පිංවත මේ දවස්වල දේශපාලන ඝෝෂාවන් හුඟාක් වැඩියි නේද? අපේ නායකතුමාට ජය වේවා යැයි කියන ඝෝෂාවෝ සතර දිශාවන්ගෙන් ම ඇසෙනවා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නොමැති පිංවතා අහවලාගෙන් මට යමක් ලැබේවි, අහවලාගෙන් මට හොඳක් ම සිද්ධ වේවි යැයි අනුනගේ මුහුණු බලමින් අනුන් පසුපස යනවාය කියලා. පිංවත වර්තමානයේදීත් අපි කරමින් සිටින්නේ ඉහත අනුවණකම නේද? මෙතෙක් අපි අනුන් පසුපස ගියාය කියලා අපිට ලැබිලා තිබෙන්නේ ශෝක, පරිදේවයෝ පමණක් ම නේද? යම් පිංවතකු කියන්න පුළුවන් අහවලා, අහවල් නායකතුමා පසුපස ගිහිල්ලා කෝටිපතියෙක් වුණාය කියලා. ඔහු කෝටිපතියෙක් වුණේ සල්ලිවලට වඩා බරැති අකුසල් කන්දක් ජීවිතයට එකතු කොටගෙන නේද? වර්තමානයේ ධනය, බලය, නිලතල දරණ හුඟ දෙනෙක් වර්තමානයේ මේ තැනට පැමිණියේ අතීතයේ කවුරුන් හෝ නායකයන් පසුපස ගිහින් නේද? නමුත් එම පිංවතුන්ලාගේ ධනවත්, බලවත් ජීවිත යටින් දිවෙන දුශ්ශීලභාවයන් සහ අකුසල් මූලයෝ මොනතරම් නම් අනාගත භව දුකේ ඛේදවාචකයක් ද? පිංවත මට මොහුගෙන් යමක් ලැබේවි යැයි අනුනගේ මුහුණ දෙස නොබලා, කරුණාකර ඔබ දෙස ඔබ බලන්න. මෙයයි දුක, මෙයයි දුකට හේතුව, මෙයයි දුකේ නැතිවීම, මෙයයි දුක නැති කිරීමේ මාර්ගය. පිංවත මේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ ගැන මෙනෙහි කරද්දීම, ජීවිතය සංසිඳිලා නේද? එතැනදී ම ඔබ ලබන්නේ ලෞකික සැපය නේද? අසීමිත තෘෂ්ණාවට වැට බඳින මධ්‍යම ප්‍රතිපදාව, ලද දෙයින් සතුටුවෙන, නොලද දෙය ධර්මානුකූලව ලබා ගැනීමට වීර්යය වඩන මධ්‍යම ප්‍රතිපදාව ඉදිරියේ තමා දකින්නේ අනුනගේ මුහුණු නොව, තමාගේ ම සංස්කාර ශක්තියයි. පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයයි. එවන් දුර්ලභ අර්ථයක් සෑම ජීවිතයකින් ම බලාපොරොත්තු වෙන්න බැහැ. අදට වඩා හෙට තමා දෙස නොබලා අනුනගේ මුහුණු දෙස බලනා පිංවතුන්ලාගේ සංඛ්‍යාව මහා වේගයකින් වැඩිවේවි. අපේ නායකතුමාට ජයවේවා යැයි නැගෙන ඝෝෂා තවත් වැඩිවේවි.
පිංවත ඔබ, ඔබේ ම කුසල් සංස්කාර ශක්තියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. එවිට ඔබට බියක් නැහැ, සැකයක් නැහැ. ඔබට ඔබව විශ්වාසයි. එවිට ඔබේ ඡන්දය තව තවත් කුසල් ධර්මයෝ කෙරෙහිමයි ඇති වෙන්නේ. එවිට ඔබ බැඳුණ මිනිසුන් අතර නිදහස් මිනිසෙක් වෙනවා. පිංවත වර්තමානයේ නිදහස් මිනිස්සු ගොඩාක් අඩුයි. හැමෝම උත්සාහ ගන්නේ අනුන් මත යැපෙන්න. දුර්වල සංස්කාරයෝ, අපේ ආත්ම විශ්වාසය පලුදු කරනවා. පිංවත ඔබට සේ ම අනුනටත් ආත්මගරුත්වයක් තිබෙනවා යැයි නිරතුරුව සිතන්න. අද උදෑසන භික්ෂුවට පිණ්ඩපාතය බෙදන්න පැමිණි නගරයේ කෝටිපති පිංවතාටත් භික්ෂුව කතා කළේ මහත්තයෝ කියලා. ගමේ දුප්පත් ම පිංවතාටත් භික්ෂුව කතා කළේ මහත්තයෝ කියලා. පිංවත අනුනට පතුරුවන සම මෙත් සිත, තමන්ගේ ආත්ම විශ්වාසයට අයෝමය කුසලයක් ම වෙනවා. උතුම් තෙරුවන් සරණගිය අපි දක්‍ෂ විය යුතුයි මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය තුළ සිංහ සෙයියාවෙන් නැගී සිටින්න. කුසල් ධර්මයෝ සිඟා කෑම නොවේ අපි කළයුත්තේ. අපි තුළින් කුසල් ධර්මයෝ මතුකොට ගැනීමයි. පිංවත අපි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ගොඩනඟා ගන්නා ආත්ම විශ්වාසය, අකුසල් අභියෝගයන් හමුවේ අසරණ කරන්න කාටවත් ම බැහැ. ඔහු දක්‍ෂයි අකුසලය තුළින් කුසලය මතුකොට ගන්න. ඔහු දක්‍ෂයි අකුසලය තුළින් විදර්ශනා නුවණ මතුකොට ගන්න. එවිට ඔහු අකුසලයෙන් පරාජිත ලෝකය තුළ අපරාජිත චරිතයක් වෙනවා. පිංවත “ඔබ” කියන්නේ පටිච්චසමුප්පන්න ක්‍රියාන්විතයක්. ඒ කියන්නේ ඔබ ධර්මයක් ම වෙනවා. අවිද්‍යාව මුල් වී ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා පටිච්චසමුප්පන්නව දිවෙන ඔබේ ජීවිතය ධර්මයක්. පිංවත මෙතෙක් ධර්මයක් යැයි නොදැක්ක ඔබේ ජීවිතය තුළින් ම ධර්මය මතුකොට ගන්න. පිංවත ඔබට ආත්ම විශ්වාසය නැතිනම්, කරුණාකර අනුනට ආත්මගරුත්වය දෙන්න. තමා උසස්කොට අනුන්ව පහත්කොට දකින්න එපා. තමන් මහේශාක්‍යකොට, අනුනව අල්පේශාක්‍යව දකින්න එපා. තමා සිල්වත් යැයි අනුන් දුසිල්වත් යැයි දකින්න එපා. එවිට ඔබේ ආත්ම විශ්වාසය තව තවත් හීන වෙලා යාවි. පිංවත වර්තමානයේ අපේ රටේ දේශපාලනය දිහා බලන්නකෝ. අපේ දේශපාලනය නායකත්ව පෞරුෂත්වයෙන් හොඳටෝ ම දුර්වල වෙලා. මිල දී ගැනීම් මත, අනුන් මත, සන්ධාන මත යැපෙන්නමයි බලන්නේ. පිංවත අපේ පෞරුෂත්වය, අපේ ආත්ම විශ්වාසය දුර්වල වෙලා යන්නේ, අපි අනුනට ආත්මගරුත්වය නොදීමේ අකුසල් නිසාමයි.
පිංවත මමත්වයේ දැඩිභාවය ජීවිතයෙන් දුරස්කොට, සියලුම මනුෂ්‍යයන්ට සම මෙත් සිත පතුරුවන්න. “මම සේ ම අන් සියලු මනුෂ්‍යයෝ ම සැප ලබත්වා!” යැයි මෙත් වඩන්න. ජාති භේද, ආගම් භේද, පක්‍ෂ භේද, පන්ති භේද අවිද්‍යාවට බාර දෙන්න. පිංවත අපි කාටවත් වැරදිලා නැහැ. අපිව කාටවත් වරද්දන්නත් බැහැ. අපි සියල්ලෝ ම පටිච්චසමුප්පන්න අපේ ම සංස්කාරයෝයි. මෙය සටහන් තබන භික්ෂුව මේ රාත්‍රියේ වනවාසී කුටියක උපේක්‍ෂාවෙන් පසුවෙන්නේත්, පිංවත් ගිහි ඔබ මේ රාත්‍රියේ ඇලීම් හෝ ගැටීම් තුළින් ආස්වාදය ලබන්නේත් තමාගේ ම පටිච්චසමුප්පාද ක්‍රියාන්විතයේ සංස්කාර පච්චයා විඤ්ඤාණ ධර්මතාවය නිසාමයි. පිංවත ඔබට වගකිවයුත්තේ ඔබමයි. එම නිසා බාහිර ලෝකයට බණින්න හෝ බාහිර ලෝකයට හොඳ කියන්න යන්න එපා. ඔබේ ලෝකය තුළින් බාහිර ලෝකයේ හොඳ සහ නරක ධර්මයේ උපේක්‍ෂාවට ගන්න. මනුෂ්‍ය ධර්මයන් නොපෙනෙන තෘෂ්ණාවේ මාරාවේශයෙන් ධනය, බලය, නිලතල උදෙසා ප්‍රණීත, විසිතුරු ආහාර සොයන වර්තමාන දේශපාලන අවිද්‍යා අමාවක කළුවරේ අනුන් කරන්නන් වාලේ අකුසල් අඳුරේ අතපත ගාමින් සැප නම් සොයන්න එපා. සැප යැයි ඔබ, ඔබේ ම අවිද්‍යාවට තුරුල්කොට ගන්නේ ජාති, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේවයෝමයි. පිංවත කරුණාකර ඔබේ දේශපාලනය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුළට ගන්න. එවිට ඔබ සැප සොයන්නේ දේශපාලනයෙන් නොවේ, සැබෑ ම ලෞකික සැපයට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළිනුයි. පිංවත මේ පෙරළිය කරන්න දක්‍ෂ ධර්මානුකූලව සිත පුහුණු කළ පිංවත් නායකයෝ ගිහි සමාජය තුළින් මතුවෙන්නේ නැහැ.
පිංවත ආත්ම විශ්වාසය කියන්නේ මහමෙරක් වගේ දෙයක්. සද්ධර්මයේ ඇත්ත වෙනුවෙන් නැගී සිටින්න අපිට ආත්ම විශ්වාසයක් තිබෙන්නට ඕනේ. දසපාරමී කුසල් ධර්මයන්ගෙන් උපන් බෝධිසත්ත්වයන් වහන්සේ නමක් යම් දවසක, “මාගේ ලේ, මස්, සම්, ඇට, නහර වියලේවා! සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධයෙන් තොරව මේ ආසනයෙන් නොනැගිටිමි” යි සිංහ සෙයියාවෙන් අධිෂ්ඨානයක් ඇතිකොට ගන්නවා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගන්නා උතුම් අරිහත් උත්තමයෙක්, ඒ උතුම් අරමුණ සාක්ෂාත්කොට ගන්නේ, පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරන්නේ තම ජීවිත ආශාව අනිත්‍ය වූ සංස්කාරයන්ට අතහැරලයි. පිංවත මේවා උතුම් මනුෂ්‍ය ජීවිතවල කුසල් සංස්කාරයන්ගෙන් උපන් ආත්ම විශ්වාසයේ ම උත්තරීතර ඵලයන්. ඒ ආත්ම විශ්වාසය ඔබට ලබා දෙන්නේ සියලු සත්ත්වයන්ට ඔබ දක්වන සම මෛත්‍රී සිතමයි. මගේ පක්‍ෂයට, මගේ පාක්‍ෂිකයාට, මගේ ආධාරකරුවාට පමණක් දක්වන ආත්මාර්ථකාමී ලෝභ, ද්වේශ, මෝහ මිච්ඡා මෙත් සිත කෙසේ නම් අපේ නායක පිංවතුන්ලාට සද්ධර්මයේ ඇත්ත වෙනුවෙන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වෙනුවෙන් නැගී සිටින්න, ආත්ම විශ්වාසය තමා තුළින් ලබා දෙන්න ද? පිංවත ඒහිපස්සික දහමක් ඉදිරියේ අපි හැමෝම අපේ හීනමානයට රැවටිලා, අසද්ධර්මයන්ට වශී වෙලා. සියලුම පිංවත් දේශපාලන නායකයන් තමන්ගේ පක්‍ෂය, තමන්ගේ පාක්‍ෂිකයා කියන ආත්මාර්ථකාමී අර්ථයන්ගෙන් මිදී, සමස්ත ජනතාව ම තමන්ගේ දරුවන් යැයි දකින, සම මෛත්‍රී සිතුවිලි ඇතිකොට ගන්න දක්‍ෂ වෙන්න. තමන්ගේ මේ ව්‍යායාමය රටේ අයිතිකරුවා වීමට නොව, රටේ භාරකරුවා වීමට යැයි නෙක්ඛම්මය අවංකව ඇතිකොට ගන්න. මෛත්‍රිය සහ නෙක්ඛම්මය තිබෙන තැන සීලය අනිවාර්යයෙන් ම තිබෙනවා. ඔතැනමයි අර්ථවත් රාජ්‍ය නායකයෙක්ගේ අර්ථවත් ජයග්‍රහණයක් තිබෙන්නේ.
පිංවත මේ සුන්දර වස්සානයේ භික්ෂුවට අමිහිරි මතකයක් මතකයට පැමිණියා. මීට වසර හතරකට පමණ පෙර වස්සානයට ආසන්න ජුනි මාසයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් දැනට කොළඹ ජීවත්වන ධනවත් මහත්මයෙක් සමග භික්ෂුව වැඩසිටි කුටියට වැඩියා. උන්වහන්සේ පැමිණ තිබුණේ භික්ෂුවට බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කරන්න. එම පිංවත් ස්වාමීන් වහන්සේ භික්ෂුවට වන්දනා කරලා මෙහෙම ආරාධනාවක් සිද්ධ කළා. ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ගම්පහ මගේ ආරාමයේ වස් සමාදන් වෙන්න. ඔබවහන්සේට මගේ ආරාමය වස් තුන් මාසයේ දී පූජා කරනවා කියලා. ඒ අවස්ථාවේ දී භික්ෂුව ඇසුවා ඔබවහන්සේ එතකොට කොහේ ද වස් වසන්නේ කියලා. උන්වහන්සේ කිව්වා තමන් වහන්සේ වෙනත් තැනකට වඩිනවාය කියලා. භික්ෂුව බොහෝම නිහතමානීව උන්වහන්සේට දැනුම් දුන්නේ ගම්පහ ප්‍රදේශයේ වස් සමාදන් වුණොත් විවේකය අඩු වෙනවා, එම නිසා ආරාධනය ගැන සමාවෙන්නය කියලා. සති දෙකකට විතර පස්සේ භික්ෂුව උන්වහන්සේගේ ගම්පහ ප්‍රදේශයේ ආරාමයට වැඩම කරලා, ආරාධනය භාරගැනීමට නොහැකිවීම ගැන නැවතත් සමාවෙන්න කියලා දැනුම් දුන්නා. පිංවත මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේ අද ජීවතුන් අතර නැහැ. උන්වහන්සේ අපවත් වුණේ නැහැ. වෙඩි වැදීමකින් මිය ගියා. කාමයෝ දෙපැත්ත කැපෙන තියුණු සැතක්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. මේ තියුණු සැත සියලු සත්පුරුෂ ධර්මයෝ සහමුලින්ම කපා දමනවා, ගිහි සහ පැවිදි කියලා වෙනසක් නැහැ.