය තාමත් පිපිරෙනවා. පාස්කු බෝම්බයේ වෙඩි බෙහෙත් දුර්ගන්ධය තාමත් වරින් වර පැතිරෙනවා. පින්වත ධර්මානුකූලව මේ මිනීමරු පාස්කු බෝම්බවලට මහ මොළකරුවෙක් සිටිනවා. පින්වත ධර්මානුකූල සැබෑ මහ මොළකරුවා හඳුනා නොගැනීම නිසා ම, පාස්කු බෝම්බයේ ලෝභ, ද්වේශ, මෝහ අතුරු බෝම්බ පිපිරීම තවමත් අවසන් වෙලා නැහැ. පින්වත “එනපොට හොඳ නැහැ, වහ වහා ම කෙල්ල ගෙට ගන්න” යැයි පැරැන්නෝ කිව්වා සේ, තීරණාත්මක මහා මැතිවරණයක් ඉදිරියේ වර්තමානයේ පිපිරී යන පාස්කු බෝම්බයේ ලෝභ, ද්වේශ, මෝහ අතුරු බෝම්බ ගැන ආගම් භේදයකින් තොරව සියලුම ජනතාව අවදියෙන් පසු වෙන්න ඕනේ. පින්වත ධර්මානුකූලව පාස්කු බෝම්බයේ මහ මොළකරුවා වෙන අවිද්‍යා පච්චයා සංස්කාර යැයි කියන මහ මොළකරුවාව නිවැරදිව හඳුනා නොගැනීම නිසාම, අපි සියල්ලෝ ම තවමත් පාස්කු බෝම්බය උපයෝගී කොට ගෙන අවිද්‍යා පච්චයා සංස්කාර යැයි කියන මහ මොළකරුවාව කැමැත්තෙන් ම පෝෂණය කරනවා. පින්වත අවිද්‍යා පච්චයා සංඛාර කියන මේ පාස්කු බෝම්බයේ මහ මොළකරුවා ඉදිරි මහා මැතිවරණයෙන් පසුව උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දිය යුතු යැයි සඳහන් ව්‍යවස්ථාවේ වගන්තියටත් අත තියලා, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථය වන උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ව්‍යවස්ථාගත ගෞරවණීය කිරුළ, අනාගමික මිථ්‍යා දෘෂ්ටියේ කළු රෙද්දකින් වසා දමයි දෝ දැයි භික්ෂුවට සිතෙනවා. පින්වත අවිද්‍යා පච්චයා සංඛාරා යැයි ධර්මානුකූලව හඳුන්වන පාස්කු බෝම්බයේ මහ මොළකරුවා මේ සූදානම් වන්නේ, පසුගිය ගෝල්ෆේස් අරගල භූමියේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ කළු පැහැයෙන් වෙසක් කූඩු සාදා, කළු පැහැයෙන් වෙසක් සැරසිලි සිදු කළ මිථ්‍යා දෘෂ්ටික සංස්කෘතියට, හෙට දවසේ අනාගමික රාජ්‍යයක් තුළින් නීත්‍යනුකූලව පණ දෙන්න ද?
පින්වත අධර්මයෝ, අධර්මයන්මයි සමාජගත කොට දෙන්නේ. කරුණාකර ද්වේශයෙන්, පළිගැනීමේ චේතනාවෙන්, ගැටෙන සිතුවිලිවලින් තීරණ තීන්දු ගන්න යන්න එපා. පින්වත අපි ගැටෙන සිතින් තීන්දු තීරණ ගත්තොත්, අධර්මයෝමයි පෙරළා විපාකයට පැමිණෙන්නේ. පින්වත තමන් අත්විඳින අසාධාරණයන් ඉදිරියේ මනුෂ්‍යයා තුළ ගැටෙන සිතුවිලි සකස් වීම මනුෂ්‍ය ධර්මතාවයක්. පින්වත්, බුද්ධිමත්, ජයග්‍රාහී දේශපාලන නායකයෝ දක්‍ෂ විය යුතුයි, ජනතාව තුළ සකස් වන අකුසල් චේතනාවන්ට ආහාර අවම කොට දෙන්න. එවිටයි දේශපාලන නායකයෝ සැබෑ සත්පුරුෂ ජනතා නායකයන් බවට පත් වෙන්නේ. පින්වත උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් හිමි කිරුළ යමෙක් අහිමි කිරීමට උත්සාහ ගන්නේ නම්, එය තම තමන් දරන රාජකීය කිරුලු අභියෝගයන්ට ලක් වීමේ බලවත් අකුසල් විපාකයන්ම වෙන්න පුළුවන්. කරුණාකර නැති ජාතික ප්‍රශ්න ඇති කොට නොගෙන, තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි.