උපේක්‍ෂා සහගත සිතට විදර්ශනාමය ආහාරයක්

පිංවත මේ දවස්වල ජනතාවගේ ගැලවුම්කාරයෝ වැහි වැහැලා නේද? රටට, ජාතියට කිරි උතුරවන්නට ඇසෙන සෞභාග්‍යයේ කතා ඉවරයක් නැහැ නේද? මේ සෑම සෞභාග්‍යයේ කතාවක් ම ඇහෙද්දී, අපේ සම්මා සතිය අපිට කියලා දෙන්නේ, අපේ රටේ දේශපාලනය සීලයෙන් මොනතරම් දුර්වල ද කියන පණිවිඩය නේද? පිංවත එක පිරිසක් තම දුර්වල සීලයට සුදු රෙදි පොරවා පෙන්වද්දී, තවත් පිරිසක් එම සැඟවුණ දුසිල්වත්භාවයේ කෙටි ආස්වාදයට ගොදුරක් වෙනවා. අවසානයේ සමාජයට ඉතිරි වෙන්නේ දුසිල්වත්භාවයත්, වෛරයත් පමණක්මයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ඇයි අපි හැමදාමත් අනුනගේ රැවටීමට ලක්වෙන්නේ කියලා. පිංවත අපි අනුනගේ රැවටීමට ලක්වෙන්නේ සංසාරයේ අපි අනුන්ව රවට්ටා ඇති නිසාමයි. පිංවත යමෙක්, යමෙක්ව රවට්ටනවා නම් ඔහු තුළ ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, සතිය, සමාධිය මේ මුකුත් ම නැහැ. ඔහු හිස් පුද්ගලයෙක්. පිංවත අපේ අනාගතය අපි මේ කාට ද බාර දෙන්නේ? පිංවත අපේ රටේ දේශපාලනය වර්ණය, සැපය, බලයෙන් ඩෙඟා නටද්දී, අපේ පිංවත් බෞද්ධ ජනතාවට තවත් පුණ්‍යවන්ත වස්සානයක් උදාවෙලා. පිංවත දුක සිතෙන දේවල් ගොඩාක් සිද්ධවෙන සමාජය තුළ උදාවුණ පුණ්‍යවන්ත වස්සානය ගැන සිතලා සතුටු වෙන්න. උදාවුණ වස්සානයේ අට මහා කුසල් ධර්මයන් කරමින් සතුටු වෙන්න.

පිංවත ඔබ කැමති දෙයක් සිද්ධවෙද්දී, ඕනෑවට වඩා සතුටු වෙන්න එපා. ඔබ අකැමැති දෙයක් සිද්ධවෙද්දී, ඕනෑවට වඩා දුක් වෙන්නත් එපා. පසුගිය දවසක තමන්ගේ දයාබර බිරිඳගේ නොමනා හැසිරීමක් නිසා බොහෝම දුකට පත්වෙච්ච මහත්මයෙක් රුධිර පීඩනය වැඩිවෙලා මරණයට පත්වුණා. පිංවත දුක සහ සතුට ඉදිරියේ කර්මය, කර්මඵල විශ්වාසය මතුකොට දකින්න. දුකට හෝ සතුටට ලකුණු දෙන්න එපා. සතුට සහ දුක යැයි කියන්නේ අතීත පිනේ සහ පවේ හේතුඵල ධර්මයෝමයි. පිංවත් ඔබ සතුට ඉදිරියේ ඕනෑවට වඩා සතුටු වුණොත්, ඔබ දුක ඉදිරියේ ඕනෑවට වඩා දුකට පත්වෙනවා. පිංවත සතුට සහ දුක අනිත්‍ය වූ සංස්කාරයක් බව නුවණින් දකින්න. පිංවත සතුට සහ දුක ඵස්සය හේතුවෙන් සකස්වෙන අනිත්‍ය වූ විඳීමක් යැයි දකින්න. පිංවත ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් අනිත්‍ය නම්, රූපයේ ඵස්සය හේතුවෙන් සකස්වෙන වේදනාවෝ කෙසේ නම් නිත්‍ය වෙන්න ද? ඔබ අත්විඳින සතුට සහ දුක අනාගත සංස්කාරයන්ට ආහාරයක් නොකොට, විදර්ශනා බන්දේසිය මත තබා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. පිංවත් ඔබ දුක සහ සතුටට නොබැඳෙන මොහොතක් පාසා උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ ඔබේ උපේක්‍ෂා සහගත සිතට විදර්ශනාමය ආහාරයක් ම වෙනවා. පිංවත අනිත්‍ය වී යන සංස්කාරයෝ අපිට රැස්කොට දී පරවෙලා යන මලක්, නිවීයන පහන් ආලෝකයක් වගේ නොවේ, උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් පෝෂණය වූ විදර්ශනා සිතක් නොපරවෙන, නොනිමෙන විමුක්තියට ආලෝකයක් ම වෙනවා.

පිංවත ගෙවීගිය ඇසළ පුර පසළොස්වක පොහොය දිනයට පසු දින මෙය සටහන් තබන භික්ෂුව තම උපසම්පදා භික්ෂු ජීවිතයේ දහහත් වැනි වස් අධිෂ්ඨානය සිද්ධ කළා. මේ විහාරයේ ඉදිරි තුන් මාසය වස් සීලය සමාදන්ව වැඩ සිටිනවාය කියලා. භික්ෂුව ඇසළ පුර පසළොස්වක පොහොය දවසේ සවස කුටියට වඩිද්දී, ගමේ විසි දෙනෙක් පමණ කුටියට ඇවිත් සිටියා. හැමෝට ම ආජීව අට්ඨමක සීලය සමාදන් කරලා, සම්බුද්ධ වන්දනාවක් සිදුකරලා පිං අනුමෝදන් කළා. භික්ෂුවට ලැබුණේ අලුත් ම කුටියක්. කුටියේ පරණයි කියලා කියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. සියල්ල ම අලුත් වුණත්, මේ සියල්ල ම භික්ෂුවගේ පටිච්චසමුප්පන්න පරණ කුසල් සංස්කාරයන්ගේ ප්‍රණීත, විසිතුරු විපාකයන් ම නේදැයි භික්ෂුවට සිතුණා. භික්ෂුව එම සිතත් චිත්තානුපස්සනාවටමයි භාරකළේ. පිංවත අපේ ම පටිච්චසමුප්පන්න පරණ කුසල් සංස්කාරයෝ වර්තමානයේ විපාකයට පැමිණෙද්දී, සංස්කාරයෝ ම උපයෝගී කොටගෙන සංස්කාරයන්ට වැට බඳින්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එවිටයි අපිට හැකියාව ලැබෙන්නේ අතීත ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ උපයෝගී කොටගෙන වර්තමානයේ විපාකයට පැමිණෙන ප්‍රණීත, විසිතුරු සංස්කාරයන්ගේ නිරුවත දකින්න. පිංවත සංස්කාරයෝ නිරුවත්කොට දකිද්දී, විඤ්ඤාණයට සිද්ධ වෙනවා, ධම්මානුපස්සනාවේ සළුපිළි පොරවා ගන්න. පිංවත අපිට පරණ සහ අබලන් දේවල් වගේ ම, ප්‍රණීත සහ විසිතුරු නැවුම් දේවල් බෙදාදෙන අවිද්‍යාවේ වේටර්වරයා අතීත සංස්කාරයෝමයි. පිංවත සීතල නළියන නිහඬභාවය සමාධිමත් සිතට විදර්ශනාවේ රහස් කියන මේ යෞවන රාත්‍රියේ භික්ෂුවගේ මතකයට නැගෙනවා භික්ෂුව සාමණේර අවදියේ ගතකළ මුල්ම වනවාසී කුටිය. එය මැටිවලින් බැඳපු ගල් ගුහාවක්. බොහෝ ම කුඩා කුටියක්. එම කුටිය සන්තකයේ තිබුණේ පැදුරක්, කොට්ටයක්, අබලන් මේසයක්, ඇඳි රහිත පුටුවක් සහ කළගෙඩියක් පමණක්මයි. යකඩ බාල්දියකුත් තිබුණා මතකයි. කුටියට වැසිකිළියක් තිබුණේ නැහැ. කුටියට විරුද්ධ පැත්තේ කුඩා වළක් හාරා එම වළ මත ලෑලි කෑලි දෙකක් තබා තිබුණා. එය තමයි කුටියේ වැසිකිළිය. වතුර බාල්දියක් ගේන්න කිලෝමීටර් කාලකට වැඩි දුරක් යන්න තිබ්බා. පිංවත එදාමෙදාතුරු භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත සංස්කාරයෝ මොනතරම් නම් ඇස්බැන්දුම් මායාවක් භික්ෂුවට අයිතිකොට දී තිබෙනවා ද? පිංවත මේ මායාකාරී සංස්කාර ලෝකයට භික්ෂුව ඇලීම් හෝ ගැටීම් ඇතිකොට ගත්තා නම්, භික්ෂුව දුක සතුටින් පිළිගෙන සැපය ප්‍රතික්ෂේප කළා නම් එසේත් නැතිනම් භික්ෂුව සතුට සතුටින් පිළිගෙන, දුක ප්‍රතික්ෂේප කළා නම් භික්ෂුවට වර්තමානයේ ජීවත්වෙන්න සිද්ධවෙන්නේත් සංස්කාරයන්ගේ තුරුලේ ම නේද? පිංවත ප්‍රණීත සහ අප්‍රණීත සංස්කාරයෝ මම යැයි නොගෙන, මගේ ප්‍රතිපදාව යැයි නොගෙන කරුණාකර අවිද්‍යාවට භාරදෙන්න. එවිටයි ඔබ මායාකාරී සංස්කාර ලෝකය විනිවිද, ධම්මානුපස්සනාවට පණ දෙන්නේ. පිංවත සංස්කාරයෝ යම් තැනක ද එතැන උරුමය තිබෙන්නේ අවිද්‍යාවටමයි. පිංවත දුක හෝ සැප ඉලක්ක නොකොට මේ දෙකට ම හේතුවෙන අවිද්‍යාව ම ඉලක්කය කොටගන්න.

පිංවත සමහර පිංවතුන් කැමතියි දුක මගේ කොටගන්න. එම පිංවතුන් කැමැත්තෙන් දුක් විඳිනවා. දුක තුළ බැසගෙන ජීවත්වෙනවා. කැමැත්තෙන් ම සැපය ප්‍රතික්ෂේප කරනවා. තවත් සමහර පිංවතුන් සිටිනවා සතුටමයි, සැපයමයි සොයන්නේ. දුක තරයේ ම පිළිකුල් කරනවා. පිංවත ඉහත අර්ථයන් දෙක ම අයිති ලෝකයට. ලෝකය කියලා කියන්නේ අවිද්‍යාවෙන් පටන් අරගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ ධර්මයන්ට. පිංවත ඔබ ලෝකයෙන් මිදෙන්න කැමති පිංවතෙක් නම් කරුණාකර ලෝකයට අයිති දුක සහ සැප ලෝකයට ම භාරදෙන්න. එතැනදියි ලෝකයේ හැඩරුව මැනවින් පෙනෙන ධර්මයේ උපේක්‍ෂාව උපදින්නේ. පිංවත ඔබ සැප හෝ දුක සොයා යන්න එපා. ජීවිතය සංස්කාරයන්ට භාරදෙන්න. ලැබෙන දෙය ධර්මයේ උපේක්‍ෂාවෙන් පිළිගන්න. භික්ෂුව මේ මොහොතේ වස් සීලය සමාදන්ව වැඩසිටින කුටිය සියලු පහසුකම් සහිත කුටියක්. නමුත් මේ කුටියට වඩින මොහොත දක්වා මේ කුටිය සුදු ද, කළු ද කියලා භික්ෂුව දැනගෙන සිටියේ නැහැ. එය දැනගන්න භික්ෂුවට අවශ්‍යතාවයකුත් නැහැ. භික්ෂුව සිමෙන්ති කුටියක් හෝ මැටි කුටියක් බලාපොරොත්තුව මේ ගමට වැඩියේ නැහැ. භික්ෂුවගේ විනයානුකූල අරමුණ වුණේ ඉදිරි වස් තුන් මාසයේ භික්ෂුවගේ වස් සීලයයි. පිංවත සංස්කාරයෝ අපිට පොඩි හැන්දෙන් බෙදුවත්, ලොකු හැන්දෙන් බෙදුවත් හැන්ද අයිති අවිද්‍යාවට බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ.

පිංවත සුන්දර වස්සානය උදාවෙන්නේ උපසම්පදා භික්ෂූන් වන අපගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය මුවහත්කොට දෙන්න. චාරිකාවෝ අවම කරලා, උතුම් ප්‍රාතිමෝක්‍ෂ සීලයට ශක්තියක් දෙන්න. අපි වස් අධිෂ්ඨානය කරන මොහොතේ අපි වැඩසිටින විහාර සීමාව ගැන හොඳින් සිහිය පිහිටුවා ගන්නවා. අදාළ සීමාවෙන් අපි බැහැරට ගියොත්, දින හතක් ඇතුළත ආපසු පැමිණෙනවාය කියන අධිෂ්ඨානය අපි තුළ තිබෙන්නට ඕනේ. පිංවත සමාජය සුවපත් කරන්න පෙරාතුව පැවිදි අපි සුවපත් වෙන්න ඕනේ. අපේ අතීත අකුසල් අභියෝගයන් ජයගෙන අපි සීලයෙන් නැගී සිටින්න ඕනේ. අතීත සංසාරයක් පුරාවට අපි හැමෝම අතින් පටිච්චසමුප්පන්නව සිදු වී ඇති ලොකු ම වරද සිල්පද දුර්වලකොට ගැනීමයි. සිල්පද දුර්වලකොට ගැනීම කියන කාරණය ගැන කියද්දිම, ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අතීත දුශ්ශීලභාවයන්ගේ විපාකයන් හේතුවෙන් සංස්කාර පච්චයා විඤ්ඤාණ ධර්මතාවය ඔස්සේ අපිට දැනීම් සකස් වෙන්නේ සීලයට කුඩම්මාගේ සැලකිලි ලබා දෙන්න. මේ ධර්මතාවයෝ අවිද්‍යාවේ ජන්ම ගතියයි. පිංවත සිල්වත්භාවයත්, සීලයේ දුර්වලභාවයත් යන අර්ථයන් දෙක ම අයිති අවිද්‍යාවටයි. පිංවත උතුම් සෝවාන්ඵල අවබෝධයේ දී අපි ලබන ආර්ය සීලයයි, විද්‍යාව උදෙසා මුල්වරට අපි සීලය විදර්ශනාවෙන් පිරිසිදුකොට ගන්නේ. පිංවත උදාවුණ සුන්දර වස්සානය යනු සීලය දෙවැනි තැනට දමා, පිංකම් මනෝභාවයන්ට ඔටුණු පළඳවන ධර්මතාවයක් නොවේ, සුන්දර වස්සානය සීලය ගැන කියන අර්ථයක්, සුන්දර වස්සානය ඔබේ සීලය, සමාධිය දෙසට අරගෙන යන අර්ථයක්, සුන්දර වස්සානය ඔබේ සමාධිය ඥාන දර්ශනයන්ට, විමුක්තියට මඟ හෙළිකොට ගතයුතු අර්ථයක්. පිංවත මේ සුන්දර වස්සානය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පෝෂණය වෙන වස්සානයක් මිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පලා ගිය වස්සානයක් නොවිය යුතුයි. මේ සුන්දර වස්සානය අපි මුදලට ප්‍රමුඛස්ථානය දුන්නොත් අපේ ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මුදලට විකුණුවා වෙන්න පුළුවන්.

පිංවත වෙනදා වගේ ම අද උදෑසනත් භික්ෂුව පිණ්ඩපාත මඩුවට පිණ්ඩපාතයට වැඩියා. වස්සානයේ ආරම්භය වුණත් ගම්වාසීන් පනහක් පමණ පිණ්ඩපාතය බෙදන්න උදෑසන පැමිණ සිටියා. පිංවත සිවුපසයේ වේශයෙන් පින සිත් සේ විපාකදෙන සමාජය තුළ කාමයේ ආස්වාදයන්ට, රූපයේ ආස්වාදයන්ට ඉණිමං තබන සමාජයක් තුළ අපිට, අපිව අමතක වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ම භික්ෂුව සෑම හිමිදිරි උදෑසනක ම යළි, යළිත් ආවර්ජනය කරනවා, මා විසින් සමාදන් වූ වස් සීලය මේ උදෑසන නැවත ආවර්ජනය කරමියි කියලා. එවිට අපේ වස් සීලය දවසින් දවස මුවහත් වෙනවා. පිංවත ආස්වාදය විඳීම් තුළ බඩපිනුම් ගසන සමාජයක් තුළ ආදීනවයෝ අමතක වෙලා යන්න තිබෙන අවස්ථා හුඟාක් වැඩියි. අපි අපේ ම මාර ධර්මයන් ඉදිරියේ සිහිනුවණින් උපක්‍රමශීලී වෙන්න ඕනේ. අපි සමාදන් වූ වස් සීලය, අපේ ම අකුසල් දැනීම්වලට ගොදුරුකොට දෙන්න හොඳ නැහැ.

පිංවත මේ දවස්වල සමාජය තුළ බලය ගැන කතා කරනවා හුඟාක් වැඩියි නේද? හෙට අනිද්දා කලඑළි බහින දේශපාලන නරිනාටක මැද්දේ සිල්පද දුර්වලකොටගෙන, අකුසල් මූලයන් වඩමින් බලය සොයන්න, බලය දිනන්න නම් යන්න එපා. අපේ ම දේශපාලන අතීතය අපිට කදිමට සාක්‍ෂි දෙනවා දුශ්ශීලභාවයෙන් ලැබුවා වූ බලය මායාවක්, මිරිඟුවක්මයි කියලා. පිංවත් ඔබ අසත්පුරුෂභාවයෙන්, පාපමිත්‍රභාවයෙන් කලඑළි බහින දුශ්ශීල දේශපාලනය කෙරෙහි ලජ්ජාව, බිය ඇතිකොට ගන්න. අවිද්‍යාව අපේ ජීවිත කණපිට හරවලයි තිබෙන්නේ. අපි අසීමිත තෘෂ්ණාවෙන් සැප සොයනවා. අපි දුශ්ශීල දේශපාලනයෙන් බලය සොයනවා. අපි කාමච්ඡන්දයන්ගෙන් ප්‍රීතිය, සැපය සොයනවා. පිංවත නොපිරිහෙන ජනප්‍රියභාවය, නොපිරිහෙන බලය රටකට, ජනතාවට දායාදකොට දෙන්නේ උතුම් ආජීව අට්ඨමක සීලයේ ශක්තිය ම බව සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත කැලෑ ගස් දස දහසකට වඩා එක් සඳුන් ගසක් වටිනා බව තේරුම් ගන්න. පිරිස අඩු වුණත් සිල්වත්භාවයේ අයෝමය ශක්තිය කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න. හෙට දවස දින්නොත් දිනා දෙන්නේ සීලය විසින් ම බව තේරුම් ගන්න.