හේතුඵල ධර්මයන් දකින සිහිනුවණ

පිංවත රටේ දේශපාලන උණුසුම එන්න එන්නම වැඩියි නේද? ඔබත් දේශපාලනයෙන් උණුසුම් වෙළා ද ඉන්නේ? පිංවත ධර්මානුකූලව වර්තමාන දේශපාලන උණුසුම කියන්නේ දේශපාලනයේ ආස්වාදයයි. රටෙන් බහුතරයක්ම දේශපාලනය හේතුවෙන් සකස් වන සළායතනයන්ගේ ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කරමින්, කාමයේ සහ රූපයේ ආස්වාදය ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාමයේ සහ රූපයේ ආස්වාදය කෙටි ය කියලා. පිංවත අපි හැමෝම සැප්තැම්බර් 22 වැනිදා දක්වා සිත් සේ දේශපාලනයේ කෙටි ආස්වාදය විඳලා, සැප්තැම්බර් මාසයෙන් පස්සේ නිමා වූ කෙටි දේශපාලන ආස්වාදයේ දීර්ඝ ආදීනවයෝ අයිති කොට ගන්නවා. පිංවත ඔබ වර්තමානයේ අත්විඳින කෙටි දේශපාලන ආස්වාදය උපරිම මාස දෙකයි, එහි දීර්ඝ දේශපාලන ආදීනවය වසර පහක් ම වෙනවා. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, උතුම් සෝවාන්ඵල අවබෝධය නො ලැබූ අපි හැමෝම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා ය කියලා. පිංවත සමාජගත වන දේශපාලන හැසිරීම් දකිද්දී, ඉහත ධර්මය මොනතරම් නම් සත්‍යයක් ද? පිංවත ඇතෙක් බරට අනාගත බලාපොරොත්තු කරපින්නා ගෙන ඔබලා පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන මැජික් සංදර්ශනයන් කළත්, කන්දක් විළිලා වදන මී පැටියෙක් සේ සැප්තැම්බර් 22 වැනි දා තේරීපත් වන පිංවත් නව රාජ්‍ය නායකතුමා අතීතයේ දේශපාලන වැරදි කරපු තවත් පිංවත් නායකයෙක් ම යි. පිංවත කෙටි දේශපාලන ආස්වාදයේ දීර්ඝ ආදීනවයන්ට, ඉන් ඉක්බිති අපි මෙත් සිතින් සූදානම් වෙමු.

පිංවත අනාගතයේ සිදු වන දේවල් දකින්න මෙය සටහන් තබන භික්ෂුවට දිවෙස් ඥානය දශමයක්වත් නැහැ. නමුත් හේතුඵල ධර්මයන් දකින සිහිනුවණ භික්ෂුවට තිබෙනවා. වර්තමාන සමාජයේ දේශපාලන හැසිරීම තනිකර ම ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් මුල් කොටගෙන සහ මානසිකව සිදු කරන මනුෂ්‍ය හිංසනයන් සහ මිච්ඡා වාචාවෝ මුල් කොටගෙනයි ගලාගෙන යන්නේ. ඒ වගේම මිච්ඡා ආජීවයන්ගෙන් ඉපැයූ සල්ලිවලිනුයි දේශපාලන හැසිරීම් පහළ වෙන්නේ. පිංවත මේ සියලු ධර්මයෝ අධාර්මික වෙද්දී, වර්තමාන දේශපාලන හැසිරීම් තුළ සම්මා සතියක් නැහැ. සම්මා සමාධියක් වෙනුවට තිබෙන්නේ කාමච්ඡන්ද සිහින ලෝකයක් සහ විසිරුණු සිතුවිලි පාරාදීසයක්, සැකය සහ විචිකිච්ඡාවේ බියගුලුභාවයක්. පිංවත ඉදිරි මැතිවරණය පිංවත් ඔබලා ඉහත අකුසල් ධර්මයන් තුළින් ලබන ජයග්‍රහණයක් නම්, එම අධර්මයෝ මිරිකා ලබන මැතිවරණ ජයග්‍රහණයන් ඉදිරියේ, ජයග්‍රාහකයෝ බලවත් සතුරන් ඇතිකොට ගැනීම ධර්මානුකූල හේතුඵල ධර්මයක් ම වෙනවා. අතීතයේ සියයට හැට නවයකින් ලැබූ ජනතා ජයග්‍රහණය අධර්මයෝ ඉදිරියේ නො ඉඳුලේ කලඑළි බැස්සේ, දේශීය සහ විදේශීය මහා සතුරන් ගොඩක් ඇති කොටගෙන නේද? පිංවත උතුම් සද්ධර්මයක් ජීවමානව අපි ඉදිරියේ තිබිය දී, සද්ධර්මයේ ගුණයන් ඒහිපස්සිකව විවෘතව දකින්න තිබියදීත්, දේශපාලන පිංවතුන්ලාට තමා තමාව ධර්මානුකූලව පාලනය කොටගන්න බැහැ. පිංවත ජීවිතවල අකුසල් මූලයෝ සහ දුශ්ශීලභාවයෝ දොරේ ගලා යද්දී, ධර්මානුකූලව නිවැරදි වෙන්න සිතුවිලි සකස් වෙන්නේ නැහැ. අකුසලයෝ පෙරළා අකුසලයටමයි අතපැන් වත්කරන්නේ. පිංවත දේශපාලන සමාජය හැසිරෙන වේගය වැඩියි කියන්නේ තෘෂ්ණාව වැඩියි කියන කාරණය යි. තෘෂ්ණාව වැඩි තැන උපාදානයෝ හෙවත් බැඳීයෑම් සළායතන දොරටු හයෙන්ම වාන් දමනවා. උපාදානයෝ වාන් දමද්දී, කාම භවයේ සතර අපායන්ට පිරිස් බලය වැඩි වෙනවා. ධනය, බලය, නිලයන් උදෙසා උඩ දාගෙන නටන මේ සියලු නරිනාටකවල අවසාන පටිච්චසමුප්පන්න ඵලය ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ පමණක් ම යි. ගෞරවනීය දේශපාලන පිංවත, තවත් සති තුනකින් ඔබ ලබන ජාතික දේශපාලන ජයග්‍රහණය, ජයග්‍රහණයෙන් පසුව සතුරන් ඇති නො වන ජයග්‍රහණයක් උදෙසා පක්‍ෂ සහ විපක්‍ෂ හැමෝම මිතුරන් සේ සමගියෙන් ඡන්දය කරන්න. පිංවත භික්ෂුව මේ දවල් සිහිනයක් දකිනවා නොවේ, දේශපාලන සිහින ලෝකයන් සද්ධර්මයෙන් අවදි කරනවා පමණක් ම ය. පිංවත් ගිහි පිංවත, ඔබගේ වටිනා ඡන්දය උතුම් තෙරුවන්ට ගරු කරන, සිල්වත්භාවයට වටිනාකමක් වැඩිපුරම දෙන, ප්‍රතිපත්තිගරුක අපේක්‍ෂක පිංවතෙකුට දෙන්න. ඔබේ ඡන්දය නොදී නම් ඉන්න එපා. අපේ සමාජයේ දේශපාලන ගුණවත්භාවය මැරී තිබුණත්, කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට යන්න දෙන්න එපා. එය මනුෂ්‍ය ධර්මයන්ට අනතුරක් ම යි.

පිංවත සුන්දර වස්සානයෙන් මාසයක් ගෙවී ගියා. මේ උදා වෙලා තිබෙන්නේ සුන්දර දෙවැනි මාසය. අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාත මඩුවට වැඩීමට පෙරාතුව මෙනෙහි කළා, භික්ෂුව සමාදන් වූ වස් සීලය මේ උදෑසන යළි ආවර්ජනය කරමි යි කියලා. එහෙම සිතද්දී ජීවිතයට හරි නිදහසක් දැනෙනවා. උතුම් ධර්ම විනය නමැති ජීවමාන බුදුරජාණන් වහන්සේ භික්ෂුව ඉදිරියේ වැඩ සිටිනවා වගේ දැනෙනවා. මේ සියලු දැනීම් උතුම් ධම්මානුපස්සනාවට ආහාරයක් කොට දෙද්දී, ජීවිතය ඵස්සය ළඟ නැවතිලයි තිබෙන්නේ. පිංවත දුර්ලභ ධර්මයක, දුර්ලභ අර්ථයන් අපේ ජීවිතවලට එකතු කොට ගන්න, අපි මොන තරම් නම් පුණ්‍යවන්ත ද, ලෝකයේ ජීවත් වන කෝටි ගණනක් පිංවත් මනුෂ්‍යයෝ කාලා, බීලා, විනෝද වෙලා කාමයේ, රූපයේ ආස්වාදයන් ලබද්දී, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ උතුම් වස් සීලය සමාදන් වෙලා, එක පන්සලක, එක ආරණ්‍යයක, එක කුටියක ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති එක අරමුණකින් එක්තැන් වෙලා. පිංවත් ගිහි උපාසක, උපාසිකාවෝ සිවුපසය පූජා කිරීමෙන් මහත්ඵල මහානිශංස පින් සිදුකොට ගන්නවා. පිංවත රූපයන් තුළ බැසගෙන කාමයන් සොයන ලෝකයක් තුළ, පිංවත් ඔබ පින, කුසලය, විදර්ශනාව සොයන අප්‍රමාදී සත්පුරුෂයෝ ම වෙනවා. පිංවත තවමත් ප්‍රමාදී නම් දැන්වත් අප්‍රමාදී වන්න. අපි තවමත් සියලු වරදින් මිදිලා නැහැ. වසරකට තුන් මාසයක් එළඹෙන වස්සානය වැරදි ඇතොත් නිවැරදි වීම උදෙසා සිහිනුවණ ඇතිකොට ගැනීමට ම යි. පිංවත කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා, ඔබ දෙස ඔබ විවේකීව බලන්න. පිංවත විවේකය ජීවිතයට මොනතරම් නම් සහනයක් ද? විවේකය මොනතරම් නම් යහපත් පාඩම් අපිට කියලා දෙනවා ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුකට එකම හේතුව තෘෂ්ණාව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පිංවත මේ ලෝක ධාතුවේ දුක නිවන සුන්දර ම පාඩම. පිංවත විවේකී සිතින් එම පාඩම කියවන්න. පිංවත ලෝකය හරිම ලස්සන යි. ඒ ඔබ නිසා නොවේ, ඔබේ පටිච්චසමුප්පන්න පින නිසා. පිංවත පින කියන්නේ අනිත්‍ය වී යන සංස්කාරයක්. පිනට වහලෙක් වෙලා, විවේකයට පයින් ගසන්න එපා. ලෝකයේ උතුම් ම පාඩම ඔබට අහිමි වේවි.

පිංවත ගෙවී ගිය සතිය පුරාවට ම භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට වහිනවා. මේ සවස් යාමයේ වැහි අඳුරින් පරිසරය මලානික වෙලා. කුටිය පසුපස පැත්තේ තිබෙන කළු ගඟට ජලය ගලාගෙන යන අතු ගංගාවේ ජලය ගලා යන හඬ හරි ම වේගවත්. කැලෑ පරිසරය ශීතලෙන් නළියනවා. ඇය හදන්නේ කාගේ හෝ ශරීරයේ දැවටෙන්න. එය ශීතලේ ජන්ම ගතිය. පිංවත ශීතල කියන්නේ ආපෝ ධාතුවට, ශීතල නමැති ආපෝ ධාතුව තුළ පඨවි ධාතුවත්, වායෝ ධාතුවත් තැවරිලයි තිබෙන්නේ. ශරීරයට නොදැනුණත් ශීතල ආපෝ ධාතුව තුළ, අනුශය වශයෙන් හෝ තේජෝ ධාතුවත් තිබෙන්නට ඕනේ. එවිටයි ශීතල සතර මහා ධාතුවක් ම වෙන්නේ. පිංවත ඔබ ශීතලට කැමති කෙනෙක් ද? නිවාඩුවක් ලැබුණු වෙලාවට නුවරඑළිය, බණ්ඩාරවෙල තෘෂ්ණාවෙන් උපාදානය කොටගත් කෙනෙක් ද? පිංවත ශීතල තෘෂ්ණාවෙන් උපාදානය කොටගන්න එපා. උපාදානයෝ ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඔබව ශීත වළාහක දෙවියෙක්, දිව්‍යාංගනාවක් කරාවි. එවිට ඔබට පුළුවන් ශීතල සමග මුහු වෙලා ඔබ කැමති කැමති අයගේ ශරීරයේ දැවටෙන්න. පිංවත කොයි දෙයටවත් ඕනෑවට වඩා ආදරය කරන්න එපා. ඕනෑවට වැඩිය ආදරය කළොත් එතැන ඇලීම් සහ ගැටීම් මයි උපදින්නේ. පිංවත ඔබ ආදරය කරන දෙය ඉදිරියේ මධ්‍යස්ථ වෙන්න. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න. එතැන නෙක්ඛම්ම සංකප්පය තිබෙනවා. නෙක්ඛම්ම සංකප්පය ජීවිතය තුළ තිබෙන පිංවතා ආදරය කරන්නේ, ආදරය කෙරෙහි තිබෙන තෘෂ්ණාව නෙක්ඛම්මයෙන් මොනවාට පෝෂණය කරල යි. එවිට එම සුන්දර ආදරය මධ්‍යම ප්‍රතිපදාවට එනවා. පිංවත තෘෂ්ණාව ඔඩුදුවන සමාජයක ආදරය හරිම චපල යි. ආදරයට පෙරළා ආදරය කරන්නේ නැහැ. ආදරයේ නාමයෙන් ආදරය කරන්නේ භෞතික සම්පත් ගොඩකට, එසේත් නැතිනම් සම්, මස්, ඇට, නහර ගොඩකට. පිංවත ඔබේ ආදරය නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය කොටගන්න, එවිට ආදරය පෙරළා ආදරය මයි සකස්කොට දෙන්නේ. නිමාවක් නැහැ ආදරය පෙරළා ආදරය ම වඩවලා දෙනවා. පිංවත ආදරය ගැන මේ සටහන කියවද්දී, පිංවත් ඔබට අතීත ආදර මතක සටහන් සිහිපත් වුණොත්, ඒ සෑම මිහිරි සහ අමිහිරි මතකයක් ම අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විඳීම් යැයි ධම්මානුපස්සනාවෙන් ම දකින්න. පිංවත තිරිසන් ලෝකයේත්, ප්‍රේත ලෝකයේත්, අසුර ලෝකයේත් ආදරය තිබෙනවා. ඒත් නිරයේ ආදරය නැහැ. අකුසලයේ තීව්‍රභාවයෝ නිරයට ආදරය අහිමි කරලා. කාම, රාග, පටිඝයෝ නිරෝධය කළ, විදර්ශනාවේ මුදුන් මල්කඩ වූ අනාගාමී බ්‍රහ්ම තලවල ආදරය නිවී ගිහිල්ලා. පිංවත නිවුණු ආදරයක, නික්ලේශී ආධ්‍යාත්මයකට පිංවත් ඔබේ නෙක්ඛම්මයෙන් පෝෂණය වූ ආදරය පාවඩයක් කොටගන්න. ආදරය අහිමි නිරයට නම් ඔබේ චපල ආදරය මාර්ගයක් කොටගන්න එපා. සිතන්න, විවේකීව සිතන්න, ආදරයට ආදරය කරන්න, ආදරයට බොරු කරන්න නම් එපා.

පිංවත අපේ රටේ අකල් මරණ වැඩියි නේද? පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන්, මහ පාරේ සිදු වන රථවාහන අනතුරු හේතුවෙන්, සියදිවි නසා ගැනීම් හේතුවෙන්, කර්ම රෝගාබාධ හේතුවෙන්, දියේ ගිලීම් හේතුවෙන් සිදු වන අඩු ආයුෂ මරණ ලැයිස්තුව දවසින් දවස වැඩි වෙනවා නේද? වයස අවුරුදු හැට පහ පන්නලා ජීවත් වන පිංවතුන් දැන් හුඟාක් අඩුයි නේද? පිංවත අපි මේ අකාලයේ සිද්ධ වන මරණවලට මොනතරම් නම් හේතු දක්වනවා ද? පාතාලය මනුෂ්‍යයෙක්ව ඝාතනය කරද්දී, ආරක්‍ෂාවේ, නීතියේ දුර්වලභාවයයි අපි දකින්නේ. මහ පාරේ අනතුරකින් මනුෂ්‍යයෙක් මියයද්දී, රියැදුරාගේ වේගවත් රිය පැදවීමයි වරද හැටියට දකින්නේ. පිංවත ධර්මානුකූල ඇත්ත නො දැක අපි මුළාව දකින්න හරිම දක්‍ෂයි. අපි හැමෝම කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයන් නිසා ම, කල්‍යාණ ධර්මයන් නුවණින් මෙනෙහි නො කිරීම නිසාම, මරණීය අනතුරුවලට විවෘතවයි ජීවත් වෙන්නේ. පිංවත සංස්කාර ලෝකය කවදත් අනතුරුවලට විවෘතවයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ විපාකයට පැමිණෙන අතීත අකුසල් සංස්කාර අභියෝගයන් යටපත් කොටගෙන, නැඟී සිටින මාර්ගය ඔබට කියලා දෙන්න යි. පිංවත අඩු ආයුෂයෙන් සිද්ධ වන අකාලයේ මරණ වළකා දෙන සැබෑ ආරක්‍ෂකයා මරණානුස්සතිය යි. පිංවත් ඔබගේ මරණීය අකුසල් අභියෝගයන් යටපත් කොට ඔබට දීර්ඝ ආයුෂ ලබා දෙන සැබෑ ම දීර්ඝායුෂ රක්‍ෂණය මරණානුස්සතිය යි. පිංවත අඩු ආයුෂයෙන් මියගිය සහ මියයන අයගේ ජීවිත ගැන හොඳින් සමීක්‍ෂණයක් කොට බලන්න. මේ කවුරුවත් මරණානුස්සතියක් ගැන මෙලෝ හසරක් නො දන්නා පිංවතුන්ලා ම යි.

පිංවත මරණානුස්සති භාවනාව කියලා කියද්දී, අපි බියට පත් වෙනවා. සමහරු සිතනවා මරණානුස්සති භාවනාව පුහුණු කළා ම ඉක්මනට මැරෙනවාය කියලා. ජීවත් වෙන්න හිතනවා හැර මරණය ගැන මොකට හිතනවා ද කියලා සමහර පිංවතුන්ලා ප්‍රශ්න කරනවා. පිංවත කරුණාකර සද්ධර්මය කණපිට හරවා දකින්න එපා. සද්ධර්මය ඒහිපස්සිකව දකින්න. බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා සතර ඍද්ධිපාද පුහුණු කරන්නා කල්පයක් ආයුෂ, ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ දීර්ඝායුෂ ලබනවා ය කියලා. පිංවත උතුම් සතර ඍද්ධිපාද ධර්මයෝ වන ඡන්දය, චිත්තය, වීර්යය, විමංසාව ශක්තිමත් ආකාරයෙන් අපේ ජීවිතවලට ලබා දෙන්නේ මරණානුස්සති භාවනාව ම යි. පිංවත් ඔබ මරණානුස්සති භාවනාවට බිය නම්, ඔබ දීර්ඝායුෂ එපා කියන පිංවතෙක් ම යි. පිංවත මරණානුස්සතිය ඔබේ ජීවිතය කිට්ටුවට ගන්න, එවිට ඔබ සද්ධර්මයේ අර්ථයන්ට සමීප වෙනවා. එවිට ඔබ මරණීය අකුසල් යටපත් කොටගෙන දීර්ඝායුෂෙන් නැඟී සිටිනවා. පිංවත මහ පාරේ රිය අනතුරු වැඩියි, සාහසික මිනිස් ඝාතන වැඩියි, කර්ම රෝගාබාධ සමාජයේ වැඩියි. පිංවත කරුණාකර මේ සමාජගත වන අඩු ආයුෂ අකල් මරණ අභියෝගය ජය ගන්න, පිංවත් ඔබ මරණානුස්සති භාවනාවෙන් සූදානම් වෙන්න. පිංවත තෘෂ්ණාවෙන් මාරාවේෂයට පත් වූ සමාජය නිවැරදි කරන්න ඔබට බැහැ. පිංවත් ඔබ ජීවිතගත වන අකල් මරණීය අකුසල් අභියෝගයන්ට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. මරණානුස්සති භාවනාව මරණීය අතීත අකුසල්වලට වැට බඳින, විදර්ශනාත්මක කුසල් ධර්මයන්ගේ පාරාදීසය යි. සිතුවිල්ලෙන් සිතුවිල්ල ඒ පාරාදීසයේ නිදහසේ සැරිසරන්න පුහුණු වෙන්න.