තෘෂ්ණාව නිසා හැදෙන උපාදානයන්ගේ සිහින

පිංවත උතුම් සෝවාන්ඵලයට පත් නොවූ සෑම පිංවතෙක් ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන ධර්මානුකූල අර්ථය රටේ ඔඩුදුවන මැතිවරණ උණුසුමත් සමග සක්සුදක් සේ පැහැදිලියි නේද? පිංවත සක්කාය දිට්ඨියේ දැඩිභාවයෙන් පැතිරී යන මේ මානසික ව්‍යාධිය උත්සන්න වුණොත්, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී යන දෙදෙනා පෘථග්ජනභාවයට ඇද වැටෙන්න පුළුවන්. පිංවත මනුෂ්‍යත්වයේ මෙලෝ රහක් නැති අපේ රටේ දේශපාලනය, අකුසලයේ මාර ධර්මයන්ට කෙළිබිමක්මයි. පිංවත සද්ධර්මයක් නැති එහෙත් මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරන කැනඩාව, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටක් ගන්න. එම රටවල අපේ රටේ වගේ මැතිවරණ ඝෝෂාවක් නැහැ. අවංකභාවය, විනය මැතිවරණවල ආරක්‍ෂකයෝ වෙනවා. පිංවත අපේ රටේ මැතිවරණ උණුසුමත් සමග විකිණීයාම්, මිල දී ගැනීම්, සටකපටකම් මැදින් අපේ සමාජය තුළින් මතු වෙන මේ ඝෝෂාව දේශපාලන ඝෝෂාවක් නම් නොවේ. පිංවත මැතිවරණයක් අත ළඟ තිබිය දී සමාජයෙන් මේ නැගෙන ඝෝෂාව, දේශපාලන කළු සල්ලිවල ඝෝෂාවයි. සමාජගත දේශපාලන ඝෝෂාව වැඩි වෙන්න, වැඩි වෙන්න අතීතයේ සමාජගත කළු සල්ලිවල දිග සහ පළලයි අපි තේරුම් ගත යුත්තේ. පිංවත අනාගතය උදෙසා කළු සල්ලි මවන මන්තරයයි, සමාජය වර්තමානයේ “ජය වේවා!”, “ජය වේවා!” යැයි ජප කරන්නේ. පිංවත මේවා දැකලා කලබල වෙන්න එපා. මේවා ඉන්ද්‍රීය ධර්මයන් නොවැඩීමේ සුන්දර හේතුඵල ධර්මයෝ. පිංවත අවදියෙන් ලෞකික සැප ලබා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න. සමාජගත වෙන කළු සල්ලි මායාවන්ට ඔබ රැවටුණොත් අනාගතයේ දී ඔබේ මාතෘභූමිය දුප්පත්භාවයේ සහ අරාජිකත්වයේ පරතෙරට ම යාවි.

පිංවත පරණ බලාපොරොත්තු එකින් එක සේදිලා යද්දී, අලුත් අනාගත බලාපොරොත්තු ගොන්නක් පිංවත් ඔබේ ජීවිත ඉදිරියේ තිබෙනවා නේද? අලුත් රාජ්‍ය නායකයෙක්, අපිට වග කියන රාජ්‍ය නායකයෙක්, අපිව මනුෂ්‍යත්වයෙන් රැක බලා ගන්නා රාජ්‍ය නායකයෙක්, සොරකම, වංචාව, දූෂණය ගැන නො දන්නා රාජ්‍ය නායකයෙක්. පිංවත තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන උපාදානයන්ගේ සිහින මොනතරම් නම් ආශ්වාදජනක ද? දුකට එකම හේතුව තෘෂ්ණාව කියන සැබෑව තුළ අපි ජීවත් නො වන නිසා ම, අපි සිහින දකින්න හරිම කැමතියි. ජීවිතය පාට පාට සිහිනවලට භාර දීලා, අපේ අනාගතය අවදියෙන් තොර ගොරහැඬි නින්දක් බවට ම අපි පත් කොට ගන්නවා. සිහින දකින ජාතියේ ගොරහැඬි නින්ද, පාළු ගෙවල්වල වළං බිඳින සොර සතුරන්ට හැමදාමත් මඟුල් ගෙවල් බවට පත් වෙනවා. පිංවත පිනෙන් උපන්, නමුත් වර්තමානයේ අකුසලයෙන් දුවන අපේ මාතෘභූමියට, සැප්තැම්බර් විසි දෙවෙනිදායින් පසුව යහපතක්, සෞභාග්‍යයක්, මනුෂ්‍යත්වයේ දේශපාලනයක් උදා වේවි ද, එසේත් නැතිනම් දේශපාලන මාර ධර්මයන් මාතෘභූමිය සුපුරුදු පරිදි ග්‍රහණයට ගනීවි ද? පිංවත ඉහත කාරණය තීරණය කරන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් විසින් නම් නොවේ. ඉහත කාරණය තීරණය කරන්නේ මැතිවරණ දිනයේ දී, ඡන්ද මධ්‍යස්ථානය තුළ දී, ඡන්ද පෙට්ටිය ඉදිරියේ පිංවත් ඔබ තුළ සකස් වෙන සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය විසින්මයි. පිංවත් ඔබ සංස්කාරයන්ට අදාළව කුමන තීරණයක් ගත්තත්, එම තීරණය අයිති සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාට, මායාකරුවාට ම ය. පිංවත පිනෙන් උපන් මාතෘභූමියට යළි පින්වන්ත වීම උදෙසා ඔබේ කුසල් සිත් ශක්තිමත් කොට ගන්න. ඉදිරි දින කිහිපයේ දී පංච නීවරණ පව් ජීවිතයෙන් බැහැර කොට සප්ත බොජ්ඣංගයන්ගේ පින ජීවිතයට එකතු කොට ගන්න. පිනැති සංස්කාරයන්ට පිනැති තීරණයක් ගන්න ඔබේ ජීවිතය සද්ධර්මයට විවෘත කොට තබා ගන්න. පිංවත බෝතලයට, බත් පාර්සලයට විසි කරන මුදල්වලට ඔබේ පින, පවක් කොට ගන්න එපා.

පිංවත අද උදෑසන පිණ්ඩපාතය බෙදන්න වයෝවෘද්ධ අම්මා කෙනෙක් පැමිණියා. ඇය භික්ෂුවට කිව්වා, ස්වාමීන් වහන්ස, අද තමන්ගේ අසූවැනි උපන් දිනයයි කියලා. පිංවත අසූ වියැති අම්මා කෙනෙක් වුවත්, සද්ධර්මයට අදාළ ව භික්ෂුවට ඇයව පෙනුණේ, අපි හැමෝට ම සද්ධර්මයේ පණිවිඩයක් කියලා දෙන දේවදූතයෙක් වගේමයි. මේ දේවදූතයා අතීත සහ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන මොනතරම් සුන්දර පාඩම් අපිට කියලා දෙනවා ද? පිංවත ඔබ එම පාඩම් කියවන්න. පිංවත මේ දේවදූතයා ඔබව මංමුළා කරන්නේ නැහැ. ඔබට පාට පාට සිහින දෙන්නේ නැහැ. මේ දේවදූතයාගේ අඳුරු පැහැ ඇස් දෙක, එල්ලා වැටෙන කන් දෙක, රැළි වැටුණු සම, වාතය කිපීමෙන් පුරවා දාපු ශරීරය, වර්තමානයේ රූපයේ ආස්වාදය සොයන තරුණ ඔබට, රූපයේ ආදීනවය පිළිබඳ ව පාඩම් නේද කියලා දෙන්නේ? පිංවත ආදරයේ ප්‍රේම කතා කියවන අපි, අපගේ ඇස් පනාපිට තිබෙන සද්ධර්මයේ අර්ථවත් කතා මඟ හැර යනවා. පිංවත වයෝවෘද්ධ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දකිද්දී, එම ජීවිත කියවන්න. ජරා, ව්‍යාධි, මරණයෝ අපේ ජීවිතවලට මොනතරම් නම් සමීප ද? විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ සහ දැනීම් මොනතරම් නම් වෙනස් වෙලා යනවා ද? පිංවත තරුණ ඔබේ වර්තමාන දීප්තිමත්, මටසිලුටු ඇස් දෙකට අවසානයේ මොකද වෙන්නේ? රූපයේ ආස්වාදයෙන් තිරිහන් වෙන ඔබේ තාරුණ්‍යයේ රූපයට අවසානයේ මොකක් ද වෙන්නේ? පිංවත නවයොවුන් ආශ්වාදය තුළ සැඟවුණු ආදීනවයේ ප්‍රශ්න වැලට වයෝවෘද්ධ දේවදූතයා නිහඬ ව අපිට පිළිතුරු සපයනවා. පිංවත ලෝකය තුළින් ලෝකය දකින්න. ලෝකය තුළින් ලෝකයේ ජන්ම ගතිය වන ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ ම දකින්න. බොරුවෙන් පිරුණු ලෝකය තුළ බොරුව ම දකින්න එපා. වර්තමානයේ අපි ඉදිරියේ තිබෙන්නේ රූපය අනිත්‍යයි කියලා දකින සමාජයක් නොවේ, රූපය දේවත්වයෙන් දකින සමාජයක්. රූපයට බලු කපුටන් සේ ලොල් වෙන සමාජයක්, දිව්‍ය ඕජාවක් සේ රූපය විඳින සමාජයක්, පාසල් දරුවාගේ ලජ්ජාව, බිය පහ කොට රූපයේ ආශ්වාදය අසම්මතයෙන් විඳින්න වෙර දරන සමාජයක්. පිංවත අවසානයක් නො පෙනෙන, සදාචාරය, සංස්කෘතිය මරාගෙන බිහි වෙන අනාගතයක් ජාතිය ඉදිරියේ දිග හැරෙමින් පවතිනවා.

පිංවත මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැර වෙලා අපි මෙතෙක් පැමිණි ගමන වේගවත් වැඩියි. ගමන වේගවත් වැඩි නිසා ම, කර්මය කර්මඵල විශ්වාසය, මෛත්‍රියය, සීලය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ සියල්ල ම අපිට මග හැරුණා. මේ සියල්ල මග හැරෙද්දී, අපේ ජීවිතවලට එකතු වුණේ දුකට එකම හේතුව වන තෘෂ්ණාව පමණක්මයි. පිංවත ලජ්ජාව, බිය යන කාරණා දෙක ගෑවිලාවත් නැති තෘෂ්ණාව මාරයා හැටියට ම දකින්න. පිංවත ඔබ සුලබ මනුෂ්‍යයන් ලක්‍ෂයක් සිටින තැන දුර්ලභ මනුෂ්‍යයෙක් වෙන්න. ඔබත් හැමෝම වගේ වෙන්න යන්න එපා. වර්තමානයේ අපි හැමෝම උත්සාහ ගන්නේ තරගකාරී ව එකම රැල්ලට ගසාගෙන යන්න. ප්‍රවේගකාරී රැළි ඉදිරියේ අපි නවතින්න බයයි. අපි සිතනවා, නැවතුණොත් අපි පරාජය වෙයි කියලා. පිංවත ජය සහ පරාජය අයිති ලෝකයට. ඒ කියන්නේ දුකට. පිංවත ඔබ ලබන කිනම් ජයග්‍රහණයක් හෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ විසින් පරාජය කොට දමනවා. පිංවත ඔබ ලෝකය සතුටින් හෝ දුකෙන් පිළිගන්න එපා. සංස්කාරයෝ වෙනස් වී යද්දී, ඔබට පසුතැවෙන්න සිද්ධ වේවි. ලෝකය ඔබ පිළිගත යුත්තේ අවිද්‍යාවෙන් උපදින පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින්මයි. ජීවිතය පටිච්චසමුප්පාද ධර්මයෝ තුළින් දකිද්දී, ආත්මීය දෘෂ්ටියට ආහාර අහිමි වෙලා යනවා. මමත්වයේ දැඩිභාවය පසු බැස, හේතුඵල ධර්මයෝ කරළියට එනවා. පිංවත අවුරුදු පනහක් පමණ වයස නෝනා කෙනෙක් සිටියා. ඒ නෝනාව දැක්කොත් ඕන කෙනෙක් සිතන්නේ වයස අවුරුදු හතළිහක් විතර ඇති ය කියලා. පිංවත ඇයගේ පනහේ වයස හතළිහට ගේන්න, ඇය ගොඩාක් රූපලාවණ්‍යයෝ භාවිතයට ගත්තා. ඇයගේ අකීකරු රූපලාවණ්‍ය භාවිතය නිසා ම, ඇය අද පිළිකා රෝගියෙක්. පිංවත ආත්මීය දෘෂ්ටියේ මානසික ව්‍යාධිය, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ මළ පොතේ අකුරක් නොදත් කරුමයක උරුමය ම වෙනවා.

පිංවත මනුෂ්‍ය සමාජයේ ලෞකික ප්‍රඥාව දුර්වල වෙන කොට තම මියගිය ඥාතීන් ගැන සිතනවා වැඩියි. තවත් සමහර පිංවතුන් සිටිනවා, මියගිය ඥාතීන්ට පරලොව ජීවිතයේ පිනෙන් උපකාර කරන්නේ නැහැ. ඉහත කාරණා දෙක ම ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවයන්. පසුගිය සතියේ දී මහත්මයෙක් භාජනයකට පොල් රොටි ගොඩාක් අරගෙන පිණ්ඩපාතය බෙදන්න මඩුවට පැමිණියා. පොල් රොටියක් පාත්‍රයට බෙදන ගමන් එම මහත්මයා කියනවා, ස්වාමීන් වහන්ස, මගේ මියගිය තාත්තා රාත්‍රියට සිහිනයෙන් පෙනිලා මට රොටි පූජා කරලා පිං අනුමෝදන් කරන්න කියනව ලු. පිංවත ඇත්තට ම මේ සිද්ධිය මියගිය ඥාතිවරයා පිං බලාපොරොත්තු වීමක් ද, එසේත් නැතිනම් රාත්‍රී සිහින නමැති විඤ්ඤාණයේ මායාවේ මානසික ව්‍යාධියක් ද? පිංවත ඥාතිවරයෙක් මියගියාට පසු ඔහු කෙරෙහි උපාදානයෝ බැහැර කරන්න.

මියගිය ඥාතිවරයා උදෙසා කළ යුතු පරලොව යුතුකම් පක්‍ෂය ගැන පමණක් සිතන්න. ජීවතුන් අතර සිටිය දී පොල් රොටි කන්න කැමති කෙනෙක් මිය ගියාට පසුව, මියගිය තම ඥාතිවරයාව උපාදානය කොටගත්, ජීවත්ව සිටින කෙනෙකුට සිහිනයෙන් පෙනෙන්න පුළුවන්, තම මියගිය ඥාතිවරයා පොල් රොටි පූජා කරලා පිං අනුමෝදන් කරන්න යැයි කියනවාය කියලා. පිංවත මේවා අයිති වෙන්නේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන උපාදානයන් තුළ බැස ගන්න විඤ්ඤාණයේ මායාවන්ට. පිංවත මියගිය ඥාතීන්ට අදාළව සිහින දැක්කොත්, එම විඤ්ඤාණයේ මායාවන්ට පණ දෙන්න එපා. එම සිහින අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විඳීමක් යැයි ධම්මානුපස්සනාවෙන් ම දකින්න. එවිට මියගිය තම ඥාතියා තුළින් ධර්මයයි ඔබ දකින්නේ. පිංවත අපි ධර්මය මගහැර යන්න හරිම දක්‍ෂයි. ධර්මය මග හැරෙද්දී, අධර්මයයි ජීවිතවලට එකතු වෙන්නේ. අපි ජරා, ව්‍යාධි, මරණයෝ රූපලාවණ්‍යයන්ගෙන් වසා දමන්නේ උතුම් දුක්ඛ සත්‍යය ජීවිතයෙන් දැකීමට ඇති අකැමැත්ත නිසාමයි. අපිට තෘෂ්ණාව කෙරෙහි ඇති මතකය අමතක වෙලා ම යන්නේ, දුක්ඛ සමුදය පිළිබඳ සත්‍යය ජීවිතයෙන් දැකීමට ඇති අකැමැත්ත නිසාමයි. පිංවත කැමැත්ත සහ අකැමැත්ත යන දෙක ම, තෘෂ්ණාවේ ම ඵලයන් වෙද්දී, අපි යන මේ දුකේ ඉරණම් ගමනට එක් විසඳුමක් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ වේදනානුපස්සනාව ම යි.

පිංවත ඔබට මතක ද ඥාතීන් හිතමිතුරන් පිරිවරාගෙන ඔබ විවාහ දිවියට පත් වුණ සුභ මංගල දවස. එදා ඔබ උණුසුම් සුබපැතුම් ඉවරයක් නැතුව ලැබුවා නේද? සමහර තරුණ පිංවතුන් කියනවා, යහළුවන්ගෙන් තොර ලෝකයක් තමන්ට නැහැය කියලා. තවත් සමහර පිංවතුන් කියනවා ඥාතීන්ගෙන් තොර ජීවිතයක් තමන්ට නැහැය කියලා. පිංවත මේ මැතිවරණ සමයේ පාක්‍ෂිකයන්, ආධාරකරුවන් පිරිවරාගෙන “ජය වේවා!” යැයි ජය ඝෝෂා හඬින් මත් වී, “මම යි රජා” යැයි සිතන, සිහින දකින ගෞරවනීය නායකතුමන්ලා කොතෙක් නම් සිටිනවා ද? පිංවත ඔබලාගේ ඉහත චේතනාවෝ මොනතරම් නම් මායාවක් ද? මිරිඟුවක් ද? තාවකාලික ඇස්බැන්දුමක් ද? පිංවත් ඔබ භාවිතා වන ඡන්ද ප්‍රතිශතයෙන් සියයට හතළිස් නවයක් ආධාරකරුවන් පිරිවරාගෙන “මම යි රජා” යැයි කියලා සිතුවත්, අනාගතයේ යම් දවසක් එනවා, ඔබගේ ඔය සුන්දර රාජකීය රූපයෙන් ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුම පහව ගොස් ඔබේ රාජකීය ජීවිතය ශීතල මළ කඳක් බවට පත්වෙන දවසක් එනවා. ඔය රාජකීය රූපය ශීතල මළ කඳක් බවට පත්වෙලා, එම මළ කඳ නිල් පැහැ ගැන්විලා, බෙර කඳක් සේ ඉදිමෙන දවසක් එනවා. එදාට ඔබගේ ශීතල මළ කඳේ නව මහා දොරටුවලින් වැගිරෙන්නේ සතර මහා ධාතුව කුණු වී ගලන කුණු ඕජාව. එදාට ඔබලාගේ කුණු වෙන මුඛයෙන් ගලා යන්නේ සුබපැතුම් හෝ සටන්කාමී වචන නොවේ, එදාට ගලා යන්නේ සුදු පැහැ කුණු පණුවෝ යි. එදාට ඔබේ ශීතල කුණු වෙන මළ කුණ වටකර ගත්ත පිරිවර බවට පත් වෙන්නේ ඥාතීන්, හිතුවතුන්, පාක්‍ෂිකයන් නොවේ, නිලමැස්සෝ සහ කුණු පණුවෝ යි. පිංවත පංච නීවරණ අවිවේකයෙන් විනාඩියක් බැහැර වෙලා, විවේකයට සිත මොහොතක් ගන්න. ඒ විවේකී සිතින් දෑස් පියාගෙන දකින්න, ඔබේ ජීවිතය අනාගතයේ දවසක ශීතල මළ කඳක් බවට පත් වෙලා, කුණු වෙන මළ කඳට සුබ පතමින් සහ ජය වේවා යැයි සිතමින්, ශරීරයේ කුණු ඕජාව භුක්ති විඳින නිල මැස්සෝ සහ කුණු පණු පිරිවර සිහිනුවණින් දකින්න. පිංවත් ඔබ මේ මොහොතේ බොරුව තුළ මංමුළා වුවත්, භික්ෂුව මේ සටහන් තබන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ පරම සත්‍යය යි. පිංවත තමා, තමාට බොරුකර ගන්න එපා. සද්ධර්මයේ ඇත්තට එන්න. ඔබේ පුණ්‍යවන්ත ජීවිතය බොරුව වෙනුවෙන් නොවේ, ඇත්ත වෙනුවෙන් කැප කරන්න. අදම, මනුෂ්‍ය ධර්මයෝ මරා නො දමා, හෙට ලෝකයට මනුෂ්‍ය ධර්මයෝ ඉතිරි කොට තබන්න.

පිංවත සුන්දර වස්සානයෙන් අඩක් ගෙවී ගියා. වස්සානයේ සැබෑ අර්ථය සිහි ගන්වමින් මේ හිමිදිරි උදෑසන මහා හයියෙන් වහිනවා. මේ උදෑසනත් භික්ෂුව සිහිනුවණ ඇති කොට ගත්තා, “මා විසින් සමාදන් වූ වස් සීලය, මේ උදෑසන යළි ආවර්ජනය කරමි” යි කියලා. ගෞරවනීය පිංවත ලෝකයේ දුර්ලභ අර්ථයන් දෙවරක් නො සිතා සිහිනුවණින් සහ වීර්යයෙන් අනාගතයට අපි ආරක්‍ෂා කොට තැබිය යුතු යි. පිංවත සමාජගත දේශපාලන ඝෝෂාවට, නො කැඩෙන කඨින ආනිශංස ධර්මයෝ අමතක කොට දමන්න එපා.