උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය

පිංවත උපතින් ම දෑස් අන්ධ පිංවතෙක් කෙසේ නම් නිල් මැණිකක වටිනාකම හඳුනා ගන්න ද? එම දෑස් අන්ධ පිංවතාගේ දෙපාවල නිල් මැණික් වැදුණත්, එය හුදු ගලක් ලෙසින්මයි ඔහු හඳුනා ගන්නේ. එය එම අන්ධ පිංවතාගේ වරදක් නොවේ, අන්ධ දෑස්වල වරදයි. පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් වුවත්, අශ්‍රද්ධාවැති පිංවතා කෙසේ නම් මේ දුර්ලභ අර්ථයෝ හඳුනා ගන්න ද? එය එම අශ්‍රද්ධාවැති පිංවතාගේ වරදක් නොව, මිථ්‍යාදෘෂ්ටියේ වරදයි. පිංවත මිථ්‍යාදෘෂ්ටිය තරම් පාපමිත්‍රයෙක් මේ ලෝක ධාතුව තුළ නැහැ. පිංවත උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයේ දුර්ලභ ම අර්ථය වෙද්දී, මිථ්‍යාදෘෂ්ටිය ලෝකයේ සුලභයි. ඒ නිසා ම පාපමිත්‍රයෝ ලෝකයේ සුලභයි. මේ ඔබ දකින්නේ ඔබ ලැබූ දුර්ලභ සම්මා දිට්ඨියේ පුණ්‍යවන්තභාවයයි. පිංවත කර්මය කර්මඵල විශ්වාසයෙන් තොර, නැවත පටිච්චසමුප්පන්න උපතක් තිබෙනවාය කියන විශ්වාසය නැති, මිථ්‍යාදෘෂ්ටියේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. බියෙන් තොරව සිල්පද දුර්වලකොට ගන්න, බියෙන් තොරව අකුසල් මූලයෝ වඩන, බියෙන් තොරව උතුම් තෙරුවන්ට නිගරු කරන මිථ්‍යාදෘෂ්ටියේ කෙටි ආස්වාදය දීර්ඝ මහමෙරක් ආදීනවයන්ට උපකාරක ධර්මයක් ම වෙනවා. පිංවත මිථ්‍යාදෘෂ්ටිය චතුරාර්ය සත්‍යය ධර්මයෝ හඳුනන්නේ නැහැ. මිථ්‍යාදෘෂ්ටිය පංච උපාදානස්කන්ධ ලෝකය නිත්‍ය, සැප, සුභ වශයෙන්මයි දකින්නේ. පිංවත ඔබ, ඔබත් සමග කතා කරන්න, ඔබ ගැන ඔබගෙන් ම දැනගන්න. වැරදි ඇතොත් නිවැරදිකොට ගන්න.

පිංවත මේ උදාවෙලා තිබෙන්නේ සුන්දර වස්සානයයි. අටමහා කුසල් ධර්මයෝ ගැන මතකය අවදිකොට දෙන වස්සානයයි. තෙතබරිත මහ පොළොවෙන් මතුවන තණපත්වලටත් මෙත් සිත් පතුරුවන වස්සානයයි. පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන් මොනවාට පෝෂණය වූ සම්මා දිට්ඨිය මොනතරම් නම් වටිනවා ද? වස්සානය යැයි සිතෙත්දීම, භික්ෂුවගේ සිත සමාධිමත් වෙලා. සැකයක්, විචිකිච්ඡාවක් නැහැ, සිත සද්ධර්මයේ අර්ථයන් කෙරෙහි ඍජුව බැසගෙන සිටිනවා. එම සිත ලෞකික සැපය කියන අර්ථයන් කෙරෙහිත්, විදර්ශනාමය අර්ථයන් කෙරෙහිත් නවා ගන්න හරි ම ලෙහෙසියි. මේ අපි දකින්නේ සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයක්. මේ උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය, සන්දිට්ඨික ගුණය ඔස්සේ සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ ගුණය දක්වා මෙහෙයවීමට උපකාරක ධර්මයන් සකස්කොට දෙන්නේ, සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය ම බව අපි කෘතවේදීව තේරුම් ගන්න ඕනේ. පිංවත සමාධිමත් සිතකට ලෝක ධර්මයෝ හරිම නිරවුල්. සමාධිමත් සිත ඉදිරියේ පංච නීවරණයන්ගේ කැත සහ කුණු තාවකාලිකව වාෂ්පවෙලා යනවා. පිංවත සමාධිමත් සිතෙත් ආශ්වාදයක් තිබෙනවා. සමාධිමත් සිත වඩාත් කැමති එක ම අරමුණක නවතින්න. ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි සිහිය පිහිටුවීම සමාධිමත් සිත ප්‍රියකරන ආහාරයක් ම වෙනවා. පිංවත ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් කරමින්, ආශ්වාස ප්‍රශ්වාසයෝ සංසිඳවමින්, ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රීතියක් ම, සැපයක් ම බවට පත්කරමින්, ප්‍රීතිය සහ සැපයටත් සමුදෙමින් ඉදිවන උපේක්‍ෂාව වේදනාවේ ආස්වාදයට මදි නොකියන්න ආහාර දෙනවා.

පිංවත මනුෂ්‍ය ලෝකයේ වේගයෙන් ඉහළ යන ජනගහනය පාලනය කරන්න උපත් පාලන ක්‍රමවේදයන් ගොඩාක් සමාජය තුළ භාවිතා වෙනවා. ආර්ථික ප්‍රශ්න වැඩිවෙනකොට, ඉඩකඩම් අයිතිය සීමාවෙනකොට උපරිම දරුවන් තුන් දෙනෙකුගේ සීමාවකට සිංහල බෞද්ධ සමාජය හැඩගැසෙමින් පවතිනවා. පිංවත ජනගහනය අවමකොට ගැනීම උදෙසා, බැඳීම් අවමකොට ගැනීම උදෙසා මනුෂ්‍ය අපි උපත් පාලනයන් සිද්ධ කළත්, මනුෂ්‍ය ලෝකයට සාපේක්‍ෂව අපිට නොපෙනෙන ප්‍රේත ලෝකයේ ප්‍රේත ජනගහනය වේගයෙන් වැඩිවන බවක් හේතුඵල ධර්මයන්ට අදාළව සටහන් තබන්න සිද්ධවෙලා තිබෙනවා. පිංවත අවිද්‍යාව වැඩිවෙනකොට තෘෂ්ණාව වැඩි වෙනවා. තෘෂ්ණාව වැඩිවෙනකොට උපාදානයන් වැඩි වෙනවා. පිංවත තෘෂ්ණාවේ තීව්‍රභාවයෙන් අධි වේගයෙන් වේගවත් වන ප්‍රේත ලෝකයේ ජනගහනය උපත් පාලනය කරලා සීමාකොට ගන්න බැහැ. ප්‍රේත ලෝකයේ ජනගහනය අඩු කරන්න නම් මනුෂ්‍යයන් ඇතුළු කාම ලෝකයේ ජීවත්වන සත්ත්වයන්ගේ තෘෂ්ණාවයි පාලනය කරන්න ඕනේ. පිංවත මනුෂ්‍ය අපේ තෘෂ්ණාව දෝරේ ගලායනකොට, මනුෂ්‍ය අපේ හැසිරීම් ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් සංවර්ධනය වෙනකොට ඊට සාපේක්‍ෂව කාම ලෝකයේ ජීවත්වන අනෙක් සත්ත්වයන්ගේත් තෘෂ්ණාව වැඩිවීම හේතුඵල ධර්මයක් ම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, මනුෂ්‍යයාගේ පිරිහීමට අදාළව දෙවියෝත් පිරිහීමට පත්වෙනවාය කියලා. පිංවත ගසක ගෙඩියක් තියා ගන්න දෙන්නේ නැති, වගාවක් සිදුකොට ගන්න ඉඩ දෙන්නේ නැති වර්තමාන තිරිසන් ලෝකයේ ජීවත්වන සතුන්ගේ තෘෂ්ණාව අපි අත්දැකීම් තුළින් ම දන්නවා නේද? පිංවත සත්ත්වයා දෙවියෙක්, මනුෂ්‍යයෙක්, තිරිසන් සතෙක්, අසුරයෙක් වුවත් එම සත්ත්වයන්ගේ තෘෂ්ණාව වැඩිනම්, උපාදානයෝ කාම භවයේ ප්‍රේත උපතකටයි පටිච්චසමුප්පන්න ඉරණම වෙන්නේ. පිංවත කාම ලෝකයේ සත්ත්වයන්ගේ තෘෂ්ණාව වැඩිවෙනකොට, කාම ලෝකයට ම අයිති ප්‍රේත ලෝකයේ ජනගහනය වේගයෙන් වැඩි වෙනවා. ප්‍රේත ලෝකයේ ප්‍රේත මනුෂ්‍යයන් ජීවත් වෙනවා වගේ ම, ප්‍රේත අලි, ප්‍රේත පක්‍ෂීන්, ප්‍රේත බල්ලන්, බළලුන් ජීවත් වෙනවා. සම්මා දිට්ඨිය දුර්වල පිංවතුන්ලාට ඉහත කාරණා හාස්‍යයක් වෙන්නත් පුළුවන්. පිංවත් ඔබ මේවාට සිනාසුණත්, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ කාම භවය තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයට යටත්ව ම පවතිනවා. පිංවත අපි ලෝක ධර්මයන්ට සිනාසුණොත් අපිත් ලෝක ධර්මයන්ගේ ගොදුරක් ම වෙනවා. අපිට කවදාකවත් ලෝක ධර්මයන්ගෙන් නිදහස්වීම උදෙසා උඩුගං බලා යන්න බැහැ.

පිංවත ප්‍රේත ලෝකයේ ප්‍රේත ජනගහනය වැඩිවෙද්දී, මනුෂ්‍ය අපි ප්‍රේත උවදුරුවලින් පරිස්සම් වෙන්න ඕනේ. පිංවත් මනුෂ්‍ය අපි,ජනගහනය වැඩිවන ප්‍රේත ලෝකයේ ප්‍රේත, ප්‍රේතියන්ට යටිතල පහසුකම්, ඉඳුම් හිටුම් පහසුකම් සපයා දෙන්න හොඳ නැහැ. පිංවත ඔබේ නිවස සහ නිවස අවට පරිසරය හොඳින් පිරිසිදුව තබා ගන්න. සමහර ගෙවල් තිබෙනවා, පරණ බඩු කඩ වගේමයි. පරණ බඩු ගෙදර පුරවාගෙන. පිංවත භාවිතයට නොගන්නා පරණ දේවල් ගෙදරින් ඉවත් කරන්න. පිංවත බෝතල්, පත්තර, පරණ යකඩ, පරණ ශීතකරණ, පරණ බැටරි සොය සොයා යන අය මැරිලා පටිච්චසමුප්පන්නව පරණ බඩු උපාදානය කොටගෙන නිවෙස් ඇතුළේ ම ප්‍රේත ජීවිත ලබන්න පුළුවන්. සමහර ගෙවල් ඇතුළේ හරි ම අපිරිසිදුයි. උදේට කෑම ගන්න පිඟාන, කෝප්පය සවසටයි සෝදන්නේ. ඉඳුල් භාජන තැන් තැන්වල, කෝඳුරුවෝ වහනවා. ගෙදර ශීතකරණය ඇරලා බැලුවොත් හරිම අපිළිවෙළයි, අපිරිසිදුයි, අපුල දුගඳක් හමනවා. සමහර ගෙවල්වල කිළිටි ඇඳුම් තැන් තැන්වල ගොඩ ගහලා. කාර්යබහුල නිසා ම ගෙවල් අතුපතු ගාන්නේ නැහැ. ගෙදර ආලින්දයවත් පිරිසිදුව තබා ගන්නේ නැහැ. භික්ෂුව පසුගිය දවසක හදිසියේ ම නිවසකට ගොඩ වුණා. එම ගෙදර ආලින්දය දූවිලි, කොළ රොඩු පිරිලා. පිංවත සත්‍යයකින් ම අපි සද්ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන නැහැ නේද? අපි මේ කරන්නේ ප්‍රේත ලෝකයේ වැඩිවන ප්‍රේත ජනගහනයට ඉඳුම් හිටුම් සහ යටිතල පහසුකම් සපයාදීම නේද? පිංවත පෙර මනුෂ්‍ය ජීවිතවල දී ලෝභකමට, මසුරුකමට ආහාර, ඇඳුම් පැලඳුම්, විසිතුරු දේවල් දන් නොදුන්න අය, ඉඳුල්වෙච්ච, පරණවෙච්ච දේවල් දන් දුන්න අය මිය ගිහින් ප්‍රේත ලෝකයේ උපදින්නේ අපිරිසිදු, ඉඳුල් ගඳැති, කිළිටි රෙදිපිළි සහිත ගෙවල් ඇතුළේමයි. පිංවත ඔබේ නිවස ප්‍රේත, ප්‍රේතියන්ට කුලියට, බද්දට දෙන්න එපා. පිංවත මේ මොහොතේත් අපේ රටේ වැඩසිටින වැඩිහිටි විදේශීය ස්වාමීන් වහන්සේ නමක් මීට වසර දහයකට පෙර දවසක භික්ෂුවට කියනවා, ඔබ වගේ කුටිය පිරිසිදුව තබා ගන්නා කෙනෙක් දැකලා නැහැය කියලා. පිංවත අපේ නිවස, අපේ පන්සල, අපේ කුටිය ධර්මයට වාසභවනක් විය යුතුයි. බල්ලන්ගේ, බළලුන්ගේ ගඳ ඉවසන්න බැරි පන්සල්, ආරණ්‍ය අපේ සමාජයේ තිබෙනවා නේද? පිංවත කායික පිරිසිදුභාවය සහ අවට පරිසරයේ පිරිසිදුභාවය, මානසික පිරිසිදුභාවයට උපකාරක ධර්මයක් ම නේද?

පිංවත නිවසේ පිරිසිදුභාවය වගේ ම, ඔබගේ කායික පිරිසිදුභාවයත් හොඳින් කළමනාකරණයකොට ගන්න ඕනේ. ඔබේ කයේ දහඩිය ගඳට, ඔබේ ඇඳුම් පැලඳුම්වල කිළිටි ගඳට, මේවාට ප්‍රියකරන ප්‍රේත, ප්‍රේතියෝ ඔබේ ශරීරයේ දැවටෙන්න පුළුවන්. ශරීරය සෝදා ගන්නේ නැතුව, කිළිටි ඇඳුම් ඇඳගෙන මසුරුකමින්, ලෝභකමින් හම්බ කරලා මැරෙන පිංවතුන් පටිච්චසමුප්පන්නව අපිරිසිදු ශරීර සහිත, කිළිටි ඇඳුම් සහිත මනුෂ්‍යයෝ ඇසුරේ ම උපදින්න පුළුවන්. පිංවත තෘෂ්ණා පච්චයා උපාදානං. අපි කැමති දෙය ඇසුරේ ම යළි උපත ලබනවා. පිංවත ඔබේ කායික අපිරිසිදුභාවය තුළින්, ප්‍රේත, ප්‍රේතියන්ට ඔබේ අපිරිසිදු ජීවිතය කුලියට දෙන්න එපා. පිංවත අපේ සමාජයේ දැන් දැන් රාග චරිත ගොඩාක් වැඩියි. නිරුවතට, අඩ නිරුවතට සමහරු ඇදී යන්නේ පහන් දැල්ලට ඇදී යන පළඟැටියන් වගේමයි. පිංවත මනුෂ්‍ය ලෝකයේ රාග චරිත වැඩිවෙනකොට ප්‍රේත ලෝකයේ කුණු රාගික ප්‍රේත, ප්‍රේතියෝ ඉපදීම වැඩියි. පිංවත විලිබිය කරුණාකර වසා ගන්න. විලිබිය ඇරලා තියන්න එපා. කුණු රාග ප්‍රේත, ප්‍රේතියන්ට ඔබේ ජීවිතය තලු මරන ආහාරයක් බවට පත්කොට දෙන්න එපා. පිංවත සමාජයේ ජීවත්වන සමහරු ඇඳපැලඳගෙන යන අසංවර ඇඳුම් දැක්කහම භික්ෂුවට සිතෙනවා, මේ අයට මොළේ හොඳ නැති ද කියලා. පිංවත වරදවා සිතන්න එපා, මේ පිංවතුන්ලාගේ මොළය නරක්වෙලා නොවේ, රාග ප්‍රේත, ප්‍රේතියන්ගේ ග්‍රහණයට කොටු වෙලා. පිංවත සංස්කාරයෝ සංකීර්ණ නිසා ම, ලෝක ස්වභාවයෝ හරිම සංකීර්ණයි. පිංවත සමාජය දෙස මෛත්‍රියයෙන් ම බලන්න. සංස්කාර ලෝකය හරිම අසරණයි. පිංවත ඔබේ නිවස, ඔබේ ශරීරය පිරිසිදුව තබා ගන්නවා වගේ ම, ඔබේ නිවසේ ගෙමිදුල පිරිසිදුව තබා ගන්න. කුණු කාණු, මඩ ගොඩවල්, කසළ ගොඩවල්, ගස්කොළන් වැඩි අඳුරු තැන් ගෙමිදුලේ තිබෙන්නට දෙන්න එපා. ඔබේ ගෙමිදුල පිරිසිදුව ආලෝකවත්ව තබා ගන්න. එසේ නොවුණොත් කුණු ප්‍රේත, ප්‍රේතියෝ ඔබේ ගෙමිදුලේ අපිරිසිදු තැන්වල පදිංචියට පැමිණේවි.

පිංවත කුණු ප්‍රේතයෝ, අශූචි ප්‍රේතයෝ, රාග ප්‍රේතයෝ වගේ ම දේශපාලන ප්‍රේතයෝත් ප්‍රේත ලෝකයේ ජීවත් වෙනවා. මනුෂ්‍ය සමාජයේ කපටි, කෛරාටික, තෘෂ්ණාවෙන් කෑදර දේශපාලනය ගැන පිංවතුන්ලා දන්නවා නේද? මේ කෑදර අමනුෂ්‍ය උපාදානයෝමයි පටිච්චසමුප්පන්නව ප්‍රේත ලෝකයේ දේශපාලන ප්‍රේතයන් උපද්දවන්නේ. ගාලුමුවදොර පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, වර්තමාන පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ගොඩනැඟිලි දේශපාලන ප්‍රේතයන්ගේ තිප්පොලවල් වෙන්න පුළුවන්. ප්‍රේත ලෝකයේ දී මනුෂ්‍ය ධර්මයන් නොහඳුනන දේශපාලන ප්‍රේතයෝ මනුෂ්‍ය අපි වගේ අදහස් ප්‍රකාශ කිරීමෙන්, විවේචන කිරීමෙන් පමණක් නවතින්නේ නැහැ. ඔවුනගේ දේශපාලන රැස්වීම් අවසන් වෙන්නේ ගහමරා ගැනීමෙන්මයි. මේ දවස්වල කොළ පාට, නිල් පාට, රතු පාට රණ්ඩු තිබෙන්නේ මනුෂ්‍ය අපේ දේශපාලනයේ විතරක් නොවේ. ප්‍රේත ලෝකයේත් කොළ පාට, නිල් පාට, රතු පාට රණ්ඩු වැඩියි. පිංවත කරුණාකර ධනය, බලය, නිලය උදෙසා දේශපාලනය කරන්න එපා. මේවා ප්‍රේත ධර්මයෝමයි. මාතෘභූමිය, ජාතිය, සම්බුද්ධ ශාසනය උදෙසා දේශපාලනය කරන්න. එවිට ඔබට පුළුවන් මරණින් පසුව පටිච්චසමුප්පන්නව සශ්‍රීක දෙවියෙක් වෙලා මේ පිනැති මාතෘභූමියත්, සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂාකොට දෙන්න. අන්‍ය ආගමික පිංවතුන්ලාත් තමන්ගේ ආගම්වලට අදාළව ඉහත ධර්මය ගළපාගත යුතුයි. පිංවත සිල්වත්භාවයෙන් රට, ජාතිය, ආගම වෙනුවෙන් දේශපාලනය කරන්න දක්‍ෂ වෙන්න.