ලෝභ සිත් මහා සාගරයේ ජලය තරම් විශාලය

පින්වත, අපි ගෙවාගෙන පැමිණි අතිදීර්ඝ පටිච්චසමුප්පන්න භවගමනේ දී අපිට වැඩියෙන් ම මුණගැසුණේ බුද්ධෝත්පාද කාලයන්ද? එසේත් නැතිනම් අබුද්ධෝත්පාද කාලයන්ද? පින්වත, අපිට මුණගැසී තිබෙන බුද්ධෝත්පාද කාලයන් ඉතාමත් පුංචි කාලයක්. අපිට මුණ ගැසී තිබෙන අබුද්ධෝත්පාද කාලයන් මහමෙරක් වගේ විශාලයි. එසේනම් පින්වතුනි, අපි සංසාරයේ වැඩියෙන්ම පුහුණු කරලා තිබෙන්නේ ධර්මයද? එසේත් නැතිනම් අධර්මයද? පින්වත, අතීත භවගමනේ දී සම්මා දිට්ඨිය පුහුණු කළ කෙටි කාලයත්, මිථ්‍යා දෘෂ්ටිය පුහුණු කළ මහමෙරක් වැනි දීර්ඝ කාලයත් අතර වෙනස මොනතරම්ද? පින්වත, අපි අතීත භවගමනේ වැඩියෙන් ම පුහුණු කොට තිබෙන්නේ ලෝභ සිත්ද? එසේත් නැතිනම් අලෝභ සිත්ද? පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි ලෝභ සිත් ද අලෝභ සිත් ද වැඩියෙන් පුහුණු කොට තිබෙන්නේ? පින්වත, වර්තමානයේ අපි ඉපදී තිබෙන බුද්ධෝත්පාද කාලයේදීත් සළායතනයෝ නිත්‍යයි කියලා නේද අපි දකින්නේ? සළායතනයන් හේතුවෙන් සකස් වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ නිත්‍යයි කියලා නේද අපි දකින්නේ? පින්වත, අතීත සංසාරයක් පුරාවට පටිච්චසමුප්පන්නව අපි පුහුණු කොට ඇති අලෝභ සිත් මහා සාගරයේ ජලයෙන් ජල බිඳුවක්නම්, අපි පුහුණු කොට ඇති පංචඋපාදානස්කන්ධයෝ කෙරෙහි ලෝභ සිත් මහා සාගරයේ ජලය තරම් විශාලයි. පින්වත, නිවනට පක්‍ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන් තුළ වැඩිම වාර ගණනක් සඳහන් වෙන්නේ ‘වීර්යය’ කියන අර්ථයයි. පින්වත, සම්මා වීර්යයයෙන් තොරව අපි කෙසේනම් අතීත පටිච්චසමුප්පන්න භවගමනේ දී පුහුණු කළ උතුම් සම්මා දිට්ඨියේ සහ මිථ්‍යා දෘෂ්ටිය අතර පරතරය ජය ගන්නද?

පින්වත, මේ දිනවල අ.පො.ස (උ.පෙ.) විභාගයට සූදානම් වන පින්වත් දරුවෝ ස්වාමීන් වහන්සේලා හමුවට ඇවිල්ලා, තම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න යැයි කියලා, ආශීර්වාද ලබාගන්නවා. “පින්වත් දරුවනි, සංඝ සමාජයේ අපි ආශීර්වාද කළාය කියලා, ඔබලා විභාගවලින් සමත් වෙන්නේ නැහැ. සංඝරත්නය ආශීර්වාද කිරීම තුළින්, පින්වත් දරුවන් තුළ තෙරුවන් කෙරෙහි විශ්වාසය, ශක්තිමත් කොට ගන්න. එවිට මෛත්‍රී චිත්තයන් ශක්තිමත් වෙනවා. පින්වත් දරුවන් තුළ තමා කෙරෙහි විශ්වාසය, වීර්යය ශක්තිමත් වෙනවා. දරුවන් තුළින් අකුසල් යටපත් වෙලා පුණ්‍ය සිතුවිලි මතු වෙනවා. උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ප්‍රධානම ආනිශංස ධර්මය තමයි බිය, සැකය, විචිකිච්ඡාව පහවෙලා තම අධ්‍යාපනික අරමුණු කෙරෙහි හොඳින් සිහිය පවත්වා ගැනීමට හැකි වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් දරුවන්ට අනාගතයේ ඉහළ වෘත්තිකයෙක් වෙන්න අවශ්‍යනම්, ඒ කියන්නේ හොඳින් විභාග සමත් වෙන්න අවශ්‍යනම්, මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබන්නය කියලා. ධර්මය සහ අධර්මය, කළ යුත්ත සහ නොකළ යුත්ත අසා දැන ගන්නය කියලා. අසා දැනගත් යහපතට අදාළව ජීවත් වෙන්නය කියලා. පින්වත් දරුවෙනි, ඔබ බෞද්ධ දරුවෙක්නම්, ස්වාමීන් වහන්සේලා හමුවෙලා, ඔබ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් දරුවෙක්නම්, අදාළ පූජකතුමන්ලා මුණ ගැසිලා ආශීර්වාද ලබාගන්න. කළ යුත්ත, නොකළ යුත්ත කුමක් ද කියලා අසා දැන ගන්න.

දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට කීකරු වෙන්න. මේවා තමයි පින්වත් දරුවන්ගේ ජීවිත අධ්‍යාපන ජයග්‍රහණයන් කරා ඔසවා තබන කුසල් නිධි බවට පත් වෙන්නේ. පින්වත් දරුවෙනි, සංස්කාර පච්චයා විඤ්ඤාණං; පින්වත, සංස්කාරයන්ට අදාළවයි පින්වත් දරුවන්ගේ දැනීම් සකස් වෙන්නේ. අධ්‍යාපනයට අදාළ ඉහත සංස්කාරයෝ ශක්තිමත් වෙද්දී, පින්වත් දරුවන්ට දැනීම් සකස් වෙනවා. අධි වීර්යයයෙන් සහ හීන වීර්යයයෙන් බැහැර වෙලා මධ්‍යස්ථ වීර්යයයෙන් තම තමන්ගේ අධ්‍යාපන විෂය දැනුම ශක්තිමත් කොට ගන්න. ශක්තිමත් විභාග ජයග්‍රහණයක් උදෙසා බිය සහ සැකය පහ වූ, නොවිසිරුණු මනසක් අත්‍යවශ්‍ය වෙනවා. පින්වත් දරුවෙනි, මධ්‍යස්ථ වීර්යය යැයි කියන්නේ බෞද්ධ දරුවෙක්නම්, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සහ අන්‍යාගමික දරුවෙක්නම්, තම ආගමික ශාස්තෲන් වහන්සේලාට ගරුකරමින්, හැමෝට ම ‘සුවපත් වේවා!’ යැයි මෙත් සිත පතුරුවමින්, සීලයේ ශක්තිය ජීවිත තුළ ඇති කොට ගනිමින්, ඇති කොට ගන්නා සංසිඳුණු මනසින් ඔබලාගේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. පින්වත් දරුවන් පාඩම් කරන කාලයේ දී දෙමාපියන්ට බොරු කියන්න එපා. සමහර දරුවෝ පාඩම් නොකර ඉඳලා, තමන් පාඩම් කළාය කියලා දෙමාපියන්ට බොරු කියනවා. පින්වත් දරුවෙනි, මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් යුත් දෙමාපියන්ට බොරු කීම ඔබලාගේ විභාග ජයග්‍රහණයන්ට අවශ්‍ය කුසල් ශක්තිය මොට කරලා දමන්න පුළුවන්.

පින්වත, මේ ජීවිතයේ දී මහා මාලිගාවල ජීවත් වන ධනවතුන් දුශ්ශීලව ලෝභ සිත් වඩලා, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී, පොල්අතු පැලක උපදිනවා. මේ ජීවිතයේ දී දුප්පත් පින්වත, මුළු ලෝකයේම ජීවත් වන දුප්පත්, අසරණ, පින්වත් මනුෂ්‍යයෝ සිහියට නඟාගෙන ‘සුවපත් වේවා!’ යැයි මෙත් වඩන්න. පින්වත් ඔබ තුළ වැඩුණ සෑම මෛත්‍රී චිත්තයක්ම අනිත්‍ය යැයි චිත්තානුපස්සනාවෙන් දකින්න. මෛත්‍රිය නිසා ඔබ තුළ සකස් වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ විඳීමක් යැයි වේදනානුපස්සනාවෙන් දකින්න. මේ සියලු ධර්මතාවයෝ, මේ සියලු සංස්කාරයෝ, මේ සියලු ධනවත්, දුප්පත් රූපස්කන්ධයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් දකින්න. පින්වත, අතීතයේ කල්ප විනාශයන් දසදහස් ගණනක් සිද්ධ වුණත්, ඉවරයක් නැති පොහොසත් සහ දුප්පත් සංස්කාර තට්ටු මාරුව ලෝකය තුළ තබා ඔබ ලෝකයෙන් මැකී යන්න.

පින්වත, අපි ජීවත් වන පුණ්‍යවන්ත මාතෘභූමිය උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වල කොටගත් මිච්ඡා ගමනක් යන්නේ. මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝයි. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අයිති ලෞකික සැපයන් ලබාදෙන එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පල නොකියා පලා බෙදන සමාජයක් අපි ඉදිරියේ ගොඩනැඟෙමින් පවතිනවා. පින්වත සද්ධර්මයට ගරු කරන ඔබ සමාජගත වන අධර්මයන් දැකලා නොමනා කලකිරීම් ඇතිකොට ගන්න එපා. අධර්මයන් ඉදිරියේ ඔබ නොමනා කලකිරීම් ඇතිකොට ගෙන නිහඬ වුණොත්, ඔබත් විනාශයටමයි පාවඩ එලුවා වෙන්නේ. පින්වත, ඔබ තුළ මතු වෙන කලකිරීම්, නිවැරදිභාවය උදෙසා හෝ ඔබේ අවබෝධය උදෙසාම වියයුතුයි. ඔබ තුළ මතු වෙන කලකිරීම් නිවැරදිභාවය උදෙසා හෝ අවබෝධය උදෙසා යොමු කොට නොගෙන, ඔබත් සමාජයෙන් සැඟවී සිටියොත්, කෙටි ආස්වාදයෝ ඉදිරියේ ලබන දීර්ඝ ජාතික ආදීනවයෝ, අනාගතයේ දී අතිශය බරපතළ වේවි. පින්වත් ඔබ ධනවත් රටක් සහ ජනතාවක් ගොඩනඟනවා වගේම, ජනතාව මිථ්‍යා දෘෂ්ටියෙන් සහ පරලොව දුගතියෙන් මුදා ගැනීමේ පූර්වාදර්ශයන් සමාජගත කරන්න ඕනේ. මේ ජීවිතයේදී ධනවතෙක් වෙලා, ඊළඟ ජීවිතයේ දී සතර අපායටනම් වැටෙන්නේ, ඔබ ලැබූ ධනවත්භාවය මිච්ඡා ධනවත්භාවයක්මයි.

පින්වත, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට තිබෙනවා, “මහණෙනි, සමාජයේ යහපතට හේතු වෙන සම්මතයන්, පුරුදු, පුහුණු වෙනස් කරන්න යන්න එපා”ය කියලා. ජ්‍යොතිෂ විද්‍යාව, බුදුදහම බැහැර කළත්, ශ්‍රාවක අපි, සිංහල අලුත් අවුරුද්දේ ජනතාව පිළිපදින නැකැත් ශාස්ත්‍ර එපා කියන්නේ නැහැ. ඒවා සමාජයට බැඳුණ, සමාජයේ යහපතට හේතු වෙන දේවල්. පින්වත් දරුවෙක් වැඩිහිටියකුට වන්දනා කරද්දී, අපි එම පින්වත් දරුවාට වඳින්න එපා කියන්නේ නැහැ. වැඩිහිටි වන්දනාව මෛත්‍රියට අදාළ ආනිශංස ධර්මයෝ එකොළහක්, අදාළ වැඩිහිටියාටත්, දරුවාටත් ලබාදෙන ධර්මතාවයක්. පින්වත ගෙවී ගිය ලෝක ළමා දිනයේ දී මොන නායක පින්වතා ද මොන ගෞරවණීය ගුරුවරයා ද තම පාසලේ දරුවන්ට, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට වන්දනා කිරීමේ වටිනාකම කියලා දුන්නේ? දරුවෙනි, ඔබේ දෙමාපියන් මහා බ්‍රහ්මයන් යැයි කියලා දුන්නේ? පින්වත් දරුවන්ගේ ජීවිතවලට ලබාදිය හැකි මිල කළ නොහැකි මහා කුසල් නිධි අවිචාරයෙන් බැහැර කරලා, එකම වේග රිද්ම සංගීතයට පින්වත් පිරිමි, ගැහැනු සිසු දරුවන් සහ පින්වත් ගුරුවර, ගුරුවරියන් නටන, ගයන පංචනීවරණ අකුසල්වලින් සිසු, ගුරු ජීවිත පුරවා ගන්නවා. පින්වත, සම්මා දිට්ඨිය හඳුනන නායකයන්ගේ ඉඩෝරය නිසාම, ජාතියක් හැටියට අපි මේ විනෝද වෙමින් යන්නේ කාමයේ කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ දිශාවට නේද? පින්වත, “අධර්මයෝ අධර්මයෝ ම වඩත්”, මේවා යළි නිවැරදි කොට ගන්න ලේසි වෙන්නේ නැහැ.