මේ ලෝකයේ ජීවත්වෙන නිදහස් ම මිනිසා

පිංවත, කරුණාකර ඔබේ සිහිනුවණට නිදාගන්න ඉඩ දෙන්න එපා, ඔබේ සිහිනුවණ අවදියෙන් තබා ගන්න. ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්දේසියේ දමන කාලයයි. පිංවත, ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ තණ්හා, රතී, රඟා මාර දූතියෝ, මාර දූතයෝ මනුෂ්‍යත්වයේ වෙස් දරාගෙන අමනුෂ්‍ය ධර්මයන්ට ඉදිරි පස්වසරක් උදෙසා වර්ණය, සැපය, බලය සොයන කාලයයි. පිංවත, තෘෂ්ණාවේ මාර දූතයෝ දියුණුව යැයි කියලා, සංවර්ධනය යැයි කියලා, සුබ ආරංචියක් යැයි කියලා මේ ඔබේ කනේ තියන්නේ අනාගත ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගේ යථාර්ථය මිහිරි වචනවලින්, මිහිරි සංගීතයෙන් වසා දැමූ මිච්ඡා වාචාවෝමයි. පිංවත, මළහිරු බැස යන ජාතියට, කළුවර සඳක් වෙන්න එපා, ප්‍රභාෂ්වර පසළොස්වක සඳක් වෙන්න. තෘෂ්ණාව විරේක කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ජීවිත සුවපත් කරන ඖෂධයක් යැයි සිතා ජීවිතයට එකතුකොට ගන්න. සමාජය ඉදිරියේ උගුරු කඩාගෙන කෑගසන පිංවත් මනුෂ්‍යයෝ මේ පැල් බැඳගෙන හම්බ කරන්නේ පරලොව දුක ම බව සිහිනුවණින් තේරුම් ගන්න. පිංවත, අවිද්‍යාවේ ජවයෙන්, තෘෂ්ණාවේ ඉන්ධනවලින් දුවන ලෝකය නවත්වන්න අපිට බැහැ. දුවන ලෝකය තුළ ඔබ නොදුවන මිනිසෙක් වෙන්න. දේශපාලනයේ නාමයෙන් සමාජගතවන මිච්ඡා සංකප්පයෝ සහ මිච්ඡා වාචාවෝ සුගතිය දුගතියට පෙරළන හැටි සිහිනුවණින් බලා සිටින්න.

පිංවත, අපි අසරණයෝ, අපි ම පැවරූ බලයෙන් වර්ණය, සැපය, බලය ලැබූ අපේ පිංවත් නායකයෝ ඉදිරියේ අපි අසරණයෝ. අපිට තිබෙන්නේ මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය දකිමින් සහ අසමින් ඉන්න. හැබැයි මේ එළිබහින සංස්කාර ලෝකය ගැන සිතන්න නම් යන්න එපා, ඔබත් අවුල් වේවි. පිංවත, ලෝකය වැරදි නැහැ. ලෝකය කිරි ගහට ඇන්නා වගේයි ක්‍රියාත්මක වෙන්නේ. කරුණාකර මස් ඇසට පෙනෙන ලෝකය දෙස නොබලා, මමත්වයේ දැඩිභාවයට සැඟවී තිබෙන ඔබේ නාමරූප ලෝකය දෙස ඔබ බලන්න. පිංවත, දෑස් පියාගෙන ආධ්‍යාත්මික සහ බාහිර ලෝකය අමතක කරන්න. විවේකයට ජීවිතයෙන් ඉඩක් දෙන්න. දුවන ලෝකය තුළ ඔබ නැවතී සිටින හැටි දකින්න. ඒ දැක්මත් අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක්කොට ම දකින්න. දැකීමේ ඉවරයකුත් නැති, දැක්ක දෙය ගැන සිතීමේ ඉවරයකුත් නැති, සිතන දෙය ගැන සංස්කාරයන් රැස්වීමේ ඉවරයකුත් නැති මායාකාරී පංචඋපාදානස්කන්ධ ලෝකය ධම්මානුපස්සනාවට ම කමටහනක්කොට ගන්න. එවිට ඔබට සිතේවි ඔබ මේ ලෝකයේ ජීවත්වෙන නිදහස් ම මිනිසාය කියලා. ඒ නිදහස ඔබ නැවත, නැවත පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය තුළ බහා බලාවි. පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යය තුළ විසිරුවා දකීවි. පිංවත, අසරණභාවයත්, සරණත් යන දෙධර්මයන්ගෙන් ම එවිට අපි නිදහස් වේවි. එතෙක් අපි අනුනගේ වර්ණය, සැපය, බලය ඉදිරියේ අසරණයෝ. අපිට වර්ණය, සැපය, බලය ලැබෙද්දී අනුන් අසරණයෝ. පිංවත, තට්ටුමාරු ක්‍රමයට සංස්කාරයෝ කැඩී, බිඳී, විසිරී යනවා. ලෝකයට ආදරය කරන්න එපා. ලෝකයත්, ආදරයත් ධම්මානුපස්සනාවට ආහාරයක්කොට ගන්න.

පිංවත, සමාජය විවිධයි, සමාජය සංකීර්ණයි, සමාජය කීකරුයි, සමාජය අකීකරුයි. මේ සියල්ල ම අවිද්‍යාවෙන් උපන් සංස්කාරයන්ගේ විවිදත්වයයි. බෞද්ධ, අබෞද්ධ, සිංහල, අසිංහල අපි හැමෝගේ ම එකතුවක් අපේ සමාජය. අපිට හැමෝම නිවැරදි කරන්න බැහැ. හැමෝම අපිව පිළිගන්නෙත් නැහැ. මේ සියල්ලට ම වගකිවයුත්තේ අපේ අවිද්‍යාවයි. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන පටිච්චසමුප්පන්න සංස්කාරයෝයි. භික්ෂුව කවදාකවත් සිතන්නේ නැහැ, ඇයි භික්ෂුව ඉපදුණේ කියලා. ඒ සිත භික්ෂුව භාර දෙන්නේ චිත්තානුපස්සනාවට. එවිට ජීවිතය ගැන සොයන්න දෙයක් නැහැ. ජීවිතය ම ධර්මයක් බවට පත්වෙලා. පිංවත, අපි ඉපදුණේ ඇයි කියලා සිතන්න ගියොත් මුළු ජීවිතය ම පංච නීවරණයක්, අධර්මයක් බවට ම පත්වෙනවා. පිංවත, චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය වන අවිද්‍යාව ජීවිතයේ මුල බව දකින්න. එවිටයි අන්තයන්ගෙන් බැහැර වී හරි මැද වන නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබ ප්‍රවිෂ්ට වුණා වෙන්නේ. පිංවත, සංසාරයේ අපි ගොඩාක් අනුන්ව කතාවෙන්, සිනහවෙන්, හැසිරීමෙන් රවට්ටලා තිබෙනවා. රූපය නිත්‍යයි, සැපයි, සුබයි කියලා අපි ලෝකයා මොනතරම් නම් රවට්ටලා ඇද්ද? පිංවත, දෑස් හැර සමාජය දෙස බලන්නකෝ, දෙතිස් කුණපයක් වන රූපය සතුටින් වර්ණනා කරන රැවටීම් සමාජය තුළ කොතෙක් තිබෙනවා ද කියලා. පිංවත, සම සුදු පැහැ කරන ආලේපන, හිසකෙස් පාට කරන, නිය ආලේපනය කරන, ශරීරය පාට කරන, ශරීර සම්බාහනය කරන බොරු රැවටීම් වර්තමානයේ සමාජය තුළ විනය දුර්වල කරන ජාතික මාතෘකාවන් බවට පත්වෙලා තිබෙනවා. අපි සියල්ලෝ ම සැප යැයි දුකට රැවටිලා. අපි මේ සොයන්නේ කවදාකවත් නොලැබෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ මිරිඟුවක්. පිංවත, රූපය වර්ණනා කරන්නා රූපයේ ඵස්සය හේතුවෙන් සකස්වෙන රැවටිලිකාර වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ වර්ණනා කරන්නේ ළිප මත තිබෙන වතුර හට්ටියේ දඟලන කකුළුවෝ වගේමයි. පිංවත, හට්ටියේ වතුර උතුරද්දී, කකුළුවන්ට වෙන සන්තෑසිය සමාජය දෙස බලද්දී සක්සුදක් සේ පෙනෙනවා. කාමයන්ගේ දෑස් ඇරෙනකොට, සතියේ දෑස් අන්ධවෙලා යනවා. පිංවත, සතියේ දෑස් අන්ධ වෙද්දී, අපි අල්ලා ගන්නේ අධර්මයේ, අකුසලයේ, මිච්ඡා ආජීවයේ කණවැලයි. එවිට අපේ විර්යය දුශ්ශීලභාවය ම, අකුසලය ම ප්‍රවර්ධනය කරන මිච්ඡා වීර්යයක් බවට ම පත්වෙනවා.

පිංවත, මත්වතුර ප්‍රවර්ධනය කරන්න, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න, කාමයෝ ප්‍රවර්ධනය කරන්න, රූපයේ ආස්වාදය ප්‍රවර්ධනය කරන්න, දුශ්ශීල දේශපාලනය ප්‍රවර්ධනය කරන්න සමාජය තුළ අශ්ව වේගයෙන් ක්‍රියාත්මකවන මිච්ඡා වීර්යය, රටේ නීතියට පවා අභියෝග කරනවා. මිච්ඡා වීර්යය ඉදිරියේ තිබෙන්නේ මිච්ඡා ප්‍රීතියක්, මිච්ඡා ඵස්සද්ධියක්. අරක්කු, බියර්, මත්ද්‍රව්‍යවල සතුට, කාමයන්ගේ සතුට, රූපයන්ගේ සතුට, ප්‍රීතිය, සැහැල්ලුව බොහෝම පුංචි කාලයයි පුද්ගලයාට ලබලා දෙන්නේ. පුංචි සතුට, ප්‍රීතිය ඉදිරියේ අතිදීර්ඝ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකක්. පිංවත, සමාජය දෙස බලන්නකෝ, මිච්ඡා ප්‍රීතියෙන්, මිච්ඡා ඵස්සද්ධියෙන් මමයි බලවතා, මමයි තෙදවතා යැයි මිච්ඡා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන පිංවතුන් කාමයේ ආස්වාදයෙන්, රූපයේ ආස්වාදයෙන් මත්වෙලා, සීලාචාර සමාජ සම්මතයන්ට අභියෝග කරන පිංවතියන්ගේ මිච්ඡා ප්‍රීතියේ, මිච්ඡා ඵස්සද්ධියේ දිට්ඨ ධම්මවේදනීය විපාකයෝ දෑස් පනාපිට ම ඔබට පෙනෙනවා නේද? පිංවත, මිච්ඡා ප්‍රීතියේ සහ මිච්ඡා ඵස්සද්ධියේ එක ම උරුමය ඇලීම් සහ ගැටීම් දෝරේ ගලන මිච්ඡා උපේක්‍ෂාවෝ පමණක්මයි. පිංවත, සමාජගත මිච්ඡා උපේක්‍ෂාවෝ අනුවණ මනුෂ්‍යයා මිනීමරා ගන්නා, කාමයේ සහ රූපයේ ආස්වාදය තලු මරනා, දේශපාලනය සූදුවක්කොට ගන්නා විකෘතියක් බවට සමාජය පත්කොට තිබෙනවා.

පිංවත, සමාජය දෙස හොඳින් බලන්න. ඔබට ස්වාක්ඛාත වූ, සන්දිට්ඨික වූ, අකාලික වූ, ඒහිපස්සික වූ, ඕපනයික වූ, පච්චත්තං වේදිතබ්බං වූ දහමක්මයි ඔබට පෙනෙන්නේ. ඒ දහම හරි ම සරලව පෙනෙනවා. ආගම්භේද නැහැ. ජාතිභේද, පක්‍ෂභේද, දුප්පත් පොහොසත්භේද, උගත් නූගත්භේද නැහැ. අධර්මයෝ අධර්මයෝ ම පෝෂණයකොට දෙනවා. ධර්මයෝ ධර්මයෝ ම පෝෂණයකොට දෙනවා. ආරක්‍ෂක පිරිත් නූල් අතේ බැඳගෙන, ආරක්‍ෂක ගෙජ්ජි වළලු දෑතේ දමාගෙන සිටින පිංවත් මනුෂ්‍යයෝ සමස්ත ජාතිය ම අනාරක්‍ෂිත කරන අපූරුව දකිද්දී, පිංවත් ජනතාවට ඉතිරි වෙලා තිබෙන්නේ අධර්මයේ අභියෝගයන්ගෙන් මිදීම උදෙසා ධර්මයේ සරණයාම පමණක්මයි.

පිංවත, මේ අනතුරින් බර පංචඋපාදානස්කන්ධ ලෝකයේ, මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයේ සැබෑම ආරක්‍ෂකයා මෛත්‍රියයෙන්, නෙක්ඛම්මයෙන් පෝෂණය වූ සීලයයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, අපි සිල්වත්වීමෙන් සමාජගතවෙන දුශ්ශීලභාවය පරාජය කරන්නේ කෙසේ ද කියලා. පිංවත, මේ ප්‍රශ්නය තේරුම් ගන්න නම් අපිට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන්නට ඕනේ. කර්මය කර්මඵල විශ්වාසය අපිට තිබෙන්න ඕනේ. මෙය සටහන් තබන භික්ෂුව සීලයේ ආනිශංස පක්‍ෂය අත්දැකීමෙන් ම දන්නා නිසා අනුනගේ දුශ්ශීලභාවයන් ගැන සොයන්න යන්නේ නැහැ. සිල්වත්භාවයට සහ දුසිල්වත්භාවයට අයත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි. පිංවත, ඔබ දක්‍ෂ වෙන්න, අනුනගේ දුර්වල සීලයන් තුළින් ඔබේ සිල්වත්භාවය ශක්තිමත්කොට ගන්න. පිංවත, මම සිල්වත් යැයි ආස්වාදයෙන් සීලය තුළ නවාතැන් ගැනීමෙන් පමණක් සෑහීමට පත්වෙන්න එපා. සීලය පසුකොට අපිට සමාධිය ඔස්සේ විමුක්තිය දක්වා ගමනක් යන්න තිබෙනවා. අපි තවමත් සීලය ළඟටවත් ඇවිත් නැතිනම් අපි අනතුරට විවෘතවයි සිටින්නේ. පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට බියක් දැනෙන්නේ නැහැ. ඒ ඇයි කියලා උන්වහන්සේලා සිතන්න යන්නෙත් නැහැ. බිය කියන්නෙත්, බියෙන් මිදීම යැයි කියන්නෙත් අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් යැයි කියලා උන්වහන්සේලා අවබෝධයෙන් ම දකිනවා. පිංවත, අපි ජීවත්වන සමාජය ඉදිරියේ අභියෝග ගොඩාක් නිර්මාණය වෙමින් පවතිනවා. පිංවත, මේ අභියෝග ජයගෙන නැඟී සිටින්න අපිට සීලයේ ශක්තිමත්භාවයක් නැහැ. සීලය කෙසේ නම් මේ අභියෝග දිනා දෙන්න ද කියලා සීලය ගැන අපිට සැකයි. සීලයේ ආනිශංස පක්‍ෂය ගැන සැක කළොත් උතුම් තෙරුවන් ම සැක කළා වෙනවා. පිංවත, ඔබ අවංකව සීලය තුළ ශක්තිමත් වෙන්න. ඔබට සිතාගන්නවත් බැරි ආකාරයට දුසිල්වත් ධර්මයෝ පරාජය වෙලා යාවි. සීලයට එරෙහිව පැමිණෙන අභියෝග ජයගන්න සමතා සීලයමයි.

පිංවත, මැතිවරණයක පංචනීවරණ උණුසුම පිංවත් මනුෂ්‍යයින්ට පමණක් නොවේ, පරිසරයටත් දැනිලා. පරිසරයටත් දැන් මෙලෝ සිහියක් නැහැ. පරිසරයේ රිද්මය චංචල වෙලා. පිංවත, අව්වයි, වැස්සයි, ගෙරවිල්ලයි, සුළඟයි සන්ධානගත වෙලා වගේයි. මේ ධර්මතාවයෝ සියල්ල ම අත්වැල් බැඳගෙනයි එන්නේ. පිංවත් ජනතාවගේ දේශපාලන පංචනීවරණයන්ගෙන් කිපුණ පරිසරය අපිට අජීවීව බලපෑම් කරමින් ප්‍රශ්න කරනවා, අනේ ඔබලාට තවත් කුමකට නම් රාජ්‍ය නායකයෙක් ද? නායකයෝ බුරුතු පිටින් සිටියත් ඔබලාව පාලනය කරන්නේ ජාත්‍යන්තරය, ජාත්‍යන්තරයේ උවමනා එපාකම්, ජාත්‍යන්තර වෙළෙඳ මාෆියාව. අනේ කුහුඹුවනේ ඔබලාව බලාගන්න ඔබලාට නායකයෙක් සිටියත්, අනේ අපිට සිටින්නේ ජනතාවගේ සතුට උරාබොන පිංවත් නායකයෝ. ජනතාවගේ නිදහස උලාකන පිංවත් නායකයෝ. පිංවත, අපි මේ යන්නේ කොයි පාරේ, අපේ ම සොහොන් කොත් මතු ඉදිවන පාරේ. අපේ පිංවත් නායකයෝ ජාතියට දායාදකොට තිබෙන්නේ කාමයන්ට විවෘත සමාජයක්, රාගයට පොළඹවන සමාජයක්. සමලිංගිකත්වයට දිරිදෙන සමාජයක්.

බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, අද ඉපදුණ ළදැරියගේ පටන් වයෝවෘද්ධ කාන්තාව දක්වා ඇයගේ සමාජ සුරක්‍ෂිතභාවය, ඇයගේ ආත්මගරුත්වය රජයක් විසින් සුරක්‍ෂිත කළයුතුයි කියලා. පිංවත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් නපුංසක පුද්ගලයා පැවිද්දට, උපසම්පදාවට නුසුදුසුයි කියලා. පිංවත, හෙට ලෝකය ගොඩනැඟෙන්නේ මනුෂ්‍යත්වයට, සීලාචාර ධර්මයන්ට ගරු කරන පිංවත් ඔබේ කැමැත්තට අදාළව නොවේ. හෙට ලෝකය ගොඩනැඟෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ මාෆියාවේ උවමනා එපාකම් මතයි. ඔවුනට ඕනේ සදාචාරය, ගුණධර්ම නොවේ, ඔවුනට ඕනේ වෙළෙඳපොළක්. අපේ කාන්තාවන්ට මත්වතුර මිලදී ගන්න අවසර දීලා, අපේ කාන්තා පක්‍ෂයට බියර්, මත්ද්‍රව්‍ය පොවලා, අපේ කාන්තාවන්ගේ ආත්මය සම්බාහන ආයතනවලට විකුණලා, සමලිංගික අඬහැරය නිදහසේ වාදනය වෙන්න හැරලා, අන්තර්ජාලය මනුෂ්‍ය ධර්මයන් ඉදිරියේ නිරුවත් වෙන්න හැරලා ජාතියක් වශයෙන් අපිව අරගෙන යන පවුකාර ගමනට තවත් කුමට නම් රාජ්‍ය නායකයෙක් ද? ජාතියට ලැබෙන්නේ රාජ්‍ය වධකයෝමයි. පිංවත, අසිහියෙන් තවදුරටත් රැල්ලට ගසාගෙන යන්න එපා. සිහිනුවණින් උඩු ගං බලා පිහිනන්න.