පිංවත ලෝකය උඩු යටිකුරු වෙමින්, යළි යටි උඩුකුරු වෙමින් පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. පිංවත තෘෂ්ණාව තිබෙන තැන උපාදානයෝ තිබෙනවා. උපාදානයෝ තිබෙන තැන භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ තිබෙනවා. පිංවත මේ ජීවිතයේ විසිතුරු රටා දමලා, ලස්සනට මල් වට්ටි හදන දරුවෙක් සිටිනවා. මේ දරුවා ලස්සන විසිතුරු රටා දැමූ මලින් බුදුසමිඳුන්ට පූජා පවත්වනවා. එම පිනෙන් එම දරුවා පටිච්චසමුප්පන්නව ඊළඟ මනුෂ්‍ය ජීවිතයේ දී කලාත්මක හැකියාවන් සහිත මනුෂ්‍යයෙක්ව උපදිනවා. ඔහු තමන් ලැබූ කලාත්මක හැකියාවන්ට හේතුව ධර්මානුකූලව විනිවිද දකින්න දක්‍ෂ නැහැ. ඔහු තම කලාකාමී හැකියාවන් තුළින් උතුම් තෙරුවන් උදෙසා සකස් කරන මල් සැරසිල්ලටත් නො වටිනා මිලක් අය කරලා, එම අකුසල් විපාකයන් හේතුවෙන් ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතයේ මලක් දකින්න නැති කාන්තාර පරිසරවල අවලස්සන මනුෂ්‍යයෙක්ව උපදිනවා. පිංවත තවත් පිංවතෙක් සිටිනවා, එම පිංවතා යහපත් වචනමයි කතා කරන්නේ. එම පිංවතා බොරු කියන්නේ නැහැ. එම සම්මා වාචාවන්ගේ පිනෙන් එම පිංවතා මරණින් පසු ඊළඟ පටිච්චසමුප්පන්නව ලබන මනුෂ්‍ය උපතේ දී, ලස්සන, අනුනගේ සිත් ආකර්ෂණය කරන මිහිරි කටහඬක් ලබනවා. ඔහු තමන් ලැබූ මිහිරි කටහඬට හේතුව ධර්මානුකූලව ගළපා දකින්න දක්‍ෂ නැහැ. එම පිංවතා තම මිහිරි කටහඬින් උතුම් තෙරුවන් උදෙසා පිංකමක දී කතා කරන වචනවලටත් නො වටිනා මිලක් අය කරලා, ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතයේ දී ගොරහැඬි, අමිහිරි, අස්වාභාවික කටහඬක් ලැබීමට අදාළ සංස්කාරයෝ රැස්කොට ගන්නවා. පිංවත ලෝකය උඩු යටිකරු වෙමින්, පටිච්චසමුප්පන්නව ගමන් කරනවා.
පිංවත ජීවිතයක් කියන්නේ අවිද්‍යාවෙන් උපන් පටිච්චසමුප්පාද ධර්මයන් තුළ ගලා යන දහමක්. එම දහමේ කුසල් සහ අකුසල් තිබෙන නිසා ම, ලෝකය තුළ දක්‍ෂයෝ සහ අදක්‍ෂයෝ යන දෙවර්ගය ම සිටිනවා. පිංවත කල්‍යාණමිත්‍ර ඇසුර, කල්‍යාණ ධර්මයෝ සහ එම කල්‍යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කිරීම සහ උතුම් ධර්මානුධර්ම ප්‍රතිපදාව, දක්‍ෂයෝ පෝෂණය කරන සද්ධර්මයේ මවුකිරි වෙනවා. පිංවතෙක් සිටිනවා, ඔහු මහා සංඝරත්නයට දන් පූජා කරන කෙනෙක්, ධර්ම දානය පූජා කරන කෙනෙක්, එම පිනෙන් එම පිංවතා මියගොස් පටිච්චසමුප්පන්නව තාක්‍ෂණික උපකරණයන් භාවිතයට දක්‍ෂ, තාක්‍ෂණික ඥානය සහිත මනුෂ්‍යයෙක්ව උපදිනවා. ඔහු තමන් ලැබූ තාක්‍ෂණික ඥානයට හේතුව ධර්මානුකූලව ගළපා ගන්න දක්‍ෂ නැහැ. ඔහු තමන් ලැබූ තාක්‍ෂණික හැකියාව උපයෝගී කොට ගෙන උතුම් ශ්‍රී සද්ධර්මය සමාජ මාධ්‍ය ජාලා තුළින් මුදල් සෙවීමේ මාර්ගයක් බවට පත් කොට ගන්නවා. යූ ටියුබ් උපාදානයෝ අසිහියෙන් වැළඳ ගන්නවා. මෙම ශ්‍රී සද්ධර්මය විකිණීමේ අකුසල් විපාකයන් නිසා ම, එම පිංවතා මියගොස් පටිච්චසමුප්පන්නව සද්ධර්මයක් නො ඇසෙන, මිථ්‍යාදෘෂ්ටික සමාජවල උපත ලබනවා. එදාට එම පිංවතාට සද්ධර්මය අමිහිරි වචනයක් ම වෙනවා. පිංවත් තරුණියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී, සද්ධර්මය සිහිපත් වෙද්දී තමන්ට කේන්තියක්, ගැටෙන සිතක් ඇති වෙනවා ය කියලා, තෙරුවන්ට අගෞරව වෙන සිතුවිලි ඇති වෙනවා ය කියලා. පිංවත උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට බලවත් ලෙස අභියෝග කරන මෙවැනි මනෝභාවයන් ඇති වීමට පටිච්චසමුප්පන්න හේතුව වෙන්නේ, බෝධිසත්ත්වයන් වහන්සේ මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීමෙන්, මහ පොළොවේ පසට වඩා ශරීර මාංශ දන් දීමෙන් අවබෝධ කොට වදාළා වූ, මේ උතුම් ශ්‍රී සද්ධර්මය, බුදුරජාණන් වහන්සේ පාංශුකූල චීවරයෙන්, පිණ්ඩපාත දානයෙන්, ලැබුණු සෙනසුනකින්, රුක්ඛ මූලයකින්, ඖෂධ, ගිලන්පසකින් යැපෙමින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට අගෞරව කිරීම, සද්ධර්මය විකිණීම වැනි අතීත අකුසල් විපාකයෝ ම වෙන්න පුළුවන්. මේවා එසේ නොවේ යැයි යම් පිංවතෙක් සිතනවා නම්, කරුණාකර භික්ෂුවට සමාවෙන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපිලා භික්ෂූන් අමතා, “මහණෙනි, ඔබලාට යම් ධර්ම ගැටලුවක් තිබෙනවා නම්, බුදුරජාණන් වහන්සේගෙන් විමසා දැන ගන්න” කියලා මතක් කරනවා. ස්වාමීන් වහන්සේලාගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, ඔබලා සිතනවා නම් මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීම බුදුරජාණන් වහන්සේව වෙහෙසට පත් කිරීමක් ය කියලා, ඔබට තිබෙන ධර්ම ගැටලුව වෙනත් භික්ෂුවක් හරහා විමසන්න” කියලා. පිංවත බුදුරජාණන් වහන්සේ පිරිනිවී යන්න පුංචි නිමේෂයකට පෙරාතුවත් ලෝක සත්ත්වයාට දැක්වූ මේ මහා කරුණා ගුණය, අපි මුදල් සමග පටලවා ගත්තොත්, එය අපේ භව ගමනට ගින්දරක් ම වෙන්න පුළුවන්. පිංවත තෘෂ්ණාවේ උපාදානයෝ බහුල වෙද්දී, පිංවත් ඔබගේත්, භික්ෂුවගේත් සතිය සිහිය දුර්වල වෙනනිසාමයි, ඉහත ධර්මයෝ භික්ෂුව තමා තුළින් ම සිහිපත් කොට ගනිමින් පිංවත් ඔබේ දැන ගැනීම උදෙසා සටහන් තබන්නේ.
පිංවත කැලෑ පරිසරයට තවත් රාත්‍රියක් උදා වෙලා. වටාපිටාව කොහේ බැලුවත් තිත්ත කළුවරයි. පිංවත කළුවරට කතා කරන්න බැහැ. පිංවත කළුවරට කතා කරන්න පුළුවන් නම්, අඳුරේ අපි නො දකින ගොඩාක් දේවල් කළුවර අපිට කියලා දේවි. මේ තිත්ත කළුවර රාත්‍රියේ කුටියේ ආලින්දයේ තිබෙන පුටුව මත වාඩි වෙලා, භික්ෂුව තිත්ත කළුවරත් සමග හදවතින් දොඩමලු වෙනවා. පරිසරයේ තිත්ත කළුවරට භික්ෂුවගේ ප්‍රභාෂ්වර සිත කළුවර කරන්න බැහැ. තිත්ත කළුවර ඉදිරියේ භික්ෂුවගේ සිත විදර්ශනාත්මක සප්ත බොජ්ඣංගයන්ගෙන් ආලෝකවත්. පිංවත අපි කළුවරට මොනතරම් නම් අසාධාරණයක් ද කරන්නේ? අපි හැමෝම කළුවරට හරිම භයයි. අපි කළුවරට කියන්නේ හරිම ගුප්තයි කියලා, කළුවර තුළ බියකරු බව සැඟවිලා තිබෙනවා ය කියලා. පිංවත නැවත කළුවරට චෝදනා කරන්න එපා. කළුවර හරිම අහිංසකයි, එයාගේ පාඩුවේ එයා රාත්‍රියට ඇවිල්ලා හිමිදිරි උදේට එයා යන්න යනවා. එයා කාටවත් ම හිරිහැරයක් කරන්නේ නැහැ. පිංවත අපි කළුවරට කෘතවේදීභාවයෙන් මෙත් වඩන්න ඕනේ. පිංවත ගුප්ත බව තිබෙන්නේ, බියකරු බව තිබෙන්නේ කළුවරේ නොව, කළුවර හේතුවෙන් සකස් වෙන අපේ විඳීම් තුළ නේද? පිංවත ගුප්ත බව, බියකරු බව අපි තුළ තියාගෙන, ඇයි අපි අහිංසක කළුවරට චෝදනා කරන්නේ? පිංවත කළුවරට චෝදනා නොකර, අපේ ජීවිතවල පංච නීවරණ අඳුර අපි සප්ත බොජ්ඣංගයන්ගෙන් ආලෝකවත් කර ගනිමු. එවිට අපි හැමෝටම ආලෝකයත්, කළුවරත් යන දෙකම වෙනසකින් තොරව ම ධම්මානුපස්සනාවක් ම වේවි. ඔබේ ජීවිතය ආලෝකයත්, කළුවරත් ජය ගත්තා වේවි. ආර්ය විමුක්තියේ ආලෝකය කෙලෙස් අඳුර නිවා දැම්මා වේවි.
පිංවත ජීවිතයට ඉඩ දෙන්න, ස්වභාවධර්මය සමග නිදහසේ ජීවත් වෙන්න. පිංවත ස්වභාවධර්මය යැයි ධර්මානුකූලව කියන්නේ, ඔබ අවට තිබෙන ස්වාභාවික පරිසරය නොවේ. ඔබ අවට තිබෙන ස්වාභාවික පරිසරය සමග ඔබේ ජීවිතයට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දුන්නොත්, ඔබ ආශ්වාස කරන්නේ දූෂණය වූ වාතය, ඔබට පානය කරන්න සිද්ධ වෙන්නේ විෂ සහිත ජලය, ඔබට කෑමට සිද්ධ වෙන්නේ වස විෂ සහිත ආහාර, ඔබේ සිතට නැගෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අධර්මයෝමයි. පිංවත සත්ත්වයා කර්මය දායාද කොට උපදියි, සත්ත්වයා කර්මය මගේ කොටගෙන උපදියි, සත්ත්වයා කර්මය සෙවණැල්ල කොටගෙන උපදියි. පිංවත අවිද්‍යා පච්චයා සංඛාරා. ආත්මීය සංඥාවේ රූකඩයකින් තොර හේතුඵල ධර්මයෝ, අපේ ජීවිතවල හොඳ සහ නරක දැනීම් සකස් කොට දෙන සංස්කාර ලෝකයක, අවිද්‍යා කුඩම්මාගේ සංස්කාර තොටිල්ලේ නැළවෙන අපි, ලෝකයේ හරි හෝ වැරදි නොවේ දැකිය යුත්තේ. හරි සහ වැරදි යන අර්ථයන් දෙක ම ලෝකයේ උරුමයයි කියන කාරණයයි. පිංවත කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය වෙනස් වෙන ස්වභාවයෙන් ම තිබෙන්නට හැර, පිංවත් ඔබ, ඔබේ ජීවිතයට ඉඩ දෙන්න, ස්වභාවධර්මය සමග නිදහසේ ජීවත් වෙන්න. ධර්මානුකූලව ස්වභාවධර්මය යැයි ඔබ දැකිය යුත්තේ, ඔබේ නාම, රූප ලෝකයයි. සළායතනයන් හේතුවෙන් සකස් වෙන ඔබේ ඵස්සයයි. ඔබේ ඵස්සය විඳීම් තුළින් සංස්කාර වස විෂ බවට පත් කොට ගන්න එපා. පිංවත මොහොතක් ඔබේ දෑස් පියාගෙන ඔබ දකින, ඔබට ඇසෙන, ඔබට දැනෙන ඔබේ ඵස්සය අනිත්‍ය යැයි දකිමින් ජීවත් වෙන්න. ඔබේ ඵස්සයට තෘෂ්ණාවේ තැවරෙන්න ඉඩ දෙන්න එපා. එවිටයි ඔබ ස්වභාවධර්මය තුළ නිදහසේ ජීවත් වුණා වෙන්නේ.
පිංවත ඔබ ආදරයට අවංකව ම ආදරය කරන කෙනෙක් ද? එසේත් නැතිනම් ඔබ ආදරය ඉදිරියේ බොරු කරන කෙනෙක් ද? පිංවත ඉහත කාරණා දෙකටම එකම හේතුව වෙන්නේ තෘෂ්ණාවයි. නමුත් අපි තෘෂ්ණාව කියන කාරණය මතුකොට දකින්න කැමති ම නැහැ. අපි දකින්නේ ආදරයේ ඇත්ත සහ ආදරයේ බොරුව කියලා. පිංවත වේදනා පච්චයා තණ්හා කියන ධර්මතාවය තුළ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මැජික්කරුවා බැසගෙන සිටිනවා. මේ මායාකාරී, අරූපී මැජික්කරුවා කැමති නැහැ අපේ විඳීම් තුළ තෘෂ්ණාව මතු වෙලා පෙනෙනවාට. මේ මායාකරුවා තෘෂ්ණාව වසා ආදරය සහ අනාදරය කියන දෙඅර්ථයයි මතුකොට පෙන්වන්නේ. පිංවත ආදරයත්, අනාදරයත් කියන කාරණා දෙකම අයිති තෘෂ්ණාවට යැයි අපි දැන ගත්තොත්, අපි දන්නවා එතැන සංස්කාරත්, අවිද්‍යාවත් තිබෙනවා ය කියලා. ඒ වගේමයි අපි ආදරය සහ අනාදරය තුළ බැස ගත්ත තෘෂ්ණාව හඳුනා ගත්තොත්, අපි දන්නවා එතැන උපාදානයෝ, භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සියල්ල ම තිබෙනවා කියලා. පිංවත මේ ධර්මයේ ඇත්ත අපි අවබෝධ කොට ගත්තොත්, පටිච්චසමුප්පන්න ක්‍රියාන්විතය තුළ ම අවිද්‍යාවේ පිහිටෙන් බැසගෙන සිටින විඤ්ඤාණයේ මැජික්කරුවා හෙවත් සැප සහ දුකේ මායාකරුවා වන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට අපි ආහාරයෝ අහිමි කළා වෙනවා. එවිට ආදරය සහ අනාදරයේ සළුපිළි යට සැඟවුණු තෘෂ්ණාවේ බොරුව පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයෙන් අපි පරාජය කොට දැම්මා වෙනවා. පිංවත කරුණාකර ඔබ මීට පස්සේ ආදරය කරද්දී, ආදරය කියන්නේ තෘෂ්ණාව යැයි දකින්න. අනාදරය තුළත් බැසගෙන තිබෙන්නේ තෘෂ්ණාව යැයි දකින්න. එවිට ඔබ මේ දෙඅර්ථයෝ මුල්කොටගෙන, සංස්කාර අනතුරු අවම කොට ගන්නවා. එසේ නො වුණොත් ඇත්ත ආදරය තුළිනුත්, බොරු ආදරය තුළිනුත් අපි එකතු කොට ගන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ගොඩක් පමණක්මයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ සහ අප්‍රියයන් හා එක්වීමේ දුක පමණක්මයි. පිංවත දුකේ නිමාවට, ඔබේ ආදරය ආරම්භයක් කොට ගන්න. අනාගතයේ කවදාහරි දවසක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔබට අයිති කොට දෙන ආදරය, ලෝකය තුළ තිබෙන්නට හැර ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. එවිට නැවත ඔබ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක සහ අප්‍රියයන් හා එක්වීමේ දුක, කවදාකවත් ම ලබන්නේ නැහැ. එතෙක් අපි අනුන් යැයි සිතා, තමාගේ ම ඵස්සය හේතුවෙන් සකස් වෙන ඇලීම් සහ ගැටීම්වල රස සහ නීරස බලමින් ජීවත් වෙනවා.
පිංවත හැමදාමත් තම දෙමාපියන්ට වන්දනා කරලා රාත්‍රී නින්දට යන දරුවෙක්, පසුගිය දවසක දෙමාපියන්ට වන්දනා කරන්නේ නැතුව නින්දට ගිහින් තිබෙනවා. පසුවදා උදේ තාත්තා එම දරුවාගෙන් අහලා, “ඇයි පුතේ, ඊයේ රාත්‍රී දෙමාපියන්ට වන්දනා නො කර නින්දට ගියේ?” කියලා. එවිට එම දරුවා කියනව ලු, “තාත්තේ මට අමතක වුණා” ය කියලා. ඒ වෙලාවේ තාත්තා දරුවාට අවවාද දුන්නා ලු, “පුතේ, යහපත් දේවල් අමතක වෙන්න දෙන්න එපා” ය කියලා. පිංවත යහපත් දේවල් කියන්නේ ලෝකයේ දුර්ලභ දේවල්. අපි ලෝකයේ දුර්ලභ දේවල් අමතක කළොත්, ලෝකයේ සුලබ දේවල් අපිව ගොදුරු කොට ගන්නවා. පිංවත උතුම් සම්මා දිට්ඨිය දුර්ලභ වෙද්දී, මිථ්‍යාදෘෂ්ටිය මොනතරම් නම් සුලබ ද? සීලය සහ මෛත්‍රිය දුර්ලභ වෙද්දී, දුසිල්වත්භාවය, ක්‍රෝධය සහ කේන්තිය මොනතරම් නම් සුලබ ද? පිංවත උතුම් මනුෂ්‍ය ධර්මයෝ දුර්ලභ වෙද්දී, ලෝකයේ අමනුෂ්‍ය ධර්මයෝ මොනතරම් නම් සුලබ ද? පිංවත් දරුවන් තම දෙමාපියන්ට වන්දනා කරනවා කියන්නේ, මහා බ්‍රහ්මයාට සහ අනාගාමී උත්තමයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට වන්දනා කරනවා කියන අර්ථයයි. පිංවත මෙය දරුවෙකුට නිවසක් තුළ දී ලැබිය හැකි මොනතරම් නම් පුණ්‍ය ලාභයක් ද? මහා බ්‍රහ්මයෙක්, රහත් උත්තමයෙක් කියන අර්ථය ඔබේ දෙමාපියන්ට ලබා දීලා, ළමා වියේ පටන් ම බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ කුසල් ධර්මයෝ ශක්තිමත් කොට දෙනවා. පිංවත් දෙමාපියන්ගේ නාමයෙන් මෙවන් පුණ්‍යවන්ත ලාභයක් තම නිවස තුළ ම තිබිය දී, පිංවත් සමහර දරුවන් කෙටි රූපයේ ආස්වාදය තුළින්, කෙටි කාමයේ ආස්වාදයන් සොයමින් තම ළමා ජීවිතවලට අලාභයන්මයි එකතු කොට ගන්නේ. පිංවත මෙවන් උතුම් ශාස්තෘ දහමක් දෑස් පනාපිට තිබිය දී, පිංවත් දරුවන් පින වෙනුවට පව ජීවිතවලට එකතු කොට ගන්න එපා. ලෝකයේ දුර්ලභ දේවල් රැක ගත්ත පරපුරේ අන්තිමයා ඔබ වෙන්න එපා. ඊළඟ ඔබේ පරම්පරාවට මේ උතුම් යහපත් ධර්මයෝ පූර්වාදර්ශීව ආරක්‍ෂා කොට දෙන්න. පිංවත් දරුවෙනි, ඔබේම පෙර පිනෙන් බිහිවුණු ප්‍රණීත, විසිතුරු ලෝකයක් ඔබ ඉදිරියේ තිබෙන්නේ. මේ ප්‍රණීත, විසිතුරු ලෝකය අයිති ඔබට. ඒ ප්‍රණීත, විසිතුරු ලෝකය, පවෙන්, දුශ්ශීලභාවයෙන් පිළිගන්න එපා. පින, පිනෙන් ම, සිල්වත්භාවයෙන් ම විනයගරුකව පිළිගන්න. සුලබ දරුවන් අතරින් ඔබ දුර්ලභ දරුවෙක් වෙන්න.