ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න

පිංවත සමාජය දෙස බලද්දී, ඔබට මොකක් ද සිතෙන්නේ? සමාජය තුළ ක්‍රියාත්මකවන දුශ්ශීලභාවයන්, අසත්පුරුෂභාවයන්, ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්, බිඳ වැටෙන සංස්කෘතික සදාචාර ධර්මයන් දකිද්දී, ඔබ තුළ කලකිරීමක්, ගැටීමක් ඇති වෙනවා ද? එසේත් නැතිනම් සමාජය තුළ ක්‍රියාත්මක වන කාමච්ඡන්දයන්, රූපයේ ආස්වාදයන් සහ සිල්පද බිඳිමින් ලබන මිච්ඡා ආස්වාදයන් දැකලා, ඒවා සිත් සේ වඩලා ඔබ තුළත් සතුටක්, කැමැත්තක් සමාජය කෙරෙහි ඇති වෙනවා ද? පිංවත මේ කලකිරීම සහ සතුට යන කාරණා දෙක ම අයිති ලෝකයටයි. පිංවත පටිච්චසමුප්පාද ධර්මයන්ගේ කොතනින් ගත්තත්, අපි ගන්නේ ලෝකයයි. කලකිරීමට සහ සතුටට හේතුවන විඳීම ගත්තත්, විඳීමට හේතුවන ඵස්සය ගත්තත්, ඵස්සයට හේතුවන සළායතනයෝ ගත්තත්, සළායතනයන්ට හේතුවන නාමරූපයෝ, විඤ්ඤාණ, සංස්කාරයෝ ගත්තත්, මේ සියල්ලට ම හේතුව වන අවිද්‍යාව ගත්තත්, එතැන සකස් වෙන්නේ ලෝකයයි. පිංවත පටිච්චසමුප්පාද ධර්මයන්ගෙන් තොර ලෝකයක් නැහැ. අපිට සිද්ධ වෙනවා සමාජය තුළින් දකින හොඳ සහ නරක දෙකම හේතුඵල ධර්මයන් නුවණින් දකින ධර්මයේ උපේක්‍ෂාවට ගන්න. පිංවත දුර්ලභ දහමක අති දුර්ලභ මොහොතක් අපිට උදා වෙලා තිබෙන්නේ. මේ උතුම් දුර්ලභ දහම අපිට පාර කියන්නේ අපේ මරණය ගුණ කථන, ශෝක ප්‍රකාශ, පාංශුකූල, මතක බණ සහිත තවත් අවමංගල්‍යයක් කරගන්නට නොවේ. අපේ මරණය විදර්ශනා නුවණට පාවඩ එළන මංගල්‍යයක් කර ගැනීම උදෙසාමයි.

පිංවත සමාජය තුළ මිනිස් ඝාතන වැඩිවෙනකොට, මරණීය අනතුරු වැඩිවෙනකොට පිංවත් ඔබ බියට පත්වෙන්න එපා. මේවා සම්මා දිට්ඨිය දුර්වල සමාජයක ජන්ම ලක්‍ෂණ. පිංවත අකුසල් සංස්කාරයෝ වැඩිවෙනකොට ඒවායේ විපාකයෝ හරි ම සංකීර්ණයි. පිංවත අමානුෂික ඝාතන, අමානුෂික දූෂණයන්, අමානුෂික පහරදීම්. මේ අපි දකින්නේ අකුසල් විපාකයන්ගේ සංකීර්ණභාවයයි. පිංවත සමාජගතවන මේ සංකීර්ණ විපාකයෝ දැකලා ඇලීම් සහ ගැටීම් ඇතිකොට ගන්න එපා. ඇලීම් සහ ගැටීම් වැඩි තැන විතර්කයෝ වැඩි වෙනවා. විතර්කයෝ වැඩි වෙද්දී, සංස්කාරයෝ තර වෙනවා, පිංවත කරුණාකර ඔබේ ඵස්සය තෘෂ්ණාවෙන් ඈත්කොට තබා ගන්න. එවිට ඇලීම් සහ ගැටීම්, විතර්කයෝ සහ සංස්කාරයෝ ඔබේ ජීවිතයෙන් පාලනය වෙනවා. පිංවත විතර්කයෝ පංච නීවරණයන්ට හොඳ ආහාරයක්. පිංවත ආහාරයේ රසවත්භාවය නිසා ම, විතර්කයෝ විනිවිද දකින්න අපි තව ම දක්‍ෂ වෙලා නැහැ. නිසල සිතකින් අපි යම් මොහොතක විතර්කයෝ විදර්ශනාවෙන් දැක්කොත්, තෘෂ්ණාවේ සළුපිළිවලින් වසාගත් විතර්කයන්ගේ නිරුවත වන ඵස්සය කෙරෙහි තෘෂ්ණාව සක්සුදක් සේ පෙනෙනවා. පිංවත අපි මංමුළා වූ සත්ත්වයෝ, අපිට මඟ සහ නොමඟ පැටලිලා. දුක අපි දකින්නේ සැප හැටියට, තෘෂ්ණාව අපි දකින්නේ සැපයට මුල හැටියට, තෘෂ්ණාව ප්‍රවර්ධනය කරගැනීමෙන්මයි අපි දුක නැතිකොට ගන්න හදන්නේ. පිංවත අපි සැප ලබන මාර්ගය හැටියට ජීවිතයට එකතුකොට ගන්නේ මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත අපි යන පාර වැරදියි. අපි තවමත් පාර අසන්නේ අවිද්‍යාවෙන්. චතුරාර්ය සත්‍යය ධර්මයෝ නොදන්නා අවිද්‍යාව කෙසේ නම් ලෞකික සහ ලෝකෝත්තර සැපයට පාර කියන්න ද? පිංවත අවිද්‍යාවේ දෑස් පිසදා බලන්න, ඔබ යන ඔය නොමඟේ අවසානය ඔබට පෙනෙනවා නේද? ඔබ යන ඔය නොමඟ අවසන සතරමං හන්දියේ සතර දිශාවට නාම පුවරු හතරක් සවිකොට තිබෙනවා. එම නාම පුවරු හතරේ මෙසේ සටහන් කොට තිබෙනවා. “ප්‍රේත ලෝකයට”, “තිරිසන් ලෝකයට”, “අසුර ලෝකයට” සහ “නිරයට” කියලා. පිංවත පැමිණි මඟ වැරදියි. කරුණාකර ආපසු හැරෙන්න.

පිංවත අපි අනාගතයේ යම් දවසක උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධ කොටගෙන උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුණොත්, එදාට එම උත්තමයා පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳුණු සම්මුති ලෝකය තුළ නිදහස් පුද්ගලයෙක් වෙනවා. උන්වහන්සේ රූපයෙන් නිදහස් වෙනවා. ජරා, ව්‍යාධි, මරණ රූපයට පොදු වුණත් උන්වහන්සේට නැවත රූපය හේතුවෙන් දුක සකස්වීමක් නැහැ. උන්වහන්සේ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගෙන් නිදහස් වෙනවා. මේ ධර්මතාවයන් හේතුවෙන් යළි උන්වහන්සේ තුළ දුක සකස්වීමක් නැහැ. උන්වහන්සේ යළි අතීතයට හෝ අනාගතයට යන්නේ නැහැ. වර්තමානයත් ධම්මානුපස්සනාවට භාර දී උන්වහන්සේ වර්තමානය තුළ ජීවත් වෙනවා. උන්වහන්සේ ප්‍රාතිමෝක්‍ෂ සීලයට අදාළ සිල්පද දෙසිය විස්සක් හිස මත තබාගෙන අතුරේ වැඩිය අනතුරුදායක ගමන නිමා කළ උත්තමයෙක්. ප්‍රාතිමෝක්‍ෂ සීලයේ සිල්පද දෙසිය විස්සක් උන්වහන්සේගේ හිස මත පූර්වාදර්ශීව තිබුණත්, එම සීලය නෙක්ඛම්මයේ සහ ධම්මානුපස්සනාවේ පෙරහන්කඩවලින් ආස්වාදයේ මණ්ඩි රහිතව පෙරී ඇති නිසා ම, උන්වහන්සේට සීලය බියක් හෝ බරක් නොවේ. උන්වහන්සේට සීලය සැහැල්ලුවක්. උන්වහන්සේට සමාධිය, ඥාන දර්ශන සහ විමුක්තිය ධම්මානුපස්සනාවක්. උන්වහන්සේ ලෝකය කොතනින් ගත්තත් ගන්නේ පටිච්චසමුප්පාද ක්‍රියාන්විතය තුළින්. උන්වහන්සේ අවිද්‍යාව මුල්කොටගෙනයි ලෝකය විග්‍රහ කරන්නේ. පිංවත පුද්ගල සංඥාවෝ මකා දමන “විමුක්තිය”, ආත්මීය සංඥාවෝ පටිච්චසමුප්පාද ධර්මයෝ තුළම දියකොට හරිනවා. එවිට උන්වහන්සේ තුළ ඉතිරි වෙන්නේ නිදහස්වීම පමණක්මයි. ඒ නිදහසට පාටක්, වර්ණයක් හෝ හැඩයක් නැහැ.

ඒ නිදහස අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේට තවත් කරන්න කාර්යයක් නැහැය කියලා. උන්වහන්සේ සියල්ල අවසන් කළ උත්තමයෙක්. උන්වහන්සේට ඉතිරිවෙලා තිබෙන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීයෑම පමණක්මයි. පිංවත දුකෙන් බර ලෝකයක, දුකෙන් මිදුණු මෙවන් කතාවක් අසන්නට ලැබෙන්නේ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ දී පමණක්මයි. පිංවත සම්මා සම්බුද්ධ ශාසනය තුළ අපි අප්‍රමාදී වෙමු. පිංවත අපි තව ම ප්‍රමාදීවයි සිටින්නේ. ප්‍රාතිමෝක්‍ෂ සීලය තව ම අපිට බරක් සහ බියක්. නෙක්ඛම්මය සහ ධම්මානුපස්සනාව අපිට තව ගොඩාක් ඈතින් පෙනෙන්නේ. මේ සියල්ල අපේ ජීවිතය ළඟ තිබුණත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි නිවැරදි සතිය සහ සිහිය අපෙන් ගොඩාක් ඈත් වෙලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි මාර්ග අංගය වන සම්මා සංකප්පයෝ සහ නෙක්ඛම්මය මඟ හැරලා අපි සීලයට, සමාධියට යන්න යනවා. පිංවත පංච උපාදානස්කන්ධ ලෝකය තව කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් ඈතට පටිච්චසමුප්පන්නව ගලාගෙන යනවා. ලෝකයේ අවසානයක්, නිමාවක්, නැවතීමක් නැහැ. කරුණාකර ලෝකය විවේචනය උදෙසා නොව, අවබෝධය උදෙසා පමණක් උපයෝගීකොට ගන්න. ඔබේ එකම ඥාතියා ඔහු හෝ ඇය නොව පටිච්චසමුප්පාද ක්‍රියාන්විතය ම බව සිහිනුවණින් තේරුම් ගන්න. ලෝකය කියලා කියන්නේ සිනහවෙන් සහ කඳුළින් පිරිණු මිරිඟුවක්, මායාවක්. ලෝකය, ලෝකය තුළ ම තබා, ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. මායාකාරී ලෝකයට රැවටෙන්න නම් එපා. සංස්කාර ලෝකය කියන්නේ සම්මා සමාධිමත් සිතකින් තොරව, තේරුම් ගන්න බැරි ඇස්බැන්දුමක්.

පිංවත මේ දවස්වල දේශපාලන ඝෝෂාව වැඩියි නේද? පිංවත ඝෝෂාව වැඩියි කියන්නේ තෘෂ්ණාව වැඩියි කියන කාරණයයි. අපේ රටේ තිබෙන්නේ මනුෂ්‍ය දේශපාලනයක් නොවේ, ප්‍රේත දේශපාලනයක්. පිංවත් ඔබ මේ ප්‍රේත දේශපාලන රැල්ලට ගසාගෙන යන්න එහෙම එපා. සමගියෙන් රැස්වෙලා, සමගියෙන් තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා, නිදහසේ ජනතාවට තීන්දුවක් ගන්න වර්තමාන ප්‍රේත දේශපාලනය තුළ ඉඩ කඩක් නැහැ. සමගියක් නැති නිසාම සහ සාකච්ඡාවන් ඇණකොටා ගැනීමෙන් අවසන් වන නිසා ම අපේ රටේ ව්‍යවස්ථාව විසි වතාවකට වඩා වෙනස් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය කරන්නන්ට දේශනාකොට තිබෙනවා, අතීතයේ නායකයන් පැනවූ නීති වෙනස් කරන්න එපාය කියලා. නමුත් අතීතයේ සිටි නායකයනුත් ප්‍රේත දේශපාලනය කරපු නිසා ම, දේශපාලන අසමගියෙන්, දේශපාලන ආත්මාර්ථකාමීභාවයෙන් රටේ ව්‍යවස්ථාවන් හැදුව නිසා ම වර්තමාන රටේ ව්‍යවස්ථාව බුදු දහමේ ඉගැන්වීම් හාස්‍යයට ලක්කරලා, අතීතයේ පැනවූ නීති, බලය කෙරෙහි ආත්මාර්ථකාමීභාවයෙන් වරින් වර වෙනස් කරනවා. පිංවත ප්‍රජාතන්ත්‍රවාදය මානුෂික දහමක් බවට පත්වෙන්නේ, රට පාලනය කරන නායක පිංවතුන්ලා සිල්වත් වුණොත් පමණක්මයි. රටක නායක පිංවතුන්ලා දුසිල්වත් වෙද්දී, ප්‍රජාතන්ත්‍රවාදයේ මානුෂික සළුපිළි ගලවා ආත්මාර්ථකාමීභාවයේ නිරුවත පෙන්වනවා.

රටක නායක පිංවතුන් දුශ්ශීල වෙද්දී, තමන්ගේ ජනප්‍රියභාවය දුර්වල වෙනවා, අභියෝගයන්ට මුහුණදීමේ ශක්තිය දුර්වල වෙනවා. එහි ඵලය දේශපාලන ආත්මාර්ථකාමීභාවය පමණක්මයි. පිංවත මේවා තෘෂ්ණාවේ සුන්දර හේතුඵල ධර්මයන්. මේ අධාර්මික විකෘතීන් දකිද්දී, ඔබ ඇලෙන්න හෝ ගැටෙන්න නොවේ යායුත්තේ. අපි කළයුත්තේ තෘෂ්ණාවට වැට බඳින ආර්ය අෂ්ටාංගික මාර්ගය ජනතාව තුළින් ශක්තිමත් කිරීමයි. මේ තෘෂ්ණාවේ මාරාවේශයන් පරාජයකොට නැගී සිටින්න අවශ්‍ය සිල්වත්භාවයේ ශක්තිය ජනතාව තුළ ඇති කිරීමයි. පිංවත වර්තමානයේ සෑම පක්‍ෂයක ම ජනප්‍රියභාවය දුර්වල වෙලා. ජනප්‍රියභාවය දුර්වල වෙන්නේ දුශ්ශීලභාවය නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පිංවත සමාජය තුළ ප්‍රේත දේශපාලනය සක්‍රීය වෙද්දී, පිංවත් ඔබ මනුෂ්‍ය ධර්මයන් තුළ ශක්තිමත් වෙන්න. අපි සියල්ලෝම වැපුරූ දේවල්වල අස්වැන්නයි සැප්තැම්බර් 22 වැනි දා ජාතියට ලැබෙන්නේ. පිංවත පුංචි හෝ යහපත් වෙනසකට මේ කෙටි කාලය තුළ මෛත්‍රිය, සීලය සමාජය තුළ වපුරන්න. පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සහ සීලය මුල්කොටගත් “මිම්මකින්” ඔබේ අනාගත නායකයා තෝරා ගන්න දක්‍ෂ වෙන්න. එවැනි නායකයෙක් සෙවීමත් ඔබට වෙහෙසකාරී වැඩක් වෙන්න පුළුවන්. පිංවත ඔබ මේ වතාවේ කාට ද ඡන්දය දෙන්නේ? කාට ඡන්දය දුන්නත් කමක් නැහැ, ඔබේ ඡන්දය නොදී නම් ඉන්න එපා. වියරු දේශපාලන අත්මාර්ථකාමීභාවයන් ඉදිරියේ මනුෂ්‍යත්වයට පණ දෙන ප්‍රජාතන්ත්‍රවාදය හෙට දවස උදෙසා ජීවත් කරවන්න.

පිංවත පැවිදි අපේ ශාස්තෲන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා ගුණය මොනතරම් නම් අප කෙරෙහි කාරුණික ද? මොනතරම් නම් සත්පුරුෂ ද? භාග්‍යවතුන් වහන්සේ පැවිදි අපිව ගිහි දේශපාලන සමාජයේ රැවටිලිවලට ලක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ගිහි දේශපාලන මාරාවේශයේ අතකොලු බවට පත්වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විනයානුකූලව ඡන්ද බලය නැහැ. පැවිදි අපිට පුළුවන් ධර්මානුකූලව දේශපාලන පිංවතුන්ලාට අනුශාසනා කරන්න පමණක්මයි. ධර්මානුකූලව හරි මඟ කියලා දීම පමණක්මයි. පිංවත උපසම්පදා භික්ෂු පැවිදි අපේ “ඡන්දය” දිවි ඇති තුරාවට අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට දෙවරක් නොසිතා ම දීලයි තිබෙන්නේ. එහි ප්‍රතිලාභයෝ මේ නිමේෂයේදීත් භික්ෂුව ස්වාක්ඛාතව, සරලව සිතුවිල්ලෙන් සිතුවිල්ල ලබනවා. එම ප්‍රතිලාභයෝ තුළ අසමගිය, ආත්මාර්ථකාමීභාවයෝ නැහැ. එම ප්‍රතිලාභයෝ සැඟවිලා නැහැ, තමා තුළින් තමාට සහ ලෝකයාට විවෘතයි. ලෞකික ප්‍රඥාව, සීලය, සමාධිය, ඥාන දර්ශන සහ විමුක්තිය දක්වා ම තමා තුළින්ම ඒහිපස්සිකව තමාට ම පෙනෙනවා. පිංවත අනුනට ඡන්දය දෙන ගිහි පිංවත් ඔබලා වගේ නොවේ, පැවිදි අපි ඡන්දය දෙන්නේ තමා තුළින් ම ඕපනයිකව වැඩෙන ඉන්ද්‍රීය ධර්මයන්ට සහ බල ධර්මයන්ටයි. පිංවත පැවිදි අපි ලබන අවසාන බලය යළි නොවෙනස්වන බල ධර්මයෝමයි. මෙවන් නොවෙනස්වන බලයක් සද්ධර්මය තුළ තිබිය දී, අපි තවමත් වෙනස්වන, පාවාදෙන සහ විකිණෙන බලයක් උදෙසා අසවල් නායකයාට “ජය වේවා!” යැයි කියමින් දවල් සිහින දකිනවා.

පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උරුමක්කාරයන් වන අපි, එම ලෞකික සැප ලබාදෙන එකම මාර්ගය මගහැර යද්දී, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හයක් හතරක් නොදන්නා ලෝකයා ගැන කිනම් කතාවක් ද? ඒ නිසාම නේද යුද බිය ලෝකයේ පැතිරිලා යන්නේ? පිංවත ධර්මයෙන් බැහැර වූ ලෝකය තුළ යුද බිය පැතිරී යනවා නම්, ඔබ කළ යුත්තේ ගැටෙන සිත් ඇතිකොට ගැනීම නොවේ. “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෛත්‍රි සිතුවිලි පැතිරවීමයි. තෘෂ්ණාධික මනුෂ්‍යයාගේ ඵස්සය හේතුවෙන් සකස්වන ඇලීම් සහ ගැටීම් හේතුවෙනුයි යුද්ධයක් කලඑළි බහින්නේ. මනුෂ්‍යයාගේ ඇලීම් සහ ගැටීම්වලට පුළුවන් නම් වියරු යුද්ධ ඇති කරන්න, මනුෂ්‍යයාගේ උපේක්‍ෂා සහගත සිතට පුළුවන් වෙන්න ඕනේ, යුද බිය ලෝකයෙන් ඈත්කොට තබන්නට. පිංවත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ලෝක සාමයට අවශ්‍ය සියලුම තෘෂ්ණාව නිවන ධර්මයෝ තිබෙනවා නේද? පිංවත අවිද්‍යා පච්චයා සංඛාරා, අවිද්‍යාව වාන් දමනකොට අකුසල් සංස්කාරයෝ, අධර්මයෝ, අධර්මයන් ම මෝදුකොට දෙනවා. පිංවත ලෝකය නිවැරදි කරන්න බැහැ. ඒ තරමට ම ලෝකයට වැරදිලා. ඔබ නිවැරදි වෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කුසලයේ ආරක්‍ෂක බංකරය ශක්තිමත්කොට ගන්න. මෛත්‍රියේ ශක්තියෙන් අවි ආයුධවලින් අනතුරක් නොවන කෙනෙක් බවට පත්වෙන්න. සීලයේ ශක්තියෙන් යුද අකුසල් අභියෝගයන්ට ආරක්‍ෂාකාරීව ඔරොත්තු දෙන්නෙක් බවට පත්වෙන්න. දානයේ ශක්තියෙන් වර්ණය, සැපය, බලයෙන් ආරක්‍ෂාවේ පවුරක් ඉදිකොට ගන්න. සමාධියේ ශක්තියෙන් මේ සියලු ධර්මයෝ ලෝකයේම කොටසක් බව දකිමින් ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න.